මුහුද යට ඇත්තේ හරි අපූරු ලෝකයෙකි. එය රහස් සඟවාගෙන සිටින ගුහාවක් වැනිය. අපේ රට වටා ඇති මුහුදු තීරයේ තැනින් තැන නෞකා මෙන්ම කඩාවැටුණු ගුවන් යානාද ගිලී ඇත්තේය. විවිධ වර්ගයේ මත්ස්‍යයන් මෙකී ස්ථාන සිය වාසභූමි බවට පත්කරගෙන ඇති අතර, මුහුද යට ඇති සුන්දර ලෝකය දෙගුණ තෙගුණ වන්නේ ඒ නිසාය. එහි සුන්දරත්වයට වහවැටී මෙරටට පැමිණෙන විදේශීය කිමිදුම්කරුවෝ එම ස්ථානවල කිමිදෙමින් එහි සුන්දරත්වය විඳ ගනිති. එපමණක් නොව මෙකී ස්ථාන මත්ස්‍ය කලාප බවට පත්ව ඇත්තේය. එසේ වුවද අපේ රටේ වෙරළාසන්න මත්ස්‍ය සම්පත වඳවී යාමේ තර්ජනයකට ලක්වෙමින් පවතින අතර, මත්ස්‍යයන්ගේ වාසස්ථාන අහිමි වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. මෙම තත්ත්වය නිසා දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ සුළුපන්න ධීවර කාර්මිකයන්ය.
අප රටේ වෙරළාසන්න මත්ස්‍ය සම්පත සියයට 70ක් පමණ වඳවී ගොස් ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. මත්ස්‍යයන්ගේ වාසස්ථාන අහිමි වීමට ඇතැම් ධීවර කාර්මිකයන්ගේ ක්‍රියාකාරකමද බලාපා තිබේ. විශේෂයෙන්ම තහනම් පන්න ක්‍රම යොදාගෙන ඇතැම් ධීවර කාර්මිකයෝ මත්ස්‍ය අස්වැන්න නෙළා ගනිති. සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය ගහනය වැඩිකිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවට සඳහන්කොට තිබේ. එකී ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මත්ස්‍ය ගහනය වැඩි කිරීමේ අරමුණින් මත්ස්‍ය පැටවුන් සඳහා කෘත්‍රිම වාසස්ථාන මුහුදු පතුලේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක් ධීවර අමාත්‍යාංශය මගින් ආරම්භකොට තිබේ. මෙකී ව්‍යාපෘතිය ත්‍රිකුණාමලය මුහුදු තීරය තුළ මුලින්ම ආරම්භ කරනු ලැබීය. මත්ස්‍ය පැටවුන් බෝ වීම සඳහා කෘත්‍රිම වාසස්ථාන වශයෙන් මුහුදු පතුල තුළ තැන්පත් කිරීම සඳහා අබලන් බස් රථ, ධීවර බෝට්ටු හා දුම්රිය මැදිරි කොටස් යොදා ගනී. මේවා වෙරළාසන්න මුහුදු පතුලේ තැන්පත් කිරීම නිසා ඒ අවට ප්‍රදේශ ටික දිනකින් මත්ස්‍යයන්ගේ රජදහන් බවට පත්වේ.
මෙකී ව්‍යාපෘතිය මෙහෙයවීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ. ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙයි. අබලන් වූ පැරණි බස් රථ හා දුම්රිය මැදිරි කොටස් ධීවර දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මගින් මිලදී ගන්නා අතර, පුද්ගලයන් විසින් ලබාදෙන භාවිතයෙන් ඉවත් කළ මෝටර් රථ මෙකී ව්‍යාපෘතිය සඳහා භාවිත කිරීමට නියමිතව ඇත. මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වනු ලැබීය. එපමණක් නොව නාරා ආයතනයේ විද්‍යාඥයන් විසින් මෙකි කෘත්‍රිම වාසස්ථාන සඳහා අබලන් බස්රථ හා ධීවර බෝට්ටු ගිල්විය යුතු ස්ථාන පිළිබඳවද අධ්‍යයනයක් කරනු ලැබීය.
ඒ අනුව මෙකී ව්‍යාපෘතියේ පළමු අදියර ත්‍රිකුණාමල මුහුදු තීරය ආශ්‍රිතව ආරම්භ කළ අතර, දෙවැනි අදියර ආරම්භ කරනු ලැබුවේ දකුණු මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් ගාල්ල වරාය අවට මුහුදු තීරයෙනි. අබලන් බස් රථ හා ධීවර බෝට්ටු සයුර නෞකාවෙන් රැගෙන ගොස් ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් 08ක් පමණ දුරින් මුහුදු පතුලේ තැන්පත් කරනු ලැබීය. මෙකී ව්‍යාපෘතිය යටතේ අබලන් බස් රථ 25ක් හා බෝට්ටු 05ක් ගාල්ල ධීවර වරාය ආශ්‍රිත මුහුදු තිරයේ තැන්පත් කිරීමට නියමිතව ඇත. මෙකී ව්‍යාපෘතිය පිළිබඳ අපි අදාළ බලධාරීන් සමග කතාබහ කළෙමු. විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පැවසුවේ මෙවැනි කතාවකි.
&මෙය මත්ස්‍ය ගහණයට මෙන්ම කිමිදුම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් ඉවහල් වන ව්‍යාපෘතියක්. ඉදිරි මාස තුනක කාලය තුළ හම්බන්තොට, මාතර අවට මුහුදු ප්‍රදේශයේ මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පළමු අදියර ත්‍රිකුණාමලය අවට නැගෙනහිර මුහුදු සීමාවේ ස්ථාන 32ක සාර්ථකව ක්‍රියාත්මක කළා.*
සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ මත්ස්‍ය ගහණය වැඩි කිරීමේ අරමුණින් මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද කංචන විජේසේකර මහතා පැවසීය. අබලන් බස් රථ හා ධීවර බෝට්ටු මුහුදේ ගිල්වීම නිසා පාරිසරික වශයෙන් බලපෑමක් ඇතිවන්නේද යන්න පිළිබඳ අපී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතාගෙන්ද විමසීමක් කළෙමු.
"අබලන් බස් රථ හා බෝට්ටුවල එන්ජින් ඔයිල් කාන්දු විය හැකි ස්ථාන හැකිතාක් දුරට ඉවත්කරලා තමයි ඒවා මුහුදේ ගිල්වීමට කටයුතු කළේ. කෙටිකාලීනව පාරිසරික වශයෙන් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙකී ව්‍යාපෘතිය නිසා දිගුකාලීන වාසි වැඩියි. මහා පරිමාණ වශයෙන් පාරිසරික බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. ඉදිරියේදී විශ්වවිද්‍යාල සමග එකතුවෙලා මෙකී ස්ථානවල මාළු බෝ වීම පිළිබඳ අධ්‍යයනයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මාසයක් වගේ යන විට මෙකී ස්ථානවල ඇල්ගී තට්ටු තැන්පත් වෙලා මාළු පැටව් බෝ වෙන්න පටන් ගන්නවා. වැලිපර හා කොරල්පර නිර්මාණය වෙලා මාස 06ක් විතර යන විට මත්ස්‍යයන් පිරුණු කලාප බවට පත්වෙනවා. මෙය දිගුකාලීන ආයෝජනයක්. ධීවරයන්ගේ අනාගතයට වාසියක්. ඒ විතරක් නෙවෙයි ලංකාවේ තියෙන ඉවත් කළයුතු බහුදින ධීවර යාත්‍රා හා එක්දින යාත්‍රාවලට කුමක්ද කරන්නේ කියලා ප්‍රශ්නයක් තිබුණා. ඇතැම් ධීවර වරායන්වල අබලන් බෝට්ටු ගොඩගැසී තියෙනවා. ඒ නිසාම පාරිසරික වශයෙන් බලපෑමක් තිබුණා. ඒ ප්‍රශ්නයටත් මෙයින් විසඳුම් ලැබෙනවා." යැයි හෙතෙම සඳහන් කළේය.
නාරා ආයතනයේ සමුද්‍රජීව විද්‍යාඥ උපුල් ලියනගේ මහතා මෙසේ කීවේය.
"අපේ රටේ වෙරළසාන්න මත්ස්‍ය සම්පත සියයට 70ක් වඳ වෙලා තියෙනවා. මේ නිසා මාළු අස්වැන්න අඩු වීමෙන් වැඩි වශයෙන් ගැටලුවලට මුහුණ දෙන්නේ සුළුපන්න ධීවර කාර්මිකයන්. මෙකී ව්‍යාපෘතිය මගින් සුළුපන්න ධීවර කාර්මිකයන් ස්ථාවර කිරීම මෙන්ම පරිසර පද්ධතිය ස්ථාවර කිරීමත් එක් අරමුණක්. ලෝකයේ සෙසු රටවලත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනාවා. මීට පෙර අපේ රටේ උණ ගස් දමලා මත්ස්‍යයන් සඳහා කෘත්‍රිම වාසස්ථාන ආරම්භ කිරීමට කටයුතු කළා. නමුත් ඒවා ධීවරයන්ගේ දැල්වල පැටලීම නිසා ධිවරයන් ඒවා කපල දැම්මා. නාරා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පළමුව අබලන් බස් රථ හා ධීවර බෝට්ටු ගිල්විය යුතු ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් කළා. මුහුදේ ගැඹුර, පරිසරය හා මත්ස්‍ය ප්‍රභේද පිළිබඳ සොයා බැලුවා. දැනට වඳවීගෙන යාමේ තර්ජනයට ලක්ව ඇති පොකිරිස්සන් බෝවීම වැඩි වීමටත් මෙය බලපානවා."
ගත්කතුරයකු, පාරිසරිකවේදියෙකු මෙන්ම ප්‍රවීණ දේශකයෙකු වන ගාමිණී කුමාරවිතාන මහතා මෙකී ව්‍යාපෘතිය සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.
'ඇත්තටම අලුත් අලුත් දේවල් ක්‍රියාත්මක විය යුතුයි. නව ක්‍රමවේද ඔස්සේ ඉදිරියට යා යුතු වෙනවා. රට වටේ මුහුද තිබුණත් මුහුදු සම්පතින් අපි නිසි ලෙස ප්‍රයෝජන ගන්නෙ නැහැ. මුහුදු ආහාර නිෂ්පාදනය පිළිඳෙ අපි මීට වඩා අවධානයක් යොමුකළ යුතුයි. මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමේදී දකුණු ආසියාවේ රටවල සෘණාත්මකව, අසුබවාදීව දකින පිරිසක් ඉන්නවා. පාරිසරික වශයෙන් පොඩි පොඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. විද්‍යාත්මකව කරන ව්‍යාපෘතිවලද පාරිසරික වශයෙන් බලපෑම් ඇතිවෙලා තියෙනවා. නමුත් මෙය ඉතා වැදගත් ව්‍යාපෘතියක්. ප්‍රෝටින සහිත ආහාර නිෂ්පාදය කිරීමට ජපානය වගේ රටවල්ද ප්‍රමුඛතාවය දීලා තියෙනවා.'
ගාල්ල සහකාර ධීවර අධ්‍යක්ෂක ඩබ්ලිව්. මදුසංඛ මහතා මෙසේ කීවේය.
'අබලන් බස් රථ 30ක්, ධීවර යාත්‍රා 05ක් ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් 04ක් දුරින් මීටර් 20ක පමණ ගැඹුරු මුහුදේ තමයි මේ දිනවල ගිල්වමින් තියෙන්නේ. මෙය ධීවර දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක්. මේ නිසා මත්ස්‍යයන් බෝ වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙනවා. මත්ස්‍යයන් අභිජනනය කිරීම තමයි ප්‍රධාන අරමුණ. එමෙන්ම සංචාරක කර්මාන්තය සඳහාත් මෙකී ස්ථාන භාවිත කරන්න පුළුවන්. සංචාරකයන් මෙකී ස්ථාන සදහා ආකර්ෂණය වෙනවා. මේ නිසා සුළුපන්න ධීවර කාර්මිකයන්ටත් වාසියක් ඇතිවෙනවා."
ගාල්ල ධීවර වරායේ ධීවර කමිටුවේ සභාපති පී.බී. ගාමිණී මහතා මෙකී ව්‍යාපෘතිය පිළිබඳ අගය කරමින් මෙලෙස පැවසීය.
මේක ඉතා හොද ව්‍යාපෘතියක්. අපි කලින් ඉඳලම මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කළා. මත්ස්‍යයන් බෝ වීම වැඩි වීම නිසා සුළුපන්න ධීවර කාර්මිකයන්ගේ අතමිට සරු වෙනවා. මීට පෙර නාරා ආයතනය මගින් දිය මත පාවෙන පෑඩ් දැම්මා. එම ස්ථානවල මාළු හොඳට බෝ වුණා. මත්ස්‍යයන් එම ස්ථාන වාසස්ථාන බවට පත්කර ගත්තා. හරායට තමයි මාළු එන්නේ. ඒ කාලයට ජලය ඉතා පැහැදිලියි. මත්ස්‍යයන් ඇවිත් මෙම ස්ථාන වාසස්ථාන බවට පත්කර ගන්නවා. වාරකන් කාලයට මාළු එන්නෙ නැහැ. මේ නිසා මාදැල් කර්මාන්තකරුවන්ට මෙයින් කිසිදු බලපෑමක් නැහැ. ගැඹුරු මුහුදේ තමයි බස් රථ හා ධීවර බෝට්ටු ගිල්වලා තියෙන්නේ. ඒ නිසා දැල් පැටලෙන්නේ නැහැ. දිය මත දැල් එලා ධීවර කර්මාන්තයේ නිරත ධීවර කාර්මිකයන්ටත් මේ නිසා විශාල සෙතක් සැලසෙනවා."
කෙසේවුවද ඩයිනා වැනි තහනම් ආම්පන්න ක්‍රම යොදාගෙන මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීමට කටයුතු කළහොත් මුහුද යට ගිල්වා ඇති බස් රථ මෙන්ම මත්ස්‍ය වාසස්ථානද විනාශ වනු ඇත. ඒ නිසා මෙය රැකගැනීම ධීවර ප්‍රජාවගේද වගකීමකි.
ජිනේෂ් නානායක්කාර