අපේ රට සත්ත්ව හා ශාක විශේෂවලින් ලොව අෙනකුත් රටවලට වඩා ඉතාමත් පොහොසත් රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ නමක් දිනාගෙන තිබුණි. මේ නිසාම ජෛව විවිධත්වය අතින් ඉහළම රටවල් 25 අතරට ඇතුළත් වීමටත් ශ්‍රී ලංකාවට හැකි විය.
එහෙත් ගෙවී ගිය දශකයක දෙකක කාලයක සිට ශ්‍රී ලංකාවේ වනවැස්ම ඉවක්බවක් නොමැතිව විනාශ කර දැමීම නිසා ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර පස්වැනි ස්ථානයට පත්වීමට
ශ්‍රී ලංකාවට සිදුව තිබේ. තවද වනසතුන් මරණයට පත්කිරීම, සුවිශේෂී පරිසර පද්ධතිවලට කැළි කසළ බැහැර කර විනාශ කර දැමීම, ආරක්ෂිත වනාන්තර තුළ නිවාස ගොඩනැගිලි ඉදිකිරීම හා වගුරුබිම් ගොඩ කරමින් පරිසරය විනාශ කර දැමීම අතින්ද ශ්‍රී ලංකා නාමය ඉහළම ස්ථානයකට පැමිණෙමින් සිටියි.
සමස්තයක් ලෙස ගතහොත් පරිසරයත්, වන ජීවිතත් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත වන ප්‍ර‘දේශ ලෙස නම ්කර තිබෙනා ජාතික වනෝද්‍යාන, අභය භූමි, යෝජිත අභය භූමි, වගුරුබිම්, කඩොලාන පරිසර පද්ධති පවා මේ වන විට විනාශ කරමින් තිබේ. මේ ආකාරයට වැඩිම මිනිස් ක්‍රියාකාරකම් සිදුවන අභය භූමිය ලෙසට දකුණු පළාතට අයත් මාදම්පාවිල අභය භූමිය නම් වී තිබේ. මාදම්පාවිල අභය භූමිය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබෙනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පුවරුව තුළ අභය භූමිය තුළ සිදුකිරීමට තහනම් දෑ පිළිබඳව පැහැදිලිවම සඳහන් කර ඇත.
ඒ අනුව මාදම්පාවිල අභය භූමිය තුළ වනසතුන් දඩයම් කිරීම, වෙඩි තැබීම, සතුන් අල්ලා ගැනීම, මැරීම හෝ මැරීම සඳහා උගුල් ඇටවීම, බිජු ගැනීම, කැදලි විනාශ කිරීම, සතුන් බෝවන ස්ථාන විනාශ කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, ශාක කැපීම, වගා කිරීම, පතල් කැණීම, අපද්‍රව්‍ය බැහැර කිරීම, වගුරුබිම් ගොඩ කිරීම සපුරා තහනම් වේ.
මේ ආකාරයේ අවවාදාත්මක කරුණු අඩංගු පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කර තිබෙන නමුත්, අවාසනාවට එවන් එක් පුවරුවක් පෙරළා දැමීමටත් ජාවාරම්කරුවන් කටයුතු කර තිබේ. වන භූමියේ හෝටලයක් සකස් කරන පිරිසක් විසින් මෙම පුවරුව පෙරළා දැමූ බවට අවට ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර, අදාළ හෝටලය වර්තමාන ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාගෙන ඇමති තනතුරක් දරන දේශපාලනඥයෙකුට හිතවත් පුද්ගලයෙකුට අයත් බවද පැවසේ.
පසුගිය කාලය පුරාම දේශපාලන වේදිකාව තුළ පුවත් මැවූ මෙම අමාත්‍යවරයා, තම හිතවතාට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ ලබා දී තිබෙන බැවින් නීතිය ක්‍රියාත්මක නොවන බවද ප්‍ර‘දේශවාසීහු පෙන්වා දෙති.
මෙම දේශපාලනඥයාට අමතරව දකුණු පළාත නියෝජනය කරන දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේ හිතවතුන් විසින්ද විවිධ නීතිවිරෝධී කටයුතු කරමින් සිටින අතර, මොවුන්ට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළද, දේශපාලනඥයන් මැදිහත් වී ඒවා නවතා දමන බවද පරිසර සංවිධාන සඳහන් කරති.
මේ නිසා ජාවාරම්කරුවන් තමන්ට රිසි සේ ජාවාරම් කටයුතු සිදුකරමින් තිබේ. හෙක්ටයාර් 1240ක විශාලත්වයකින් යුත් මාදම්පාවෙල පරිසර පද්ධතිය 2007 සැප්තැම්බර් 24 වැනි දිනය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන්නේ අදාළ භූමිය තුළ විශාල ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුත් පරිසර පද්ධතියක් පැවතීම නිසාය
මෙම අභය භූමිය තුළ පක්ෂි විශේෂ 101 හා ශාක විශේෂ 138ක් තිබෙන බවට තහවුරු වී තිබෙන අතර, ඊට අමතරව මත්ස්‍ය විශේෂ 54ක් වාර්තා වී තිබේ. මේ තරම් වටිනා පරිසර පද්ධතියක් හා වනජීවීන් විනාශ කරමින් අම්බලන්ගොඩ හා අවට ප්‍රදේශවල එකතු වන කැළි කසළ මාදම්පාවිල අභය භූමියේ ඉතා සංවේදී පරිසර කලාපයක් ලෙස හඳුන්වන හල්වතුර ප්‍ර‘දේශයට බැහැර කරමින් සිටියි.
මෙලෙස සංවේදී පරිසර කලාපයට බැහැර කරන කැළි කසළ අභය භූමිය තුළ පිහිටි ජල මූලාශ්‍රවලට එකතු වෙමින් තිබෙන අතර, මේ නිසා ඒ අවට ජලය දූෂණයට ලක්ව තිබෙන බව පරිසර සංවිධාන සඳහන් කරති.
එමෙන්ම වනසතුන් ඉවතලන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා සහ කැළි කසළ සමග ලන්ච්ෂීට් වැනි අපද්‍රව්‍ය තිබෙනා නිසා ඒවා ආහාරයට ගැනීම නිසාත් වනසතුන්ට හානි සිදුවෙමින් තිබේ. අදාළ කැළි කසළ බැහැර කිරීමෙන් ඒ ආසන්නයේ තිබූ වගුරුබිමක් ගොඩ වී තිබෙන අතර, ජලය ගලාගෙන ගිය ඇළ මාර්ගයද කැළි කසළවලින් ගොඩ වී ඇත. බැහැර කරන කැළිකසළ මේ වන විට මාදම්පාවිල ජලාශයටත් එක්වෙමින් තිබෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මීට අමතරව ජලාශය මැද පිහිටි දෙල්දූව නම් දූපත් කොටස තුළ හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, හෝටලයට ගමන් කිරීම සඳහා ශාක ඉවත් කර මාර්ග පද්ධතියක් සකස් කිරීමටද සැලසුම් කර තිබේ. අභය භූමියේ රොන්නදුව තොටුපළේ සිට ලේනදුව මුත්තාගේගල දෙසට ගලා යන ජල මාර්ගයේ දෙපස ගොඩකරමින් තිබෙන අතර, මේ නිසා ජලය බැස යන මාර්ග කිහිපයක්ද අවහිර වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විනාශ කළ දැන්වීම් පුවරුව රොන්නදුව තොටුපල අසල සවිකර තිබූ අතර, එය හෝටලයක් සකස් කිරීමට විනාශ කළද බලධාරීන් ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කර නැත.
අභය භූමියට අයත් ගොඩහේන ග්‍රාමසේවා වසමේ ගොරකවත්ත නම් ස්ථානයේ මහා පරිමාණ ගොඩ කිරීමක් සිදුවෙමින් තිබෙන අතර, එම ක්‍රියාව නවතා දමන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ පුද්ගලයන්ට උපදෙස් ලබා දී තිබෙන බවට වාර්තා වේ. එහෙත් තවමත් එම ක්‍රියාව සිදුකරමින් තිබේ.
අදාළ ගොඩකිරීම සිදුකරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමට සිටිනා නිලධාරීන්ට හැකියාව ඇත. අභය භූමියට අයත් තල්ගස්ගොඩ මහා පාලම අසල ඉඩම් නීතිවිරෝධී ලෙස ගොඩ කරමින් තිබෙන අතර, මෙයට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නීති මගින් කටයුතු සිදුකර තිබුණද අදාළ විනාශය තවමත් සිදුවෙමින් තිබෙන බවද පරිසරවේදීහු පෙන්වා දෙති.
මීට අමතරව වනභූමිය අයත් ඉඩම ගොඩ කරමින් වැටවල් ගසා පෞද්ගලික පරිහරණයන් වෙනුවෙන් යොදා ගනිමින් තිබේ. 65 වැනි අභය භූමිය ලෙස නම් වූ මාදම්පාවිල අභය භූමිය දකුණු පළාත තුළ තිබෙනා සුවිශේෂී පරිසර පද්ධතියක් ලෙස නම් වී ඇත. කඩොලාන පරිසර වගුරුබිම් ජල පහරවලින් හා ජලාශයකින් සමන්විත මෙම අභය භූමිය වනසතුන්ට, පක්ෂීන්ට, මත්ස්‍යයන්ට ජීවත් වීමට හොඳම ස්ථානයක් බවද පාරිසරවේදීහු පෙන්වා දෙති.
යම් පරිසර පද්ධතියක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන්නේ අදාළ භූමිය තුළ පිහිටි ශාක ආරක්ෂා කර ගැනීමට හා වනසතුන් ආරක්ෂා කර ගැනීමටය. එහෙත් වනසතුන්ට, ශාකවලට ආරක්ෂාව ලබාදීම සඳහා වෙන් කළ භූමි අනාරක්ෂිත කිරීම හරහා අභය භූමි, වනෝද්‍යාන, රක්ෂිත පරිසර පද්ධති, යෝජිත අභය භූමි නම් කිරීමෙන් ඇති ඵලයක්ද නැත. අද දවස වන විට මාදම්පාවිල අභය භූමිය තුළ සිදුකරන විනාශකාරී කටයුතුවලින් පෙන්නුම් කරමින් තිබෙන්නේද මෙම ධර්මතාවයයි.
දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ හෙන්චයියලා විසින් සිදුකරන පරිසර විනාශයට අනුව වැඩි කල් නොගොස් පක්ෂීන්ට, වනසතුන්ට, මත්ස්‍යයන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවනු ඇත. පරිසරය සුරැකීම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පිරිසක් දැඩි කැපවීමෙන් කටයුතු කරන සමයක ෙසාබාදහම විසින් නිර්මාණය කළ මෙම පරිසර පද්ධතිය විනාශ වී යාම හරහා මාදු ගඟ පවා දැඩි අනතුරකට ලක්වනු ඇත. මන්දයත් මාදු ගඟට මෙම භූමියේ ජල මූලාශ්‍ර සම්බන්ධ වී තිබෙන නිසාය.
මේ නිසා පරිසරය රැකගැනීමට කියා ගස්කොළන් සිටුවීම පසෙක තබා මෙම පරිසර පද්ධතිය රැකගැනීමට වගකිවයුත්තන් පෙළගැසිය යුතුය. එසේ නොමැති වුවහොත් රටට අභය භූමියක් අහිමි වන දිනය වැඩි ඈතක නොවේ.