තෙත් බිම් තුළ සිදුවන විනාශකාරී තත්ත්වයන් නවතා දැමීම සඳහා රටවල් 18ක් එකතු වී 1971 වසරේ පෙබරවාරි 02 වන දින තෙත් බිම් සංරක්ෂණය සඳහා අන්තර්ජාතික සම්මුතියකට අත්සන් තබා තිබේ. රැම්සා සම්මුතිය නමින් හැඳින්වෙන මෙම සම්මුතිය 1975 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, මේ වන විට තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා රටවල් 160කට වැඩි ප්‍රමාණයක් සම්මුතියට අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර, ඒ අනුව මෙරට සංරක්ෂණය වන තෙත් බිම් කිහිපයක්ද රට තුළ තිබේ.
සම්මුතියේ ප්‍රධානම පරමාර්ථය ලෙස දක්වා තිබෙන්නේ ලොව පුරා තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම උදෙසා ස්ථානීය මෙන්ම ජාතික හා අන්තර්ජාතික සහයෝගිතා මගින් සියලුම තෙත් බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිත කිරීම යන්නය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිම දූපත් ප්‍රමාණයක් සහිත ගංගාව වන මාදු ගඟ හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියත් 2013 රැම්සා තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත. එය ලංකාවේ තුන්වන රැම්සා තෙත්බිම ලෙසටත් නම් වී තිබේ.
දූපත් 25කින් සමන්විත මාදු ගඟ 2006 වසරේ ජූනි මාසයේදී අභය භූමියක් ලෙසටත් ප්‍රකාශයට පත්කර ඇත. හෙක්ටයාර් 2300ක් පුරා විහිදී පවතින රැම්සා තෙත් භූමිය සහිත අභය භූමිය තුළ කඩොලාන ශාක විශේෂ පමණක් 14කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එමෙන්ම එම අභයභූමි කලාපය තුළ පක්ෂි විශේෂ 130ක් වාර්තා වී ඇති අතර, ශාක විශේෂ 310ක්ද පවතින බව පරිසරවේදීහු සඳහන් කරති. ඉන් 19ක් ශ්‍රී ලංකාවට ආවේණික ශාක ලෙස හඳුනාගෙන තිබේ. මීට අමතරව මත්ස්‍ය විශේෂ 54ක්, ක්ෂීරපායී විශේෂ 20ක්ද මෙම භූමියෙන් වාර්තා වී ඇත.
මේ තරම් වැදගත්කමක් ඇති අභයභූමිය හා රැම්සා තෙත්බිම රුපියල් ශත සොයා ගැනීම සඳහා විවිධ පිරිස් විනාශ කර දමමින් සිටියි. එලෙස සිදුකරන විනාශකාරී ක්‍රියා නිසා 2006 වසරේ ජූනි මාසයේදී අභය භූමියක් බවට පත් කළ මාදු ගඟ පරිසර පද්ධතියට නිවැරදි ලෙස තවමත් මායිම් ගල් සිටුවීමටවත් නොහැකි වී ඇත. මේ නිසා සියලුම පරිසර නීති උල්ලංඝනය කරමින් මෙහි සංචාරක හෝටල් ඉදිකිරීම අඩු නැතිවම සිදුවේ. මීට අමතරව කැළිකසළ පරිසරයට මුදාහැරීම, වගුරු භූමි ගොඩකිරීම, පරිසර පද්ධතියට හානි වන ලෙස ඉස්සන් කොටු පවත්වාගෙන යාම හා නීතිවිරෝධී ලෙස ඉන්ධන භාවිත කරන යාත්‍රා යොදාගෙන සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරද මේ තුළ සිදුවෙමින් තිබේ.
මාදු ගඟේ ඉතිහාසය සොයා බැලීමේදී දූපත් 64ක් පැවති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. එහෙත් ප්‍රධාන වශයෙන් මේ තුළ දුපත් 17ක් පවතින බවට තහවුරු වී ඇති අතර, තවත් දූපත් 08ක්ද කොටස් වශයෙන් පවතින බව තහවුරු වී ඇත. ඇතැම් දූපත් කළු ගල්වලින් නිර්මාණය වී තිබෙන අතර, මෙහි විශාලම දූපත ලෙස සැලකෙන්නේ මාදූවයි. කුඩාම දූපත ලෙස සැලකෙන්නේ සතපහේ දූවයි. සතපහේ දූවද කළුගල්වලින් නිර්මාණය වී ඇත. බොහෝ දූපත් ජනාවාස වී තිබෙන අතර, මාදු ගඟට පමණක් අවේණික වූ බොහෝ දේවල්ද මෙම භූමිය තුළ දැකගත හැකිය. රත්මිල්ල ශාකය මාදු ගඟට පමණක් ආවේණික ශාකයක් වන අතර, ඊට අමතරව ඖෂධීය ශාක කිහිපයක්ද මාදු ගඟ අභයභූමිය තුළ දැකිය හැකිය.
ශ්‍රී ලංකාවට ආවේණික ශාක ලෙස සැලකෙන බෝවිටියා, කැකුණ ආදී ශාක විශාල ලෙස දැකගත හැකි අතර, මීට අමතරව උඳුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා, ගිංපොල්, මිල්ල, ඇඹරැල්ලා, කුරුඳු, පුවක්, කොස් වැනි ශාකද දැකගත හැකිය.
මාදු ගඟ ආශ්‍රිත ජනජීවිතය සලකා බැලීමේදී ඒ අවට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී තිබෙන්නේ ධීවර කර්මාන්තය යටතේ ඉස්සන් ඇල්ලීම සඳහා රිටිපන්න ධීවර කර්මාන්තයයි. ඊට අමතරව ඉස්සන් ඇල්ලීම සඳහා ජලය තුළ කොටු ඇති කිරීමද මෙම භූමිය තුළදී දැකගත හැකිය. පාරම්පරික ධීවර කර්මාන්තය මෙලෙස සිදුවුවත් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් නීතිවිරෝධී ලෙස තැනින් තැන ජලය පිරුණු භූමි තුළ ඉස්සන් කොටු ඇතිකර තිබෙන බවද ප්‍ර‘දේශවාසීහු සඳහන් කරති.
තවද මාඳු ගඟේ ඉවුරු ගොඩ කරමින් සංචාරක හොටල් ඉදිකිරීම දිගින් දිගටම සිදුවන ක්‍රියාවකි. මාදු ගඟේ පවතින සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගෙන ගඟ දෙපසට මීටර් 500ක දුර ප්‍රමාණයක් රක්ෂිත කලාපයක් ලෙසට නම්කර ඇත. මෙවැනි ප්‍ර‘‘දේශයක් නම්කර තිබෙන්නේ ගඟ දෙපස ආරක්ෂා කර ගනිමින් ගඟට සුවිශේෂී ආරක්ෂාවක් ලබාදීම සඳහාය. එහෙත් අද වන විට ගඟ දෙපසම සංචාරක හෝටල් ඉදිකර තිබේ. එම සංචාරක හෝටල්වලින් ඉවතලන අපද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට එකතු කරන බවටත් පරිසරවේදීහු පෙන්වා දෙති.
එමෙන්ම ඉන්ධන මගින් ධාවනය වන යාත්‍රා යොදාගෙන සිදුකරන අවිධිමත් සංචාරක ව්‍යාපාරය නිසා ජලයට ඉන්ධන එකතුවීම නිරතුරුවම සිදුවෙමින් තිබේ. ආසන්න වශයෙන් මෙම භූමිය තුළ මේ වන විට යාත්‍රා 150කට වඩා වැඩි ප්‍රමාණයක් ධාවන කටයුතු සිදුකරන අතර, එම යාත්‍රාවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ධාවනයට එක්කර තිබෙන්නේ 2007 වසරින් පසුවය. මෙලෙස ඉන්ධන වර්ග අධික ලෙස ජලයට එකතුවීම නිසා මත්ස්‍යයන්ට මෙන්ම ජලජ ශාකවලටත් බලපෑම් එල්ල වී තිබේ.
සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තිබෙන මෙම භූමියේදී සංචාරකයන්ට පහසුකම් සැලසීම සිදුවිය යුතුය. එහෙත් සෑම කටයුත්තක්ම සිදුවිය යුත්තේ පරිසර පද්ධතියට, ජලයට, වනසතුන්ට, මත්ස්‍යයන්ට හානියක් සිදුනොවන ආකාරයටය.
ස්වාභාවිකව ඇති වූ මෙම පරිසර පද්ධතිය තුළ අධි බලැති යාත්‍රා භාවිත කිරීමට අවසර ලබාදුන්නද 1978 වසරින් පසු සකස් කළ ලුණුගම්වෙහෙර ජලාශය තුළ අධිබලැති යාත්‍රා ධාවනය කිරීමට ඉඩ ලබාදෙන්නේ නැත.
මත්ස්‍ය කර්මාන්තය විශාල ලෙස මෙම ජලාශය තුළ සිදුකරන අතර, ජලාශය ලුණුගම් වෙහෙර වනඋද්‍යාන භූමියේ පැවතීම හා අධි බලැති යාත්‍රා හරහා මත්ස්‍ය ප්‍රජාවට සිදුවන හානිය සැලකිල්ලට ගෙන එම යාත්‍රා භාවිත කිරීමට ඉඩ ලබාදීම සිදුකර නැත.
මාදු ගඟ අවට ප්‍ර‘දේශවල කඩොලාන විනාශ කර දැමීමටත් විවිධ අවස්ථාවල කටයුතු කර තිබේ. ජාතික පාරිසරික පනතට අනුව හා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙම කටයුතු නීතිවිරෝධී වුවත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන්නේද නැත. මීට අමතරව අභයභූමියක් තුළ වනසතුන්ට හානි වන ආකාරයට කටයුතු කිරීම නීතිවිරෝධී වුවද යාත්‍රා නිසා සහ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් නිසා වනසතුන්ට සිදුවන හානි පිළිබඳව සොයා බැලීමටවත් කටයුතු නොකරන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙම අභයභූමිය තුළ 2007 වසර වන තෙක් සිදු වූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සහ දේශපාලනඥයන්ට හිතවත් පිරිසට අයත් සංචාරක හෝටල් කිහිපයක් බේරාගැනීම සඳහා අදාළ භූමි සීමා නිර්ණ කටයුතු කළේය. ඒ අනුව 2007 වසරේ ජනවාරි 13 වන දින අභයභූමි සීමාව නැවත ගැසට්කර තිබේ. මේ නිසා මාදු ගඟට අයත්ව තිබූ සංවේදී පරිසර කලාප කිහිපයක් මාදු ගඟට අහිමි වී තිබේ.
දැනට සිදුකරන විනාශකාරී කටයුතු සැලකිල්ලට ගෙන ඉදිරියේදී එම ප්‍රදේශ අතහැර දැමීමට කටයුතු නොකරනවා යැයි කිසිවෙකුටත් පොරොන්දුවක් ලබාදිය නොහැකිය. මන්දයත් මාඳු ගඟ හා අභයභූමියේ සීමා ලකුණු කිරීමට ගෙන ආ මායිම්ගල් විශාල ප්‍රමාණයක් මාස ගණනාවක් තිස්සේ මහ පාරේ තැනින් තැන ගොඩ ගසා තිබේ. මායිම්ගල් ගැන සඳහන් කිරීමේදී ඇතැම් සංචාරක හොටල්වල ගොඩනැගිලි මායිම් ගල්වලට සීමා වී තිබෙන අතර, සමහර සංචාරක හෝටල් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පුවරුවලට සීමා වී ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ මාදු ගඟට හෝ අභයභූමියට ආරක්ෂාවක් සැලසෙනවා යැයි කිසිවෙකුටත් සහතිකයක් ලබාදිය නොහැක. ඉදිකිරීම් සිදුකිරීම, කැළිකසළ බැහැර කිරීම, අධිබලැති යාත්‍රා භාවිත කරමින් පරිසර පද්ධතිය විනාශකර දැමීම මෙන්ම මසුන් යොදාගෙන සම්බාහන කරන ස්ථානද මෙම භූමිය තුළ ආරම්භ කර තිබේ.
රැම්සා තෙත් භූමියක් හා අභය භූමියක් තුළ මෙවැනි කටයුතු සිදුකිරීමට නොහැකි නිසා මෙම කටයුතු ඉවත් කිරීමට ප්‍රා‘දේශීය සංවර්ධන කමිටුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව යෝජනා සම්මත කරගෙන තිබෙන බවද පරිසරවේදීහු පෙන්වා දෙති. එහෙත් අද වන තෙක් එම යෝජනා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇත. පවතින පරිසර නීතිරීතිවලට අනුව අභයභූමියක් බවට ප්‍රකාශයට පත්කිරීමට පෙර සිදුකළ සාම්ප්‍රදායික කර්මාන්ත වනසතුන්ට, ශාකවලට හානි නොවන ආකාරයට සිදුකළ හැකිය.
අද දවස වන විට මෙම භූමිය තුළ බොහෝ විනාශකාරී ක්‍රියාවන් සිදුකරන්නේ මෙම පොදු නීතියට මුවා වෙමිනි. මේ නිසා 2007 වසරින් පසු සිදු වූ සියලුම මිනිස් ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබේ. නීතිවිරෝධී කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ අභයභූමිය පාලනය කරන හික්කඩුව වනජීවී කලාපයට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා බවද පරිසරවේදීහු සඳහන් කරති. මේ නිසා මුලින්ම එම කලාපයේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට වගකිවයුත්තන් වගබලා ගත යුතුය. එසේ නොමැති වුවහොත් මාදු ගඟ තෙත් බිමට ලැබී ඇති ජාත්‍යන්තර පිළිගැනීම නැති වී යාමට වැඩි කාලයක් ගත වන්නේද නැත.