මිනිස් ඇසුරට වහ වැටුණු රිළා, වඳුරු කරදරයේ ඇත්ත කතාව


වනඅලි උන්ගේ ජනාවාස පැහැර ගැනීමේ වේදනාවෙන් මිනිසුන් හා ගැටුමට එති. පෑවිල්ලට හසුවී වන මැද දියකඩිති ආදිය සිඳී යන විට බීමට ජලය, කෑමට යමක් සොයා අලි ගම් වදිති. ඒ එන ගමනේදී හේන්, කුඹුරු ආදියෙහි භවභෝග විනාශ කරති. සමහර තැනකදී අලි පහරදීමෙන් මිනිස් ජීවිත අකාලේ අහිමි වෙයි. අලින්ට සිය වගා බිම්, ජනාවාස විනාශ කිරීමට ඉඩ නොහරින මිනිස්සු ඔවුනට තුවක්කු බඳිති. සමහර විට වෙඩි තබති. හක්කපටස් ගිල්වති. මේ අලි - මිනිස් ගැටුම රටෙහිම පතළය.

අලියා තරමින්ම නොවුණත් පොල්, පුවක්, අඹ, පැපොල් ආදී භවභෝග අසානාසි කරන රිළවුන් සහ වඳුරන්ද දැන් මහත් කරදරයක් වී තිබේ. ඉන් නොනැවතී පේර, ජම්බු, දෙහි, දොඩම් ආදියටද ඔවුන් වග කියයි. වඳුරන් සහ රිළවුන් පරිසරයේ විචිත්‍රත්වයට සහ ජෛව විවිධත්වයට මනා රුකුලකි. එහෙත් මේ සතුන් සැලකෙනුයේ විනාශකාරීන් ලෙසය. වඳුරන්ගේ, රිළවුන්ගේ ස්වභාවය නම් ආහාරයට ගන්නවාට වැඩි කොටසක් ඉවත ලෑමය. නිදසුනක් ලෙස අඹ ගෙඩියක් කඩා ගතහොත් ඉන් කොටසක් ආහාරයට ගෙන වැඩිහරිය ඉවත දමයි. අනතුරුව තව ගෙඩියක් කඩා ගනියි. කුරුම්බා ඇට්ටි, පොළොස් ගැට, කෙසෙල් කැන්, පුවක්, පැපොල් ආදියට සිදුවන්නේද එයමය. මෙසේ විනාශ වන්නේ මිනිසුන්ට හෝ අනෙක් සතුන්ට ආහාරයට ගත හැකි දේවල්ය. වඳුරන්ට,  රිළවුන්ට ආහාර අරපිරිමැස්ම කියදෙන්නට සමතෙක් නැති බැවින් විනාශය දැක සුසුම්ලෑමට පමණක් සිදුව තිබේ.

අනුරාධපුර පූජා නගරය මෙම වඳුරු, රිළා කරදරය බහුලව ඇති කලාපයකි. මෙම බිම් තීරයේ රිළා, වඳුරු ගහනයද ඉහවහා ගිය තරම්ය. මහමෙවුනා පරිශ්‍රය එකම රිළා, වඳුරු රජදහනකි. මෙහි ඇති සිහිලැති තුරු මුදුන් මේ සතුනට නිබඳ අස්වැසිල්ලකි. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය, බසවක්කුලම වැව් තාවුල්ල පිරිවරා මොවුහු නිදැල්ලේ කල් ගෙවති. පුජා නගරයට ඔබ්බෙන්, මල්වතු ඔය අසබඩ විජයපුර ප්‍රදේශයේ පිහිටි සිරි විජය විදර්ශනා භාවනා සෙනසුනද රිළවුන්ගේ හොඳ නවාතැනකි.

ඉවතලන මල්, පලතුරු, කිරිබත් ආදියට මේ සතුන් රොඳ බදී. "හැට පැන්නත් වඳුරන් බිම නොයන" ප්‍රවාදය බොරු කරමින් බිමට එන රිළවුන්, වඳුරන් පුජා වට්ටි ඔසවාගෙන දුවයි. මල් පුදසුන් අවුල් කරයි. සමහර තැනකදී වන්දනාකරුවන්ගේ අඩුමකුඩුම සොරාගෙන යෑමද මොවුනගේ චර්යාවන් අතර දැකගත හැකිවේ. මිනිස් ලෝකයේ සිදුවන්නාක් මෙන් ආහාර ටිකකට, එකම ස්ත්‍රී රුවකට ආසක්ත වීම මගින් උනුන් අතර ඇතිවන ගැටුම්ද රිළා, වඳුරු සමාජයේද දැකගත හැකිය. වඳුරන්ට, රිළවුන්ට මේ බිම රජදහනකි. අතුපතර හැල්මේ හැදුණු දළු, මල්, ගෙඩි ආදිය කෑමට හුරුව සිටි වඳුරන්ට, රිළවුන්ට බත්, කිරිබත් රස වැටුණේ වැරදි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.

මෙසේ රිළවුන්, වඳුරන් මිනිස් ජනාවාස වෙත කඩාවැදීමට පාදකව ඇති කාරණා අතර විවිධ සංවර්ධන කාර්යයන් සඳහා වනාන්තර එළිපෙහෙළි වීම අනවසර කැලෑ කැපීම් ප්‍රධානතම හේතුවක් වග සැලකිය හැකිය. තවත් පසෙකින් යම් ආහාර අහේනියකට මෙම සතුන් මැදිවී ඇති බවද අනුමාන කළ හැකිව තිබේ.

ඉන් බැහැරව වනාන්තරගත කොළ, දළු, මල්, ගෙඩි ආදිය ආහාරයට ගැනීමෙන් ඔබ්බට මිනිස් ජනාවාස ඇසුරෙහි ඇති ආහාර, පලතුරු, භවභෝග ආදියට අනුවර්තනයක් වීමක් මෙම රිළා, වඳුරු ආක්‍රමණය තුළ හඳුනාගත හැකිව තිබේ.

මේ අතර අනුරාධපුරය දකුණු මායිමේ පිහිටි ගල්නෑව ප්‍රදේශයේ ඉහළ බුල්නෑව, මුලංනටුව, මිදෙල්ලෑව, හුණුපොලගම, නෙලුම්පත්ගම, ලෝලුගස්වැව ආදී ගම්මානවල පොල් සහ පුවක් වගාවන්ට රිළවුන්ගෙන් සිදුවන හානිය ඉකුත් වකවානුවේ බරපතළ වූ බවට තොරතුරු තිබේ. හැදී එන පුවක් වලු ගලවා දමා, කුරුම්බා ගෙඩි, ඇට්ටි ආදිය කඩා දමා මහත් විනාශයක් සිදුකරන බවට මේ ගම්මැදි ගැමියෝ සාක්ෂි දරති. කෑකෝ ගසා රතිඤ්ඤා ආදිය දමා රිළවුන් එළවීමට කටයුතු කළද පැයක් දෙකක් ගතවෙත්ම නැවතත් ගෙවතු වලට කඩා වදී. 

නිවෙස් අසල වියළීමට තබන කපන ලද පොල් ආදියද රිළවුන්ගෙන්බේරා ගැනීමට කාන්තාවන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. නිවෙස් තුළට පවා කඩා වැදීමට හුරු වූ රිළවුන් හේතුවෙන් කුඩා දරුවන් නිවෙස් තුළ තබා යෑමද අන්තරාකාරී වී ඇත. මේ අතර පලාගල, කහල්ල පල්ලේකැලේ වන මායිමේ පිහිටි ගෝණදෙනියාගම ගමෙන් අසන්නට ලැබුණේ පසුගිය වකවානුවේ කඩාවැදුණු රිළා රංචු නිවෙස් වල වහල, ජනෙල් ආදිය පවා බිද දැමූ බවය. පොඩි දරුවන් අත ඇති බත්පත පවා උදුරා යන බවය. මේ රිළා, වඳුරු කරදරය ඇති සීමිත ප්‍රදේශයක තොරතුරු පමණකි.

වඳුරන්, රිළවුන් යම් බුද්ධි මහිමයකින් යුතු වන හෙයින් ඔවුන් සිදුකරන අසානාසිය වැළකීම සහ එළවා දැමීම පහසු නැත. මෙම සතුන් එළවීම සඳහා දැන් කෑ කෝ ගැසීම පමණක් ප්‍රමාණවත් නැත. සමහරෙකු රතිඤ්ඤා දමති. අහස් කූරු පත්තු කරති. නිවෙස් වලට ගොඩවීම වැළකීමට ආසන්නයේ ඇති ගස් අතු කපා දමයි. එහෙත් මේ සියලු තත්ත්වයන්ට අනුවර්තනය වීමට රිළා, වඳුරු සනුහරේට ඇති හැකියාව පුදුමසහගතය. වඳුරු සහ රිළා හිරිහැරය මගහැරවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදුකරනුයේ මෙම සතුන් අල්ලා වෙනත් වන ප්‍රදේශවලට රැගෙන යාමය. වඳුරන් සහ රිළවුන් අල්ලා ගැනීම ප‍්‍රායෝගිකව ඉතා දුෂ්කර කටයුත්තකි. එහෙයින් වාසභූමි මාරු කිරීම එතරම් ප්‍රචලිත නොවූ ක්‍රියාමාර්ගයකි.

ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට රජය මගින් වායු රයිපල් සපයා ඇති බවද කියැවෙයි. එහෙත් තවමත් එයද මෙරට තුළ ප්‍රචලිත නොවූවකි. සැබැවින්ම කොතෙකුත් හිරහැර ඇතිවුවත් වායු රයිපල් භාවිතය ප්‍රකට නොවීමට මෙරට ජනජීවිත හා බැඳී පවතින ආධ්‍යාත්මික පසුබිමද ඉවහල් වී ඇති බව පැවසිය හැකිය. කෙසේ වෙතත් වනඅලින්, වඳුරන්, රිළවුන් ආදී සතුන් මිනිස් ආහාරවලට ඇබ්බැහි වූ කල ඔවුන් එමගින් වළකා ගැනීමද මහත් අසීරු කටයුත්තකි. අනුරාධපුර පූජා නගරය තුළත්, ඉන් බැහැර සමහර ගම්මැදි වලත් අද දැකිය හැක්කේ මෙම ඇබ්බැහියේ අනිටු ඵලය.

ශ්‍රී ලංකාවේ වෙසෙන රිළවා "ටෝක් මෙකාක්" සහ "මැකාකා සින්කා" යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. කඳුකර, තෙත් සහ වියළි දේශගුණික කලාප අනුව මොවුන්ගේ උප විශේෂ තුනක් හඳුනාගත හැකිය. එම උප විශේෂ මෙරටට ආවේණික වේ.

සමහර විදේශීය විශේෂඥයන් මෙරට රිළවුන් පිළිබඳව නිරීක්ෂණ කාර්යයන්වල නියැලුණු වගට තොරතුරු තිබේ. මෙලෙස මෙරට රිළා, වඳුරු වර්ගයා වෙත ආකර්ෂණය වන විදේශීය සංචාරකයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයටද යම් රුකුලක් මෙම සතුන්ගෙන් සැලසේ. එහෙත් මෙරට රිළවුන්, වඳුරන් විනාශකාරයන් සේ සලකනු විනා ඔවුනගෙන් සිදුවන එවැනි සේවාවන් ගැන කවරෙකු හෝ කතා කරනු අසන්නට නොලැබේ.

අතීතයේ වනාන්තර ප්‍රදේශවල වඳුරන්, රිළවුන් ගමන් ගත් තුරු මුදුන් වෙනම තිබුණු බවට සඳහන් වේ. රිළවුන් සහ වඳුරන් ජීවත්වන පරිසරයට අනුගත වීම කෙරෙහි දක්වන සංවේදීතාව අනෙක් බොහෝ සතුන් අභිභවන්නකි. අප මින් වසර හැත්තෑවකට මත්තෙන් දේශපාලනික නිදහස ලබන විට මෙරට වන ගහනය සමස්ත භූමියෙන් අඩක් පමණ වී ඇත. දැන් එය 25෴ක් තරම් වූ සීමාවට පැමිණ ඇත. එහෙයින්ම වනාන්තරගතව නිදහසේ සංසරණය වූ බොහෝ සත්ත්වයන්ට මිනිස් ජනාවාස ඇසුරට එන්නට සිදුව තිබේ. රිළා, වඳුරු ආක්‍රමණයද ස්වාභාවික වන සංහාරයේ අනිවාර්ය බලපෑමක් ලෙස වටහා ගත යුතුය. එය මිනිස් වර්ගයා විසින් කළ වරදක් මිසක මේ අහිංසකයන් එහි පංගුකරුවන් නොවන වග වටහාගත යුතුව ඇත.

ස්වාභාවික පරිසරයේ කොළ, දළු, මල්, ගෙඩි ආදියෙන් කුස පුරවාගත් මේ සතුන් මිනිස් ආහාර පරිභෝජනයට අනුවර්තනය වී ඇත්තේ අපගේම නිවැරදි නොවන චර්යාවන් හේතුවෙනි. පූජා භූමි තුළදී ආහාර සිඟන්නවුන් බවට වඳුරන්, රිළවුන් හුරුවී ඇත්තේ අප ඒ සඳහා ඔවුන් හුරු කළ බැවිනි. මිහිලියගේ සින්නක්කර අයිතිය මානව වර්ගයා උදෙසා පමණක්ය යන මානසිකත්වය ස්වාභාවික උපද්‍රව කළමනාකරණයේදී බලවත් බාධාවකි. මෙම තත්ත්වයන් නිවැරදිව වටහා ගැනීම රිළා, වඳුරු කරදර කළමනාකරණය කිරීමට පහසුවකි. සත්ත්ව විශේෂඥයන්ගේ දැනුම සහ මෙම සතුන්ගෙන් හිරිහැර විඳින ජනතාවගේ අත්දැකීම් ඒ සඳහා ඉවහල් කරගත යුතුව පවතී. එසේ නොවන කල්හි සතුනට අනතුරු සිදුකිරීම ස්වාභාවික තත්ත්වයන් බලහත්කාරයෙන් අභිභවා යෑමක් මිසක වෙන අන් කවරක් හෝ නොවන වග පැවසිය යුතුව ඇත

බුල්නෑව ප්‍රදීප් රණතුංග 



Recommended Articles