මුහුදු හා නිෂ්පාදිත වැලි භාවිතයේ ප්‍රතිලාභ ජනතාවට කාවැද්දිය යුතුයි


ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වැලි රට තුළින්ම සපුරා ගැනීමේ අවදානමක් උද්ගතවී ඇති බවට භූ විද්‍යාඥයන් මේ වන විටත් රතු එළි දක්වා අවසන්ය. ඔවුන් අවධාරණයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව සිදුකර ඇති අවිධිමත් වැලි කැණීම් මීට ප්‍රධානතම හේතුව වී ඇති බවයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා සුදුසු වැලි විදේශීය රටවලින් ආනයනය කිරීමට අවධානය යොමුව තිබුණද, එය තවදුරටත් ප්‍රමාද කිරීමට කටයුතු යෙදී ඇත්තේ ආක්‍රමණශීලී ශාක හා සතුන් රට තුළට පැමිණීමේ අවදානම මූලික කර ගනිමිනි. ඒ එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමේ දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීම නිසාය. ඒ අනුව, ගංගා වැලි සඳහා විකල්ප භාවිතයන් කෙරෙහි අද සොබා බදාදා අවධානය යොමු කළෙමු. මේ ඒ සම්බන්ධයෙන් අද සාකච්ඡා සටහන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ තාක්ෂණික සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ එස්.ටී. කළුබණ්ඩාර මහතා සමගිනි.


වැලි නිෂ්පාදනය වීමේ විද්‍යාත්මක ක්‍රමවේදය මොකක්ද?

කිලෝමීටර 10ත් 30ත් අතර ගනකමින් යුත් පෘථිවි කබොලේ, වැඩි වශයෙන් අඩංගු වී ඇත්තේ සිලිකා අඩංගු ඛනිජයන්ගෙන් යුත් පාෂාණයන්. ඉංග්‍රීසියෙන් ක්වාර්ට්ස් වගේම සිංහලෙන් තිරිවානා කියලාත් ඊට කියනවා. පොළොව යට තිබෙන සිලිකා සහිත මැග්මා පොළොව මතුපිටට පැමිණ ලාවා ලෙස පිපිරී පොළොවේ මතුපිට තැන්පත් වීම මගින් කබොල නිර්මාණය වෙනවා. මෙය ඝනීභවනය වන විට විවිධ වර්ගයේ ඛනිජ සෑදෙනවා. ප්‍රධාන වශයෙන් ගතහොත් සිලිකා, ෆෙල්ස්ෆා, මයිකා යනාදී ඛනිජ බහුලව දැක්විය හැකියි. මේවා  පාෂාණ නිර්මාණක ඛනිජ ලෙස හැඳින්වෙනවා. ඒ අනුව පාෂාණයක් යනුවෙන් හැඳින්වෙන්නේ ඛනිජ එකකට වඩා වැඩි ගණනකින් බැඳුනු ස්කන්ධයක් සහිත වස්තුවක්. මේ පාෂාණ කාරක 02කින් ජීර්ණය  වීමට පටන් ගන්නවා.

1. භෞතික ජීර්ණය
2. රසායනික ජීර්ණය

දහවලදී රස්නය නිසා ප්‍රසාරණය වීමත්, රාත්‍රී කාලයේ සීතල නිසා සංකෝචනය වීමත් නිසා වසර මිලියන ගණනක් ගතවන විට පාෂාණ තෙරපීමට ලක්ව කැඩී යනවා.
ඒ වගේම වර්ෂාවේ රසායනික සංයුතිය නොඑසේනම් ආම්ලිකතාව නිසා ඛනිජවල ඇති බන්ධන ජීර්ණය වී මැටි හෝ තිරිවානා බවට පත් වෙනවා. තිරිවානා යනු ජීර්ණයට ඔරොත්තු දෙන ඛනිජයක්. එය ජීර්ණය වීමක් සිදුවෙන්නේ නෑ. ගැලවීයාමක් සිදුවෙනවා පමණයි.

වර්ෂාවේදී ඇළ, දොළ, ගංගා තුළින් තිරිවානා කැරකි කැරකී ගං පතුල දිගේ උඩ සිට පහළට ගමන් කිරීමක් සිදු වෙනවා. සාමාන්‍ය‘යෙන් ගං පතුලේ බෑවුම වැඩි තැන්වල හැපි හැපී පැමිණෙන මෙම ඛනිජය, ජලය සමග වේගයෙන් ගලා විත් වේගය අඩු තැනකදී තැන්පත් වීම සිදු වෙනවා. අපි වැලි ලෙස හඳුන්වන්නේ මේවායි.

ගඟක අවස්ථා 03ක් තිබෙනවා. එනම්,
1. උත්පත්ති අවස්ථාව
2. මැද අවස්ථාව
3. වයස අවස්ථාවයි.

බොහෝ දුරට උත්පත්ති අවස්ථාවේදී දියඇලි බිහි වෙනවා. එවැනි අවස්ථාවල වැලි තැන්පත් වීම ඉතා අවමයි. මැද අවස්ථාවේදීත් වැලි තැන්පත්වීම අවම නමුත් ඉතා කුඩා වැලි නිධි තිබිය හැකියි. නමුත් වයස අවස්ථාව හෙවත් මහලු අවධියේදී ගඟේ වේගය දස ගුණයකින් පමණ අඩු වෙනවා. ඒ අඩුවීම තුළ ජලය සමග රැගෙන ආ තිරිවානා ක්ෂණිකවම ගංගා පතුලේ තැන්පත් වෙනවා. තැන්පත් වුණාට ජලයේ වේගයේ වැඩිවීම හෝ අඩුවීම අනුව එකතැන රැඳෙන්නේ නෑ. කැට වශයෙන් රෝල් වෙවී ගමන් කරනවා.

ගංගාවක් සෑම තැනකදීම ඒකාකාරව ගලන්නේ නෑ. වේගය වැඩි තැන්වල තැන්පත් වූ දේවල් ඛාදනය වී වේගය අඩු තැන්වල තැන්පත් වෙනවා. ඒ නිසා තමයි අපි බොහෝ විට දකින්නේ වැලි තැන්පත්වීම ගඟ මැදට වඩා ගඟේ ඉවුරු දෙපස සිදුවීම. ගඟේ මැද සිට ඉවුර දෙසට අපි හරස්කඩක් ගතහොත් ගඟේ වේගය අඩුවීමක් දක්නට ලැබෙනවා. එයට හේතුව ගං පතුල ගඟ මැදදී විශාලවීම සහ ඉවුරු අසලදී පළල අඩුවීම. ඉවුරු අසලදී ගඟේ වේගය බිංදුවයි. මෙම වේගය අඩුවීම තුළ ඉවුරේ සිට ගඟ මැදට එනතුරු වැලි තැන්පත් වෙනවා. මේවා අද ඊයේ ජීර්ණය වූ වැලි නොවෙයි. ඇතැම් විට කිලෝමීටර් 200ක් 500ක් පමණ දුර සිට හෝ වසර මිලියන ගණනක් තිස්සේ පැමිණෙන වැලි විය හැකියි.

ගංගාවකට වැලි අවශ්‍ය ඇයි?

වැලි තැන්පත්වීමෙන් ඉවුර ආරක්ෂා වෙනවා. වැලිවලට පුළුවන් ජලයේ වේගය අඩාල කරන්න. නමුත් ඉවුරේ එක් පැත්තක වැලි වැඩි වශයෙන් තැන්පත්වීමෙන් අනෙක් ඉවුරේ වේගය වැඩි වෙනවා. එනම්, එක පැත්තක තැන්පත් වන වැලි නිසා ගඟේ මැද වේගය අනිත් පැත්තේ ඉවුරට කිට්ටු වෙනවා. එතනදී තමයි ගඟ දඟර ගැසීම ආරම්භ වන්නේ. මෙම තත්ත්වය බොහෝ සුන්දරත්වයක් ගෙන දුන්නත් වර්ෂා තත්ත්වයකදී ගඟ දෙගොඩ තලා යා හැකියි. ජලයේ වේගය අඩුවීම තුළ පතුලේ විශාල වශයෙන් වැලි තැන්පත් වෙනවා. ඊළඟ වර්ෂාවට ප්‍රථම ගඟේ වැලි ඉවත් කළ යුතුයි. 

වැලි නිධියක් යන්නෙන් අදහස් කෙරෙන්නේ මොකක්ද?

ගඟේ ජලය ගලායෑමේදී නැම්මක් වැනි භූ විෂමතා බාධක ඇති තත්ත්වයන්වලදී වේගය අඩු වෙනවා. එම අඩුවීම තුළ වැලි ඒකරාශිවීමක් සිදුවෙනවා. එය වැලි නිධියක් ලෙස දැක්විය හැකියි. ඇතැම් වැලි නිධි කැණීමකට ලක්කළ හැකි ඒවා වන නමුත් ඇතැම් ඒවා එසේ කළ නොහැකියි. ඒ අනුව, වැලි එක්රැස් වීම තුළින් පරිසර හානියක් සිදුවිය හැකි ස්ථාන තමයි වැලි නිධි ලෙස හඳුනා ගැනෙන්නේ.

වැලි කැණීමේ නියමිත ප්‍රමිතියක් තිබෙනවාද?

ඉස්සර වැලි ගොඩ දමනවා කියන්නේ ගඟ දෙපස ජීවත්වන මිනිස්සුන්ගේ කම්කරු රැකියාවක්. ඒ මිනිස්සු ගඟ මැදට ගිහිල්ලා රිටි ගහලා වැලිගොඩ දැමීම් සිදුකළා. නමුත් ආර්ථික රටාව තුළ ඉහළ ධන උල්පතක් බවට වැලි පත්වීමෙන් අද එය තරගයක් බවට පත්ව තිබෙනවා.

නිසි ක්‍රමවේදයෙන් තොරව වේගයෙන් හෝ නියමිත නොවන ස්ථානයන්ගෙන් වැලි කැණීමෙන් ගඟ හෑරීමකට පත්වෙනවා. වැලි කැණීම කියන ව්‍යාපාරය ගඟට හානිදායක දෙයක් බවට පත්ව තිබෙන්නේ මේ නිසායි. කැළණි ගඟේ පතුල අද වන විට වැලි ඇටයක්වත් නැති තරමට සූරා තිබෙනවා. නමුත් සමහර තැන්වල ඉතා හානිකර ලෙස වැලි නිධි තැන්පත් වෙලා තිබෙනවා. මේ නිසා එක් පැත්තක පමණක් වැලි තැන්පත් වී එසේ නොමැති නම් ගඟේ නැමීම් සිදු වන ස්ථානවලදී වැලි තැන්පත් වී අනෙක් ඉවුර ඛාදනය වීම ආරම්භ වෙනවා. 

ගඟ මැද සිට ඉවුර දෙසට අනිවාර්යයෙන් වැලි කැණීම් ආරම්භ කළ යුතුයි. මොකද ඉවුර හෑරුවොත් ජලයේ වේගය වැඩි වී ගලායාම තුළ ඛාදනය සිදු වී වැලි අනෙක් ඉවුරේ තැන්පත් වීමක් සිදු වෙනවා. මෙය තමයි නියමිත තාක්ෂණය. එලෙස ඉවුර දෙසට එන විට ඉවුරේ උත්ප්‍රේරණ කලාපයක් තිබිය යුතුයි. ගඟ මීටර 50ක් පළල නම් මීටර 20ක උත්ප්‍රේරණ කලාපයක් දෙපස ඇති කර එම කලාපය ඇතුළු නොවන ප්‍ර‘දේශයේ කැණීම් කළ යුතුයි. එවිට ඉවුර ආරක්ෂා වෙනවා.

ගඟ සිහින්ව තිබෙනවා කියන්නේ ගඟේ අයිතිය නැතිවී යෑමයි. ගඟේ අයිතිය නැති වුණාම අපි ගඟ ශුද්ධ කළ යුතුයි. නමුත් අපි සම්පූර්ණයෙන්ම ගං පතුල සීරීමකට ලක් කළොත් ගඟේ වේගය වැඩි වූ විට ජලය සමග ගලා එන වැලි නවත්වා ගැනීමට පතුලේ වැලි ඉතිරි වීමක් සිදුවන්නේ නෑ.

කැලණි ගඟට සිදුව තිබෙන්නේ මෙම තත්ත්වයයි. ගං පතුලේ වැලි සූරා තිබීමෙන් මුහුදට ගලා යෑමේදී මෝය කට අවහිර වෙනවා. ඒ නිසයි විශාල ජල ධාරාවකදී කැලණි ගඟේ වතුර ආපස්සට පැමිණ ගංවතුර අවස්ථා දෙකක් ඇති වුණේ. එනම් ගඟ විශාල වශයෙන් හෑරීමෙන් පතුල ගැඹුරු වෙනවා වගේම වැලිපර ඉවත්ව ගොස් මෝය කටේ තැන්පත් වෙනවා.

ලෝකයේ වැලි කැණීම් සිදු කරන්නේ යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින්. එලෙස යන්ත්‍ර සුත්‍ර භාවිත කරනවා නම් විශාල ගැඹුරක් ඇති ගංඟාවල තමයි සිදු කරන්නේ. එහිදී යන්ත්‍රානුසාරයෙන් වැලි ගලවා නැවකට තැන්පත් කර නැවෙන් ගොඩට පොම්ප කිරීමක් සිදුකරනවා.

ගඟේ ස්වාභාවික ගැඹුර පරීක්ෂා කිරීමෙන් වැලි තිබෙන ප්‍රමාණය ගණනය කර ඉන් 60෴ක පමණ ප්‍රමාණය ඉවත් කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදිය යුතුයි. වැලි නිධි සංක්‍රමණය වීමක් සිදු වෙනවා. එසේ වන්නේ ඇයි? වැලි කණින ස්ථානයේ ගැඹුරු වෙද්දී ගඟේ ඉහළ මානයේ තිබෙන වැලි නිධිය වර්ෂා කාලයකදී කඩාගෙන විත් ඒ ස්ථානයේ තැන්පත් වෙනවා. ඒ නිසායි කියන්නේ බලපත්‍ර ලබාදෙන විට පරතරයක් තබා දිය යුතුයි කියලා. එහිදී නිධි එකක් හැර එකක් තමයි ලබාදෙන්නේ. ගඟේ අයිතියත් රැකගෙන වැලි ව්‍යාපාරය සුනිත්‍රව කරගැනීමේ හැකියාව ඒ මගින් උදා වෙනවා.

මේ වනවිට වැලි කැණීම් නතර කර ඇති ගංගා මොනවාද?

කැලණි ගඟේ කොස්ගම, අවිස්සාවේල්ල සමීපයේ හැර කැණීම් සිදු කරන්නේ නෑ. වෝටර් බෝඩ් එකෙන් ජලය ලබාගන්නා ස්ථාන තිබෙන නිසාත්, ගඟේ වැලි නැති නිසාත් තාවකාලිකව කැලණි ගඟේ වැලිගොඩ දැමීම් නවත්වා තිබෙනවා. නමුත් සමහර ස්ථානවල අපි දැක්කා අනවශ්‍ය ලෙස වැලි තැන්පත්ව තිබෙනවා. එවැනි තැන්වල විද්‍යානුකූල දත්ත මත පදනම්ව ක්‍රමානුකූල වැලි ඉවත් කිරීමේ ක්‍රමවේදයකට යා යුතු වෙනවා.
කළු ගඟේ නාත්තුපාලම ප්‍රදේශයෙන් කිලෝ මීටරයක් පමණ ඉහළට වන තෙක් වැලි කැණීම් සපුරා නවත්වා තිබෙනවා. මා ඔයේ, දැදුරු ඔයේ වලවේ ගඟෙත් සම්පූර්ණයෙන්ම කැණීම් නවත්වා තිබෙනවා.
ප්‍රධාන ගංගා 5 ගත්තම මහවැලි ගඟේ පමණයි දැනට වැලි කැණීම සිදු කරන්නේ. මහියංගනයේ ඇතැම් ස්ථානවලත්, මනම්පිටිය ප්‍ර‘දේශයේ සහ අල්ලේ පාලම අසල විශාල වශයෙන් මහවැලි ගඟේ කැණීම් 
සිදු කරනු ලබනවා.

ගංගා වැලි වෙනුවට විකල්ප භාවිත පිළිබඳ ශ්‍රී ලංකාව තුළ අවධානය කොහොමද?

විකල්ප වැලි ලෙස මුහුදු වැලි ගත හැකියි. ප්‍රධාන කරුණ තමයි එහිදී යන්ත්‍ර සූත්‍ර විශාල වශයෙන් භාවිතා කළ යුතු වීම. වැලි උකහා ගෙන නැවත %බාජ්^ එකකින් පටවා ඒ මගින් ගොඩබිමට පොම්ප කළ යුතුයි. ඒ නිසා මුහුදු වැලි ව්‍යාපාරයට යටිතල පහසුකම් සමග විශාල ආයෝජනයක් අවශ්‍යයි.

අපි පාවිච්චි කරන සාමාන්‍ය සිමෙන්තිවලට මුහුදු වැලි ගැළපෙන්නේ නෑ. අඩුම තරමේ මුහුදු වැලි මාස 06ක කාලයක් හෝ ගොඩ ගසා අව්වෙන්, වැස්සෙන් සේදීමට තැබිය යුතුයි. එනම් ලවණතාව අඩුවිය යුතුයි. ඒ නිසා ඉදිරියේදී මුහුදු වැලි සෝදා ඉදිකිරීම් කර්මාන්තය සඳහා ගැනීමට අවශ්‍ය කරන මූලික අඩිතාලම මේ වන විට දමා තිබෙනවා.

අනෙක් ක්‍රමය තමයි ඉදිකිරීම් කර්මාන්තයේදී භාවිතා කරන කළුගල්වල ඇතැම් වර්ග තිබෙනවා ඉදිකිරීම් කර්මාන්තයට නුසුදුසු ඒවා. ඒවා සුදු පාටයි. එවැනි ගල් යන්ත්‍ර සූත්‍ර මගින් අඹරා කුඩු කර අපිට අවශ්‍ය ප්‍රමාණයේ කණිකා හෙවත් අංශුවලට සකසා ගතහැකියි. එතනදී යන්ත්‍ර සූත්‍රවල වැයවන කාලය හා සැකසීමේ හැඩතල වෙනස් කර එහි අංශු අපට පාලනය කළ හැකියි.

සාමාන්‍ය‘යෙන් මුහුදු වැලි, ගංඟා වැලි සහ නිෂ්පාදිත වැලි යන තුනම සැලකුවහොත් නිෂ්පාදිත වැලි අපේ රට තුළ ව්‍යාපෘති වශයෙන් මේ වන විට සැකසෙනවා. මෙහිදී ගංඟා වැලි භාවිතය අඩුවීම තුළ ගංඟාවලට ඇතිවිය හැකි ව්‍යවසනයන් අවම වනවා. මොකද පරිසර හානිය මුදලින් මැනිය නොහැකියි.

නමුත් ඉදිකිරීම් සඳහා මුහුදු වැලි යෝග්‍ය නොවන බවට  අපේ රටේ ජනතාව අතර විවිධ මත ගොඩ නැගී තිබෙනවා. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළොත් ? 

සුළු ඉදිකිරීම් සඳහා ගංගා වැලි තවමත් ලංකාව තුළ තිබෙනවා. නමුත් විශාල ඉදිකිරීම් සඳහා තමයි නැත්තේ. තවමත් වැලි ලබාදෙන්නේ සෝදා නෙවෙයිනේ. එය මිනිස්සුන්ට කා වැදී තිබෙන්නේ. ඒ නිසා සිප්පි කටු එක්ක තියෙන මුහුදු වැලි භාවිත කරන්න මිනිස්සුන්ට පුරුදු නෑ. විවිධ මතවලට හේතුව එයයි. හොඳම උදාහරණය තමයි, සිංගප්පූරුවේ ගංගාවල් නෑ. ඒ අය මුහුද ගොඩ කරන්න වගේම ඉදිකිරීම් සඳහාත් මුහුදු වැලි භාවිතා කරනවා. ඒවා ප්‍රමිතියට ඒ අය සිදු කර තිබෙනවා. ඒ නිසා මුහුදු වැලිවල ගැටලුවක් නෑ.

මුහුදු වැලි හා ගංගා වැලි අතර වෙනස මොකක්ද?

ගංගා වැලි කැටයක තිබෙනවා කෝණික හැඩයක්. නමුත් මුහුදු වැලි කැටය රවුම් හැඩයක් ගන්නේ. එයට හේතුව තමයි ගඟ දිගේ යෑමට හැකි උපරිම දුරට ගිහින් මුහුදු වැලි බවට පත් වීම. 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස විකල්ප වෙත ජනතාව නැඹුරු කරගැනීම සදහා ඔබේ යෝජනා මොනවාද?

පරිසර විනාශය දෙස බලන විට විද්‍යාඥයන් ලෙස ඒ පිළිබඳ වැඩි අවබෝධයක් ඇති වන්නේ අපිට. අපි දකින්නේ බොහෝ දුරට වාණිජමය පැත්තෙන් නොවෙයි, පරිසරය පැත්තෙන්. වාණිජමය පැත්තෙන් දකින කෙනාට මෙය ගැටලුවක් නොවෙයි. ගංඟා වැලි කැණීම අපි අවම කළ යුතුයි. පාලනය කිරීම තුළින් රට තුළ විකල්පයක් ඇතිවෙනවා. නමුත් විකල්පය කියු සැණින් මිනිස්සුන්ට එය වැටහෙන්නෙ නෑ. ඒ සම්බන්ධයෙන් ආදර්ශ ගොඩනැගිලි ස්ථාපිත කර වෙළෙඳ ප්‍රචාරණය වැනි දෑ සිදු කළ යුතුයි. එහිදී මෙය නිරන්තරයෙන් මිනිස්සුන්ට කා වැද්දවිය යුතුයි. 

බස්නාහිර පළාත තුළ විකල්ප වැලි සඳහා මේ වන විට මිනිසුන් නැඹුරුවී තිබෙනවා. නමුත් එය මන්දගාමී තත්ත්වයක තිබෙන්නේ. එය වේගවත් කළ යුතුයි. සම්මන්ත්‍රණ වැනි දේ තුළිනුත් විශේෂයෙන් මාධ්‍යය මගිනුත් දැනුවත් කිරීම් සිදුකළ යුතුයි. උදාහරණයක් ලෙස විද්‍යාඥයන් ලවා ඉදිරි වසර 05ක කාලයකට ඇස්තමේන්තු කර සිදුවිය හැකි පරිසර හානිය පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුයි. එහිදී විකල්ප සඳහා යොමු වීමෙන් මිනිසුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළ යුතුයි.

අනිත් කාරණය අපි හඳුන්වාදෙන දේ නිරන්තරයෙන් බ්‍රෑන්ඩ් කළ යුතුයි. එහෙම කළොත් තව වසරක් දෙකක් පමණ යනවිට වැරදි මතවලින් මිදිලා ලංකාවේ මිනිස්සු මුහුදු වැලි භාවිතයට පුරුදු වේවි. 



Recommended Articles