ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කිරීමත් සමගම එම කඳවුර මුහුණ පෑ බොහෝ ප්‍රශ්න විසඳී තිබේ.
මෙහිදී ප්‍රතිවාදීන් වැඩිදෙනෙකුගේ අපේක්ෂාව වූයේ එජාපය තුනට හතරට කැඩී යාමය. ඒ වෙනුවට සිදුවෙමින් තිබෙනුයේ මෙතෙක් කලක් එම පක්ෂය හැර ගොස් සිටි පිරිස්ද එම පක්ෂය වටා යළිත් ඒකරාශී වී එජාපය පක්ෂයක් වශයෙන් වඩාත් ශක්තිමත් වීමය.
පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ සැණින් මහත් උද්දාමයට පත් පිරිස් ඒ දිනවල ප්‍රකාශ කළේ ඒ මහතා විසින් මහා දේශප්‍රේමී ජනතා රැල්ලක් නිර්මාණය කරනු ඇති බවය. නමුත් ඒ මහතාට කිසිදු ජන රැල්ලක් අලුතින් ඇතිකිරීමට මේ දක්වා හැකි වී නැත.
සුළු ජාතික පක්ෂ ප්‍රමුඛ ජනතා බලවේග ක්‍රමක්‍රමයෙන් සජිත් ප්‍රේමදාස මහතා වටා ඒකරාශී වීම පෙන්නුම් කරමින් සිටිනුයේ 2015දී මෙන්ම මෙවරද ජනාධිපතිවරණ ජයග්‍රහණය පවුල්වාදී, රාජාණ්ඩුවාදී කඳවුරට හිමිවීම වළක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර වෙත හැරෙමින් තිබෙන බවය. ජයග්‍රාහී හංසයා ලකුණ පෙරටු කොටගෙන යන ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුමට අපගේ පූර්ණ සහයෝගය හිමිවනු ඇත.
සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපතිවරයකුගේ පුත්‍රයෙකු වුවත් ඔහුගේ අපේක්ෂකත්වය තීන්දු වූයේ එම කාරණය මූලික කරගනිමින් නොවේ. ඔහුගේ අපේක්ෂකත්වය තීන්දු වීම පවුලේ සාමාජිකයන් උදෑසන කෑම මේසයකදී එක්ව වටවී ගන්නා තීන්දුවකට ඌණනය වූයේ නම් එය මෙතරම් ප්‍රමාද වන්නේ හා විවාදාත්මක වන්නේ නැත.
ගෝඨාභය මහතාගේ අපේක්ෂකත්වය ලෙහෙසි එකක් වූයේ එය මුළුමනින්ම පවුලක කෑම මේසයක තීන්දුවක් වීම නිසාය. නමින් පොදුජන පෙරමුණ වූවාට පොහොට්ටු පක්ෂයට සම්බන්ධ පොදුජනයා යනු වැඩවසම් පවුල්වාදයකට ඉතා අවාසනාවන්ත ලෙස යටත් කරනු ලැබූ ජනතාවකි. මැදමුලනේ රාජපක්ෂ වලව්වට හුණු ගෑම හැර වෙන විකල්පයක් තවත් කල්පයක් යනතුරු එම ජන බලවේගවලට නැත.
ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයෝ දැන් බලය ඉල්ලා සිටිති. නාමල්, ශෂීන්ද්‍ර ආදී එම පුත්‍රයන්ගේ පුත්‍රයෝ 2030 ජනාධිපතිවරණය සඳහා දැන්ම තියාම සැරසෙති. මේ දිනවල මහා උත්සවශ්‍රීයෙන් විවාහ මංගල උත්සව පවත්වන මේ රාජපක්ෂ පුතුන් එම අනාගත බල උරුමය සඳහා තවත් දූ පුතුන් බිහි කරනු ඇත.
ඇති වුණොත් යමක් ඇති වන්නේත් නැති වුණොත් යමක් නැති වන්නේත් රාජපක්ෂවරුන්ටම බැවින් සමස්ත රාජපක්ෂ තන්ත්‍රයම පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවරද සිය බලය ග්‍රහණය කර ගැනීම සඳහා සියලු වැර යොදා සටන් කරනු ඇත.
විනයානුකූල රටක් සෑදීමට පොරොන්දු දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තවමත් නොවිසඳුන ගැටලු රාශියක් තිබේ. මැතිවරණ නීතියට අනුකූල වන පරිදි හෙතෙම මේ වනවිට තම පුරවැසි ප්‍රශ්නය විසඳාගෙන තිබේද යන්න තවමත් පැහැදිලි නොවූ කරුණකි. එසේම ඇමෙරිකන් පුරවැසියකුව සිටියදීම ලංකාවේ පසුගිය මැතිවරණවලදී ඔහු ඡන්ද දායකයෙකු ලෙස කටයුතු කර තිබෙන්නේ කෙසේද යන්න නීතිය හමුවේ විභාග වන ප්‍රශ්නයකි. ලලිත් සහ කූගන් යන මාධ්‍යකරුවන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නීතියට අනුව යාපනයේ අධිකරණයක පෙනී සිටිය යුතු හෙතෙම එයින් වැළකී සිටිනුයේ උතුරු පළාතේ සැරිසැරීමට ආරක්ෂාව මදි යැයි උසාවියට දැනුම් දීමෙනි.
අප දන්නා පරිදි ආරක්ෂක ලේකම් ධුරය අහිමි වූ පමණින් ගෝඨාභය මහතාට මේ වනතුරුත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවූයේ නැත. එවැනි අරක්ෂාවේ ප්‍රශ්නයක් තිබේනම් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලටවත් උතුරු පළාතට ඔහු යන්නේ නැතිද? මේ සියලු නීතිමය ප්‍රශ්න ජනාධිපති වූවාට පසු නීතිය නවමින් විසඳාගත හැකි යැයි ඔහුට උපදෙස් දෙන කේවට්ටයන් පවසනවා විය හැකිය.
නීතිය නවමින් එවැනි ප්‍රශ්න විසඳාගත හැකිය. එහෙත් එවැනි රාජ්‍යයක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවේ. ලංකාව තුළ මිලිටරිවාදී රාජ්‍යයක් පිහිටුවීමේ වෑයම ව්‍යවර්ථ කරනු ලැබුවේ 1962 තරම් ඈත කාලයකදීය. පසුබෑම් ඇතිවුණද දැන් අප රටට හුරු දේශපාලන ජීවන ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මිලිටරිවාදය මෙන්ම පවුල්වාදී වැඩවසම්වාදයද දැන් ලාංකික දේශපාලනයෙන් දූරීභූත වෙමින් තිබෙන බැවින් අනාගතය නිර්මාණය කරන ජනරජවාදී බලවේගවල දේශපාලන වැඩබිම ඇත්තේ රාජපක්ෂ විරෝධී කඳවුරෙහිය.
මෙවර ජනාධිපතිවරණය දෙකොන් සටනක් වනු ඇත. සජිත් මහතා සහ ගෝඨාභය මහතා හැර ඡන්දය ඉල්ලන අනෙක් මහතුන් එසේ කරන්නේ ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් නොව තමන් සිටිනා බව ඡන්ද දායකයාට මතක් කර දීම සඳහාය. පුද්ගලවාදී අපේක්ෂකයන් කිහිප දෙනෙක්ද තරග කරන බව පෙනේ.
එදා එජාපය නමැති පක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වැරදි ලෙස කියවාගෙන ඇති මේ පුද්ගලවාදී අපේක්ෂකයන්ට දේශපාලන යථාවබෝධය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරමැදදී පහළ වනු ඇත.