“මිදුලේ වැවී තිබුණු දාස්පෙති මල් පඳුරෙන් ඇට මිටක් කඩා දියණිය ඔහු අත තැබුවාය
එදා අඳුරු රාත්‍රියකි ඔහු ගුරුපාරට ආවේය
කළුවරේ පිය මැන්නේය හිටි අඩියේ පාරට පැනගත් සොරුන් පිරිසක්
ඔහු වටකර ගත්හ ඔහුගේ මුදල් පැහැර ගන්නට තැත් කළහ
බැරිම තැන ඔහු කෑ මොර දෙත්ම එක් සොරෙක් ඔහුගේ ළය පසා කරගෙන යන්නට පිහි පාරක් ඇන්නේය
ඔහු මැරී වැටුණි බියපත් සොරුන් ඔහුගේ මළ කඳ දෙපයින් බිම දිගේ ඇදගෙන ගොස් අසල වූ පාළු කුඹුරක
මඩෙහි යටකර දැමීය ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මග බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත ඔහුට කුමක් වී දැයි කිසිවෙක් නොදත්හ
පාළු කුඹුරක දාස් පෙති මල් දාහක් පිපී තිබුණි”
මිය යන්නට වසර දහයකට පමණ මත්තෙන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපූර්ව මිනිසා ඉහත කවි පෙළ ලියනුයේ ඔහුගේ නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ නමැති කවි කෘතියේ අවසන් කවිය ලෙසිනි. එය 1978 වර්ෂයේදී මුල් වරට පළ වූවකි. ඉන් තවත් වසර දහයක් ගතවූ තැන්හී සීතල රාත්‍රියක මැදියමේ මේ ලෙසින්ම සාහසික මරණයකට ගොදුරු වීමට ප්‍රේමකීර්ති නම් සොඳුරු මිනිසාට සිදුවිය. සත්‍ය ලෙසම මේ කවියෙහි කියැවෙන්නේ ප්‍රේම්ගේම ජීවිතය බව ඔහුගේ ජීවිත කතාව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නකි. විශ්මය නම් ඔහු සිය මරණය පිළිබඳව මෙපරිද්දෙන් කල් ඇතිවම ලියා තැබුවේ කෙසේද යන්නය.
ප්‍රේමකීර්ති ද අල්විස් මෙරට සාම්ප්‍රදායික ගුවන්විදුලියේ අදත් නොමැකෙන අනන්‍යතාවයකි. නිවේදන කලාව අමුතුම ආරකට යොමු කළ ඔහු මෙරට ගුවන්විදුලියේ සදානුස්මරණීය මුද්‍රාවකි. වසර 42ක් වූ ප්‍රේම්ගේ කෙටි ජීවන ගමන් මග පිළිබඳව ගෙවී යන සෑම දවසකම කොතැනකින් හෝ කතාවක් ඇදී එයි. ප්‍රේමය, විරහව, වේදනාව, උපහාසය, උපදේශනය ආදී විවිධ තේමාවන් ඔස්සේ ඔහු ලියූ දෙදහසකට ආසන්න ගීත පිළිබඳව, ඔහුගේ සරල, සුගම බස් වහරින් යුතු සැහැල්ලු නිවේදන කලාව නොවේ නම් ජීවන ඇවතුම්, පැවතුම් ගැන කතා කරන්නට අතොරක් දේ තවමත් ශේෂව පවතී. 1989 වර්ෂයේ ජූලි මස 31 වැනිදාවක සීතල රාත්‍රියක මැදියමේ අකල්හි මරණය ඔහු සොයා ආවේය. එතැන් පිටන් දින, සති, මාස ගෙවී ප්‍රේමකීර්ති නම් හදවත සංවේදී සොඳුරු මිනිසාගේ හද පාරවන නික්ම යෑමට වසර 31ක් ගතවී තිබේ. සරල, සංවේදී, සොඳුරු මිනිසෙකුගේ ජීවන ඇවතුම්, පැවතුම් සිහිකරත්ම අදත් හදවත් ඇත්තවුන්ගේ දෙනෙත් කඳුළින් තෙත් වෙයි.
සහන නිවේදකයෙකු ලෙස ජාතික ගුවන්විදුලියේ ගමන් ඇරඹූ ප්‍රේමකීර්ති වැඩසටහන් නිෂ්පාදකවරයෙකුව සිටියදී මේ අකාරුණික සමාජයේ සාපයට ලක්ව ජීවන ගමන අතරමග නිමා කළේය. විවිධ කෙනෙහිලි, සිත් රිදවීම්, නොසලකාහැරීම්, වැඩ තහනම් වීම්, දඬුවම් මාරු ලැබීම් ආදියෙන් පිරී තිබූ ප්‍රේම්ගේ ගුවන්විදුලි ගමන කටුකොහොලින් පිරි දුෂ්කර එකකි. එහෙත් කොතෙක් කටුක වුවද ප්‍රේම් නිසා ගුවන්විදුලියත්, ගුවන්විදුලිය නිසා ප්‍රේම් ද එකිනෙකාට ආසක්තව කලකදී බැබළුණේය.
දේහයෙන් කුඩා එහෙත් මනසින් සුවිසල්, අදීන මිනිසෙකු වූ ප්‍රේමකීර්ති වැඩි කල් නොගොස්ම ශ්‍රාවක සිත් පැහැර ගත්තේ ඔහු සම්පාදනය කළ වැඩසටහන්වල සරල, නැවුම් ස්වභාවය සහ ළඟන්නා සුළු ඉදිරිපත් කිරීමේ විලාසය හේතුවෙනි. ප්‍රේමකීර්ති නම් නිවේදකයා මෙලෙස ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ගමන් කරද්දී ඔහුගේ කීර්තිය දරා ගැනීමට නොහැකි වූවන්ගේ ඉරිසියාවේ ගොදුරක් බවට පත්වනුයේ නිතැතිනි. වැඩ තහනම් වීම්, දඬුවම් මාරුවීම් ආදිය ඔහුට සුපුරුදු වෘත්තීය අත්දැකීම් බවට පත්වනුයේ ඒ අනුවය. කොළඹ ගුවන්විදුලි මහගෙදරින් විටෙක රජරටත්, තවත් විටෙක කඳුරටත් වරෙක රුහුණු සේවයත් ප්‍රේම්ගේ සේවා ස්ථාන විය. ගිය තැන කොතැනක වේද සියලු වියවුල් පිරිවරා එහි වෙසෙන්නවුන් සමග වෙනසක් නොපෙන්වා කාලය ගත කිරීමේ ප්‍රේම්ගේ අපිරිමිත හැකියාව ඔහු අපූරු මිනිසෙක් බවට පත් කළේය.
ප්‍රේමකීර්ති ඉතා සරල දිවිපෙවෙතක් ගත කළ කුඩා නිරහංකාර මිනිසෙකු වූ බව ඔහු ඇසුරු කළ සමීපතමයන්ට කිසිදා අමතක නොවන්නකි. ඔහුගේ අන්‍යතාවය සහ සුවිශේෂී බවත් එයම විය. අතට හසුවන ඕනෑම දෙයකින් කුසගිනි පුරවාගන්නා ප්‍රේම් පොදු ජල නළයෙන් දෝතට දිය ගෙන බීමට තරම් නිරහංකාර වූ අයෙකි. පෙට්‌ටි කඩයෙන් වඩේ එකක් කා තේ එකක් බීම ඔහුට සාමාන්‍ය කටයුත්තකි. ගමට ගිය විට නියරෙන් බැස ඇළෙන් මුහුණ සෝදා එයින්ම දිය දෝතක් බීම ඔහුගේ පුරුද්දයි. සතියක දීර්ඝ සංචාරයකට ඔහුට අවශ්‍ය වන්නේ ඇඳුම් දෙකකි. රබර් සෙරෙප්පු දෙක ඔහුට හොඳටම සෑහේ. පයින් යෑම, කඩපිල්වල ගැමියන් හා දරුවන් සමග කාලය ගතකිරීම ඔහුගේ විනෝදාංශයයි. ප්‍රේම්ගේ මේ සරල, සැහැල්ලු දිවි පෙවෙත ඔහුගේ සමීපතමයන්ට රහසක් නොවන්නකි.
ප්‍රේමකීර්ති ද අල්විස් කොළඹදී මෙලොව එළිය දුටුවේ 1947 වසරේ ඇසළ මස 03 වැනිදාකය. ඒ අමරාවති ගුණතිලක මෑණියන්ට සහ සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් පියාණන්ට දාවය. මාලිගාකන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ඔහු පසුව මරදානේ පිහිටි ආනන්ද විද්‍යාලයට පිවිසෙයි. එහි දීප්තිමත්ව බබළන තරුණ ශිෂ්‍යයකු ලෙස සියල්ලන්ගේම හදවත් දිනූ ප්‍රේමකීර්තිගේ නම පතළ වීමට වැඩි කලක් ගත නොවීය. එවක ආනන්ද විද්‍යාලයෙන් ප්‍රකාශයට පත්කළ ආනන්දය වාර්ෂික සඟරාවේ සංස්කාරකවරයකු වන ඔහු ධම්ම ජයන්ති මාසික පුවත්පතේද සම සංස්කාරකවරයකු වන්නේ අනාගතයේ සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමේ මූලික අඩිතාලම දමමිනි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ පියාගේ කැමැත්ත ප්‍රේමකීර්ති එහි සේවයට එක්කර ගැනීම වුවත්, ඔහු සිහින දුටුවේ ගුවන්විදුලියට සම්බන්ධ වී නිවේදකයකු වීම සඳහාය. එහෙයින්ම එකල ගුවන් විදුලියේ ජනප්‍රිය නිවේදකයන් බවට පත්ව සිටි ඩී.එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර වැන්නන්ගේ කටහඬ ශෛලිය අනුගමනය කළේය. ලිවීමේ පිපාසාවෙන් පෙළුණු ඔහු පාසල් ශිෂ්‍යයෙකුව සිටියදීම ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ආතර් යූ. අමරසේන කර්තෘත්වය දැරූ විසිතුර කලා සාර සංග්‍රහයට ලිපි ලියමින් පුවත්පත් කලාවටද අත්පොත් තැබීය.
කරුණාරත්න අබේසේකර සූරීන්ගේ සරස්වතී මණ්ඩපයේ ගී ගායනයට පැමිණ පසුව එහි පිටපත් කියන්නෙකු ලෙසින් නව යොවුන් ප්‍රේමකීර්ති හා හාපුරා කියා ගුවන්විදුලියට පා තැබීය. 1967 වසරේ උඳුවප් මාසයේ 17 වැනිදාවක සහන නිවේදකයකු ලෙස ගුවන්විදුලි සංස්ථාවට එක්ව ඇති ප්‍රේමකීර්ති ද අල්විස් 1969 වර්ෂයේදී කොන්ත්‍රාත් වැඩසටහන් සම්පාදකවරයෙකු ලෙස පත්වීමක් ලැබ තිබේ. අනතුරුව 1974 වර්ෂයේ ජූනි 01 වැනිදාවක නිවේදකයෙකු ලෙස ස්ථීර පත්වීම් ලබන ප්‍රේම් ජීවිතය අතරමග අතෑර යන විට වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස ගුවන්විදුලියේ සේවයේ නියුක්තව සිටියේය. ප්‍රේමකීර්ති නිවේදකයෙකු සහ නිෂ්පාදකයකු ලෙස උසස් වීමත් සමග අසන්නන්ට වෙනස් ආකාරයේ වැඩසටහන් රැසක් ශ්‍රවණය කළ හැකි විය. ශනිදා සාදය, සොඳුරු සෙවණ, සැරිසර පුවත් ආදී වැඩසටහන් එකිනෙකට වෙනස් අයුරින් ඉදිරිපත් කිරීමට ඔහුට තිබුණේ අපූර්ව හැකියාවකි.
ප්‍රේමකීර්තිගේ නිවේදක මෙන්ම ලිවීමේ හැකියාවත් ක්‍රමයෙන් දියුණු වෙත්ම ඔහුගේ කුලුඳුල් ගී පද රචනාව 1969 වසරේදී ලියනුයේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරි දෙපළටය. ඒ %හද පුදසුනේ සෙනෙහස මැවුනේ^ නම් ගීතයයි. එම වසරේදීම කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ශූරීන්ගේ %ලොකුම හිනාව^ චිත්‍රපටයට ෆ්‍රෙඩී සිල්වා ගයන %පරණ කෝට්^ ගීතය ප්‍රේම්ගේ අතින් රචනා වනුයේ ඔහුගේ පළමු චිත්‍රපට ගීතය ලෙසිනි.
එතැන් පටන් ප්‍රේමකීර්තිගේ ගී පද රචනා ජනප්‍රිය වූවා පමණක් නොව ඔහු අර්ථපූර්ණ, රසපූර්ණ ගේය පද රචකෙයකු බවටද පත්වනුයේ නිතැතිනි. චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට පසුබිම් ගීත රචනා කළේය. එපරිද්දෙන්ම ගේය පද රචකයකු ලෙස ජනප්‍රිය ගායක, ගායිකාවන් රැසකට ප්‍රේම් ගීත ලියනුයේ කලා ලෝකයේ තවත් මං පෙතකට මග විවර කර ගනිමිනි.
වික්ටර් රත්නායක ගායන ශිල්පියාගේත් ප්‍රේමකිර්ති නම් ගේය පද රචකයාගේත් මාහැඟි හමුවීම සිදුවන්නේ ඒ අනුවය. ප්‍රේමකීර්තිට වික්ටර් %රත්නේ^ විය. වික්ටර්ට ප්‍රේමකීර්ති ප්‍රේම් විය. මේ සුසංයෝගය අපූරුවට සැසඳිණි. එහිදී ප්‍රේමකීර්ති වික්ටර්ට ප්‍රේමය පදනම් කරගත් විවිධ වස්තුබීජ අදාළ කරගනිමින් ලියන ලද ගේය පද රචනා විශාල ප්‍රමාණයකි. මියුරු කල්පනා, තරු අත් අකුරින්, සඳට අහස ආදරේදෝ, මල්සර උක්දඬු, ප්‍රේම පාරාදීසේ, අපි හැඟුම්වලට ආදී ගීත රැසක් ඒ අතර වෙයි. එමෙන්ම ඔහු වික්ටර් රත්නායකට ලියන ලද ආදරයේ උල්පත වූ අම්මා, තනි තරුවේ, ඔබේ දොතොල් පෙති, කුරුල්ලන්ට ගී ගයන්න, සිහින සතක් දුටුවෙමි මම, නිවන් දුටු හිමි, දෙව්රම් වෙහෙරේ ආදී ගීත මෙරට ගේය පද සාහිත්‍යය පෝෂණය කළා පමණක් නොව සුවහසක් රසික හදවත් ද සුවපත් කළේය.
මාලනී බුලත්සිංහල ශිල්පිනිය ගායනා කළ මා එක්‌කලා අමනාපව වී දබර, ඇන්ජලින් ගුණතිලක ගායනා කළ බංගලි වළලු, මර්වින් පෙරේරා ගායනා කළ මේ නගරය මා ඔබ, සඳ මිදුලට එනවා, මිල්ටන් මල්ලවආරච්චි ගායනා කළ ඔබේ නිල් නුවන් තලාවේ, මට මෙන් ඔහුටද කඳුළ ඔබයි, මොහිදින් බෙග් ගැයූ ටිකිරි මැණිකේ ඇඹුල ගෙනැල්ලා, මා ඈත භවේදී, එච්.ආර්. ජෝතිපාල ගායනා කළ ඇහෙනව නම් හිත හඬන තරම්, සුනිල් එදිරිසිංහ ගැයූ දෑවැදි දෙන්නට, බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ, පුන්සිරි සොයිසා ගැයූ එකම මගක පියවර මැන යන්නයි, අබේවර්ධන බාලසූරිය ගැයූ කරුණාව වෙහෙර මළුවේ, නිරංජලා සරෝජනී ගැයූ ලොව නිසසල වී, ප්‍රියා සූරියසේන ගැයූ මට වාසනා, පැතුම් පිරීලා උතුරා යනවා, ටී. ෂෙල්ටන් පෙරේරා ගැයූ මිහිරැති වසන්ත කාලේ, සුජාතා අත්තනායත ගායනා කළ මීදුම් වළාවන් ගලාලා, රුක්මණී දේවි සමග වික්ටර් රත්නායක ගැයූ ඔබ යන ගමනේ, යමුනා විනෝදනී ගැයූ ප්‍රේමයයි වෛරයයි අතරේ ආදී නිර්මාණ ප්‍රේම්ගේ නොසිදෙන ගී උල්පතෙහි නිල් දියවර ස්වල්පයක් පමණකි.
ප්‍රේමකීර්ති හැමවිටම දරුවන් සමග සිටීමට ප්‍රිය කළ අයෙකි. රූපවාහිනියේ ශනිදා සාදය හා අඳුන තුළින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ටය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේය. කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ, පුංචි පන්තිවල, රූම් පෙත්ත කැරකෙනවා, සුරංගීට දුක හිතුණා, සමනලයා මල හා ළමයා වැනි ගීත ද, ටයිටස් තොටවත්තයන් හඬගැන්වූ දොස්‌තර හොඳ හිත කාටුන් නිර්මාණය වෙනුවෙන් රචිත බෑ කියලා බැරිය මලේ ආදී වූ ගීත අදද දරුවන්, වැඩිහිටි කා අතරත් ආදරයට පාත්‍ර වී තිබේ.
ප්‍රේමය, විරහව කෙරෙහි නොඅඩුව ආසක්ත වූ ප්‍රේමකීර්ති විවිධ සමාජ කාරණා මෙන්ම පරිසර විචිත්‍රත්වයද සිය ගී පදමාලා සඳහා තේමාකොට ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිව තිබේ. මිනිසෙකු පිට නැගි, හැන්දෑ කරේ අඹ මල් වට, කොහෝ කොහෝ කොහේ ඉඳන්, අඹ දඹ නාරං කෙසෙල් දෙල්, කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි, සුදුපාට මීදුම් ගලාලා, මහ මුහුදු විමානේ ආදී ජනප්‍රිය ගීත ඒ සඳහා මනාව දෙස් දෙයි.
සිය කෙටි ජීවිත කාලය තුළ ගීත එක්‌දහස් හයසියයකට ආසන්න සංඛ්‍යාවක් ලියූ ප්‍රේමකීර්ති ෆ්‍රෙඩී සිල්වා හා එක්ව කළ උපහාස ගීත මගින් මෙරට ගී කලාව නව මානයකට ගෙන යයි. අලුත් කලාවක්, ආරොන් මාමා, පාන්කිරිත්තා, නෑදෑයෝ, හඳ මාමා, කැකිල්ලේ රජ්ජුරුවෝ, කුණ්‌ඩුමනී, තේ කූඩය පිටේ බැඳන් ආදී ගී අදත් හද තත් විනිවිද මුවඟට සිනහවක් ගෙන දෙයි.
මෙරට පළමු ප්‍රාදේශීය ගුවන් විදුලිය ලෙස රජරට සේවය ආරම්භ කළ මුල් අවදියේ එහි ගත කළ කෙටි කාලය ප්‍රේමකීර්තිගේ ජීවිතයේ තවත් කඩඉමකි. දඬුවම් මාරුවක් හේතුවෙන් අනුරාධපුරයට පැමිණි ප්‍රේම්ගේ රජරට ගුවන්විදුලියේ සේවා කාලය අවුරුද්දක් ඉක්ම වූයේ නැත. එය මාස කීපයකට පමණක් සීමා විය. එහිදී හේනට, කුඹුරට, විවිධ අවවරප්‍රසාදිත ජීවිත වෙත ගුවන්විදුලිය ගෙන යෑමේ භාග්‍යය ප්‍රේම්ට උදාවෙයි. අදත් රජරට සේවයේ අන්‍යතාවයක් සේ සැලකෙන රජරට කැකුළු පළමු වැඩසටහන් කිහිපයේ සන්නිවේදකයා ද ප්‍රේමකීර්ති මිසක අන් කවරෙකු හෝ නොවේ. මී තුරු සෙවණ වැනි වැඩසටහනක් සමග රජරට අහිංසක ගැමියන් උදෙසා ප්‍රේම් සිදුකොට ඇති සන්නිවේදන සත්කාරක මෙහෙවර අදත් වෑදිය නිල්ලෙන්, මහ බෝ සෙවණින් සැනහෙන ප්‍රාදේශීය ගුවන්විදුලියක සොඳුරු මතක සැමරුම් අතර වේ. ගමෙන් නගරයට පොල් අතු සමග මනුස්සකමද රැගෙන ආ අහිංසක කරත්තකරුවන් වැනි අවශේෂ චරිත සමග කරත්ත බත කමින්, රැය පහන් කරමින් ප්‍රේම් එවක සම්පාදනය කොට ඇති වැඩසටහන් ඔහුගේ රජරට ආගමනයේ විචිත්‍ර මතක මාත්‍රයන්ය.
වික්ටර් ගී රස සහ සිහින සතක් යනුවෙන් ගී පද රචනා කෘති දෙකක් ද නොසැලෙන් ඉන්ද්‍රඛීලය සේ යන කවි කෘතියත් අන්තිමයා නමින් ඔහු ලියූ එකම නවකතාවත් සිය කෙටි ජීවිත කාලය තුළ ප්‍රේම් ශේෂ කළ මතක සැමරුම් අතර වේ. 1991 වර්ෂයේදී ස්වර්ණ සංඛ සිනමා සම්මානයෙන් ප්‍රේමකීර්ති ද අල්විස් පිදුම් ලබනුයේ එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ සහරාවේ සිහිනය චිත්‍රපටය සදහා ලියූ වළාකුලක් ගෙන මුවා කරමු නම් වූ ගී පද රචනය වෙනුවෙනි. ඔහු 1998 වර්ෂයේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් උපහාර ලබනුයේ සිහින සතක් ගේය පද රචනා කෘතිය සඳහාය. අවාසනාව නම් ඒ සම්මාන දෝත දැරීමට ප්‍රේම් ඒ වන විට ජීවත්ව නොසිටීමය.
රටම සසල කළ අවදියක ඇඳිරි නීතිය පැවැති දවසක සීතල රෑ මැදියමේ සාහසිකයන් ප්‍රේම්ගේ ජීවිත සිහිනය උදුරා ගන්නා විට ඔහුගේ බැංකු පොතේ තිබී ඇත්තේ රුපියල් දෙදහසකටත් අඩු මුදලකි. ගී පද ප්‍රබන්ධකයෙකු, ආදරණීය නිවේදකයෙකු, තිර කතා රචකයෙකු, පුවත්පත් කලාවේදියෙකු, සමහර තැනෙක නළුවෙකු සේම විවාහකව දරුවන් දෙදෙනෙකුද සිටි සපුරාම සහෘද සංවේදී මිනිසෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් අප අතෑර යනුයේ මේ සියල්ලක් සඳහා නිමාව තබමිනි.
මෙරට සංස්කෘතික අනන්‍යතාවයන්, ඇවතුම්, පැවතුම්, ජීවන දුෂ්කරතා සැබෑම මානව හැඟීමෙන් ගුවන්විදුලිය හා මුසුකොට ඇති ප්‍රේමකීර්ති වැන්නවුන් නැති අඩුව මෙකල දැඩිව දැනෙයි. ඔහු වැන්නෙකුගේ නික්ම යෑමත් සමග වත්මන් නූතන මාධ්‍යය තුළ මතුව ඇති හිඩැස කවරක්දැයි වටහා ගැනීම අපහසු නොවන්නේ අතොරක් ගුවන්විදුලි නාලිකා වල මාල ගිරවුන්ගේ අරුත් සුන් වදන් ඇසෙන විටය. තිස් එක් වසරක් අවෑමෙන්ද අදත් සහෘද සංවේදී මිනිසුන්ගේ හදවත් තුළ ප්‍රේම් ප්‍රේමණීය වන්නේ එහෙයිනි.
සටහන - බුල්නෑව ප්‍රදීප් රණතුංග