පසුගියදා කළුතර මිල්ලනිය ප්‍රදේශයේ සැරිසරන නරියන් (හිවලුන්) විසින් එම ප්‍රදේශයේ මිනිසුන්ගේ දෛනික ජීවිතයට බාධා කළ පුවත් කිහිපයක් වාර්තා විය. මිල්ලනිය, මුවපට්ටිය ගම්මානවල ගම්මුන් බිය කරවමින් සිදුකෙරුණු මෙම සපාකෑම් හේතුවෙන් පුද්ගල මරණ, මී ගව මරණ කිහිපයක්ද සිදුවිය. මේ පිළිබඳව පසුගියදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කළුතර මිල්ලනිය ප්‍රදේශයේ තත්ත්වය මෙලෙස පැහැදිලි කළේය.
"පසුගිය මාස දෙක තුළ කළුතර මිල්ලනිය ප්‍රදේශයෙන් මේ සම්බන්ධ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණා. මුල්ම සිදුවීම වාර්තා වුණේ ජලභීතිකාව සෑදුණු සුනඛයෙක් තවත් සුනඛයන් කිහිපදෙනෙකු සපා කෑ බවට. මේ සිදුවීම වාර්තා වීමත් සමගම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ප්‍රදේශයේ ගෘහාශ්‍රිත සුනඛයන් සියලු දෙනාටම ජලභීතිකා රෝගය නොවැලඳෙන්න එන්නත් ලබාදීම සිදුකර තිබුණා.
තව ඉද්දහේන ප්‍රදේශයේ ගවයෙක්ට ජලභීතිකාව වැළඳී තිබුණා. ඒ වගේම ඊට දින කිහිපයකට පසුව තවත් මී ගවයෙක් දරුණු ලක්ෂණ පෙන්වමින් මියගොස් තිබුණා. ඒ මාසේ 28දා වනවිට හිවලුන් විසින් පුද්ගලයෙකුව සපා කා තිබුණා. අගෝස්තු මාසය වනවිට 18දා වනවිට ඒ සපා කෑමට ලක්වූ පුද්ගලයා මියගොස් තිබුණා. ඒත් සමගම තවත් කුඩා දරුවෙක් සපා කෑමකට ලක් වෙලා කියලා ආරංචි වුණා"
සාමාන්‍ය ව්‍යවහාරයේදී අප 'නරියා' ලෙසින් හැඳින්වූවත් ලංකාවේ ජෛව පරිසරය තුළ හමුවන්නේ 'හිවලා'ය. මෙම හිවලාගේ විද්‍යාත්මක නාමය Canis aureus වන අතර මොවුන් %ශ්‍රී ලංකා හිවලා^ ලෙසින්ද හඳුන්වයි. ලංකාව තුළ හමුවන එකම වනගත බල්ලන් විශේෂය වන්නේද මෙම හිවලාය. සාමාන්‍යයෙන් මෙම හිවල් විශේෂය ගම්මාන ආශ්‍රිතව, ලංකාවේ තෙත් කලාප ආශ්‍රිතව ජීවත් වේ. හිවලුන් උදේ දහය පමණ වනතුරු වෙල්යායවල් තුළ සිට දවල් කාලය වනවිට කැලෑබද ප්‍රදේශ තුළට ගමන් කිරීමද සාමාන්‍යයකි.
ගම්මානවලට පැන මිනිසුන්ව හපා කන වර්ගයේ සතෙකු ලෙස මේ වනවිට හිවලා විවිධ මාධ්‍ය මගින් හැඳින්වූවත් එය අසත්‍යයකි. හිවලෙකු මිනිසෙකුව දුටු විගසම පැන මිනිසුන්ට බිය වී කැලෑබද ප්‍රදේශයකට පැන යාම සාමාන්‍යයකි. නමුත් එසේ නොමැතිව නොසැඟවී මිනිසුන් පසුපස හඹා යනවා නම් එම හිවලා නිසැකවම ජලභීතිකා රෝගයට ගොදුරුව සිටින සත්ත්වයෙක් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.
හිවලා යනු සොබාදහමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන සත්ත්වෙයකි. මොනර ගහනය පාලනය කිරීම, කුඹුරු ආශ්‍රිතව වාසය කරන මීයන් පාලනය වැනි කාර්ය රැසක් හිවලා විසින් ඉටු කරයි. කුඹුරු සහ වගුරු බිම් ආශ්‍රිතව මොවුන්ගේ සාර්ථක ව්‍යාප්තියක් සිදු වී තිබුණ නමුත් පසුකාලීනව ඔවුන්ගේ වාසස්ථාන ඔවුන්ට අහිමි වීම හේතුවෙන් ඔවුන්ගෙන් සිදුවන පාරිසරික මෙහෙය අවම වී තිබේ. විශේෂයෙන් කුඹුරු ආශ්‍රිතව බෝ වන මී උණ රෝගය පවා පසුගිය කාලවලදී වැඩි වීමට හේතුවක් වශයෙන්ද හිවල් ගහනය අඩු වීම දැක්විය හැක. මිනිසුන් හිවලාගේ චර්යාවන් පිළිබඳව නිසි ආකාරයෙන් හඳුනාගෙන නොමැති බැවින් මෙලෙස සපාකෑම්වලට ලක් වේ.
මිල්ලනිය ප්‍රදේශයෙන් එකවරම මෙවැනි තත්ත්වයක් පැන නැගීමට හේතුව ලෙස ඔහු සඳහන් කරනුයේ මෙම ප්‍රදේශයේ තිබෙන ෆාම් වතු යායවල් සහ වෙල් යායවල් පැවතීම හේතුවෙන් ඒ අවට ජීවත් වන හිවලුන් මෙම රෝගයට ගොදුරු වී ගම්මානවලට පැමිණ ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
&අපි මිල්ලනිය ප්‍රදේශයේ භූමි දර්ශනයක් ලබාගැනීම සඳහා කැමරාවක් ගුවන්ගත කළා. මේ ප්‍රදේශය වට වෙලා තිබෙන්නේ කුඹුරු යායකින්. ඒ වගේම ෆාම් ගස් පිරි වතුයායක් මේ ප්‍රදේශයේ දැකිය හැකියි. එම ෆාම් වතුයාය තුළ හිවලුන් ගැවසෙනවා. එම ප්‍රදේශවල හිවලෙකු දුටු විට පහර නොදෙන ලෙසත්, එම ප්‍රදේශය ආශ්‍රිතව දැන්වීම් පුවරු සවිකර තිබෙනවා. මෙම කුඹුරු යායෙන් එහාට හිවලුන් ගමන් කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වාසනාවකට මෙම රෝගය කළු ගඟේ දකුණු ප්‍රදේශයෙනුත් බස්නාහිරෙන් අධිවේගී මාර්ගයෙනුත් වෙන් වෙලා තිබෙන නිසා එතනින් ඔබ්බට මේ රෝගය යන්න විදිහක් නැහැ. ඒ නිසා ජලභීතිකා රෝගය පැතිරෙන්න පුළුවන් නැගෙනහිරට සහ උතුරට විතරයි. උතුරට සහ නැගෙනහිරට පැතිරීම වැළැක්වීමට අපි හැකිතරම් සුනඛ එන්නත් කිරීම් සිදුකර තිබෙනවා. මිල්ලනිය ප්‍රදේශයේ බොහෝ පාරවල් දෙපස තියෙන්නේ ලඳු කැලෑ සහ කුඹුරු. අපි ප්‍රදේශවාසීන් දැනුවත් කළා හිවලෙකු දුටු විගස ඔහුව හඹා නොයා එතනින් ඉක්මනින් යන්න කියලා. සතෙක් රෝගයට ගොදුරු වෙලා තිබෙනවා නම් එම සතාව පරිසරයෙන් ඉවත් කරන්න අපට හැකියාව තිබෙනවා. රෝගයක් හැදුණා නම් ඒ සතාගේ ආයුෂ ඉක්මනින් ඉවර වනවා. අපිට ඕනේ ඒ සතාගෙන් එහාට තවත් සතුන්ට බෝ වෙලාද කියලා බලාගන්න. මේ වෙද්දී ප්‍රදේශයේ ගෘහාශ්‍රිත සුනඛයන් සියලු දෙනාටම එන්නත් ලබාදීලා තිබෙනවා. සාමාන්‍ය ආකාරයෙන් එන්නත් ලබාදීම සිදුකිරීමට නොහැකි සුනඛයන්ට වනජීවී දෙපාර්තමේන්තුවේ තිබෙන නිර්වින්දන උපකරණ මගින් එන්නත් කිරීමට අපි තීරණයක් ගෙන තිබෙනවා*
කළුතර මිල්ලනියට අමතරව ඉංගිරිය ප්‍රදේශයෙනුත් මේ සම්බන්ධ තොරතුරු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටී. හිවලුන්ට ජලභීතිකා එන්නත් ලබාදීමට නොහැකිය. එයට හේතුව වන්නේ මෙම එන්නත් ලෙසින් ලබාදෙන ජීවී කාණ්ඩය පරිසරයේ නැවතත් වර්ධනය වීමක් සිදුවිය හැකි බැවිනි. එම නිසා හිවලුන්ට එන්නතක් ලබාදෙනවා නම් ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකළ යුතුය. හිවලුන්ට එන්නතක් ලබා දෙනවා නම් එය එන්නතක් ලෙසින් ලබාදිය නොහැකි අතර, ආහාර සමග මිශ්‍ර කොට දිය හැකි බවට තමා විශ්වාස කරන බවත්, එමෙන්ම හිවලුන්ට යම් කිසි ආකාරයකට එන්නත් කිරීම් සිදුකිරීමට හැකියාවක් ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර ආයතන කිහිපයක් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ වනජීවී සහ වනජීවී සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා,
"හිවලුන් ගම් වැදීම බොහෝවිට දක්නට ලැබෙන්නේ මොනර ගහනය අධික වීමත් සමගයි. මේ ප්‍රදේශයේ මොනරුන් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබී තිබෙනවා. මේ තත්ත්වය සති තුනක් හතරක් ඇතුළත නැති කරන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් සියලු කටයුතු අපි කරන්න සූදානම්. මෙතනදී මිනිස්සුන්ගේ කැපවීමක් තියෙන්න ඕනේ යම්කිසි දුරකට. සුනඛයෝ ටිකයි ඉක්මනට අපිට බේරාගන්න ඕනේ. ගවයෙකුට රෝගය වැලඳුණොත් අපට අහිමි වන්නේ ගවයා පමණයි. නමුත් සුනඛයෙකුට වැලඳුණොත් පුද්ගලයන්ටත් වැලඳෙන්න පුළුවන්. සතෙකු මරණ එක සාධාරණ නැහැ. මොකද ජලභීතිකාව කියන්නේ ලංකාවට අලුත් රෝගයක් නෙවෙයි. කාලයක් පුරාවටම ජලභීතිකාව ලංකාවේ තිබුණා. රෝගය පැතිරෙන්න පුළුවන් වනජීවීන් සහ ගෘහස්ථ සත්ත්වයන් මගින්. ගෘහාශ්‍රිත සතුන්ට රෝගය වැලඳීම නතර කළහොත් අපට මේ රෝගය මැඩපවත්වා ගන්න පුළුවන්. අපේ මූලික පරමාර්ථය මිනිස්සුන්ට රෝගය වැලඳීම වළක්වා ගන්න එකයි. පොලීසිය, ප්‍රාදේශීය ලේකම්තුමිය, දිස්ත්‍රික් ලේකම්තුමිය, මහජන සෞඛ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය සභාව, රජයේ පශු වෛද්‍ය නිලධාරීන් සහ වනජීවී දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදුකරනවා."
අසාමාන්‍ය ලෙස හිවලෙකු ගම්මානයක සංචාරය කරනු දුටුවහොත් එම සතාට පහර දෙමින් හඹා නොයන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. යම් ආකාරයකදී මෙවැනි හඹා යාමකදී සතා එක් ස්ථානයකට කොටු වුවහොත් ඉන් පසු එම සතාගේ ඊළඟ පියවර වනුයේ එතනින් පලා යෑම සඳහා සපා කෑමට උත්සහ දැරීමයි. එමෙන්ම මෙම තත්ත්වය පහව යනතුරු මිල්ලනිය ප්‍රදේශයේ පාසල් ළමුන්ව තනිව නොයවන ලෙසත්, හැකිතාක් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසත්, රාත්‍රී ගමන් අවම කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
හිවලුන්ගේ මෙම හැසිරීම් පිළිබඳව පරිසරවේදී පුබුදු වීරරත්න මහතාගේ අදහස්,
"කැලෑවල වාසය කරන සතුන්ගේ ශරීරය තුළ ජලභීතිකා රෝගය යම් ප්‍රමාණයකින් තිබෙනවා. ඒවා උත්සන්න වෙලා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ රෝගය ස්වාභාවිකව සෑදෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම්විට බල්ලන්ගෙන් බෝ වෙන්නත් පුළුවන්. ජලභීතිකාව සෑදුණු විට මේ සතුන්ට තමන් ජීවත් වන වටපිටාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති වෙනවා. ඒ කියන්නේ මොවුන්ගේ ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වෙලා යනවා. එතකොට ටිකක් කලබලකාරී, කලහකාරී ස්වභාවයක් පෙන්නුම් කරනවා"
යම් ප්‍රදේශයක හිවලුන් සපාකෑම් පිළිබඳව හෝ අසාමාන්‍ය ලෙස ගම්මාන තුළ සැරිසරනවා නම් 1992 ක්ෂණික දුරකථන අංකය අමතා වනජීවී දෙපාර්තමේන්තුවට දන්වන ලෙසත් යම් ප්‍රදේශයක මියගිය සත්ත්වයෙකු සිටිනවා නම් එම සත්ත්වයාගේ හිස රෝග විමර්ශනයට වැදගත් වන බැවින් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දන්වන ලෙසත් මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
කැළුම් දේවින්ද / ඡායාරූප - සහන් රසාංග