ලෝකයේ වැඩි පිරිසක් දුම්පානයෙන් ඉවත් වෙමින් සිටින බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා රැසක් ප්‍රකාශයට පත්වී ඇති අතර, ශ්‍රී ලංකාවේ තත්ත්වයද එයට සමානය.
කෝවිඩ් සමයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේද දුම් බොන්නන් ප්‍රමාණය අඩුවී ඇති බව "ඇඩික්" ආයතනය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිකර තිබුණි. දුම්පානයේ ඇති අහිතකරභාවය පිළිබඳව කරුණු අනාවරණය වීම, දුම්කොළ සමාගම්වල කූට උපක්‍රම අනාවරණය වීම මෙන්ම දුම්පානය අභිතකර බව දැනුවත්වීම තුළ බොහෝදෙනා දුම්පානයෙන් ඉවත් වෙමින් සිටින අතර, තරුණ ප්‍රජාව දුම්පානය ප්‍රතික්ෂේප කරන මට්ටමකට පැමිණ තිබේ. එසේ වුවද තවමත් දුම්පානයේ ආදීනව පිළිබඳ අවබෝධ කර නොගත් පිරිසක් තවමත් දුම්පානයේ ඇලී සිටිති.
කෙසේ වෙතත් දුම්පානය අඩුවීමත් සමග පාඩු ලබන දුම්කොළ සමාගම් ඒ වෙනුවට ලාබ ලැබිය හැකි තවත් ව්‍යාපාරයකට යොමු වීමට සූදානමින් සිටී. ඒ වෙනුවෙන් වටින් ගොඩින් ඉඟි පළවෙමින් තිබේ. දුම්කොළ සමාගමේ මීළඟ ව්‍යාපාරය වී ඇත්තේ කංසා හෙවත් ගංජා ව්‍යාපාරයයි.
ගංජා ව්‍යාපාරය නීතිගත කරන ලෙස මේ වනවිට ලංකාවේද විවිධ පාර්ශ්ව විසින් රජයෙන් ඉල්ලීම් කර සිටිනුයේ සැබැවින්ම ඔවුන් තුළින් පැමිණි අදහසකට අනුවද නොඑසේනම් කවුරුන්ගේ හෝ මෙහෙයවීමටකට අනුවද යන්න සොයා බැලිය යුතු කරුණකි.
ගංජා නීතිගත කිරීම වෙනුවෙන් ඇතැම් ආගමික නායකයන් ප්‍රභූවරුන් ඇතුළ විශාල පිරිසක් මේ වනවිට ප්‍රසිද්ධියේ පෙනී සීටීම හේතුවෙන් දුම්කොළ සමාගම්වල කූට ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වී සිටීම අතිශයින් වැදගත් වේ. මේ නිසාම කංසා හෙවත් ගංජා ජනගත කිරීම සඳහා සමාගම් දරන උපක්‍රම සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
ගංජා භාවිතය ඔබට හිතකර දෙයක් බව පෙන්වීම
දුම්කොළ භාවිතය හේතුවෙන් පෙණහලු පිළිකා ඇතිවන බව මුලින්ම සඳහන් කළේ 1929දී පමණය. ඒ අවස්ථාවේදී බොහෝදෙනා එය පිළිගන්නවා වෙනුවට ප්‍රතික්ෂේප කළේය. දුම්කොළ හේතුවෙන් පෙණහලු පිළිකා පමණක් නොව මුඛ පිළිකා ඇතුළු පිළිකා රැසකට මුලපුරන බව සනාථ කිරීමට වසර 30ක පමණ කාලයක් ගතවිය. නමුත් ඒ වනවිට දුම්කොළ භාවිතයට යොමුව සිටි මිලියන ගණනකගේ ජීවිත අහිමි වී ගොස් අවසන්ය. කංසා ඹෟෂධයක් ලෙසින් ලෝකයේ ස්ථානගත වී තිබේ. එහෙත් කංසා භාවිතය තුළින් ශරීරයට අහිතකර දෑ රැසක් සිදුවන බව මේ වනවිට පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබේ.
ඒ අනුව කංසා සෘණාත්මක ලෙස මොළයට බලපාන බවට සොයාගෙන ඇත. එනම් කංසා භාවිතය හේතුවෙන් බුද්ධිය හීනවේ. මානසික ලෙඩ වැඩි කිරීමට මෙන්ම ඇබ්බැහි වීමටද කංසා සම්බන්ධකම් පෙන්වන බව විද්‍යාත්මක පදනම්වලට අනුව අනාවරණය කරගෙන හමාරය.
මේ අනුව තවමත් මොළය වර්ධනය වෙමින් පවතින යොවුන් පරපුර සඳහා කංසා මගින් ඇත්තේ නැවත නිවැරදි කිරීමට නොහැකි බලපෑමකි. යොවුන් පරපුර කංසාවලට යොමු වීමෙන් ඔවුන්ගේ ඇබ්බැහි වීමේ සීඝ්‍රතාව වැඩිවෙමින් පවතී. වයස අවුරුදු 18ට පෙර කංසා භාවිතයට යොමු වූ පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු ඒ සඳහා ඇබ්බැහි වන බව සොයාගෙන තිබේ.
කංසා දිනපතා භාවිත කිරීමට යොමු වීම තුළ හීන්නෝන්මාදය වැලඳීමේ අවධානය 600෴න් ඉහළ යන අතර, මේ හේතුවෙන් පාසල් හැර යාමේ අනුපාතය වැඩිවිය හැකි බවද පෙන්වා දෙයි.
21 වැනි ශතවර්ෂය වනවිට කංසා නිෂ්පාදනවල මත් වීමේ සාන්ද්‍රනය වඩා ඉහළ බව නිරීක්ෂණය වී ඇති අතර, මේ හේතුවෙන් එයට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවද ඉහළ ගොස් තිබේ. කංසා භාවිතය හානි රහිත බව පෙන්වීමට බොහෝදෙනා උත්සාහ කළද මාරක රිය අනතුරුවලින් 1/9 ට කංසා සම්බන්ධ බව රිය අනතුරු සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වාර්තා හෙළිකර තිබේ.
කංසා භාවිතය මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අතර, කංසා නීතිගත කිරීමට එරෙහි විය යුතු යන්න ඇමෙරිකානු වෛද්‍ය සංගමය ඇතුළු ප්‍රධාන වෛද්‍ය සංගම් රැසක මතය වී තිබේ.
මුදල් බලය පෙන්වමින් ගංජා ජනප්‍රිය කිරීම
ලෝකයේ ඇතැම් දුම්කොළ සමාගම් විවිධ හමුදාවන් සඳහා සිගරට් නොමිලයේ ලබාදී ඇති බව දැන් හෙළිවී තිබේ. එමෙන්ම වෛද්‍යවරුන් 20,000ට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් සිගරට් බීම සම්බන්ධයෙන් ධනාත්මක මතයක් ලොව පුරා ඇති කිරීමට උත්සාහ ගත් බවද අනාවරණය වී තිබේ.
මෙවැනි කාරණා සඳහා දුම්කොළ සමාගම් කොපමණ මුදල් යට කරන්නට ඇතිදැයි ඔබට සිතිය හැකිද? සැබැවින්ම එය සිතා ගැනීමට අපහසුය. ඔවුන් මෙවැනි කටයුතු සඳහා බිලියන ගණනින් මුදල් වැය කරයි. එසේ නම් දුම්කොළ සමාගම්වල ලාභය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම ධනවත් පුද්ගලයන් රැසක් කංසා ව්‍යාපාරය වෙනුවෙන් මුදල් යොදවා ඇති බවද
මේ වනවිට විවිධ වාර්තා මගින් අනාවරණය කර ගෙන තිබේ.
තරුණයන් පොලඹවා ගැනීම - ප්‍රධාන උපක්‍රමයක්
දුම්කොළ සමාගම් සිගරට් ඇතුළු දුම්කොළ නිෂ්පාදන සඳහා තරුණයන් යොදා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කෙරේ. හැඩිදැඩි තරුණයන් දුම්පානය කරන ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, චිත්‍රපටි ටෙලිනාට්‍ය සඳහා දුම්බොන දර්ශන ඇතුළත් කිරීම, කාටුන්වල දුම්බොන දර්ශන ඇතුළත් කිරීම ඉන් සමහරෙකි. එමෙන්ම පාසල් අසල දුම්බොන පුද්ගලයන් ලෙස මුදලට මිනිසුන් යෙදවීම, සිගරට් අලෙවි සැල් සඳහා විවිධ දීමනා ලබාදීමද මේ අතරින් කොටසකි. දුම්පානය සඳහා තරුණයන් පොලඹවා ගැනීම එම සමාගම්වලට දීර්ඝකාලීන ආයෝජනයක් බව ඔවුන් හොඳින් දන්නා බැවින් මෙලෙස උපක්‍රම අනුගමනය කෙරේ.
එමෙන්ම දුම්කොළ සමාගම් තරුණයන් පොලඹවා ගැනීමට රස කැවිලි භාවිත කළ අතර, කංසා සමාගම් සෝඩා අයිස් ක්‍රීම්, කුකීස්, චොකලට් මෙන්ම තවත් බොහෝ රසකැවිලි වර්ග යොදා ගනී. මෙවැනි දේ කංසා ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගන්නා සරල උපක්‍රම පමණි. එසේ වුවද පෙනෙන නොපෙනෙන බොහෝ දේ මෙම සමාගම් කංසා ජනප්‍රිය කිරීම සඳහා යෙදා ගනිමින් සිටී.
එමෙන්ම කංසා සමාගම්වල දීර්ඝකාලීන සැලසුම්ද මේ වනවිට අනාවරණය වී තිබේ. ඔවුන් වසර 04කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ව්‍යාපාරයක් බවට පත්වීමට සැලසුම් කර තිබේ. එමෙන්ම දැනටමත් කංසා ව්‍යාප්ත කරමින් සිටින අතර, ලංකාවේ මේ සිදුවන්නේ එහි ආරම්භය පමණි.
දුම්කොළ සමාගම්ද මුල් කාලයේ සිගරට් ශරීරයට හිතකර ද්‍රව්‍ය ලෙස පෙන්වමින් ජනතාව මුළාකළ අතර සත්‍ය අනාවරණය නොදී සිටීමටද ඔවුන් විශාල වශයෙන් විවිධ දේ සිදුකළේය.
එසේ වුවද දුම්පානයට විරුද්ධ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ඇතුළු විද්වතුන් විසින් ලෝකයට සත්‍ය අනාවරණය කිරීම හේතුවෙන් ජනතාව සත්‍ය දැනගෙන සිටී. ඒ නිසාම දුම්පානයේ ප්‍රතිවිපාක මේ වනවිට සියලුදෙනාම හොඳින් දන්නා කරුණු බවට පත්ව තිබේ. කංසා සමාගම්ද මේ ආකාරයට අසත්‍ය පතුරවමින් සිටින අතර, ඒ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටී.
දුම්පානයට ඇබ්බැහි වුවහොත් විනාශ වනුයේ ඔබේ ශරීරය මෙන්ම අවසානයේදී විනාශ වන්නේ ඔබය. එබැවින් කංසා සමාගම්වලට ගොදුරු නොවී සිටීමේ වගකීම ඇත්තේද ඔබ සතුවය. දුම්කොළ සමාගම්වල දෙවැනි පියවර හෙවත් කංසා පිළිබඳව ඔබත් අවධානයෙන් සිටින්න.