මිලියන 1215කට චීනයට විකිණුනු රාජපක්ෂවරු


පසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ විශේෂිතම සිදුවීම වන්නේ ලෝක ප්‍රකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පෙළේ ලිපියක් පළ කරමින් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ ලංකාවේ ආර්ථිකයට හා දේශපාලනයට චීනයේ මැදිහත් වීම පිළිබඳ විස්තරාත්මක හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකර තිබීමයි. මෙම ලිපියට අනුව රාජපක්ෂවරුන් විසින් හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සිදුකරන ලද සුවිශාල අක්‍රමිකතා රාශියක් හෙළිකරන ලද අතර, මහින්ද රාජපක්ෂ විසින් එම වරාය ඉදිකිරීමේ මූලික කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීමේදී විශාල ආර්ථික පාඩුවක්ද, අක්‍රමිකතාද සිදුකර ඇති බව හෙළි කරන ලදී. එසේම එම ඉදිකිරීම් කටයුතුවලදී ඉදිරිපත් වූ පරිසර හා ශක්‍යතා වාර්තා සියල්ලම යෝජනා කරන ලද්දේ වරාය ඉදිකරන ලෙස නොව එය අසාර්ථක ව්‍යාපෘතියක් වීමට ඉඩ ඇති බවත්, මෙම ව්‍යාපෘතිය ඉදි නොකර සිටින ලෙසත්ය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හැටපස් වැනි උපන්දිනයට ප්‍රථම එම වරාය ඉදිකොට විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාවක් රාජපක්ෂවරුන්ට තිබූ බව එම පුවත්පත හෙළිකොට තිබේ. එසේම එම වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රථමයෙන් ලබාදීමට අපේක්ෂා කොට ඇත්තේ ඉන්දියාවට වුවත් ඉන්දියාව ඒ ඉදිකිරීම ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ ඒ වෙනුවෙන් ඉදිරිපත් කොට තිබූ ශක්‍යතා වාර්තාවල තිබූ නිර්දේශවලට අනුවයි. නමුත් ඔවුන් එම වාර්තා තඹ සතයකට මායිම් නොකර චීන සමාගමකට මෙම වරාය ඉදිකිරීමේ අතිවිශාල කොන්ත්‍රාත්තුව අධික පොලියට ලබාගත් ණය මුදලක් මත ලබා දී තිබේ. එම අවස්ථාවේදී ජපානය 0.5෴ක පොලියක ණය මුදලකට එකඟ වී තිබියදීත්, මෙහි මුල් කොටස චීනය විසින් ලබාගන්නා ලද්දේ සියයට තුනක අතිවිශාල පොලී අනුපාතයකට බව මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ. එසේම වරාය ඉදිකිරීමේ දෙවැනි සහ තුන්වන පියවරයන් සඳහා චීනයෙන් ණය ලබාගෙන ඇති පොලී අනුපාත සියයට තුනේ, හතරේ හා එවැනි ඉහළ පොලී අනුපාත වේ. එසේම කෙටිකාලීන ණය මුදල්වල එම ණය මුදල් හැකි ඉක්මනින් ගෙවීමට ලංකාවේ ආණ්ඩුවට සිදුවන ලෙස අවාසි සහගත ගිවිසුම්වලට එළඹ ඇති බව එම ලිපිය පෙන්වාදෙයි. පසුගිය වසර තුන තුළ යහපාලන ආණ්ඩුව මුහුණදුන් දහසකුත් ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වූයේ හම්බන්තොට සුදුඅලි වරායයි.
එම වරායේ නඩත්තුව වෙනුවෙන් කොළඹ වරායද බංකොළොත් තත්ත්වයට පත්වීමට ඉඩ තිබූ බව ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී තිබුණේය. එයට ප්‍රධාන හේතුව වූයේ හම්බන්තොට වරායෙන් කිසිදු ආදායමක් නොලබන අතර චීනයට ගෙවිය යුතු ණය වාරිකය ගෙවීම හා නඩත්තුව කොළඹ වරායේ ආදායම මගින් සිදු කිරීමට සිදු වී තිබීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ වරායද අර්බුදයට යමින් තිබිණි. ලංකාවේ ලාභ ලබන රාජ්‍ය ආයතන කිහිපයෙන් එකක් වන කොළඹ වරායද බංකොළොත් තත්ත්වයට පත්වීමේ අවදානමකට ලක්විය. අවසානයේ මෙහි ප්‍රතිඵලය වූයේ හම්බන්තොට වරාය, එය ඉදි කළ China Harbor සමාගමට වසර 99කට හිමි වීමයි. එසේම ඒ වෙනුවෙන් ආණ්ඩුවට ඩොලර් බිලියන  1.26ක මුදලක්ද ලැබුණි. නමුත් එම මුදල චීන සමාගම ලබාගත් ණය මුදලට වඩා අඩු වන අතර, ඔවුන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ එම වරායේ කටයුතු මෙහෙයවීම සඳහා ආර්ථික මර්මස්ථානයක් ඉදිකරන බවට වූ පොරොන්දුවක් නිසාවෙන් එය වාසිදායක ගනුදෙනුවක් ලෙස දක්වා සිටිය හැක.

ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඔහුගේ 2014 අගභාගයේ ජනාධිපතිවරණය සඳහා චීනයෙන් ඩොලර් මිලියන 7.5ක අතිවිශාල මුදලක් ලබාගත් බවටද එම ලිපිය මගින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි. සැබෑ ලෙසම ලංකාවේ ආර්ථිකය අතිවිශාල අර්බුදයකට පත් කිරීමට හේතු වූ මෙම චීන - ශ්‍රී ලංකා ගනුදෙනුවල සැබෑ තත්ත්වය ලංකාවේ ජනතාවට අවබෝධ කරදීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. විශේෂයෙන් ලංකාවේ ජාතික ආදායමෙන් රජයේ ආදායම 11%ක  මට්ටමට ගෙන ඒමේ අතිවිශාල හානියක් ලංකාවේ ආර්ථිකයට සිදුකරන ලද්දේ මෙම චීන - ශ්‍රී ලංකා ණය ගනුදෙනුවලිනි. ලංකාවේ ආර්ථිකයට අනුව රජයේ ආදායම අඩුම තරමින් 22% මට්ටමේ තිබිය යුතු බවත් එය එසේ නොවන්නේ නම් ලෝකය පිළිගත් මූල්‍ය ආයතනවලින් ලංකාවට ණය ලබාගැනීමේ හැකියාව අහිමි වන බවත් ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ. නමුත් රාජපක්ෂ රෙජීමය විසින් සිදු කරන ලද්දේ රජයේ ආදායම ඉහළ දමාගැනීම වෙනුවට චීන ණය මුදල් මගින් ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යෑමයි. එහි උපරිම මට්ටමට 2014 වනවිට ලංකා ආණ්ඩුව පත්ව තිබුණු අතර, එම ණය මුදල් නැවත ගෙවීම ආරම්භ වීමට නියමිතව තිබුණේ 2015 වසරේ සිටයි. යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට ලංකාවේ ආර්ථිකය විශාල ගිනි කන්දක තත්ත්වයට පත් වී තිබිණි.
රාජපක්ෂවරුන් වසර පහකින් ජනාධිපතිවරණයට යොමුවන්නේ ජාත්‍යන්තර බලපෑමෙන් එම ආර්ථිකය තවදුරටත් චීන ණය මත ගෙන යා හැකි තත්ත්වයක් නොමැති අවස්ථාවකය. යහපාලන ආණ්ඩුව මේ රට බාරගත් දා සිට ආණ්ඩුවට තිබූ ලොකුම අභියෝගය වූයේ පාපැදි ආර්ථිකයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමයි. මන්දයත් බංකොළොත් තත්ත්වයක තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට පවා ශක්තියක් නොතිබිණි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට පොරොන්දු වී බලයට පත් වූ යහපාලන ආණ්ඩුවට එම ප්‍රතිසංස්කරණ ඉටුකිරීමටත් වඩා, හොරු ඇල්ලීමටත් වඩා තම කාලයෙන් වැඩි කොටසක් වැය වූයේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමටයි. එනම් එදිනෙදා කටයුතු කරගෙන යෑමට හැකි තත්ත්වයට ලංකාවේ ආර්ථිකය ගෙනඒමටයි. එය දේශපාලනික වශයෙන් විශාල අර්බුදයකට යහපාලන ආණ්ඩුව පත් කළද එම කටයුතු සිදු කිරීම අනිවාර්ය කොන්දේසියක්ව තිබිණි.

රාජපක්ෂවරුන්ගේ විශාල දූෂණ හා අක්‍රමිකතා නිසා හප වී තිබූ ලංකාවේ ආර්ථිකය අද වනවිට නිවැරදි පීල්ලට පැමිණ තිබේ. අද රටේ එදිනෙදා කටයුතු කරගෙන යෑමේ කිසිදු අපහසුවක් නොවන අතර, රාජ්‍ය ආදායම 11% ක සිට එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන 22%  සීමාවේ ආසන්නයට යාමටත්, ඒ අනුව අනාගතයේදී ඉතාම අඩු පොලියට දීර්ඝකාලීන ණය මුදල් ලබාගත හැකි තත්ත්වයකටත් රට පත් වී තිබේ.



Recommended Articles