මිහිඳු හිමි ගෙන ආ නිර්මල බුදුදහම රැකගැනීමට පවතින අභියෝග හඳුනාගැනීම කාලීන අවශ්‍යතාවක්


තවත් පොසොන් සතියක් උදාවී ඇත. බුදුදහම වෙනුවෙන් එදා මෙදා මෙන්ම හෙට දවස වෙනුවෙන්ද ඇති අභියෝග සහ සමාජ කතිකාවත් අපමණය. මේ එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග අද කෙරෙන අදහස් විමසීමකි.


මහින්දාගමනය සිට අද දක්වා විකාශය  පැහැදිලි කළොත්?

පොසොන් දිනය වැදගත් වන ඵෙතිහාසික හේතු මේවායි කියන්න නොහැකි තරමට සංස්කෘතිය සමග එකී අවස්ථා බැඳී තිබෙනවා. ධර්මාශෝක රජතුමා, මිහිඳු හිමි පමණක් නොව සංඝමිත්තා තෙරණිය සමග ජයශ්‍රී මහා බෝධියද ශ්‍රී ලංකාවට එව්වා. එහෙම කළේ ශ්‍රී ලංකාව තුළ නිර්මල බුදුදහම පෝෂණය ‍කරමින් රැකගන්නා බවට එතුමා තුළ ලොකු විශ්වාසයක් තිබුණ නිසා.

  ඒ අනුව මහින්දාගමනය මෙරට වංශ කතාව වෙනස් කළ සාධකයක් වුණා. එනිසාම අපට අපේ යැයි පවසන සංස්කෘතියක් බිහිවුණා. රටේ රජතුමා ඔටුනු පැලඳවීම කළේත් ජයශ්‍රී මහ බෝධීන් වන්සේගේ පාමුල බව ඉතිහාසය පවසනවා. දළදා වහන්සේ හිමි පුද්ගලයා රටේ රජු වශයෙන් පිළිගැනීම එදා සිදුවුණු දෙයක්. දළදා සංස්කෘතිය බිහිවන්නේත් එහෙමයි. 
 ජාත්‍යන්තර වශයෙන් ගත්තත් ඉන්දියානු ඉතිහාසය ගොඩ නගාගෙන ඇත්තේ මහාවංශයේ මූලාශ්‍ර ඇසුරෙන්. නමුත් එය මේ වන විට විකෘති කරමින් බුදුන්වහන්සේ ඉපදුනේ ලංකාවේ යැයි ඇතැම් මිත්‍යා මත ප්‍රචාරය කිරීමද මෙරට සිදුවෙනවා. ඒවා නොවිය යුතු දේවල්.

ඉසින්බැස්ස ගල ඉසිපතනාරාමය ලෙස  විවරණය කරනවා. ගිනිගත්හේන කියන එක එදා නන්ද කුමාරයාට වැඳිරිය පෙන්වූ ප්‍රදේශය ලෙස දක්වනවා. හබරණ උඩංගාව කියන ප්‍රදේශය සුජාතා සිටුදේවිය කිරිපිඬු පිළිගැන්වූ පසු පාත්‍රය පාකර උඩුගං බලා ගිය ස්ථානය ලෙස දක්වනවා. 
මෙතැන සිදුවන හානිය මේකයි. ධර්මය පිළිබඳ මූලික දැනුම නැති අය මේ හැමදෙයක්ම විශ්වාස කරනවා. අවසානයේදී කල් යනකොට මේ දේ ඒ ආකාරයෙන්ම සමාජ මතයක් බවට පත්වෙනවා.
මේ දේශකයන්ට මූලික දැනුම තබා මෙවැනි දේ විවරණය කිරීමට අවශ්‍ය පාලි භාෂාව ගැනවත් දැනුමක් නැහැ. නමුත් මේ අය වෙනත් කරුණු යටතේ ජනප්‍රියතාව ගොඩනංවා ගැනීම වෙනුවෙන් මෙවැනි දේ ප්‍රචාරය කරනවා.

නමුත් මිත්‍යාව බව දැන දැන ඒවාට සමීප වන විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේලා  සිටින බව පැහැදිලියි. ඒ ඇයි?

  ඔව්, ඇතැම් ලබ්ධීන් සහ ඇදහිලි තම විහාරස්ථානවලට හෝ ඇසුරු කර ගැනීම  ගැන සමහර භික්ෂූන් වහන්සේලාද කැමති බව අපටත් පෙනෙනවා. එයින් ඔවුන්ට යම් ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. මතකනේ කලකට ඉස්සර එක් බෝධියක රූපයක් ගැන කතා කළා. අර පිළිමවලින් බුදුරැස් විහිදෙන කතාව ඇහුණා මතකද?

බුදුදහමට එරෙහිව ඇති බලපෑම් තවදුරටත් විග්‍රහ කළොත්?

ව්‍යාපාර මට්ට්ම දක්වා බුදුදුහම වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කර ගෙන තිබෙනවා. එය උවැසියන් මුළාකර ගනිමින් ව්‍යාප්ත කරගෙන යනවා. එයට භික්ෂූන් වහන්සේලාත් වගකිව යුතුයි.
 -  විවිධ ජනප්‍රිය පුද්ගලයන් ගෙන්වා ගනිමින් මෙවැනි ස්ථානයන්හි ප්‍රසිද්ධිය සහ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරනවා.
 - එසේම බුද්ධඝෝෂ අටුවාටීකාව ලියූ බුද්ධඝෝෂ  හිමියන් ප්‍රතික්ෂේප කිරීමේ තවත් උත්සාහයක්ද තියෙනවා. එමඟින් දේශනාකර ඇති ධර්මය වැරදි බව කීමට උත්සාහ ගන්නවා.
- ථේරවාදී බුදුදුහම බැහැර කිරීමේ ප්‍රයත්නයක් ඒ අය අතර තියෙනවා. මිහිඳු හිමියන් විසින්ම ඇති කළ සාහිත්‍ය සහ සංස්කෘතිය අප ජාතිය තුළින්ම විනාශ කිරීමේ ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බව පැහැදිලියි. මේ ගැන සංඝරත්නයත්, බෞද්ධ ප්‍රජාවත් අවධානය යොමු කළ යුතුයි කියන මතය දැඩි ලෙස පවතිනවා. නමුත් ඇතැම් අය මෙවැනි දේට තම ප්‍රසිද්ධිය සහ උළුප්පා දැක්වීම තුළ සහභාගි වෙනවා. ඒක තවත් අනතුරක්.
- ඒ අතරම බෞද්ධ සංස්කෘතිය විෂයය පාසල් අධ්‍යාපනයෙන්ද ඉවත් කිරීමේ දැවැන්ත ප්‍රයත්නයක් තියෙන බවට චෝදනාවක් තියෙනවා. එය බරපතළ කාරණයක්. මේ වන විට එය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ද කප්පාදු කිරීමේ උත්සාහයක් තියෙනවා. බෞද්ධ භික්ෂූන්ට ඇති අධ්‍යාපන වරම් කප්පාදු කරවීමේ උත්සාහයක් ගැන නිතරම විශ්වවිද්‍යාලය පැත්තෙන් ඇහෙනවා.
 -  ආමිස පූජාවට වැඩි තැනක් හිමිවන පසුබිමක් නිර්මාණය කරමින් සිටින බව සියල්ල දෙස බලා සිටින විට පෙනෙනවා. ඒත් එය තිබිය යුත්තේ ධර්මයට අනුගත වන ආකාරයෙන්. වෙසක් කූඩුවක් නිර්මාණය කරන එක ගැන හිතන්න. එය එල්ලන අවස්ථාව සහ අනතුරුව විනාශ වී යන ආකාරය ගැන ජීවිතය සමග සසදන්න‍.
- ගුරුවරුන් අතරද බෞද්ධ සංස්කෘතිය ඉතිහාසය ඉගැන්විය යුතු නැතැයි යන මතය වර්ධනය වන බවක් පෙනෙන්නට තිබෙනවා.  
- බුදුදහම විනාශ කිරීමේ උත්සාහයක් ලෙස බහු ආගමික ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ තවත් උත්සාහයක් ඇහෙනවා. මේවා බටහිර බලපෑම යටතේ දෙදහස් පන්සිය වසරක් තිස්සේ විනාශ කර දැමීමට නොහැකි වූ බුදුදුහම විනාශ කිරීමට ඊනියා දේශපාලකයන්, නායකයන් සහ එන්ජීඕකාරයන්ගේ උත්සාහයක්. ඒ උත්සාහය අසාර්ථක නොකළොත් වැඩි කලක් පොසොන් දවස පවත්වන්න ලැබෙන එකක් නැහැ.
- ශ්‍රද්ධා අධික පුද්ගලයන් බිහිවීමක් දැන් දකින්නට තියෙනවා. සත්‍ය ධර්මය පිළිබඳ යොමුවීම වෙනුවට ආශ්චර්ය අද්භූත දේ පිළිබඳ යොමු වීමක් තියෙනවා. එයින් මිහිඳු හිමි ගෙනා නිර්මල බුදුදහම පෝෂණය වන්නේ නැහැ. එය විකෘති වීමක් පමණයි සිදුවන්නේ. නිර්මල බුදුදහම ආශ්චර්ය පදනම් කර ගනිමින් පවතින්නේ නැහැ.
- මේ අය අතර බුදුදහම විකෘති කරමින් දේශනා කරන අය ඉන්නවා. තවත් පැත්තකින් උපතින්ම සෝවාන් වූවා යැයි පවසා අමුතු බණ කියන අයත් රට පුරා තැනින් තැන ඉන්නවා.
නමුත් ජනතාව තමන්ගේ එවැනි ආගමික වත්පිළිවෙත් තුළ නිරත වන්නේ තමන්ගේ සැදැහැ සිතින් යැයි පවසනවා. ඔවුන් අන්ධ භක්තිය පිළිබඳ දැන දැන ඒ වටා ගොනුවන්නේ ඇයි?
 අමූලික ශ්‍රද්ධාව සහ අකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් ශ්‍රද්ධාව අංශ දෙකක් යටතේ දැක්විය හැකියි. අමූලික ශ්‍රද්ධාව කියන්නේ මෝහය පදනම් කරගත් දෙයක්.  අකාරවතී ශ්‍රද්ධාව කියන්නෙ ප්‍රඥාව පදනම් කරගත් දෙයක්. මල් පූජා කරන එක ගැන හිතන්න. මේ මල් පරවෙලා යනවා වගේම මගේ ශරීරයත් විනාශ වෙලා යනවා කියන එකනේ කියන්නෙ.
 එහෙම වෙනකොට සුවඳකූරු, මල්පහන් ලක්ෂ ගණනින් පුජා කළා කියලා එයින් තව තවත් ඇලීම බැඳීම වැඩිවන තැනට ඒ දේ  වෙනවා නම් එතැන ආමිසත් නැහැ ප්‍රතිපත්තියත් නැහැ. නොමග යාම පමණයි තියෙන්නේ. එතකොට නිවන හෝ සංසාරය කෙටිකර ගැනීම තවත් දිගු වෙනවා.

මෙවැනි තත්ත්වයන් වළක්වා ඥානය උපදවා ගැනීමට කුමක් කළ යුතුද?

  මෙය විහාරස්ථානයන් විසින් සැදැහැතියන්ගේ ඥානය වර්ධනය කිරීමට යොදාගත යුතු කාලයක් හැටියටයි මම දකින්නේ. අද්භූත දේ හෝ මහා පරිමාණයේ පුදපූජා හෝ නිර්මාණය කරමින් විහාරස්ථානයන් විසින්ම ජනතාව නොමග යවන හෝ බුදුදුහම විකෘති කරවන දේ වැළැක්වීමට පියවර ගත යුතුයි.
ඒ දේ සිදුවන්නේ විහාරස්ථානයක් ඇසුරෙන් නම් සැදැහැතියන් අතර අපිත් ගියා, ඔයත් එන්න යනුවෙන් ඊළඟ අවස්ථාවට තමන් ගිය මිත්‍යාව පසුපස තවත් අය කැඳවාගෙන යන ස්වභාවයක් තියෙනවා. අවසානයේ එයින් නිර්මල බුදුදහම විනාශ වෙනවා. 
නමුත් මිහිඳු හිමියන් ගෙනා බුදුදහමේ එහෙම දේ නැහැ. බෞද්ධ කියන්නේ බුද්ධිමත් කියන අදහසයි. 
අනෙක් විපාකය තමා මෙහිදී පුදපූජාවලට මිලක් නියම වෙනවා. පෙර තිබූ වන්දනා ක්‍රම වෙනුවට තමන් නිර්මාණය කරගත් දේ අමුතුවෙන් හඳුන්වා දෙනවා. අමුතු පූජා විධිවලට ජනතාව යොමු කරනවා. ශ්‍රද්ධාව කියන දේ කාන්සිය නැතිකර ගැනීමටත්, ජනප්‍රිය මාතෘකාවක් බවට පාවිච්චි කිරීමටත් පුරුදු වෙනවා. බුදුදුහම අවසානයට ගෙන යාමක් තරමට භයානකයි. මේක ශ්‍රද්ධාව කොල්ලකෑමක් හැටියටයි මට පෙනෙන්නේ.

මුදලට ධර්ම දේශනා අලෙවි කිරීමක් ගැන ඇහෙනවා. එය ආගමට හානියක් නෙවෙයිද?

ඒක එහෙම වෙන තැන් තියෙනවා. මුදලක් නියම නොකළත් සමාජය තුළ පවතින රැල්ල තුළ ඒ හාමුදුරුවන් ගෙන්වන්න මෙච්චර යනවා කියන්නේ හාමුදුරුවෝ අයකරන මුදල නෙවෙයි. එය සංවිධානය කරමින් සමහරවිට ඒ ඒ ඇත්තන් විසින් වියදම් කරන මුදල අනුවයි. 
අනික මම කලින් කියපු මිත්‍යාව වපුරන අය හෝ මෙහෙම ජනප්‍රියතාව උදෙසා බණ කියන අය අතින් සිදුවන යම් වැරදි දේ සමස්ත සමාජයට බලපෑ හැකියි. එවිට එතැනත් මිහිඳු හිමියන් ගෙනා නිර්මල බුදුදහමටත්, ථේරවාදී බුදුදුහමටත් මහා විනාශයක් සිදුවෙනවා.

දානය දීමත් මෝස්තරයක් බවට පත්වෙලා යැයි මැසිවිල්ලක් තියෙනවා. දන් සීට්ටුව දෙන්නෙත් පන්සලෙන් කියලා චෝදනා කෙරෙනවා ?

එක එක කතා ඇහෙනවා. මෙහෙම අවශ්‍යයි හෝ දන් සීට්ටුවක් දෙනවා යැයි කියන කතා මම නම් අනුමත කරන්නේ නැහැ. කවුරුත් කනබොන කෑම වලංගුයි. ඒත් පිටතින් වඩින හාමුදුරුවරුන්ද වන නිසා වඩා හොඳ දන් වේලක් පිළිගැන්වීමට සමහර දායකයන් උත්සාහ කරනවා. 
දනට වඩිනකොට කුඩා සාමණේර හිමිවරුන්ද ඉන්නවා. වයෝවෘද්ධ අයට හෝ වැඩිහිටි භික්ෂූන් වහන්සේලාට පිළිගන්වන දානය සමහරවිට ඒ පුංචි හාමුදුරුවරුන්ට ගැළපෙන්නේ නැතිව ඇති. චීවරය පෙරව්වට ඒ අයත් ළමා වියේ අයනේ. එහෙම වෙනකොට ඒ අය කැමති ආහාරපාන ගැනත් විමසිලිමත් වීම හොඳයි.
දානය සකස් කළ යුත්තේ කොහොමද, ඇතුළත් විය යුත්තේ මොනවාද කියලා අහනකොට ඉතින් ඔය කියන දේ ආපහු ගමට යන්නේ හාමුදුරුවන් දෙන දන් සීට්ටුවට කෑම හදන්න අවශ්‍යයි කියලා. ඒකයි එතැන වෙන්නේ. එහෙම නැතිව දෙන දෙයක් වළදන්නට උන්වහන්සේලා එකඟයි. 

අලුත් පරපුර තුළ බුදුදහම නමින් සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් චෝදනාවට ලක්වෙනවා. ආසන්නතම සිදුවීම ලෙස ඥානසාර හිමිගේ සිදුවීම එක් උදාහරණයක්. මෙවැනි දේ ශාසනයේ පැවැත්මට හානියක් යැයි තරුණයන් පවසන දේ අප විමසිය යුත්තේ කොහොමද?

බාල තරුණ පුරපුර අතීතය අත්විඳ නැහැ. යුද්ධය ගැන වුවත් සැබෑ වැටහීමක් නැහැ. බහුතරයක් සමාජ ජාල සමග සම්බන්ධකම් පවත්වන පරපුරක් මිස අපේ ආගම සහ සංස්කෘතිය සමග බැඳීමක් නැහැ. නූතන තාක්ෂණය අන්තර්ජාලය ඒ අයගේ ආගම ධර්මය බවට පත්කර ගැනීමේ උත්සාහයක් තිබෙනවා.  භික්ෂූන් වහන්සේලා ගැන වැරදි මතයක් තුළ ඔවුන් ජීවත් වෙනවා. එයට යම් සමාජ මාධ්‍ය අනුබල දෙනවා.
බුදුදහම  රැකගැනීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ගන්නා උත්සාහය ගැන අලුත් පරපුර බහුතරයකට හැඟීමක් නැති තරම්. ඒ අයට නිතරම ඇසෙන්නේ විවිධ පුද්ගලයන් විසින් චරිත කෙළසීමේ සහ අවලාද නැගීමේ සංස්කෘතියක් පිළිබඳ තොරතුරු පමණයි. එතෙනදි සැබෑ මෙහෙවරක නිරත වූ භික්ෂූන් වහන්සේලා අමතක කරවනවා ඒ අර්බුදය තරුණ ළමා පරපුර මුහුණදෙන එක් අභියෝගයක් කියලා. 
 ගමයි පන්සල, වැවයි දාගැබයි සංස්කෘතිය විනාශ කිරීමේ එක්  අර්බුදයක් හැටියට එය දකිනවා. මේවා පුද්ගලානුබද්ධව විමසිය යුතු කරුණු නෙවෙයි.
අනෙක් අතට මේ නූතන දේශපාලකයන්, එන්ජීඕකරුවන්, සිවිල් කණ්ඩායම් සහ ඒවාට අනුබල දෙන පුද්ගලයන්ට අවශ්‍ය මෙරටින් බුදුදහමේ යථාර්ථය අමතක කරවා  එදා වේල ජීවත් කරවන සමාජයක් නිර්මාණය කරවන්නයි. එනිසා ඒ අය මෙන්ම ඇතැම් අලුත් පරපුරද ගැඹුරක් දකින්නේ නැහැ. අතීතය දකින්න කැමති නැහැ. මානව වටිනාකම් වෙනුවෙන් බුදුදුහම තුළින් ලැබෙන අනුබලය පිළිගැනීම වෙනුවට ජාත්‍යන්තරය තුළින් අසන දකින දේ ආගම හැටියට අදහනවා.

විවිධ ආගම ලබ්ධීන් සහ දර්ශනයන් බුදුදුහමට ගළපා එය බුදුදහම බවට පත්කර ගැනීමේ ප්‍රවණතාවක් තරුණ පරපුර අතර නිර්මාණය වන්නේද එනිසයි.
  ඒ වගේම මෙරට බුද්ධිගලනයත්  පවතිනවා. මේ සමග අපේක්ෂා නොකරන තරමේ භයානක සමාජ ආර්ථික පවුල් අර්බුදයක් නිර්මාණය වෙනවා.
  නිරන්තරයෙන්ම දළදා හිමි, ශ්‍රී මහා බෝධිය සමග, එදා මහින්ද හිමියන්ද සංඝමිත්තා මෙහෙනිය ගෙනා ආ බුදුදුහම  සමග රාජ්‍යත්වය වටා තදින් පවතින බැඳීම ගැඹුරින් පවත්වාගෙන යාමට හැකිවිය යුතුයි. මෙතෙක් කල් එය පැවතුණේ ඒ නියමය තුළයි. යම්තැනක එයට හානියක් වන්නේ නම් එතැන ඇත්තේ රාජ්‍ය නායකයන්, පාලකයන් බුදුදුහමට නොසලකා හැරීමේ විපාකය නිසා බව කිවයුතුයි.

ශාසනික ප්‍රශ්නවලදී සමහර භික්ෂූන් සහ වගකීම් දරන මහනායක හිමිවරුන්ගේ මැදිහත්වීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතෙනදි මහනායක හිමිවරුන්ගේ මැදිහත්වීම පිළිබඳව තරුණ භික්ෂූන්ටත් යම් ප්‍රශ්නයක් තියෙනවා.

ඇතැම් අවස්ථාවල භික්ෂූන් වහන්සේලා විසින් බුදුන්වහන්සේ නිරර්ථක යැයි පැවසූ දේව ඇදහිලි, පොල් ගැහිලි, කන්නලව් වැනි විවිධ මිත්‍යාවන්ට නැඹුරුව කටයුතු කරන බව ජනමාධ්‍ය හරහා දකිනවා. එය නිර්මල බුද්ධ දර්ශනයට පවත්වාගෙන යාමට හානියක් නෙවෙයිද?

මෙවැනි දේ බුද්ධ දර්ශනයට ගැළපෙන්නේ නැහැ. නමුත්  එයට හේතුව සමාජ අසාධාරණයට එරෙහිව නායකයන්, පාලකයන් සහ වගකිව යුතු වෙනත් පාර්ශ්වයන්ගේ අවධානය යොමුවන්නේ නැහැ කියන අදහස ඇති වන විට මේ පැත්තෙන් යම් බලපෑමක් කිරීමට දෙන පණිවුඩයක් විය හැකියි.

මෙවැනි දේ දකින වෙනත් අන්‍යාගමිකයන් විසින් දර්ශනය සහ චර්යාවන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරනවා නේද? එය බුද්ධ ධර්මයේ ගරුත්වයට සහ පැවත්මට කැලලක් නේද?

භික්ෂුවට පැවරී ඇති වගකීම ගිහියන්ගේ වගකීමට එහා යනවා. එයට කරුණු තුනක් අදාළ වෙනවා. පළමු කාරණය  තමයි භික්ෂුවක් ලෙසත් දෙවැන්න ධර්මය රැකගැනීම සහ පවත්වා ගැනීම වශයෙන්ද තුන්වෙනුව බාහිර බලපෑම් කළමනාකරණය පැත්තෙන්ද භික්ෂුවට ඒ වගකීම දැරීමට සිදුවී තිබෙනවා.
එතෙනදි ඒවා පැහැදිලිව දකින අවස්ථාවලදී  ඒ දේ ඉටු නොවන බව දැනෙන විට එය ප්‍රකාශ කිරීම  ආවේගශීලී විය හැකියි. එවැනි දේ නරක නම් එවැනි අවස්ථා ඇති නොවන තැනට රාජ්‍ය පැත්තෙන්ද අවශ්‍ය අනුබලය සැපයීම වැදගත්. එය අන් ජාතීන්ද නොදන්නා දෙයක් නෙවෙයි.
 අපිට වසර දෙදහස් පන්සිය වසරක් ගතවුණත් මිහිඳු හිමියන් මෙරටට ගෙන ආ බුදුදහමත් සංස්කෘතියත් රැකගැනීමේ වගකීම තව තවත් උත්සන්න වෙලා තියෙන බව අමතක කර පොසොන් පින්කම් පැවැත්වීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.
භෞතික වශයෙන් පමණක් නොව ධර්මය ස්ථාපිත කර පවත්වා ගැනීමට අවශ්‍ය අනුග්‍රහයත් රාජ්‍ය පාර්ශ්වයෙන් ලබාදිය යුතුයි යන්න අප අවධාරණය කරනවා.

 



Recommended Articles