මුඩු බ්ම ගොවි බ්මක් කළ අඹ ගොවියා


රජයේ රැකියාව අතහැර ගොවිකම සැපතකැයි සිතා මුඩු බිමක් ගොවි බිමක් කළ පුද්ගලයෙකු අපට පසුගියදා හමුවිය. මැදවච්චිය නගරයට වම්පසින් පිහිටි “කෝනකුඹුක්ගොල්ලෑව” ගම් මායිමේ මෙම වගා බිම පිහිටා ඇති අතර, ඉන් ඔබ්බට අලි සරණ මහ වනය මායිම් වී තිබේ. ඔහු නමින් ලියන්වත්තගේ වසන්ත සමන් කුමාර සිරිවර්ධනය. වන සතුන් ගැවසීගත් මේ බිම සරු ගොවි බිමක් කොට ඇත්තේ ඔහු විසිනි. කලක් යුද හමුදා සේවයේ නිරතව සිට පසුව රාජ්‍ය කළමනාකරණ සේවයේ විසි වසරක් ගෙවා දමා ඇති සමන් ඉන් අතරමග ඉවත්ව ඇත්තේ මේ මහ පොළොව කෙරෙහි වූ අපිරිමිත විශ්වාසයෙනි. ඔහු අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසීය


“මෙතැන ගොවිපොළ සම්පූර්ණයෙන් අක්කර තිස්පහක් විතර තියෙනවා. මං මේ ඉඩමේ ගොවිතැන් කරන්නේ වාර්ෂික බදු පදනමට. මෙතැන වැඩිම ඉඩක තියෙන්නේ අඹ වගාව. අඹ අක්කර පහළොවක් තියෙනවා. දැන් අස්වැන්න ගන්නවා. කජු අක්කර දහයක හදලා තියෙනවා. දැන් මල්. කටු අනෝද අක්කර එකහමාරක හැදුවා. තව මාස කිහිපෙකින් අස්වැන්න ගන්ඩ පුළුවන්.  අක්කර භාගෙක පේර හදලා තියෙනවා. වැවේ වතුරෙන් කුඹුරු අක්කර තුනක වී වැපුරුවා. තව ඉතින් බෙලි ගස් 200ක්, දෙලුම් ගස් පහනක් විතර තියෙනවා. යටි වගාවක් විදිහට වම්බටු, වට්ටක්කා වගේ එළවළු වවලා තියෙනවා.

2009 වර්ෂයේදී පමණ ආරම්භ කොට ඇති මෙම වගාබිම පසුගිය 2018 වර්ෂයේ උතුරු මැද පළාතේ හොඳම කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන ගොවිපොළ ලෙස සම්මානයට පාත්‍රව තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වා ඇති මෙම සම්මාන ඇගයීම් උළෙලේදී සමස්ත දිවයිනෙන් හොඳම ගොවිපොළ භූමි අතර 08 වැනි තැන ලැබීමට තරම් සමන් ඇතුළු පිරිවර භාග්‍යවන්ත වී තිබේ. විස්සකට වැඩි සේවක පිරිසක් සමන් සමග අද මේ ගොවි බිමෙහි දිවා, රෑ වෙහෙසෙයි. 

රාජාංගණය ගොවි ජනපදයේ යාය 02 ප්‍රදේශයේ සිය ළමා කල ගෙවා ඇති සමන්, තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා අවසන මැදවච්චියට සේන්දු වී ඇත්තේ දෛවෝපගත ලෙසය. ඔහු තමන් පැමිණි මග පිළිබඳව අප සමග මෙසේ හෙළි කළේය. 

“මහ යුද්ධයක් කරලා මෙතැන අද මේ තියෙන තැනට ගෙනල්ලා තියෙන්නේ. දැන් යන්තමින් සැනසිල්ලේ දවස ගෙවෙනවා. මං ලොකු අවධානකමක් ගත්තේ. මාසේ අන්තිමට පඩියක් ගත්ත රස්සාව අතඇරලා ගොවිතැන් කරනවා කිව්වහම ඇත්තටම ගෙදරින්වත් ඒකට කැමති වුණේ නෑ. මං ආමි එකේ ඉන්න කාලේ රාජ්‍ය කළමනාකරණ සේවයේ විභාගේ පාස්වෙලා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට මුල්ම පත්වීම අරගෙන ආවා. සරප් කියන තනතුරේ තමයි වැඩ කෙරුවේ. එතැන අවුරුදු විස්සක් විතර වැඩ කෙරුවා. ඒ ඉන්න අතරේ තමයි ගොවිතැන් කරන්න පටන් ගත්තේ. එතැනින්ම තමයි මට මගේ නෝන හම්බ වුණෙත්. දැන් අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. අපේ සීයලා, අප්පච්චිලා හොඳ ගොවියෝ. ගොවිතැන කියන එක පොඩිකාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණා. ඒ ආසාව නිසා තමයි අවසානේ කරපු රස්සාවත් අතඇරලා ගොවිතැන් කරන්ඩ ඕන කියලා මං තීරණය කරන්නේ.”

මෙම ගොවිබිමේ වැඩිම වපසරියක වවා ඇත්තේ ටොම් ජේ.සී. වර්ගයේ අඹ ගස්ය. ශ්‍රී ලාංකේය ගොවි ජනතාව සහ ව්‍යාපාරිකයන් අතරත් වඩාත්ම ප්‍රචලිත පළතුරක් බවට පත්වීමට මෙම අඹ වර්ගයට හැකිවී තිබේ. එයට බලපෑ හේතු අතර මෙම අඹ වර්ගයේ ඇති අතිමිහිරි රසය සහ වාණිජමය වශයෙන් ලාභ ලැබීමද හේතු වී තිබේ. 

මෙම අඹ ගෙඩිය අන් අඹ ගෙඩි මෙන් නොව ඉතා ආකර්ෂණීය පෙනුමකින් යුතු වීම සහ ගෙඩියක් බර ග්‍රෑම් 500ක් 1000ක් පමණ විශාලත්වයෙන් වැඩිවීම හේතුවෙන් ඉතා හොඳ මිල ගණන් යටතේ ලාභ ලැබීමේ හැකියාව පවතී.

වැඩි මාංශල ප්‍රමාණයකින් යුතුවීම මෙන්ම පොත්තේ ඝණකම අඩුවීම නිසා වැඩි මිලක් දී හෝ එය ලබා ගැනීමෙන් පාරිභෝගිකයාට පාඩුවක් වන්නේ නැත. එසේම හොඳ පෝෂණ ගුණයෙන් යුතුවීම මෙන්ම ඉහළ පාරිභෝගික රුචිකත්වයෙන් යුතුවීම වගාකරුවන්ට මෙමගින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වෙයි.

එහෙත් බොහෝ දෙනා නොදත් කරුණක් වන්නේ මෙම අඹ වර්ගයේ නිපැයුම්කරුවන් වන්නේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු බවයි. ශ්‍රී ලංකික ව්‍යාපාරිකයකු වන ටොම් එල්ලාවල මහතා ඒ සඳහා මුල් වී තිබේ. 1993 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ වූ මේ අඹ ප්‍රභේදය ලොවට විවර වූයේ ඒ මහතාගේ ව්‍යාපාරික හා තාක්ෂණික ඥානයේ ප්‍රතිඵලයක් හේතුවෙනි. මෙම අඹ විශේෂය අද වනවිට විදේශීය වෙළෙඳ පොළ දිනීම දක්වා වැඩි වර්ධනය වී තිබේ. 

ටොම් එල්ලාවල මෙන්ම ඔහුගේ හිතවතකු වූ ජුවාන් කාලෝස් යන මහත්වරුන් දෙදෙනා විසින් සිය තාක්ෂණික ඥානය යොදවමින් සිදුකළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම රසවත් පලතුර ලොවට බිහිවිය. අවසානයේ එම විද්වත් දෙපොළට ගෞරවයක් පිණිස ටොම් සහ ජේ.සී යන නම් ද්විත්වය එකතු කරමින් %ටොම් ජේ.සී.^ නමින් මෙම අඹ වර්ගය ප්‍රචලිතව තිබේ. කෙසේ වෙතත් සමන් පවසනුයේ මෙමගින් නිසි අඹ ඵලදාවක් ලබා ගැනීම නුපුරුදු අයෙකුට තරමක් අසීරු කාර්යක් වන බවයි. 

මෙම අඹ ගසද බලා ගැනීම හා පෝෂණය කිරීමට නම් ඒ පිළිබඳ හොඳ තාක්ෂණික දැනුමක් හා පුහුණුවක් තිබීම අත්‍යවශ්‍ය‘වේ. පැළ බද්ධයේදී මෙන්ම මල් හට ගැනීම, ඵල ආවරණය කිරීම සහ ඵලදාව නෙළා ගැනීම දක්වාම මේ වෙනුවෙන් කළ යුතු කරුණු බොහෝ වේ. මේ සඳහා හපන්කම් ඇති කිහිපදෙනෙකුම සමන් ගේ සහයට මෙහි සිටින අතර, ගොවිපොළ ආරම්භ කළ දා පටන් ඔහුගේ සහයට සිටින තිලක් චන්දන පියැදිගම එවැනි පුද්ගලයෙකි. ඔහුගේ දවස ගෙවී යන්නේ මේ ගහ කොළවලට කරන වතාවත් සමගය. 

අප සමග අදහස් දක්වමින් සමන් පැවසූයේ ඇතැම් මිනිසුන්ගෙන් ඇති හිරිහැර දෙස බලන විට වන සතුන්ගෙන් ඇති කරදර ස්වල්පයක් බවය. 
 “මෙතැනින් එහා මහ කැලේ අලි ඉන්නවා. ඒත් මේ වෙනකන් ලොකු කරදරයක් වෙලා නෑ. සමහර දවස්වලට අපිට පෙනී පෙනී මෙතැනින් අලි යනවා. ඒත් හිරිහැරයක් නෑ. මේ මෑතක තමයි ගොවිපොළේ එක පැත්තකට වෙන්ඩ අලි වැටක් ගැහුවේ. හැබැයි සත්තුන්ගෙන් කරදරයක් නැතිවුණාට මිනිස්සුන්ගෙන් නම් මෙතැනට ඕන තරම් කරදර තිබුණා. දැන් තමයි ඒ හැමදේම මගඇරිලා තියෙන්නේ. එක පාරක් මෙතැන අඹ, කජු ගස් සිය ගානකට ගිනි තිබ්බා. මං මෙතැන කැලේ එළි කරලා ගොවිතැන් කරනවා කියලා පෙත්සම් යවපු වෙලාවල් තිබුණා. ඒත් කිසිදේකින් මට කරදරයක් වුණේ නෑ. මං විස්වාස කරන්නේ දෙවියන් විසින් මාව ආරක්ෂා කරනවා කියලා. මං මෙතැන කරන්නේ සොබාදහමට එකඟ සේවයක්.”

පායන කල ජල සම්පාදනය සඳහා වගා ළිං හතරක් පමණ මෙහි කපා, බැඳ ඇති අතර, රාත්‍රීය ගෙවිය හැකි පැල් කිහිපයක්ද එහි ඉදිකර තිබේ. සූර්ය විදුලි බලයෙන් මෙහි අඳුර මැකෙන අතර, සමන්ගේ දවසෙන් දිවාකල වැඩි වශයෙන් ගෙවෙන්නේ මේ වගාබිම තුළය. ඇතැම් දිනවල රාත්‍රියද මේ බිම ඔහුගේ නවාතැන වේ. 

තොග වශයෙන් අලෙවිය සඳහා අඹ ගෙනයන අතරවාරයේ තොග මිලටම සිල්ලරට අඹ විකුණන වෙළෙඳසලක්ද සමන් දැන් මැදවච්චිය නගරයේ අරඹා තිබේ. තවමත් කන්තෝරු සේවයේ නියැළී සිටියේ නම් ඔහුද පැය අටක් එහි සිරවී මාසික පඩියකට දවස ගෙවන්නෙක් පමණකි. සමහර විටක ගමන එතැනින්ම නිමාවීමටද ඉඩ තිබිණි. “ඇත්තටම අද මේ වගා කරලා තියෙන ඉඩම මට හම්බ වුණෙත් පුදුම විදිහට. මම මනුස්සයෙක් මරන්න අරගෙන ගියපු කිරි ඉබ්බෝ පස්දෙනෙක් ඒ මනුස්සයට හොරෙන් අරගෙන හැංගුවා. පස්සේ ඉබ්බෝ දාන්ඩ වතුර තියෙන තැනක් හොයාගෙන එනකොට තමයි මේ ඉඩමත් එක්ක තියෙන වැව දැක්කේ.”
ඉස්සර මේක වැවක් නෙමෙයි නිකංම නිකං පොඩි වළක් විතරයි. පස්සේ තමයි ආණ්ඩුවෙන් ඒ වළ වැවක් කෙරුවේ. මං අර ඉබ්බෝ පස්දෙනා වළට දැම්මා. ඒ ආපු ගමනෙදී තමයි ඔහේ අතඇරලා දාලා තිබ්බ මේ ඉඩම දැක්කේ. එතකොට මං ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ. ඉතිං වගා කරන්ඩ මේ ඉඩම අදාළ තැන්වලින් ඉල්ලලා අරගත්තා. ඒ ආපු ගමන තමයි මේ. හැබැයි කිසිදෙයක් ලේසියෙන් පහළ වුණේ නෑ. මුලින් මං මේ ඉඩමේ හදපු ගස්ලබු අක්කර ගානක් 2009 අවුරුද්දේ මහ වැස්සට සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ලක්ෂ තිහක් විතර වතුරේ ගියා. හැමදේම කඩාවැටුණා. ජීවිතෙත් එපා වුණා. ඒත් ආයෙත් කොහොම හරි නැගිට්ටා. දැන් මං පළාතෙම දන්න මනුස්සයෙක් වෙලා ඉන්නේ මේ ගොවිපොළ හින්දා. රස්සාව කරලා පැන්ෂන් ගියානං මං නිකන්ම නිකන් සමන් විතරයි. ඒත් අද මට මං ගැන ආඩම්බරයි.”
සමන් ගේ බිරිඳ වන රුවිනි ප්‍රියංගිකා අප සමග පැවසූයේ සිය සැමියාගේ දින චර්යාවේ වැඩි වේලාවක් ගතව යනුයේ ගොවිපොළ තුළ බවය.

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles