මිනිස් පොකුරක් මැදින් ගුවන්ගත වුණේමි


තලේබාන් ග්‍රහණය හමුවේ ඇෆ්ගනිස්ථාන වැසියන් සිය ගණනින් පසුගියදා තම රට හැරදා ගුවන් මගින් පලායාමට දැරූ උත්සාහයන් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. මේ එම අවස්ථාවට මුහුණ දුන් එයාර් බස් ඒ 320 ගුවන් නියමුවෙකු ලද අත්දැකීම්.

දිනය අගෝස්තු 15. සුපුරුදු පරිදි ඇෆ්ගනිස්ථානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර ක්‍රියාත්මක වුණා. මමත්, මගේ එයාර්බස් A320 ගුවන් යානාවත් සැලසුම් කළ ගුවන් ගමනක් සඳහා කාබුල් වෙත ගොඩබැස්වීම සිදුකළේ ඉස්ලාමාබාද් සිට පැමිණීමෙනි. ඒ දිනයේ අපේ සමාගමේ පළමු ගුවන් යානාව හැටියට. අපිට පසුව බෝයිං B777 යානාවක්ද එහි පැමිණෙන්න නියමිත වුණා. උදෑසන 10.00 විතර වන විට අපි එහි පැමිණෙන අවස්ථාවේ දේශීය සහ විදේශීය යානා තමන්ගේ ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ගමන් ක්‍රියාත්මක කරනු දුටුවා. මගීන්ගේ හෝ සේවකයන්ගේ හැසිරීමේ කිසිදු වෙනසක් අපට ඇත්තටම දැනුණේ නෑ. අපිට පිටත් වෙන්න තවත් පැය තුනක පමණ කාලයක් තිබුණා.

අපි කාබුල්වලින් ආපසු ගුවන් ගමන ක්‍රියාත්මක කරන්න සූදානම් වී මගීන් ගුවන් යානාවේ වාඩිකර අවශ්‍ය පරික්ෂාවන් පවා සිදුකර ඉස්ලාමාබාද් බලායාමට ගුවන් ගමන් පාලන අංශයෙන් අනුමැතිය අපේක්ෂාවෙන් ඔවුන් හා සම්බන්ධ වුණා.

&කැප්ටන්, තරමක් අවදානම් තත්ත්වයක් දැනට කාබුල් අවට තිබෙන්නේ. මේ අවස්ථාවේ අපට ඔබව ගුවනට නිදහස් කරන්න අවස්ථාවක් නැහැ. අපි තාවකාලිකව පාලන කටයුතුවලින් ඉවත් වෙනවා. මේ අවස්ථාව වන විට ගුවන්තොටුපොළ අපේ පාලනයෙන් ගිලිහිලා තිබෙන්නේ. එහෙත් ජංගම ක්‍රමවේදයක් ඔස්සේ මඳ වේලාවකින් සම්බන්ධ වෙන්න කටයුතු කරනවා. එතෙක් ඉවසිලිමත්ව රැඳී සිටින්න.*

ඒ පාකිස්තාන ගුවන් සේවයේ ගුවන් නියමු කපිතාන් මැක්සොඩ් බි(ර්)ජානි සමගින් කාබුල් ගුවන් ගමන් පාලන අංශ සංවාදයේ යෙදුන ආකාරයයි.

මේ වන විටත් කාබුල් වෙත ප්‍රහාර එල්ලවෙමින් තිබූ බව දැනගන්නා බි(ර්)ජානි නියමුවා ඇතුළු කාර්යමණ්ඩලය තරමක් තැති ගන්නේ තමන්ගේ ආපසු ගමන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මෙන්ම ජීවිත අවදානම පිළිබඳවත් සිහිගැන්වුණු නිසා විය හැකියි.

මම වහාම මගේ ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සමග සම්බන්ධ වී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන් හැකි විගස රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර පිළිතුරක් ලබාදෙන්න මට පොරොන්දු වුණේ එතෙක් යානාව පසුපසට ගෙන උප ධාවන පථයට පිවිසීමට සූදානම්ව සිටින ලෙසද දන්වමින්.

ඒ අතර යළිත් මා සමග ගුවන් ගමන් පාලන අංශ සම්බන්ධ වෙමින් දන්වා සිටියේ මේ වන විට කාබුල් අවට උද්ගතව ඇති අවදානම් තත්ත්වය සලකා කිසිදු ආකාරයකින් සිවිල් ගුවන් යානාවලට පිටත්වීමට හෝ ඇතුළු වීමට අවසර ලබා නොදෙන බවයි.

තත්ත්වය තවත් අවදානම්, මගේ තනියට සහායක නියමුවා වගේම ගුවන් කාර්යමණ්ඩලයත් නිබඳවම සිටියා. යම් තැතිගැනීමක ඔවුන්ද පසුවන බව මට වැටහුණත් මා ගන්නා ඕනෑම තීරණයක් සමග ඔවුන්ද රැඳී සිටින වග ඔවුන්ගේ කතා විලාසයෙන් මට පැහැදිලි වුණා.

ඒ කපිතාන් බි(ර්)ජානිගේ සැබෑ අත්දැකීම්.

මේ අවස්ථාවෙ මගීන් අතරත් යම් කසුකුසුවක් ඇතිවෙලා. ඇත්තටම ඔවුන් නොසන්සුන්. යානාවෙන් අවට බලද්දි ගුවන් තොටුපොළ නොසන්සුන් බව පැහැදිලිව අපට දකින්න ලැබුණා. මගේ කාර්යමණ්ඩලය මගීන්ව සන්සුන් කර ජීවිතය ගැන බලාපොරොත්තු ඇති කරද්දී මම සහායක නියමුවාත් සමග ඉදිරි සැලසුම් ගැන යුහුසුළුව කතා කළා.

මේ අතරවාරයේ කාබුල් ගුවන්තොටුපොළේ නවතා තිබූ අපේ ගුවන් සේවයේ B777 යානාවටත්, කටාර් ගුවන් සේවයේ B777 යානාවකටත්, එයාර් ඉන්දියා ගුවන් සේවයේ A320 යානාවකටත් පිටත් වෙන්න අවසර ලබා දී ඇති බව අපට දකින්න ලැබුණා. යම් සැනසිල්ලක් එක්ක මම නැවතත් ගුවන් ගමන් පාලන අංශයෙන් යානාවේ එන්ජින් පණගන්වා පසුපසට ගෙන උප ධාවන පථයට පිවිසෙන්න අවසර ඉල්ලා සිටියා.

ඔවුන්ගේ පිළිතුරු ධනාත්මක නැහැ. මගේ සිත කියන්නේ අවදානමක් අරගෙන හෝ කාබුල්වලින් අවසර නොලැබුණත් පිටත්වීම තමයි මේ අවස්ථාවේ කළයුතු දේ කියලයි.

මම යළිත් තානාපති අංශ සමගින් සම්බන්ධ වුණා. ඒ වන විට මගේ ගුවන් සමාගමත්, පාකිස්තාන රජයත් අපි වෙනුවෙන් කළ හැකි දේ කරන්න සාකච්ඡා කරමින් සිටින බව දැනගන්න ලැබී තිබුණත්, සැබෑවටම තත්ත්වය අත්විඳිමින් සිටි මට ඒ හැර විකල්පයක් තිබුණේ නෑ.

තානාපති අංශද සඳහන් කළේ ගුවන්ගත වීම දැඩි අවදානම් බවයි. ඒත් මගේ අදහස හැකි ඉක්මනින් පිටත්වීම තමයි අවස්ථානුකූලව කළ හැකි හොඳම දේ කියලයි.

ඒ අනුව මමත්, සහායක නියමුවාත් තීරණයකට ආවා අවසර ලැබුණත්, නොලැබුණත් කාබුල්වලින් වහා ගුවන්ගත විය යුතුයි කියලා.

එන්ජිම පණගන්වලා යානාව උප ධාවන පථයට ගන්න ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ තමයි වැටහුණේ ධාවන පථයේ සිය ගණනින් මිනිසුන් පිරී ඉතිරිලා ගිහින් කියලා. ඔවුන් හොඳින් හෝ නරකින් තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා රටින් පිටත්වෙන්න උත්සාහ කරනවා. ගුවන් යානාවලට දරන්න නොහැකි තරම් මිනිසුන් පිරිලා. පිරිසක් පියාපත්වල, තවත් අය එන්ජින් කුහරවල වගේම ගුවන් බඳෙහි පවා වාඩි වෙලා. ඔවුන්ගේ හැසිරීම ගුවන් යානාවල සුරක්ෂිතතාවයට අවදානමක් වගේම තමන්ගේ ජීවිතවලටත් අවදානමක්.

කොහොම වුණත් මට අවශ්‍ය වුණේ හැකි විගස කාබුල්වලින් පිටත් වෙන්න. ඒ වෙනුවෙන් ගුවන් ගමන් පාලන අංශයේ අවසරය අපට නොලැබුණත් ආරක්ෂක අංශ යම් සහයක් ලබාදුන්නා. ඒ අනුව මම මගේ යානාව රැගෙන වහාම ගුවන් ගත වුණා. අඩි 15000ක් පමන ඉහළට ගමන් කර යාබද කටාර් ගුවන් කලාපයට පැමිණ එහි ගුවන් ගමන් පාලන අංශ හා සම්බන්ධ වෙමින් මගේ ගමන සාර්ථකව ක්‍රියාත්මක කරමින් සුරක්ෂිතව ඉස්ලාමාබාද් බලා පැමිණ ගොඩබැස්වීම සිදුකළා.

තරමක් අවදානම් තීරණයක් මම ගත්තේ. එහෙත් එය නොගෙන සිටියා නම් මගේ ජීවිත අවදානමට එහා ගිය සිදුවීමක් වෙන්න බොහෝ ඉඩකඩ තිබුණා. මම කල්පනා කළේ යානාවේ මගීන්ගේ ජීවිතවල ආරක්ෂාවත්, මගේ ගුවන් සමාගම වගේම මගේ රටත් ගැනයි. අපි තවත් එහි රැඳී සිටියා නම් බොහෝ විට අපි ත්‍රස්තයන්ගේ ප්‍රාණ ඇපකරුවන් වෙන්න තිබුණා. ගුවන් යානාව ත්‍රස්ත කටයුතු සඳහා යොදවා ගැනීමේ අවදානමක් තිබුණා.

මෙහිදී අපි කටයුතු කළේ එක කණ්ඩායමක් හැටියට. මගේ කාර්යමණ්ඩලය මා සමග නිබඳවම රැඳී සිටීම නිසා නොපැකිළිව මගේ කාර්ය ඉටුකරන්න ශක්තිය ලැබුණා.

අවසන් වශයෙන් බි(ර්)ජානි කපිතාන්වරයා පවසා තිබුණේ ඒ ආකාරයෙනි. මෙම යානාවෙන් පසුව තුර්කි ගුවන් සේවයේ යානාවක් ඉස්තාම්බුල් බලා පිටත්ව තිබූ අතර, මේ වන විට කාබුල් හරහා ක්‍රියාත්මක වන සියලු ආකාරයේ සිවිල් මගී ගුවන් ගමන් වාර අත්හිටුවීමට ගුවන් සමාගම් තීරණය කර ඇත.

ඉන්පසුව කාබුල්වලින් පිටත්වීමට අපේක්ෂාවෙන් රැඳී සිටි සියගණන් වැසියන් එයින් මුදවා ගන්නට ඇමරිකානු ගුවන් හමුදාව කටයුතු කළේ C-17 Globmaster භාණ්ඩ ප්‍රවාහන යානාවක් යොදවා ගනිමින්. මෙම යානාව සෙබළුන් ප්‍රවාහනයටද යොදාගන්නා අතර, වරකට ප්‍රවාහනය කළ හැකි සෙබළුන් ප්‍රමාණය 240ක්. එහෙත් ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් 640ක් පමණ මෙම යානාවෙන් කටාර්හි ඇමරිකානු ගුවන් කඳවුරක් වෙත ප්‍රවාහනය කළේ හදිසි ගොඩබැස්වීමක්ද සමගින්. මෙම මෙහෙයුමේදී මගීන් දෙදෙනෙකු යානාවේ එල්ලී ගමන් කරන්නට දැරූ උත්සාහයේදී ගුවන් ගත කර ඉන් මඳ වේලාවකින් ඇද වැටී මිය ගොස් තිබූ සංවේදජනක සිදුවීමද වාර්තා වුණා.



Recommended Articles