මුහුදු සීමා උල්ලංඝනය කළ මාස 11ක් බංග්ලාෙද්ශයේ සිරවී සිටින ශ්‍රී ලාංකීය ධීවරයන්ගේ කතාව


ඈත ක්ෂිතිජයෙන් ගලා එන සැඳෑ අඳුරත් උස්පහත් වෙමින් නැගෙන රළගෙඩි හඬ මැද ධීවර කාර්මිකයා අලුත් දිනයකට මුලපුරයි. ඉමක්කොනක් නොපෙනන මහසයුර සමග ඔට්ටු වෙමින්, ධීවර රක්ෂාවේ නිරත ධීවරයන්ගේ ජීවිතවල ඇතුළාන්තය එතරම් සුන්දර නැත. කොටින්ම කිවහොත් ධීවරයා මහමුහුද සමග හරිහරියට ඔට්ටු වෙමින් තම දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරත වෙයි. ධීවර කාර්මිකයෝ මහ මුහුදේදී නොයෙකුත් අනතුරුවලටද ලක්වෙති. එහෙත් අප මේ කියන්නට යන්නේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා දැනට මාස 11කට ආසන්න කාලයක් තිස්සේ බංග්ලාදේශය හිරවී සිටින ධීවර කාර්මිකයන් පිරිසක් ගැනය.

මෙකී ධීවර කාර්මිකයන් ජනවාරි මස 23වැනි දින අම්බලන්ගොඩ, ත්‍රිකුණාමලය හා බේරුවල යන වරායවලින් බුහුදින යාත්‍රා 04කින් රැකියාව සඳහා පිටත්ව යනු ලැබීය. අම්බලන්ගොඩ ධීවර වරායෙන් එක් බහුදින යාත්‍රාවක් පිටත්ව ගොස් තිබුණි. ත්‍රිකුණාමලය වරායෙන් බහුදින යාත්‍රා 02ක් පිටත්ව ගොස් තිබූ අතර, බේරුවල වරායෙන්ද එක් බහුදින යාත්‍රාවක් පිටත්ව යනු ලැබිණි. එක් බහුදින යාත්‍රාවක ධීවර කාර්මිකයන් 06දෙනා බැගින් මුහුදු රක්ෂාව සඳහා මහසයුර වෙත පිටත්ව යනු ලැබීය. බංග්ලාදේශ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා පෙබරවාරි මස 18වැනි දින මොවුන් බංග්ලාදේශ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 23වැනි දින ධීවර කාර්මිකයන් 24දෙනා එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කොට තිබේ. මාස හතක පමණ කාලයක් නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් මෙම ධීවරයන් පිරිසට බංග්ලාදේශයේ බන්ධනාගාරයක් තුළ ලැගීමට සිදුවූහ. මාස හතකින් පසු මෙවුන්ට ඇප ලැබී ඇති අතර, මේ වන තෙක් ධීවරයන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර නොමැති බවට ධීවරයන්ගේ පවුල්වල ඥාතීහු චෝදනා කරති. ධීවරයන් මෙරටට ගෙන්වා දීම අද නොවේ හෙට යන කියමනට අනුව එය බාලගිරිදෝෂයක් බවට පත්ව ඇති බව ධීවරයන්ගේ පවුල්වල ඥාතීහු පවසති.

මෙම ධීවර කාර්මිකයන් 24දෙනා අම්බලන්ගොඩ, තෙල්වත්ත, කහව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. බංග්ලාදේශයේ රඳවාගෙන සිටින මෙම ධීවර කාර්මිකයන් 24දෙනා මෙරටට ගෙන්වා දෙන ලෙස ධීවර කාර්මිකයන්ගේ අඹුදරුවන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, එය බීරි අලින්ට වීණා වැයීමක් බඳු කටයුත්තක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය නිසා මෙම ධීවර කාර්මිකයන්ගේ පවුල්වල අඹුදරුවෝ දැඩි අසරණත්වයට පත්ව සිටිති. තම සැමියා, දරුවා, ඥාතියා යළි නිවසට එන තෙක් ධීවරයන්ගේ පවුල්වල ඥාතීහු ඇඟිලි ගනිමින් බලා සිටිති. මෙකී ධීවරයන්ගේ බිරින්දෑවරු දුක වේදනාව හිතේ තද කරගෙන කඳුළු බොමින් ජීවත් වෙති. දරුවෝ තම පියා එනතෙක් දැස් දල්වාගෙන මහමුහුද දෙස බලා හුල්ලති.

තෙල්වත්ත, දළුවත්තමුල්ලේ පදිංචි ඩි.එච් දීපාල් නැමැති ධීවර කාර්මිකයාගේ බිරිඳ වන ඒ.ඩී දිලුලි මහත්මිය මෙසේ කීවාය.

"මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මහත්තයා සමග ධීවර කාර්මිකයන් 06දෙනෙකු මෙම වර්ෂයේ ජනවාරි මස 23වැනි දින වාසනා 03 බහුදින යාත්‍රාවෙන් මුහුදු රක්ෂාවේ ගියා. පෙබරවාරි 18වැනි දින කතා කරලා කීවා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා බංග්ලාදේශ නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන රැගෙන යනවා කියලා. ඊට පස්සේ මාස 05ක් යනකම් කිසිම තොරතුරක් අහන්න ලැබුණේ නැහැ. පස්සේ ධීවර බෝට්ටු 04 මුදලාලිලා බංග්ලාදේශයට ගිහින් මේ අය නිදහස් කරගත්තා. ඊට පස්සෙ තමයි කතා කළේ. අලුත් අවුරුද්දේ ජනවාරි මස 23වැනිදාට අවුරුද්දකුත් වෙනවා. ඒත් මේ අය ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ජනාධිපතිතුමාටත් කීවා. මේ පළාතේ ඇමතිවරුන්ටත් කීවා. ධීවර ඇමතිතුමාටත් කීවා. ඒත් උත්තරයක් නැහැ. අපි පදිංචිවෙලා ඉන්නේ බදු නිවසක. බදු කුලිය වසරකින් ගෙව්වෙ නැහැ. දැන් ඒ නිවසින් යන්න කියනවා. දරු දෙදෙනාත් සමග අපි අසරණ වෙලා ඉන්නේ. මෙම 24 දෙනා මෙරටට ගෙන්වා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

එල්. චරිත් ශෂින් දිල්ෂාන් වාසනා 03 බෝට්ටුවේ ස්කිපර්වරයාය. ඔහුගේ මව වන කේ.ඩී සුනීතා අපිට කීවේ මෙවැනි කතාවකි.

"බංග්ලාදේශයේ තානාපති කාර්යාලය මගින් ලබාදුන් නිවසක තමයි මෙම 24දෙනා ඉන්නේ. පුතා අපිට කතා කරනවා. කවදා ලංකාවට එවාවිද කියල දන්නෙ නැහැ කියලා තමයි පුතා කියන්නෙ. ඒ අය ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. අද එවනවා හෙට එවනවා කියලා කියනවා. පුතා එනකම් අපි ඇඟිලි ගනිමින් ඉන්නවා."

එස්.එච් නන්දනී (51) මහත්මිය සිය සැමියා වන එන්.එච් වජිර චින්තක කුමාර (53) එන තෙක් මග බලාගෙන සිටින්නීය.

"මහත්තයා දුරකථනයෙන් කතා කරනවා. එවන දිනයක් කියන්න බැහැ කියලා තමයි කියන්නේ. මානසික වශයෙන් මහත්තයා ඇතුළු මේ අය පීඩනයකට ලක්වෙලා ඉන්නේ. කටුනායකට ඇවිත් ඇමතුමක් දෙන්නම් කියලා තමයි මහත්තයා කියන්නේ. තානාපති කාර්යාලයෙන් කියන දේවල් පවා දැන් මහත්තයලා විශ්වාස කරන්නේ නැහැ."

කේ. සුජීවා මහත්මියද මුහුදු රක්ෂාවේ ගිය තම සැමියා වන ජනත් කළුගල යළි නිවසට එන තෙක් කඳුළු බොමින් සිටින්නීය.

"මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දරුවා විශ්වවිද්‍යාල සිසුවෙක්. අනික් පුතා උසස් පෙළ හදාරනවා. අපිට වෙනත් කිසිදු ආදායමක් නැහැ. මහත්තයා මුහුදු රක්ෂාවේ ගිහින් ඉපයූ ආදායමෙන් තමයි ජීවත් වුණේ නැහැ. දැන් කිසිම ආදායම් මාර්ගයක් නැති නිසා කොහු අඹරලා තමයි ජීවිතය ගැටගසා ගන්නේ. මහත්තයා ත්‍රිකුණාමල වරායෙන් තමයි මුහුදු ගියේ. නිතරම ඔහු කතා කරනවා. නමුත් එවන දවසක් ගැන කියන්නේ නැහැ. වෙනත් බෝට්ටුවක් තෙල් ඉවරවෙලා තිබිලා තියෙනවා. ඒ බෝට්ටුවට තෙල් දෙන්න ගිහින් බංග්ලාදේශ මුහුදු සීමාව පසු කළා කියලා තමයි මහත්තයලා අත්අඩංගුවට ගෙන තියෙන්නේ."

අම්බලන්ගොඩ පදිංචි ආශා තරංගනී මහත්මිය මෙසේ කීවාය.

"මගේ බෑණා ත්‍රිකුණාමල වරායෙන් මුහුදු ගියේ. බෑණට අවුරුද්දකුත් මාස 07ක දරුවෙක් ඉන්නවා. බෑණා මුහුදු රක්ෂාවේ යන විට දරුවාට මාස 07යි. දැන් අවුරුද්දක් වෙන්න යනවා. රජය මගින් ධීවරයන් 24 දෙනාම මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට්පත් සඳහා මුදල් ඒ රටට යවලා තියෙන්නේ. නමුත් බංග්ලාදේශයේ අඩුපාඩුවක් නිසා තමයි මේ අය මෙරටට එවීම ප්‍රමාද වෙලා කියල කියන්නේ. අපි යන්න ඕන හැමතැනටම ගියා. ධීවර ඇමතිතුමා හමුවෙලා දුක්ගැනවිලි ඉදිරිපත් කළා. ඇමතිතුමා කීවේ ධීවරයන් පිරිස ඉක්මන්ට මෙරටට ගෙන්වා දෙනවා කියලා. ඒත් තවම මෙරටට එවන පාටක් නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අය මෙරටට ඉක්මනින් ගෙන්වා දෙන්න කියලා."

දැනට බංග්ලාදේශයේ රඳවාගෙන සිටින චරිත් ශෂින් දිල්ෂාන් නැමැති ධීවර කාර්මිකයා වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අප සමග සම්බන්ධ වෙමින් මෙසේ කීවේය.

‍"බංග්ලාදේශ මුහුදු සීමාව උල්ලංඝනය කළා කියලා පෙබරවාරි මස 18වැනි දින අපි බංග්ලාදේශ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තා. 23වැනි දින බංග්ලාදේශයේ පොලීසියට භාරදුන්නා. එරට අධිකරණය වෙත ඉදිරිපත් කළා. 07-21වැනි දින මේ රටේ මහත්තයෙක් ඇප තියලා අපිව නිදහස් කරගත්තා. 24 දෙනාම එක නිවසක ඉන්නවා. බන්ධනාගාරයෙන් නිදහස් වෙලා දැනට මාස 05ක් වෙනවා. ඒත් අපිට තවම මෙරටට එන්න විදියක් නැතිවෙලා. බංග්ලාදේශ තානාපති කාර්යාලය මගින් එක එක කතා කියනවා. අද යවනවා, හෙට යවනවා කියලා කියනවා. අපි ගැන හොයන්න කවුරුවත් නැහැ. කෑම බීම ආහාර තානාපති කාර්යාලය මගින් ලබාදෙනවා. අපි ලංකාවට ගෙනැවිත් දෙන්න කියලා තමයි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ."

ටී. මංජුල ද සිල්වා දැනට බංග්ලාදේශයේ රඳවා සිටින ධීවර කාර්මිකයෙකි. ඔහු අප සමග වට්ස්ඇප් තාක්ෂණය සමග සම්බන්ධ වෙමින් මෙසේ කීවේය.

"අපි දැනට මාස 11ක් තිස්සේ බංග්ලාදේශයට වෙලා දුක්විඳිනවා. බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ඉන්න අපිව ගෙන්වා ගන්නෙ නැත්තෙ ඇයි? මට මීට මාසයකුත් දින 10කට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් කරලා කෝවිඩ් ආසාදනය වූ බව කීවා. නමුත් මට කිසිදු ලෙඩක් තිබුණෙ නැහැ. අඩුම තරමින් බලන්නවත් ආවෙ නැහැ. කිසිදු ප්‍රතිකාරයක් කළේ නැහැ. තානාපති කාර්යාලය මගින් කියනවා බදාදා ප්ලයිට් එකක් තියෙනවා, යවනවා කියලා. බදාදා දින කිහිපයක් ඔය කතාව කීවා. නමුත් බදාදා තියෙන ප්ලයිට් වලින් වෙන අය නම් ලංකාවට එවනවා. අපි රැගෙන එන්නේ නැහැ. මේ ගැන කියන්න අලුතෙන් ආපු තනාපතිතුමා හමුවෙන්න දෙන්නෙත් නැහැ. මුල් මාස කිහිපයේ  කැම බීම සඳහා යාළුවෝ, පවුලේ අය මුදල් එවලා තිබුණා. තානාපති කාර්යාලය මගින්ද හාල්, කෑමබීම ගෙනැවිත් දෙනවා. අපේ බෝට්ටු රාජසන්තක වුණා කියලා කියනවා. නමුත් අපේ බෝට්ටු අලුත්වැඩියා කරගෙන බංග්ලාදේශයේ ධීවරයන් රැකියාව කරනවා. අපිට බෝට්ටු වැඩක් නැහැ. අප අපේ රටට ගෙන්වා දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ."

ජිනේෂ් නානායක්කාර



Recommended Articles