මැලවිල්ල


මලවන්නේ මැල්ලුම්ය. මලවන මැල්ලුම් දෙවර්ගයක් තියෙනවාය. එකක් නම් බත් සමග කන මැල්ලුම්ය. අනිත් මැල්ලුම මලවන්නේ ලෙඩට ප්‍රතිකාර කරන්නටය. අතක් පයක් බිඳුනාම වෙද මහත්තයා කැලෑ කොළ වර්ග කිහිපයක් මලවලා එතන බඳින්න කියනවාය. ඒ මැල්ලුමට බිඳිල්ල සනීප වෙනවාය. ඒත් දැන්නම් කැලෑවල් නැති හින්දා මැල්ලුමට කොළ හොයන්න බැරිය.

අනිත් අතට මැල්ලුටමට ගන්න අවශ්‍ය කොළ අඳුනන කෙනෙක්ද නැත්තේය. ඒ හින්දා අමාරුවෙන් කැලයකට රිංගුවත් එහෙම මැල්ලුමට ඕනෑ කරන කොළ වර්ග හොයා ගන්නවා බොරුය. ඉස්සර නම් කැලෑ කොළ ගැන දන්න අය ගම්වල ඕනෑ තරම් සිටිය නිසා කැඩුණු කකුලට බඳින්න මලවන්න ඕනෑ කරන කොළ පොතු හොයා ගන්න අමාරු වුණේ නැත්තේය. ඒත් අද නම් තාප්ප දාගෙන ගෙවල්වලට කොටුවෙලා ඉන්න අයට මැලවිල්ලට කොළ හෙවිල්ල කළුනික හෙවිල්ල වගේ අමාරුය.

ඒ හින්දා අද අතක් පයක් බිඳුනාම මැල්ලුම් මලව මලවා කරදර වෙනවා වෙනුවට බොහෝ අය පුරුදුවෙලා ඉන්නේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළුවෙලා ප්ලාස්ටර් දම්මවා ගන්නටය. එහෙම කකුල් අතපයවල බාගයක් වැහෙන්න ප්ලාස්ටර් දමාගෙන මාසයක් හමාරක් එල්ලිලා ඉන්නවාට වැඩිය සතියක් දෙකක් කොළ පොතු ටිකක් මලවලා මැල්ලුමක් බැන්දාම සනීප කරගන්න පුළුවන්ය. ඒත් අපේ අයට අද නම් අතපය කැඩුනාම ගමේ වෙද මහත්තයට පෙන්නලා තෙල් ටිකක් ගාලා මැල්ලුමක් බැඳගැනිල්ල තත්ත්වයට මදිය.

මැල්ලුම් කෑමත් අද බොහෝ දෙනාට ගැළපෙන්නේ නැත්තේය. කොළ මැල්ලුමක් කෑම පහත් කෑමක් ලෙස හිතන අය වැඩිය. අනිත් අතට බොහෝ දෙනා දවල්ට, රෑට ප්‍රයිඩ් රයිස් වගේ දේවල් කන හින්දා ඒවත් එක්ක මැල්ලුම් කන්න බැරිය. ඉස්සරනම් ගම්වල මැල්ලුමට හරි තැනක් තිබුණේය. පලා මැල්ලුමක් නැති කෑමක් තිබුණේම නැති තරම්ය. අම්මා පුරුදුවෙලා හිටියේ හාල්ටික ගරලා ඒක ලිපේ තියන්ඩ ඉස්සරවෙලා වත්ත පහළට දුවලා කොළ ටිකක් කඩාගෙන ඇවිත් මලවලා ගන්නටය.

ඉස්සර ගෙවතුවල පලා මැල්ලුමක් හදන්න මලවන්නට ඕනෑ කරන කොළ වර්ග ඕනෑ තරම් තිබුණේය. ශරීරයට අවශ්‍ය විටමින් ඛනිජ ලවන ආදිය කොළ මිටක් මැලවිල්ලෙන් පහසුවෙන් ලබාගන්න පුළුවන් වෙලා තිබුණාය. ඒ හින්දා මැල්ලුමක් නැති බත් කෑමක් ඒ කාලේ තිබුණේම නැත්තේය. 

උදේට පිපෙන මල් හවසට මැලවෙනවාය. එහෙම මල් මැලවෙනවාට කියන්නේ පරවෙනවා කියලාය. ඒ වගේම කඩුපුල් වගේ රෑට පිපෙන මල් උදේට මැලවෙනවාය. සඳ එළියට පිපෙන මල් වර්ග හිරු එළිය වැටෙන විට මැලවෙනවාය. පිපිච්ච ඒවා මිස මැලවෙච්ච මල් පූජාවල්වලට ගන්නේ නැත්තේය. උදේ පිපෙන මල් හවසට මැලවිල්ලෙන් අපේ ජීවිතවල තියෙන අස්ථිරභාවය පෙන්වනවා යැයි කියනවාය.

වතුර නැතිවුණාම ගස්වල පත්‍රද මැලවෙනවාය. එහෙම මැලවුණාම කියන්නේ හේගිහින් කියලාය. එහෙම මැලවෙන්නේ ඒවායේ ඇති වතුර ගතිය හිරු එළියෙන් අවශෝෂණය කරගන්න නිසාය. මැලවෙච්ච බවභෝග  පැළවලට වතුර වැටුණාම නැවතත් අලුතෙන් පණදාලා එනවාය. ගොයම් මැලවෙන්නේද වතුර නොලැබෙන විටය. ගොවියා කියන්නේ ආණ්ඩුව ගොයම් වැඩෙන කාලෙට වතුර නොදෙන හන්දා තමන්ගේ වගාවල් මැලවිලා වේළිලා යන බවය. වැහි වතුරෙන් වගා කරන කුඹුරුවලද නියඟය ආ විට ගොයම් පැළ මැලවිලා යනවාය. මෙහෙම පුංචි කාලෙම ගොයම මැලවිලා යෑමෙන් බලාපොරොත්තුවෙන අස්වැන්න ලබාගන්න බැරිවුණාම රටේ හාල් හිඟයක් ඇති වෙනවාය.

ගොයම මැලවුණාම ගොවියන්ගේ මුහුණුද මැලවෙනවාය. සමහර ගොවියන්ගේ කන්න දෙක තුනක් පාළු වුණාම එදාවේල කන්න නැතුව මුහුණු මැලවිලා යනවාය. ගොවියන්ගේ මෙහෙම මැලවිච්ච මුහුණුවලින් පේන්නේ බලාපොරොත්තු කඩවීමය. ආදරය කරන කාලයේ පෙම්වතා තමන් හමුවීමට පැමිණීමට ප්‍රමාද වූ විට පෙම්වතියගේ මුහුණ මැලවෙනවාය.

'ඔයා මොකද බුම්මාගෙන ඉන්නේ' කියලා පෙම්වතා අහන්නේ මෙහෙම මුහුණු මැලවිලා ඉන්නා විටය. පෙම්වතා දකින කොටම පෙම්වතියගේ මැලවිලා තිබුණු මුහුණ එළිය වෙන්නේ ආදරයේ ආලෝකය වැදිලාය. ඒත් මෙහෙම අවුරුදු ගාණක් ආදරය කරලා කසාද බැන්දට පස්සේ එළිය වෙලා තිබුණු මුහුණු මැලවෙන්නේ ජීවන ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙන විටය. ඒවාට විසඳුම් සොයාගන්න බැරි වුණොත් ඊට පස්සේ සිද්ධ වෙන්නේ හැමදාම මැලවිච්ච මුහුණෙන් ඉන්නටය.

අද බොහෝදෙනා මුහුණු මලවාගෙන ඉන්නේ ඒ හින්දාය.සිසුන්ගේ මුහුණු මැලවෙන්නේ විභාගය අසමත්  වූ විටය. කොහොම හරි විභාගය සමත් වුණොත් ඊළඟට මුහණ මැලවෙන්නේ කැම්පස් යන්න ඉසෙඩ් ඉස්කෝර් එක මදි වුණාමය. කැම්පස් ගියාට පස්සේ මුහුණ මැලවෙන්නේ රැග් එකට අහුවුණාමය. කොහොම හරි විභාගය පාස් කරගෙන කැම්පස් එකෙන් එළියට ආවිට මුහුණු මැලවෙන්නේ රස්සාවක් හම්බ නොවුණාමය.

ඒ හින්දා අද වෙලා තියෙන්නේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාට සැමදාම මුහුණු මැලවිලා ඉන්නටය.  මුහුණු මැලවිලා ඉන්න කෙනෙක් දුටුවිට අහන්නේ මොකද දාහට දීලා සීයට අරන් වගේ ඉන්නේ කියලාය. එහෙම මුහුණ මැලවිලා ඉන්නේ කොච්චර හම්බ කළත් ඔක්කොම සල්ලි මාසෙ මැද වෙනකොට දියර වෙලා යන හින්දාය. අද ආණ්ඩුව බදු ගහන ගැහිල්ලට වැඩිදෙනා ඉන්නේ මුහුණු මලවාගෙනය. බිස්නස් කරන අයද වැඩියෙන්ම කරන්නේ මැලවිච්ච මුහුණෙන් යුතුව ආණ්ඩුවට දොස් කියන එකය.   

ඡන්ද දාසලා මුහුණු මලවාගෙන ඉන්නේ දේශපාළුවන් ඡන්දෙට ඉස්සෙල්ලා දුන්ණු පොරොන්දු ඉටුනොකළ හින්දාය. ඡන්දෙත් දිනලා දියවන්නාවට යන අය මුහුණු මලවාගෙන ඉන්නේ තමුන්ට ඇමැතිකමක් නොලැබුණා කියලාය. කොහොම වුණත් ආපහු ඡන්දෙ ඉල්ලන වැඩිදෙනාට ඡන්ද දාසලා ඡන්ද නොදෙන හින්දා ඒ අයට ඊට පස්සේ  සිද්ධ වෙන්නේ හැමදාටම මුහුණු මලවාගෙන ඉන්නටය. 

 



Recommended Articles