මිරිකිල්ල


මිරිකිල්ල අපේ ජීවිතවලට බොහෝ සම්බන්ධය. එයට හේතුව අප වැඩිදෙනාට ප්‍රශ්නවලින් මිරිකි මිරිකී ජීවත් වන්නට සිදුවීමය. එහෙම මිරිකෙන අය ඒ ගැන වැඩිපුර ගණන් නොගෙන ඉන්න නිසා ජීවත්වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙනවාය. මිරිකෙන මිරිකිල්ලේ හැටියට ඒවා ගණන් ගන්න ගියොත් ජීවත්වෙලා හමාරය.

කොතරම් මිරිකන්න දස්ස කෙනෙකුට වුණත් තද දේවල් මිරිකන්න බැරිය. ගලක් කොච්චර මිරිකුවත් පට්ටයක් ගන්න තරමට මොලොක් කරන්න බැරිය. වැලි මිරිකලා වතුර ගැනිල්ලත් හිතාගන්නවත් බැරි දෙයක්ය. ඒත් රජ කාලයේදී නීල මහා යෝධයා වැලි මිරිකලා වතුර ගත්ත කතාවක් අහලා තියෙනවාය. එහෙම වුණාට අද වනතුරුම වැලි මිරිකලා වතුර ගත් කෙනෙක් ගැන ඊට පසුව අප අසා නැත්තේය.

පොල් මිරිකලා කිරි ගන්නේ හොදි හදන්නටය. ඉස්සර අපේ කාන්තාවන් පොල් මිරිකලා, කිරි ගොට්ටෙන් පෙරා, කිරි ගන්නවාය. ඒත් අද වෙන කොට පොල් මිරිකන්න පුරුදු වෙච්ච අය අඩුය. කිරිගොටු ගෙවල්වල නැති හින්දා ඒ ගොල්ලෝ පොල් මිරිකන්නේ නැතුව බ්ලෙන්ඩරයට දමලා කිරි ගන්නවාය. ඒ වගේම මේ වෙනකොට පොල් කිරි පැකට් සුපර් මාර්කට්වල තියෙන හින්දා පොල් මිරිකලා මහන්සි වෙන්න ඕනෑ නැත්තේය.

මිරිකලා මුලින්ම ගන්න පොල් කිරිවලට කියන්නේ මිටිකිරි කියලාය. දෙවනුව වතුර දමලා මිරිකලා ගන්නේ දියකිරිය. කිරි මිරිකලා ගත් විට ඉතුරු වෙන්නේ පොල් කුඩුය. ඉස්සර නම් &මිටි කිරි කිරි - දිය කිරි කිරි - ඉඳා බල්ලෝ පොල් කුඩු* යැයි කියමින් කිරි මිරිකලා බල්ලන්ට පොල් කුඩු දුන්නාට අද නම් එහෙම බල්ලන්ට ඒවා දෙන්න ඕනෑ නැත්තේ පොල් කුඩුවලටද හොඳ මිලක් තිබෙන හින්දාය. පොල්ගෙඩිය රුපියල් සීයට යන විට පොල් මිරිකලා ඉවත දමන කුඩුවලින් පොල් සම්බෝල හදනවාය. පොල් මිරිකලා කිරි ගන්න පුළුවන් සියයට හතළිහක්ය කියලා ආණ්ඩුව දැන්වීම් දමනවාය.

දුප්පතා මිරිකලා ශ්‍රමය සූරා ගන්නට ධනපතියා හරි දස්සය. පොහොසතා තව තවත් පොහාසත් වන්නේ නැති බැරි එකා මිරික මිරිකා අඩුමුදලට ලබාගන්නා ශ්‍රමය නිසාය. ඇති නැති පරතරය ඇතිවෙලා තියෙන්නේ මේ මිරිකිල්ල හින්දා යැයි කියනවාය.
බෙහෙත් නොකර රෝගියාගේ නිල මිරිකලා රෝග සුව කරන්න පුළුවන්ය. අද හතු පිපෙනවා වගේ බිහිවෙලා තියෙන සම්බාහන ආයතනවල නිරෝගී වන්නට ඇඟපත මිරිකනවා යැයි කිව්වාට ඒවායේ සිරුර පමණක් මිරිකලා නවතින්නේ නැතැයි කියනවාය. වයසට ගිය ආතා ආච්චිගේ අතපය කැක්කුම හැදෙන කොට මුණුබුරාලා ලව්වා අතපය මිරිකා ගන්නට හදනවාය. ඒත් සමහර මුණුබුරාලා වයසක අය දැක්ක විට පැනලා යන්නේ අතපය මිරිකන්න වෙයි කියන බයටය. අතපය කොහොම වුණත් බොටුව මිරිකන්නේ නම් මරා දමන්නටය. බෙල්ල මිරිකූ පසු මිය යන්නේ හුස්ම ගන්න බැරිවෙලාය.

ගුරුවරයා ඒ කාලේ සිසුවාගේ කන මිරිකුවේ දඬුවමක් ලෙසටය. එහෙම කන මිරිකලා වැරදෙන යමක් කියා දුන් විට හොඳට මතක හිටිනවා යැයි කියනවාය. ඒත් අද නම් ගුරුවරු ළමයින්ගේ කන් මිරිකන්නට බිය වන්නේ තමන්ට උසාවි ගානේ යන්නට වේ යැයි කියන බයටය. අනවශ්‍ය දේවල් මිරිකලා ඉවත් කරන්න පුළුවන්ය. වෙදරාළ තුවාලය මිරිකලා සැරව ඉවත් කරන්නේ ඉක්මනින් සුව කරන්නටය. රෙදි මිරිකලා වැලේ දමන්නේ ඉක්මනින් වේළෙන්නටය. ඒත් අද වොෂින් මැෂිමෙන් රෙදි හෝදන විට මැෂිමේ රෙදි මිරිකෙන හින්දා නැවත අමුතුවෙන් මිරිකන්නට දෙයක් නැත්තේය.

උක්දඬු මිරිකන්නේ පැණි ලබාගන්නටය. මෝල්වල මැෂිමේ මිරිකන උක්දඬු යුෂෙන් සීනි හදනවාය. ඒත් මේ වන විට උක් දඬු මිරිකලා සීනි හදනවාට වඩා අරක්කු පෙරළා වැඩි ආදායමක් ගැනීමට පටන් අරගෙන තියෙනවාය. මී මැස්සා අමාරුවෙන් පැණි හොයලා බඳින මීවදය කඩා මිරිකලා පැණි ගන්නට ආදිවාසීන් පුරුදු වෙලා තියෙනවාය.

වෙදරාළ කොළ, අතු, පොතු මිරිකලා බෙහෙත් හදනවාය. කැඩුණු තැන්වල පත්තු බඳින්න ගස්වල පස් පංගුව මිරිකලා පත්තු හදනවාය. ඉස්සර බෙහෙත් ගලේ අඹරලා, මිරිකලා බෙහෙත් හදන්න වෙද මහත්තුරු හරි දස්සය. මෙම බෙහෙත් පාවිච්චි කිරීමෙන් වේදනාවෙන් මිරිකි මිරිකී සිටින රෝගියාට සුවය ලැබෙනවාය. බොහෝ දෙනාට අද නොයෙක් ප්‍රශ්නවලින් මිරිකි මිරිකී ඉන්න සිද්ධ වෙලා තියෙනවාය. එහෙම මිරිකෙන ප්‍රශ්න ඔඩු දිවූ දවසට සමහරුන්ට තම ජීවිතයද එපා වෙනවාය.

සංසාරයේ ගමන් කරන සත්ත්වයා දුකෙන් මිරිකි මිරිකී සිටින වග බුදු දහමෙන් කියනවාය. එහෙම දුකෙන් මිරිකෙන සත්ත්වයා සිතන්නේ තමන් සැප විඳිනවා කියලාය. මෙලෙස අනන්ත සංසාරයේ මැරි මැරී මිරිකෙන සත්ත්වයාගේ දුක් අවසන් වන්නේ නිවන් දුටුවාම යැයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවාය.

කුඩා සතා, ලොකු සතා දුටු විට බියෙන් මිරිකෙනවාය. එහෙම බියෙන් මිරිකෙන්නේ තම ජීවිතයට අනතුරක් වේ යැයි බියෙන්ය. නිතරම දුර්වලයා බලවතා ඉදිරියේ බියෙන් මිරිකෙනවාය. හරියට පොලිස් නිලධාරීයා ඉදිරියේ සැකකාරයා මිරිකෙනවා වගේය. පුංචි වරදකට අල්ලාගෙන පොලිස් කූඩුවේ දමන එකා බයෙන් මිරිකෙන්නේ තමන්ට මිරිස් ගෝනියට බහින්න වේ යැයි යන බියටය. උසස් නිලයක් දරන පොලිස් නිලධාරීයා ඉදිරියේ පොලිස් පොඩ්ඩා බියෙන් මිරිකෙන්නේ තම රස්සාවට අනතුරක් වේ යැයි සිතලාය.
පුද්ගලික බස්වල කොට්ටපොල් වගේ ඇහිරී යන මගියා මිරිකෙන්නේ ඉඩ නැතිකම හින්දාය. රියදුරා වේගයෙන් ගිහින් වෙට්ටු දමලා බ්‍රේක් ගහන විට ඔහු තව තවත් මිරිකෙනවාය. බස්වල ගණන් ඉහළ දැම්මාට මිරිකෙන්නේ නැතුව යන්න ක්‍රමයක් මගියාට ලැබෙන්නේ නැත්තේය. දුප්පතා එසේ මිරිකි මිරිකී ගියත් සල්ලිකාරයාට සැප පහසුව ගමන් කරන්න මාලිගා වාහන දෙක තුන තියෙනවාය. 

බස්වල කොච්චර ඉඩ තිබුණත් මිරිකි මිරිකී යන්ඩ පෙම්වතුන් හරි කැමැතිය. ඔවුන් එසේ මිරිකෙන්න කැමැති පෙම් කිරිල්ලේ නියම ආශ්වාදය ලබා ගන්නටය. එහෙම බස්වල සීට් මුල්ලේ මිරිකෙන පෙම්වතුන්ට අනිත් අය ගැන වගේ වගක් නැත්තේය. පෙම්වතා පෙම්වතියට තම සිතැඟි මුල්වරට ප්‍රකාශ කරන්නේ අත මිරිකිල්ලෙන්ය. ප්‍රේමය දියුණු වූ පසු තවත් තැන් මිරිකාගෙන කසාද බඳින දෙන්නා ප්‍රශ්න නිසා විරසක වූ විට බෙල්ල මිරිකා ගන්න හදනවාය.
අද බඩු මිලේ හැටියට දුප්පතාට සිදුව ඇත්තේ ජීවන බරෙන් මිරිකි මිරිකී ජීවත් වන්නටය. එහෙම මිරිකෙන්නට සිදුව ඇත්තේ අතට ලැබෙන සොච්චම් මුදලෙන් එක වේලක්වත් කාලා ජීවත් වන්න බැරි හින්දාය. එහෙම වුණත් දුප්පතාගේ ඡන්දෙන් දියවන්නාවට යන දේශපාලුවන්ට නම් තමන්ට ඡන්ද දුන් දුප්පතා ජීවන බරෙන් මිරිකිල්ල ගැන හොයන්න වෙලාවක් නැත්තේ මිලියන ගණන් සල්ලි හොයන්න තිබෙන හින්දාය.



Recommended Articles