මගේ සමීපතම මිතුරියක් දකුණු කොරියාවේ වෙසෙන්නීය. කොරෝනා වසංගතයේ මුල් මාස කිහිපය තුළ රෝගය පැතිරීම මැනවින්ම වැළැක්වූ රටක් ලෙස කොරියාව ප්‍රසාදයට ලක් විය. පසුගිය සතියේ එක් දිනක් තුළ කෝවිඩ් රෝගීන් හයසිය ගණනක් හමුවීමෙන් එරට රජය සහ රටවැසියෝ නැවත කලබලයට පත් වූහ.
වැක්සිනය පෙනෙන මානයේ තිබියදී මරණ බිය පහළ වූ මිතුරිය හොඳටම කලකිරී මා ඇමතූවාය.
“අයියෝ ඕව ගණන් ගන්න එපා. අපේ භාෂාවෙන් ඔය වෙලාවට කියන්නෙ, ‘අයියණ්ඩි බිය නොවන්න මැරෙනා සැටි මම පෙන්වන්නම් කියලා” මම පුරසාරම් දෙඩෙව්වෙමි.
“කවුද එහෙම කියපු මෝඩයා?”
ඇය විහිළුවක්වත් නොතේරෙන තරමට බිය වී ඇත්තීය.
“ලංකාවෙ නම් දිනපතා කෝවිඩ් ආසාදිත අය හයසිය හත්සිය වාර්තා වෙනවා. ඒත් බලන්නකො අපි මේ ජොලියෙ ඉන්නෙ! අපි කොරෝනට බයත් නෑ. කොරෝනා අපට බයත් නෑ” මම තවුසන්ඩ් ටෝක් එකක් දුනිමි.
එතකොට ඕගොල්ලොන්ගෙ රට සම්පූර්ණයෙන්ම ඇරලද?” ඈ විස්මයෙන් ඇසුවාය.
“අපේ රට ඇරලත් නෑ වහලත් නෑ. මේක කවදාවත් සම්පූර්ණයෙන් ඇරලා තිබුණෙත් නෑ. ඒ හින්දා අපට ගාණකුත් නෑ”.
ඒ කියන්නේ මොකක්දැයි ඇය අසාවි යැයි මම පණ බයෙන් උන්නේ. අපේ රටේ සංකීර්ණ, එමෙන්ම විනෝදජනක ජීවිතය පිටරැටියෙකුට කෙසේ නම් පහදම්ද?
“අපේ නම් වසංගතය එක්ක සටන් කරන්න ළඟදී හමුදාවත් කැඳෙව්වා” ඈ තමාගෙම රටේ හමුදාවට බිය වන්නීය.
“අපි නම් කාණුවක් කපන්න තිබ්බත් හමුදාව කැඳවනවා. හැබැයි කොරියාවෙ වගේ මෙහේ හමුදා පාලන තිබිලා නෑනේ. ඒ හින්දා අපේ හිතට බයක් නෑ. අපේ රටේ මිනිස්සු හමුදාවට ආදරෙයි. හමුදාව දේශපාලකයොන්ට ආදරෙයි. දේශපාලකයො බලයට ආදරෙයි. ඒ හින්දා ප්‍රශ්න අඩුයි” මම උන් උස්සා තැබීමි.
“පොලිටිකල් ඉන්ඩෙක්ස්වල නම් තියෙන්නෙ කොරියාව මාර ප්‍රජාතනත්‍රවාදයක් කියලා. ඒකට මොකද අපේ පණපිටින් ඉන්න, හිටපු ජනාධිපතිලගෙන් බාගයක් ඉන්නේ හිරේ, දූෂණ වංචාවලට” කෝවිඩ් රෝගීන් හයසීයක් වාර්තා වීම නිසා ඇයට රටම එපා වී ඇති සැටියකි.
“අපේ රටේ දේශපාලකයෝ නම් හොරකම් කරන්නෙ නෑ. අපි %‘හොරකම’ කියන වචනය ශබ්දකෝෂවලින් ඉවත් කරලා ඒ වෙනුවට %‘සංවර්ධන ව්‍යාපෘති’ කියලා ලස්සන වචන දෙකක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ හින්දා අපේ රටේ දැන් කාලෙක ඉඳන් හොරකමට තිත වැටිලා තියෙන්නේ” මම ආඩම්බරයෙන් කීවෙමි.
“අනේ ඇත්තට ඔයගොල්ලො හරිම සතුටින් ඉන්නෙ. කොරියාවෙ අපටත් ලංකාවේ ඔයාලට වගේ සතුටින් ඉන්න කියලා දෙන්නකෝ” ඇය බැගෑපත් වූවාය. ළඟම මිතුරියක් නිසා උපකාර නොකරත් බැරිය.
“ඔයාලගෙ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙනවද?”
“නෑ” (ලැජ්ජ නැතුව ‘නෑ’ කියන හැටි!)
“ඔයාලගෙ රටේ ඡන්දෙ ළඟද?”
“තව කල් තියෙනවා. ඡන්දෙයි සතුටයි අතර සම්බන්ධය මොකක්ද?” ඈට සතුට ගැන කිසිත් නොතේරෙයි.
“ලංකාවෙ නම් සතුට කියන්නෙ ඡන්දෙට. ඉක්මනට ඡන්දෙට දින දාගන්න. ඊට පස්සෙ මාස දෙකක් රට ලොක්ඩවුන් කරලා කෝවිඩ් පාලනය කරගන්න. ඊට පස්සේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දෙන්න. ඒකත් මදි නම් ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිටත් බලය ටිකක් දෙන්න. ඊටපස්සෙ මොන වසංගතය ආවත් ආණ්ඩුව සුරක්ෂිතයි. අපි එහෙමයි සතුටින් ඉන්නෙ” මම ඇයට පහදා දුනිමි.
“ඕගොල්ලොන්ට නම් ඉතිං දැන් හැම පැත්තෙන්ම හරි ගිහින්නෙ. හරීම දක්ෂ මිනිස්සු අනේ ඔයාලගෙ රටේ ඉන්නේ. කොහොමහරි හොරා වගේ ඉඳලා බාස් කෙනෙක් පැණියකුත් හොයාගත්තනෙ? ඔය පැණිය රට පටවලා තව ටික දවසකින් ඕගොල්ලොන්ගෙ රට යන තැන අපට නම් හිතාගන්නවත් බෑ” එවර නම් ඇය ඇසුවේ නෝන්ඩියටදැයි මම මඳක් විමසිලිමත් වීමි.
“ඔයාලා නොදන්නවට අපේ රට යන අත, අපි නම් දන්නවා හොඳ හැටි. ඔය පැණිය ගැන වැඩිය හිතන්න එපා. මිනිස්සු දුකට පත් වුණාම ඒ ගැන හිතලා අපේ ආණ්ඩු හැමදාම මිනිස්සුන්ගෙ හිත් හදන්න ඔය වගේ ගොඩ වෙදකම් කරනවා. වෙනදට නම් දෙන්නේ ගුලි. මේ පාර ගුලි දිය කරලා පැණි දීලා තියෙන්නෙ”
ඇය කොරියාව අත්හැර ලංකාවට පැමිණේවිදැයි මට සැකයක්ද මතුවිය. පිටරැට්ටන්ට වැටහුණත් නැතත් ලංකාව මෙන් ෆන් රටක් මෙදියත තවත් නැත.
පැණිය ගන්න වැල නොකැඩී කෑගලු ගිය ජන ගංගාව දුටු විට ඇතිවන සතුටටත් නිම්හිම් නැත. මෙවන් සොමි පොරවල් සිටින සොමි රටක ජීවත්වීමට වරම් ලැබීම සම්බන්ධයෙන්, කාට කාට ස්තුති කළ යුතුදැයි නොදන්නා දුක පමණක් ඉතිරී වී ඇත.
පැණිය ගන්න පොර කකා තටමන ජනගඟ දැක ‘ලංකාවේ මිනිසුන් %මෝඩ^ යැයි පණ්ඩිතයන් කියන කතා පදනම් විරහිතය. කෝවිඩ් යනු කුමක්දැයි ජනතාව නොදනිති. බෙහෙතක් යනු කුමක්දැයි ජනතාව නොදනිති. නොදන්නා කිසිම දෙයක වරද සමාජයේ නොවේ ය. මක්නිසාද යත් මෙතෙක් සමාජයෙන් කිසිදු මෝඩයෙක් වාර්තා වී නොමැති බැවිනි. දැනට වාර්තා වූ සියලුම මෝඩයන් නියෝජනය කරන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ පොකුරු හා ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන්ය.
සුරත් ද මැල්