මුල්ම කාලයේ බැලුවෙ මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්ද කියලයි. එය මේ වනවිට මේඩ් ඉන් ජැපෑන් දක්වා වෙනස් වුණා


ටොයොටා ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ඔහු, පෙරේදා (31දා) එම තනතුරට සමුදෙන්නේ වසර 18ක පමණ කාලයක් රථ වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් පසුකමිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ රාජ්‍ය පරිපාලන විද්‍යාව සම්බන්ධ විශේෂ උපාධිධාරියෙකු වන ඔහු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ දෙවැනි වසරේ සිටම පෞද්ගලික අංශයේ ආයතනයක සිය වෘත්තීය දිවිය අරඹයි. විදුලි සංදේශ ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වී එම ක්ෂේත්‍රයේ ආයතන දෙකක රාජකාරී කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ ඔහු, පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර පිවිසෙන්නේ බැංකු ක්ෂේත්‍රය වෙතය. ඒ සියලු ක්ෂේත්‍රයන් තුළ ඔහු විදහා පෑ අසමසම බව තුළ ඔහුගේ ගමනට අඩිතාලම වැටෙයි. කෙසේ වෙතත් එම පෞද්ගලික බැංකුවේ පැවැති අවාසනාවන්ත තත්ත්වයක් නිසා බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කලකිරුණු ඔහු, ඉන් අනතුරුව පිවිස තිබුණේ, මීට පෙර තමාට කිසිදු සබඳතාවක් නොතිබූ රථ වාහන ක්ෂේත්‍රය වෙතය. ඒ 2003 වසරේදී යුනයිටඩ් මෝටර්ස් සමාගමේ නුවරඑළිය ශාඛාවේ කළමනාකාරවරයා ලෙසිනි. 


ඔහු පවසන පරිදි යුනයිටඩ් මෝටර්ස් වෙත එනවිට ඔහුට රථ වාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පැවතියේ වාහනයක් ධාවනය කිරීමේ දැනුම පමණකි. &ඔයාට ඔරියන්ටේෂන් එකට ඉන්න බැරි වෙයි. අපි ඔයාව නුවරඑළියට තාවකාලිකව යවන්න තීරණය කළා.* නුවරඑළිය ශාඛාව ඉක්මනින් විවෘත කළ යුතුව තිබූ නිසා බඳවා ගත් අය අතරින් ඒ සඳහා වඩාත් සුදුසු පුද්ගලයා ලෙස ඔහුව යෝජනා කරමින් කළමනාකාරීත්වය පවසන විට, ඔහු එය නොබියව භාරගනී. &හෙට හවසට නුවරඑළියට යන්න ලෑස්ති වෙන්න.* අනතුරුව නුවරඑළියට යන ඔහු තම කළමනාකාරීත්වය යටතේ මාස තුනක් තුළ එම ශාඛාව විවෘත කිරීම සඳහා සිදුකළ සමස්ත ආයෝජනය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්නේ, අදාළ පරිශ්‍රය වෙනුවෙන් වසර තුනකට ගෙවා තිබූ බදු මුදලද සමගිනි. ඒ නිසා යුනයිටඩ් මෝටර්ස් ආයතනය තුළ ඉතා සුළු කාලයකින් ඔහු සුවිශේෂී පිළිගැනීමකට ලක්වෙයි. 
විවාහයෙන් පසුව තම දිවියේ කුලුඳුල් දරුවා බිරිඳට ලැබෙන්නට සිටියදී මාරුවීමක් ඉල්ලා සිටින ඔහුට රත්නපුරය ශාඛාවේ කළමනාකාරීත්වය හිමිවෙයි. එහිදීද විකුණුම් ඉහළ දමමින් මාස 10ක පමණ කාලයක් සමග වසර තුනහමාරකට අධික කාලයක් යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ සේවය කරන ඔහු, තම දිවියේ මීළඟ කඩඉම සඳහා සූදානම් වන්නේ ටොයොටා ලංකා සමාගමේ අමතර කොටස් අංශයේ සහකාර කළමනාකාරවරයෙකු වශයෙනි. මෙතෙක් කළමනාකරුවෙකු ලෙස සේවය කර, යළිත් සහකාර කළමනාකාර ධුරයක් තෝරාගන්නේ ඇයිද යන පැනය තිබුණත්, ටොයොටා සන්නාමය ලොව ප්‍රමුඛතම සන්නාමයක් නිසාත්, තමා කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසාත් එම ධුරය තෝරාගැනීමට ඔහු පසුබට නොවෙයි. 

එවකට ටොයොටා %ජෙනුයින්^ අමතර කොටස් ගැන කතා කිරීමේදී එක් පුද්ගලික ආයතනයක නමක් පමණක් ප්‍රකටව තිබූ යුගයක ටොයොටා ලංකා සමාගමේ සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය අරඹන ඔහුට, මාස හයක් ගතවන විට කළමනාකාර ධුරයට උසස් වීමක් ලැබෙන්නේ එහි ඔහු පෑ විශිෂ්ටත්වය නිසාය. අමතර කොටස් අංශයේ මාසික පිරිවැටුම රු.මිලියන 40 සිට 2016 අවසන් වනවිට රු.මිලියන 500 දක්වා වැඩිකිරීමට ඔහුගේ කළමනාකාරීත්වය යටතේ හැකියාව ලැබෙයි. ක්‍රමයෙන් ටොයොටා ලංකා ආයතනයේ කළමනාකාර ධුරයේ සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට උසස්වීම් ලබන ඔහු, 2017 වනතුර අමතර කොටස් අංශය භාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස උසස්වීම් ලැබුවේද එවකට ආයතනය තුළ සිදුකළ දැවැන්ත වෙනස්කම් හා කළමනාකරණ හැකියාවන් නිසාවෙනි.

අවසාන වශයෙන් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරීවරයෙකු වශයෙන් ටොයොටා ලංකා ආයතනයෙන් ඉවත්ව යනතුරුත්, එහි ශාඛා ජාලය ව්‍යාප්ත කිරීම දක්වාම ඔහු දක්වන්නේ මා හැඟි දායකත්වයකි. ප්‍රධාන ශාඛාවට අමතරව, පංචිකාවත්ත සහ නුවර අමතර කොටස් ශාඛා දෙකක් පමණක් එවකට තිබූ යුගයක රට පුරා ශාඛා 10ක් ආරම්භ කරන ටොයොටා ලංකා ආයතනය, අමතර කොටස් විකිණීමෙන් ඔබ්බට ගොස් වාහන විකිණීම සහ සේවා පහසුකම් ලබාදීම දක්වා ව්‍යාප්ත වන ගමන්මගෙහි ඔහුද ප්‍රමුඛ සාධකයකි. මෙම කාලය තුළ ටොයොටා ලිහිසි තෙල් නීත්‍යනුකූලව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පුරෝගාමී මෙහෙවරක යෙදෙන ඔහු, %පිරෙලි^ ටයර් මෙන්ම ටොයොටා %ජෙනුයින්^ බැටරි ශ්‍රී ලංකාවට හඳුන්වාදීමටද කටයුතු කරයි. අවිවාදයෙන්ම ලොව ප්‍රමුඛතම රථ වාහන නිෂ්පාදන සමාගමක් වන ටොයොටා ආයතනයෙන් තමා ලැබූ පන්නරය මෙන්ම, තමාව මෙවැනි තත්ත්වයකට ඔසවා තැබීමට ඉන් ලැබුණු ශක්තිය ඔහු අදද සිහිපත් කරන්නේ කෘතගුණ පූර්වකවය. බාධක, කම්කටොලු අභිභවා තම දිවියේ මංසලකුණු තුළ වත්මන් තාරුණ්‍යයට ආදර්ශයක් එක්කරමින්, සුවිශේෂී යුග මෙහෙවරක නිරත වූ ඒ වෘත්තිකයා ප්‍රියන්ත පෙරේරා මහතාය. වත්මන් ශ්‍රී ලාංකේය රථ වාහන වෙළෙඳ පොළ පිළිබඳවත්, අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ටත් වැදගත් වන ප්‍රශ්න කිහිපයක් හමුවේත්, ඔහු සිය අත්දැකීම් තුළ අද ව්‍යාපාරික පිටුව සමග කතාබහට එක්වූයේ මෙසේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන වාහන වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

අපේ වාහන වෙළෙඳ පොළ නිරන්තරයෙන් වෙනස් වනසුලු තත්ත්වයක්. බදු අනුපාත අනුව වාහන විකිණීම අඩු වැඩි වශයෙන් සිදුවීම මීට හේතුවයි. මෙරට වාහනවලට ලොකු බදු මුදලක් අය කරනවා. එතනදි සමහර ප්‍රතිපත්තිවල යම්කිසි අඩුවක් මා දකිනවා. මොකද අද ලෝකයම කතා කරන්නෙ පරිසර හිතකාමී වාහන ගැන. අවාසනාවකට වගේ අපේ රටේ හයිබ්‍රිඩ් වාහන සම්බන්ධයෙන් යම් කාලයක බදු අනුපාත අඩු මට්ටමක තිබුණත් මේ වනවිට අයකරන බදු අනුපාත ඉතාමත් ඉහළයි. අනෙක් පැත්තෙන් අපේ මාර්ග තදබදය ඉතාමත් වැඩියි. වාහන විශාල සංඛ්‍යාවක් තිබුණත්, මාර්ග ප්‍රමාණය සීමිතයි. අධිවේගී මාර්ග තිබුණත් තවමත් මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන් පුළුල් වෙලා නැහැ. අද වාහන තදබදය නිසා වාහනයක් පාරේ නතර කර තැබෙන කාලය ඉතා විශාලයි. ඉන් කාලය වගේම ඉන්ධනත් විශාල නාස්තියක් සිදුවෙනවා. 
වත්මන් රජයේ ප්‍රතිපත්ති අනුව රජයේ ආයතනවලට වාහන මිලදී ගැනීම තාවකාලිකව නතර කිරීමේ තීරණයක් ගෙන තිබෙනවා. අපේ කර්මාන්තය පැත්තෙන් කනගාටුවක් තිබුණත්, ශ්‍රී ලාංකිකයෙකු ලෙස මමත් ඒ තීරණයට සතුටුයි. මොකද අපිට රට අංක එක විය යුතුයි. රට හරියට තිබුණොත් කර්මාන්තයට හොඳ කාලයක් ඒවි. ඒ නිසා ක්ෂේත්‍රයේ සිටින ආයතනවලට දැනට තිබෙන වාහන සඳහා හොඳ අලෙවියෙන් පසු සේවයක් ලබාදෙමින් සිය ලාභය පවත්වාගෙන යෑමට අවස්ථාවක් තිබෙනවා. 

ඒ වගේම පවතින මාර්ග සමග වාහන ප්‍රමාණය සැසඳීමේදී මේ මොහොතේ යම් උපරිම තැනක් බව පැවසිය හැකියි. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපයේ වාහන ප්‍රමාණයේ යම් වැඩිවීමක් සිදුවුණත්, කර්මාන්තයක් ලෙස යම් කඩා වැටීමක් තිබෙනවා. ඉදිරි කාලයේදී මේ කර්මාන්තය නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වයෙන් මිදී ඉතා අඛණ්ඩ වර්ධනයක් ඇති හොඳ කර්මාන්තයක් බවට පත්වේවි කියන විශ්වාසයක් අපට තිබෙනවා.  

ලෝකය සමග සැසඳීමේදී අපේ වාහනවල මිල වැඩියි කියන කතාව ඇත්තක්ද?

ලෝකයේ සෙසු රටවල් සමග සැසඳීමේදී වාහන මිල වැඩිම රටේ අපේ රට නොවුණත්, වාහන බදු සම්බන්ධයෙන් අප විශාල මුදලක් ගෙවන බව සැබෑවක්. මොකද ඒ රටවල ජනතාවගේ ආදායම් තත්ත්වය සමග සැසඳීමේදී අපේ රටේ ආදායම් තත්ත්වයන්ගේ ලොකු අඩුවක් තිබෙනවා. ආදායම් විෂමතාව උපරිමයි. ඒ නිසා ලෝකයේ තිබෙන හොඳම වාහන ඕනෑම එකක් අඩු වැඩි වශයෙන් අපේ රටේ දකින්න පුළුවන්. එකම ප්‍රශ්නය නම් සාමාන්‍ය රැකියාවක් කරන, සාමාන්‍ය ආදායමක් ලබන කෙනෙකුට ගන්න තියෙන වාහනයක මිල ටිකක් අධික වීමයි. 

CIF අගයට වඩා එන්ජින් ධාරිතාව අනුව බදු අය කිරීමේ ක්‍රමවේදය හොඳයිද? 

ඔව්, එන්ජින් ධාරිතාව අනුව බදු අය කිරීමේ ක්‍රමයේ යම් හොඳක් තිබෙනවා. මොකද CIF අගය පදනම් කරගෙන බදු අය කරනවාට වඩා එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේදී පාරිභෝගිකයන් හැටියට යම්කිසි වරප්‍රසාදයක් හිමිවෙනවා. හේතුව CIF අගයට බදු අය කළොත් යුරෝපීය වාහනවල මිල බොහෝ සෙයින් ඉහළ යනවා. නමුත් එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේදී යුරෝපීය හෝ ජපාන හෝ ඉන්දීය හෝ චීන මේ සියල්ලගේම මිල ගණන් අතර පවතින අසමානතා බොහෝදුරට අඩු වෙනවා. එතනදි පාරිභෝගිකයන් ලෙස යුරෝපීය, ජපාන, ඉන්දීය හෝ චීන වාහනයක් තෝරාගැනීමට පහසුවක් සැලසෙනවා. 

අමාරුවේ නොවැටී තමන්ට ගැළපෙන හොඳ වාහනයක් තෝරා ගන්නේ කොහොමද?

ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් පසුගිය කාලවල තිබුණේ අපේ රටේ ආර්ථිකයේ පැවැති දුර්වලතා නිසයි. කෙසේ වෙතත් වාහනයක් මිලදී ගන්නවාත් සමග ඒ සමග බැඳුණු කරුණු කාරණා රැසක් ඇති බව පාරිභෝගිකයෙකු තේරුම්ගත යුතුයි. එතනදි තමන්ගේ මුදලට ගැළපෙන වාහනයක් තෝරාගැනීම වැදගත්. නමුත් අතේ ඇති මුදලට ගැළපෙන වාහනයක් තෝරාගත් පමණින් බාල වාහනයක් ගත්තොත් හැමදාම පාරෙ රස්තියාදු වෙන්න තමයි වෙන්නෙ. අඩු ගානකට අරගෙන නඩත්තුවට වැඩි මුදලක් වියදම් කරන්න සිදුවෙයි. වාහනයක් තෝරාගැනීමේදී පාරිභෝගිකයන් හොඳ කල්පනාවෙන් මෙය කළමනාකරණය කරගත යුතුයි. ඒ වගේම වාහනයේ සේවාවන්වල මිල ගණන් ගැන අවබෝධයක් තිබිය යුතුයි. වාහනය කොතරම් දුරට හොඳ තත්ත්වයෙන් පාවිච්චි කිරීමට හැකිදැයි කියා සොයාබැලිය යුතුයි. වගකීමේ සහතිකය ගැන සැලකිලිමත් විය යුතුයි. ඔබ අඩු මුදලකට බාල වාහනයක් ගත්තොත් එවැනි ඇතැම් රථවලට අමතර කොටස් අඩුයි. අද රටේ වාහනවලින් 29෴ 30෴ක් නිතර අනතුරුවලට ලක්වෙනවා. මේ නිසා ඔබ මිලදී ගත් වාහනයට නිසි අමතර කොටස් නොතිබුණොත් එයත් ඔබ අමාරුවේ වැටීමට හේතු විය හැකියි.

අපේ වාහනය ඉන්දියානු, ජපාන හෝ යුරෝපීය නිෂ්පාදනයක්ද කියන දේ වැදගත්ද?

අලුත් පරම්පරාව තුළ %බ්‍රෑන්ඩ් ලෝයල්ටි^ හෙවත් සන්නාම ලැදියාව කියන දේ ඉතා ශීඝ්‍රයෙන් ඉවත්ව යනවා. ඔවුන් බලන්නෙ ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීම විතරයි. මීට කාලයකට පෙර වාහනයක් මිලදී ගත් කෙනා එය බොහෝ කාලයක් පාවිච්චි කිරීම ගැන කල්පනා කළා. එය විකිණීමේ කල්පනාවක් පැවතුණේ නැහැ. අතිශයින්ම පරණ වාහන අපේ පාරවල්වල තවම දුවන්නෙ ඒකයි. අද තරුණ පරම්පරාව අවුරුදු දෙකෙන් තුනෙන් වාහන මාරු කරනවා. වාහනයක් අවුරුදු දෙකෙන් තුනෙන් ලෙඩ දෙන්නේ නැහැ. ඊට පසුව තමයි ප්‍රශ්න ආවොත් එන්නෙ. හැබැයි ඔබ ජපන් වාහනයක් ගත්තොත් බොහෝවිට ගත්ත ගානට වඩා වැඩි ගානකට විකුණා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එය ඇතැම් විට ඉන්දියානු හෝ යුරෝපීය වාහනයක නොතිබෙන්න පුළුවන්. 

කොහොම වුණත් ඉදිරි කාලයේදී වාහන නිතර මාරු කිරීමේ සංස්කෘතියක් ඇතිවෙමින් තිබෙන නිසා වාහන කර්මාන්තයේ තරගාකාරීත්වය වැඩිවේවි. මුල්ම කාලයේ බැලුවෙ %මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්^ද කියලයි. පසුව එය %මේඩ් ඉන් ජැපෑන්^ දක්වා වෙනස් වුණා. අද වනවිට ඉන්දියානු වාහනත් ඉතාමත් හොඳ තත්ත්වයකට පැමිණෙමින් තිබෙනවා. හැඩවල යම් යම් අඩුපාඩු තිබුණත්, ලෝක රූ රැජිනියන් බිහිකරන ඉන්දියාවට වාහනයේ පෙනුම ගැන ආකල්පයක් අනිවාර්යයෙන්ම ඇති කරගන්න පුළුවන්. ඒ වගේම වාහනයේ ගුණාත්මක බවත් වර්ධනය කර ගනීවි. චීනයේ වාහන ගත්තොත් ඔවුන් ඒ ඒ රටවලට නිෂ්පාදනය කිරීමේදී ගුණාත්මකභාවයේ වෙනසක් දකිනවා. පාරිභෝගිකයට හොඳ විශ්වාසක් තැබිය හැකි වාහනයක් වෙළෙඳ පොළට ආවොත් එහි නිෂ්පාදකයා ඉන්දියාවද, චීනයද, ජපානයද කියන දේ නොබලා වාහන මිලදී ගැනීමේ සංස්කෘතියක් බිහිවෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ප්‍රශ්න නැතිවේවි. මා මුලින් සඳහන් කළ පරිදිම %බ්‍රෑන්ඩ් ලෝයල්ටි^ සංකල්පයෙන් තරුණ පරපුර ඈත්වෙමින් තිබීම ඊට හේතුවයි.

පෙට්‍රල් වාහනයකට නොගොස් හයිබ්‍රිඩ් වාහනයක් තේරාගැනීමේ වාසියක් තිබෙනවාද?

මම කලින් පාවිච්චි කළේ හයිබ්‍රිඩ් වාහනයක්. ඉන් ඉවත් වෙලා මම පෙට්‍රල් වාහනයකට ගියා. හැබැයි හයිබ්‍රිඩ් වාහනයෙන් අපට කොච්චර ඉතිරියක් තියෙනවද කියන දේ මට හොඳට තේරෙනවා. මොකද අපේ වගේ රටක, විශේෂයෙන් කොළඹ ජීවත් වීමේදී මේ අධික වාහන තදබදය සමග ඉන්ධන අතිවිශාල වශයෙන් වැය වෙනවා. හයිබ්‍රිඩ් වාහනය හොඳට නඩත්තු කර ගත්තොත් අපිට ඒ වාහනය බොහෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නඩත්තුව බාල වුණොත් හයිබ්‍රිඩ් බැටරියේ ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් අද වනවිට හයිබ්‍රිඩ් බැටරිවල පවා මිල යම් පහළ යෑමක් දැකිය හැකියි. කොහොම වුණත් හයිබ්‍රිඩ් වාහනයක් මිලදී ගත් අයෙකුට ඉන්ධන ඉතිරියෙන් ලැබෙන ආදායම ඊට වඩා ගොඩක් වටිනවා. ඒ වගේම පරිසරයට බොහෝ හිතකරයි. ඒ නිසා හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන වැඩිපුර ප්‍රවර්ධනය කිරීම යෝග්‍ය බව මගේ අදහසයි.

ඉලෙක්ට්‍රික් වාහන ප්‍රවර්ධනය කරන්න කිව්වත් ඒ සඳහා ශ්‍රී ලංකාව සූදානම් කියා ඔබ සිතනවාද?

අපි ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කිරීමේදී යටිතල පහසුකම් සූදානම් කළ යුතුයි. එහෙම නොවුණොත් වාහනය පාවිච්චි කිරීමට හැකිවන්නේ එක් සීමාවක පමණයි. ඉදිරියේදී රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි කියා මා සිතනවා. ශ්‍රී ලංකාව පුරා %චාජින් සෙන්ටර්ස්^ ඇති කළ යුතුයි. ෆුවල් සෙල් තාක්ෂණය ටොයෝටා හඳුන්වා දී තිබෙනවා. ඒවා අපේ රටට හඳුන්වාදීමට තව කාලයක් යයි. ඊට යොදන ඉන්ධන හල් ඇති කරන්න වෙයි. ඒ වගේම ඉලෙක්ට්‍රික් කාර්වලත් යටිතල පහසුකම් වර්ධනය නොකර අපි කොච්චර බදු සහන ලබාදුන්නත් තේරුමක් වන්නේ නැහැ.

මෙරට අමතර කොටස් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් සමග අදහස් පළ කළොත්?

අමතර කොටස් කියන්නේ බොහොම ලාභ අධික ව්‍යාපාරයක්. අද තත්ත්වය අනුව දැඩි තරගකාරීත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම ජෙනුයින් අමතර කොටස් අද තියෙන්නෙ, වාහන ගෙන්වන නියෝජිතයන් ළඟ පමණක් නොවෙයි. ඉන් පිටත වෙළෙඳ පොළේ වුණත් ජෙනුයින් අමතර කොටස් සොයාගැනීමට පුළුවන්. මේ තුළ යම් ආපදාවක් මා දකිනවා. එකක් රජයට යම් බදු ආදායමක් අහිමි වෙනවා. මොකද මේ අදාළ ඒජන්තවරයාට අමතරව සිදුකරන ආනයන නියමිත බදු ගෙවීමකින් තොරව සිදුවන දේ විය හැකියි. එතනදි අදාළ ඒජන්තවරයාට අසාධාරණයක් සිදුවෙනවා. නමුත් පාරිභෝගිකයාට මේ කාරණා අදාළ වන්නේ නැහැ. ඔහුට %ජෙනුයින්^ අමතර කොටස අඩු මිලකට ලබාගැනීමට අවස්ථාව තිබෙනවා නම් ඔහු ඒ වෙත යොමුවෙනවා. 

අමතර කොටස් මිලදී ගැනීමේදී පාරිභෝගිකයා %ජෙනුයින්^ අමතර කොටසකටම යා යුතුද?

අමතර කොටස් ගැන කතා කිරීමේදී %ජෙනුයින්^ සහ %OEM^ (Original Equipment Manufacturer) අමතර කොටස් තිබෙනවා. මේ %OEM^ කියන කෙනා තමයි, %ජෙනුයින්% අමතර කොටස හදන්නෙත්. යම් මෝටර් රථ නිෂ්පාදන සමාගමකින් යම් අමතර කොටසක් නියමිත තත්ත්වයට නිෂ්පාදනය කර ලබාදෙන ලෙස ඉල්ලා සිටියදී, %OEM^ සමාගම එය නිෂ්පාදනය කරනවා. ඒ සමගම ඔවුන් පිටත වෙළෙඳ පොළටත් ඒ අමතර කොටසම අදාළ ගුණත්වයෙන් හෝ ඊට වඩා අඩු ගුණත්වයකින් නිකුත් කරනවා. 

කොහොම වුණත් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් ගත්තොත් අලුත් වාහනයකට ජෙනුයින් අමතර කොටසක් නොයෙදීම අපරාධයක් ලෙසයි, මා දකින්නෙ. නමුත් ගොඩාක් පරණ වාහනයක් නම් %ජෙනුයින්^ එකක් දැමීම ගැන බොහෝ හිතනවා. මොකද ඒ වාහනය පාවිච්චි කරන පුද්ගලයා අඩුආදායම් ලාභියෙක් වෙන්න පුළුවන්. එතකොට වෙළෙඳ පොළේ තියෙන තමන්ට දැරීමට පුළුවන් එකක් තමයි ඔහු යොදන්නේ. නමුත් %ජෙනුයින්^ හෝ %OEM^ අමතර කොටසක් දාගන්න පුළුවන් නම් අපිට වාහනයේ තියෙන ප්‍රශනය හරියටම විසඳා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට %ඔයිල් ෆිල්ටර්^ එකක් දාන එකේ අවශ්‍යතාව අපි හරියට දැනගන්නෙ නැතිව අඩු මුදලට වෙළෙඳ පොළේ තියෙන %ෆිල්ටර්^ එකක් දැම්මොත් යම් කාලයක් යද්දි එන්ජිමට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. 

වාහනයක් ඒජන්ත ආයතනයකින් තොරව පෞද්ගලිකව ආනයනය කිරීම වාසියක්ද?

පෞද්ගලිකව ආනයනය කිරීමේදී මූල්‍ය වශයෙන් ලාභයක් තියෙන්න පුළුවන්. නමුත් වාහනය සඳහා වූ වගකීම අපි කොහෙන්ද ගන්නෙ? වාහනයේ ප්‍රශ්නයක් ඇති නොවුණොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් යම්කිසි ප්‍රශ්නයක් ආවොත් කවුද ඒ වගකීම දරන්නෙ? ඒජන්තවරයෙකුගෙන් වාහනයක් මිලදී ගැනීමේදී අනිවාර්ය වගකීමක් ලැබෙනවා වගේම වාහනයට අවශ්‍ය අමතර කොටස් හා නඩත්තු සේවා සඳහා අදාළ නියෝජිත ආයතනය බැඳී සිටිනවා. ඒ නිසා යම් මුදලක් වැඩි වෙන්න පුළුවන්. දැන් ඇතැම් දෙනා පෞද්ගලිකව තමන්ගේ හැකියාවන් සමග වාහනයක් ආනයනය කිරීමට පෙලඹෙන්න පුළුවන්. එහි වරදක් දකින්න බැහැ. ඒජන්ත ආයතන විදියට අප විකුණන වාහන ප්‍රමාණයට වඩා දහ පහළොස් ගුණයක් එළියෙ වෙළෙඳපොළේ වාහන විකුණනවා. නමුත් වගකීමක් සහිතව වාහනයක් මිලදී ගැනීම වැදගත්.

ශ්‍රී ලංකාව හෝ මේ කලාපය වෙනුවෙන් නිෂ්පාදනය කළ වාහනයක්ම තෝරාගත යුතුද?

අද වනවිට මේ කාරණය එතරම් වලංගු වන්නේ නැහැ. මොකද අපේ රටේ මාර්ග පද්ධතිය හොඳ තත්ත්වයක තිබෙනවා. මීට අවුරුදු 15 - 20කට කලින් තත්ත්වයට වඩා බොහෝ හොඳයි. සාපේක්ෂව හොඳ ඉන්ධන තිබෙනවා. බොහෝ මාර්ග කාපට් මාර්ග. නමුත් ඇතැම් සීත රටවලදී වාහනවල භාවිත වන සමහර රබර් කොටස් සමකය ආසන්න උෂ්ණත්වය අධික රටවලදී එහි ක්‍රියාකාරීත්වයන්ගේ අඩුවක් පෙන්වන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට අද වාහන නිෂ්පාදනයේදී ගෝලීය තත්ත්වයන්ට අනුව තමයි වාහනයක් නිෂ්පාදනය වන්නේ.

ඇතැම් දෙනා මිලදී ගත් වාහනයට පමණට වඩා ආදරය කිරීමත් ගැටලුවක් නොවෙයිද?

ඔව්, සමහර දේවල් අපරාද දේවල්. වාහනයක් ගත්තාම සීට් කවර දානවා. අපට ජීවිතයේ කෙටි කාලයයි තියෙන්නෙ. ඊළඟ මොහොතේ සිදුවන දේ අපි දන්නේ නැහැ. වාහනයක් ආදරයෙන් පාවිච්චි නොකළ යුතුයි කියා මා කියන්නේ නැහැ. මොකද අපේ ජීවිතය ඒ වාහනය සමග බැඳී තිබෙනවා. එහි නඩත්තු කටයුතු නිසියාකාරව කළ යුතුයි. නමුත් පාරිභෝගිකයෙකු ලෙස එහි තිබෙන දේවල් විඳින එක හරිම වැදගත්. ඒ රථය පැදවීමෙන් ලබන ආස්වාදය අපි විඳිය යුතුයි. අපි ඔරිජිනල් සීට් වෙනස් කළොත් අපිට ඉන් ගන්න තියෙන සතුට ගන්න බැහැ. ඒ නිසා තමන් මිලදී ගත් වාහනය ධාවනයේදී එය විඳින්න ඔබ සූදානම් විය යුතුයි.

වාහනයක් මිලදී ගැනීමට සිටින පාරිභෝගිකයන්ට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මොනවාද?

වාහනයක් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම එහි විශ්වසනීයත්වය තමයි වැදගත්. අද අධික වාහන තදබදයක් තියෙන කාලයක්. හොඳට තිරිංග ක්‍රියාත්මක විය යුතුයි. අපට විශ්වාස කරන්න පුළුවන් වාහනයක් අප මිලදී ගත යුතුයි. අඩුම ගාණකට ගන්නවටත් වඩා, වැඩිම ගාණකට ගන්නවාටත් වඩා, විශ්වාස කරන්න පුළුවන් තැනකින් වාහනය අරගෙන, පාරේ ගමන් කරන අය වගේම පදවන්නා සහ මගීන්වත් ආරක්ෂා කරගෙන, තමන්ගේ අතේ තියෙන මුදලට සරිලන විදියට, හොඳ වාහනයක් තෝරාගැනීම වැදගත්. 

ඇතැම් දෙනා වාහන තෝරගැනීමේදී හරියට කලබලයි. එහෙම කලබලයෙන් කිසිදෙයක් තෝරාගැනීම නොකළ යුතු බව මගේ විශ්වාසයයි. ටිකක් වටපිටාව ගැන සොයාබලා තෝරාගැනීම් කළ යුතුයි. අද පිටත වෙළෙඳ පොළේ පාරිභෝගිකයන් රවටන අවස්ථා බොහෝමයි. විදෙස් රටවලදී අනතුරට ලක්වූ වාහන ලස්සනට අලුත්වැඩියා කරලා විකුණනවා. නමුත් නිසි ප්‍රමිතියකට ඒ අලුත්වැඩියාව සිදුකර නොතිබිය හැකියි. මේ නිසා ඔබ මිලදී ගන්නා වාහනය අදාළ ඒජන්තවරයා වෙත ගොස් පරීක්ෂාවක් කර මිලදී ගැනීම වඩාත් යෝග්‍යයි. පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේදීත් ඔබට එසේ කළ හැකියි. මගේ උපදේශය වන්නේ ආවට ගියාට වාහනයක් මිලදී ගැනීම සුදුසු නැහැ. ඔබ හොඳ අවධානයකින්, කලබලයකින් තොරව ඔබේ තෝරාගැනීම කළ යුතුයි.

රථ වාහන ක්ෂේත්‍රයේ ඔබ ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් දිගු ගමන් යෑමේ රහස කුමක්ද?

පළමු වැනි දේ මගේ හොඳ අධිෂ්ඨානයක් තිබුණා. මගේ ජීවිතයේදී මම ටිකක් අමාරුවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. මගේ මුල මම කොයි වෙලාවෙවත් අමතක කළේ නැහැ. මගේ අම්මා, තාත්තා අමතක කරලා නැහැ. මට උදව් කරපු කිසිම කෙනෙක් අමතක කරලා නැහැ. මගේ අධිෂ්ඨානය වගේම, මම මගේ රාජකාරිය වෙනුවෙන් දැඩි කැප කිරීමක් කරනවා. ඒ නිසාම තමයි, ඉතාම කෙටි කාලයකින් අතිවිශාල ඉලක්ක කරා යන්න පුළුවන්කමක් ලැබුණේ සහ ඒ කණ්ඩායමත් මට මෙහෙයවා ගැනීමට පුළුවන් වුණේ. මම ඒ හැම වෙලාවකදිම කල්පනා කළේ මම සතුටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. මගේ සතුට දිගින් දිගට තියාගන්න නම්, මා සමග වැඩකරන අන් අයගේ සතුටත් තියෙන්න ඕනෙ කියන දේ මා විශ්වාස කළා. ඔවුන් සතුටින් හිටියොත් තමයි, මගේ සතුටත් පවත්වා ගන්න පුළුවන්. අපි කියනව %Win - Win -  Win - Win^ තත්ත්වයක් කියලා. 

එහි පළමු වැන්න නම් අප සම්බන්ධ ව්‍යාපාරයට ආයෝජනය කර ඇති කෙනාට සාධාරණයක් කරන්න ඕනේ. මන්දයත් ඕනෑම පෞද්ගලික ආයතනයක් ලාභ අපේක්ෂාවෙන් තමයි වැඩ කරන්නේ. ඉතිං ඒ ලාභය උපයා දීමට අප වෙහෙසිය යුතුයි. දෙවැනි කාරණය පාරිභෝගිකයන්ටත් ඔවුන් වියදම් කරන මුදලට සරිලන සේවාවක් අප ලබාදිය යුතුයි. ඊළඟ දේ සේවකයන්ටත් අප හොඳින් සැලකිය යුතුයි, ඔවුන් සතුටින් සිටිය යුතුයි. සාමාන්‍යයෙන් ගනුදෙනුකරු මුලින්ම හඳුනා ගැනීම කරන්නේ සන්නම් නාමය තුළිනුයි. කෙසේ වෙතත් ඔවුන් අතර තියෙන සම්බන්ධතාව ඉන් ඔබ්බට පවත්වාගෙන යන්නෙ ඒ වෙළෙඳ නාමය නිසා නෙමෙයි. ඒ අදාළ පුද්ගලයා (සේවකයා) නිසයි. ඔහු තමයි ඊළඟට ඒ පාරිභෝගිකයාගේ ගමන තීරණය කරන්නේ. මොකක්ද ගන්නේ?, මොකක්ද කරන්නේ? කියල තීරණය කරන්නෙ ඔහුයි. ඒ විශ්වාසය ගොඩනගා ගන්නේ ඔහුයි. ඒ විශ්වාසය ගොඩනගා ගන්න නම් අපි ඒ සේවකයට හොඳට සලකල තියෙන්න ඕනෙ. එහෙම වුණොත් සේවකයා කවදාවත් ආයතනයට වරදක් වෙන්න දෙන්නේ නැහැ. ඔහු තමන්ට පැවරී ඇති කාර්යය රාජකාරී මට්ටමෙන් එහාට ගිහිල්ල දෙයක් ලබාදෙන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. 

අවසන් කාරණය තමයි, අපට සමාජ වගකීම් කියා දෙයකුත් තිබෙනවා. අපි සමාජයටත් යම්කිසි සේවයක් කරමින් තමයි, ගමන් කළ යුත්තේ. අප ආයතනයක් ලෙස කටයුතු කරන්නේ මේ රට තුළයි. ඒ නිසා මේ රටේ අභිවෘද්ධියටත් යම්කිසි දෙයක් කිරීමට අපට යුතුකමක් තිබෙනවා. ඒ වගේම උදව්වක් අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ඉන්න පුළුවන්. උදාහරණයක් ලෙස පසුගිය දිනවල ගංවතුර තත්ත්වයක් තිබුණා. ඒ ගැන අප කටයුතු කළ යුතුයි. මේ සියල්ල නිවැරදි මාර්ගයක ගමන් කළොත් තමයි, අපේ රට ඉස්සරහට යන්නේ. රට ඉස්සරහට ගියොත් තමයි, අපේ ආයතන ඉස්සරහට යන්නේ. අපේ ආයතන ඉස්සරහට යද්දි අපේ සේවකයන් ඉස්සරහට යනවා. මෙහි ප්‍රතිඵලය යළිත් අපේ සමාජයට ලැබෙනවා.

වෘත්තීය දිවියේ තවත් සාර්ථක කඩඉමක් පසුකරන ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

රට වෙනුවෙන් සේවයක් කරන්න මම බොහොම බලාපොරොත්තුවෙන් සහ කැමැත්තෙන් සිටිනවා. මම නොමිලේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මගේ ශාස්ත්‍රපති උපාධිය විතරයි මම ඇත්තටම සල්ලි ගෙවල ඉගෙන ගත්තේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා අවුරුදු ගාණකට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නවා. එසේ මා නොමිලේ ලැබූ අධ්‍යාපනයට කෘතගුණ සැලකීමක් ලෙස රටට සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහාත් සහභාගි වන අතරතුර, පෞද්ගලික අංශයේ වෘත්තිකයෙකු ලෙස ඉදිරියටත් නියැළීමට මා බලාපොරොත්තු වෙනවා. එහිදී රටටත් හොඳ සේවයක් කිරීමට, රටේ සංවර්ධන අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී වීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. 

රටක් ලෙස ඉදිරියට යෑමේදී රටේ තරුණ පරම්පරාවටත් ඔබට පැවසීමට යමක් ඇති?

අපේ රට හදන වැඩපිළිවෙළේදී විශේෂයෙන්ම තරුණ පරපුරෙන් ඉල්ලීමක් කළ යුතුයි. මොකද අපි විවිධ මතිමතාන්තරවල ඉඳගෙන සටන් වැදුණා දැන් හොඳටම ඇති. විවිධ කණ්ඩායම්වල අතකොළු බවට පත්වුණා ඇති. දැන් අපි රටට වැඩකරන්න පටන්ගමු. පළමු දේ තමයි අපි කරන වැඩේ හරියට කරමු. එතනදි අපි ඉන්නෙ පෞද්ගලික අංශයේද, රාජ්‍ය අංශයේද කියන දේ නෙමෙයි වැදගත්. කරන දේ හරියට කිරීමයි. ඒ වගේම අපිට යම් ප්‍රශ්නයකදී හිත රිදෙන ආකාරයකටම තව කෙනෙකුට එවැනි ප්‍රශ්නයකදී හිත රිදෙනවා කියන දේ අපි තේරුම් ගනිමු. මේ අවබෝධය තිබුණොත් අප වැරදි දෙයක් කිරීමට පෙලඹෙන්නේ නැහැ. මම මේ තරුණ කණ්ඩායම්වලින් ඉල්ලන්නෙ, අතිශයින්ම කැපවීමෙන් වැඩ කරන්න. රට ගැන හිතලා වැඩ කරන්න. පරිසරයට හානියක් නොකර පුළුවන් තරම් ගස් හිටුවන්න. ප්ලාස්ටික් පරිහරණයෙන් ඉවත් වෙන්න. ඒ සියලු කාර්යයන් තුළින් මේ රට හොඳ රටක් බවට පත්කර ගැනීමට, හොඳ මානසිකත්වයක් තියෙන පරපුරක් හදාගැනීමට අපට පුළුවන් වේවි. ඒ වෙනුවෙන් හැමෝම කැපවෙන්න.



Recommended Articles