වර්තමානයේ ඖෂධ හා උපකරණවල ඇති හිඟය හා ඖෂධ මිල ඉහළ යාම පිළිබඳව ජනතාව අතර විවිධ මත පළවෙමින් පවතී. විශේෂයෙන් ළමා රෝහල හා පිළිකා රෝහල ආදී රෝහල්වල ඇති ඖෂධ හිඟය පිළිබඳ වරින් වර ප්‍රකාශයන් පළ කරනු දැක ගත හැකියි. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය හා ඉදිරිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙලෙස අනාවරණයක් සිදුකළේය.
ඇති වී තිබෙන ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය
ඖෂධ, උපකරණ හා රෝහල් වල කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළවෙනවා. සාමාන්‍යයෙන් අපේ රටට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ වලින් 25෴ක් පමණ ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු දෙකක කාලය තුළ අපි දිරිගැන්වීමක් කළා දේශීයව ඖෂධ, වෛද්‍ය උපකරණ හා අනෙකුත් පාරිභෝජක ද්‍රව්‍ය, වෛද්‍ය නිපැයුම් රට තුළ නිෂ්පාදනය කිරීම වෙනුවෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස අපට 16෴ක්ව තිබුණු දේශීය නිෂ්පාදන 25෴ක් දක්වා ඉහළ දමාගන්න පුළුවන්කමක් ලැබුණා. මේ වෙනකොට රාජ්‍ය අංශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අපේ රටට අවශ්‍ය වන ඖෂධ වර්ග 82ක් මුළුමනින්ම අපේ රටේ නිෂ්පාදනය කරනවා. ඒ වගේම පෞද්ගලික අංශය තවත් ඖෂධ 100ක් පමණ නිෂ්පාදනය කරනවා. මේ රට තුළ පැනනැඟුණු ආර්ථික අර්බුදය හමුවේ වුවත් රෝහල් සායන සාමාන්‍ය මට්ටමට පවත්වාගන්න ප්‍රධාන වශයෙන් රුකුලක් වුණේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඖෂධ නිෂ්පාදන කටයුතු සිදුකිරීමයි.
පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ සිට ලංකාවේ නිෂ්පාදනය කරපු සේලයින් වර්ග තමයි මුළුමනින්ම රාජ්‍ය අංශයේ රෝහල් වල ප්‍රතිකාර සඳහා පාවිච්චි කළේ. ඒ නිසා මේ ආර්ථික අර්බුදය තිබුණත් සේලයින් ලබා ගැනීමේ ප්‍රශ්න ඇති වුණේ නැහැ. සේලයින් වලට අමතරව ඩෙක්ස්‍රෝස් කියන නික්ෂේපණ ද්‍රාවණයත් ඩෙක්ස්‍රාන් කියන ද්‍රාවණයත් නිෂ්පාදනය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. ඒ හැර අපි ඖෂධ 75෴ක් පමණ ආනයනය කරනවා. ඒවායෙන් අතිබහුතරය අපි ඉන්දියාවෙන් තමයි ආනයනය කරන්නේ. ඊට අමතරව චීනයෙන්, යුරෝපීය රටවල් වලින් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ හා විද්‍යාගාර වලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලබාගැනීම් සිදුකරන්නේ. මේ සඳහා අපිට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලයන 275ක් පමණ වාර්ෂිකව වැය වෙනවා. නමුත් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් පළවන සතිය දක්වා පමණ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයත් එක්ක අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ විදේශීය මුදල් ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයට ලබාගන්න. දිගින් දිගටම අපිට පුළුවන්කමක් ලැබුණෙ නැති නිසා යම් ප්‍රමාදයක් පැහැදිලි ලෙසම ඇතිවුණා. ඒ නිසා අපිට ණයවර ලිපි විවෘත කරගන්න ප්‍රමාද වුණා. පසුගිය මාස කිහිපයම ගත්තොත්, ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල අපිට අවම ණයවර ලිපි ප්‍රමාණයක් තමයි විවෘත කරගන්න පුළුවන් වුණේ.
ඖෂධ හිඟයට ගත් පියවර
කෙසේ නමුත් අපි මේ තත්ත්වය නිසා ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ සම්බන්ධයෙන් පෙබරවාරි පළමු සතියේ සාකච්ඡා කරලා එකඟතාවලට පැමිණියා. එහි ප්‍රතිඵල ලෙස අපිට ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක් ලබාදෙන්න ලෝක බැංකුව එකඟ වුණා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් ලබා දෙන්න එකඟ වෙලා තිබෙනවා. මීට අමතරව ඉන්දියානු රජයේ ණය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් රාජ්‍ය අංශය සඳහා ඖෂධ මිලදී ගන්න ලබාදීමට එකඟතාව පළ කරලා තිබෙනවා. මේ අතරින් ලෝක බැංකුවේ ආධාර අපිට පළමු කොටසට ලැබුණා. ඒ නිසා අපිට අප්‍රේල් මාසයේ පළවෙනි සතියේ සිට ණයවර ලිපි නැවත විවෘත කර ගැනීමේ හැකියාව ලැබුණා. අද වෙද්දී අපි සෑහෙන වශයෙන් ණයවර ලිපි විවෘත කරලා තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලයන 25.4කට අදාළ වෙන ඖෂධ හා අනෙකුත් උපාංග දෙසිය හැට දෙකකට අදාළව අපි ණයවර ලිපි විවෘත කර තිබෙනවා. ඒ වගේම යුරෝ එක්ලක්ෂ හැත්තෑපන්දාහකට අදාළ වන ණයවර ලිපි 12ක් විවෘත කර තිබෙනවා. රුපියල් වලින් රුපියල් බිලියන 3.8කට අදාළ ණයවර ලිපි 75ක් විවෘත කර තිබෙනවා. පසුගිය සති හතරක කාලය තුළ වර්ග තුන්සිය හතළිස් නවයකට අදාළ වන විදිහට අපිට ණයවර ලිපි විවෘත කරගන්න පුළුවන්කම ලැබුණා.
මේ ණයවර ලිපියක් විවෘත කළ පමණින් ඖෂධ හෝ උපකරණ ලැබෙන්නේ නෑ. ඒ සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. විශේෂයෙන් අපි ණයවර ලිපි විවෘත කළාට පසුවයි ඔවුන් අපිට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න ආරම්භ කරන්නේ. නමුත් අපි මේ ණයවර ලිපි විවෘත කරන බවට සිදුකළ සහතිකය නිසා ඇතැම් සමාගම් අපි වෙනුවෙන් නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. ඒ ඖෂධ අපිට ලැබෙමින් පවතිනවා. පසුගිය මාසයක පමණ කාලය තුළ පමණක් අපිට ඖෂධ වර්ග 106ක් හා ශල්‍ය ද්‍රව්‍ය 38ක් එහෙම ණයවර ලිපි විවෘත කරපු ඒවායින් ලැබිලා තිබෙනවා.
මීළඟ සති දෙක තුළ තවත් ඖෂධ 17ක් හා ශල්‍ය ද්‍රව්‍ය 82ක් ලැබෙන්නට නියමිතයි.
මේ සිදුවූ දවස් 100ක ප්‍රමාදය නිසා මේ ඖෂධ ලංකාවට පැමිණීමේ දවස් 90ක හෝ 100ක ප්‍රමාදයක් සිදුවිය හැකියි. ඒ අනුව මේ මැයි, ජූනි, ජූලි කියන මාස තුනක කාලය අපිට ඖෂධ හිඟයකට මුහුණ දෙන්න වෙනවා. රාජ්‍ය අංශයට ඖෂධ සපයා ගන්න, එනම් ඇතැම් ඖෂධ පැහැදිලි ලෙසම අපිට හිඟයක් මතුවෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා බැලුවොත් අපි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්වත් කළා. ඒ වගේම අපිට හිතවත් රාජ්‍යයන්ගෙන් අපිට උදව් කරන්න කියලා ඉල්ලුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, රතුකුරුස සංවිධානය, ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල හරහා විවිධ රටවල් වලට අපි ඉල්ලීම් කළා. ඒ හැරුණම ශ්‍රී ලංකාවෙන් පිට සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ව මේ සම්බන්ධව දැනුම්වත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් අපිට ඔවුන්ගේ පරිත්‍යාග ලැබෙමින් පවතිනවා. මේ වෙද්දී අපිට ඉන්දුනීසියාව විශේෂ ආධාරයක් ලබාදුන්නා. ශ්‍රී ලංකානු රුපියල් මිලියන පන්සිය හැත්තෑවකට, නැත්නම් ඇමෙරිකානු ඩොලර් මිලයන 1.6කට අදාළ ඖෂධ ඔවුන් පරිත්‍යාග කළා. ඒ වගේම පසුගිය සිකුරාදා (06දා) බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අපිට ඇ.ඩො. මිලියන 2.3ක ශ්‍රී ලංකා රුපියල් මිලියන 830ක ඖෂධ පරිත්‍යාගයක් කර තිබෙනවා. අපි හිතනවා ඉදිරි දවස් තුන හෝ හතර ඇතුළත එය ශ්‍රී ලංකාවට ලැබෙයි කියලා. අත්‍යාවශ්‍ය ඖෂධ 56ක් මෙම පරිත්‍යාගය තුළ තිබෙනවා. මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වෛද්‍ය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් අපිට ලබාදෙනවා කියලා ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත මහත්මිය තහවුරු කළා. ඊට අමතරව ඉන්දියාව ඔවුන්ගේ නාවික හමුදාවට අයත් නෞකාවක් මගින් අපිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග100ක් පසුගිය සතියේ ලබා දුන්නා. මීළඟට අපිට අත්‍යාවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ලබාදෙන්න චීනය අපිට පොරොන්දු වුණා. ඒ සඳහා වන අවසන් ලැයිස්තුවට අපේ එකඟතාව ලබාදෙමින් තිබෙනවා. අපිට තාම එම පරිත්‍යාගයේ නිශ්චිත වටිනාකම කීයද කියලා තහවුරු වෙලා නැහැ. නමුත් අපි හිතනවා සැලකිය යුතු මට්ටමෙන් චීන රජයෙන් අපිට උපකාර ලැබෙයි කියලා.
මීළඟට ඇමෙරිකාවෙන් ඩිරෙක්ට් ලීෆ් කියන ආයතනය හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2ක වෛද්‍ය ආධාර සපයා තිබෙනවා. එයත් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට ලැබෙන්න නියමිතයි. මීට අමතරව රතුකුරුස සංවිධානයේ මව් ශාඛාවෙන් හා සිංගප්පූරු ශාඛාවෙන් අපිට ඉදිරි සති දෙක ඇතුළත වෛද්‍ය ආධාර ලබාදෙන්න තහවුරු කර තිබනවා.
මීළඟට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් සහන පදනම යටතේ ඇමෙරිකානු ඩොලර් 75,000කට වෛද්‍ය උපකරණ සපයා තිබෙනවා.
මම මේ සඳහන් කළ ප්‍රධාන පරිත්‍යාගවලට අමතරව විදෙස් රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් හා විවිධ ආයතන මගින් සෘජුව රෝහල් වලට ඖෂධ හා වෛද්‍ය උපාංග ලබා දී තිබෙනවා. ඒ වගේම තායිලන්තය, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව වගේ රටවලුත් අපිට ඖෂධ හිඟය මඟහරවා ගන්න උදව් කරන බවට සඳහන් කර තිබෙනවා.
සත්‍ය වශයෙන්ම රටේ නැති ඖෂධ වර්ග
දැන් මේ සියල්ල සමග අද තත්ත්වය ගැන බැලුවාම ගොඩක් වෙලාවට අපි දකිනවා ඖෂධ මෙපමණ ප්‍රමාණයක් නැහැ යනුවෙන් මාධ්‍යවල විවිධ මත පළවෙනවා.
ඖෂධ ගත්තොත් අපේ රටේ ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කර තිබෙනවා. ඒ තමයි ජීවිතාරක්ෂක ඖෂධ, අත්‍යාවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය නොවන ඖෂධ යන කාණ්ඩ තුන.
ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14ක් තිබෙනවා. දැනට ඉන් එකක් තමයි අපේ රටේ නැත්තේ. නමුත් ඒ වෙනුවට යොදාගන්න පුළුවන් ඖෂධයක් අපි සතුයි. දැනට නැති ඖෂධය තවත් සති 4කින් අපිට ලැබෙයි.
අත්‍යාවශ්‍ය ඖෂධ ගත්තොත්, 646ක් අපේ ලැයිස්තුවේ තිබෙනවා. ඉන් 48ක් අපි සතුව නැහැ. මීළඟට අත්‍යාවශ්‍ය නොවන ඖෂධ වර්ග 485න් 49ක් නැහැ. මේ ඖෂධ නැහැ කියන එකත් ක්‍රම දෙකකට විග්‍රහ කරන්න පුළුවන්.
මධ්‍යම සැපයුම් ඒකකයේ නැති ප්‍රමාණය හා රටේ කිසිදු ඒකකයක නැති ප්‍රමාණය ලෙස දක්වන්න පුළුවන්. මාධ්‍ය මගින් අපි බොහෝ වෙලාවට දකින්නේ මධ්‍යම සැපයුම් ඒකකයේ නැතිවන ප්‍රමාණය. නමුත් මධ්‍යම සැපයුම් ඒකකයේ නැති වුණාට රෝහල් පද්ධතියේ මේ ඖෂධ තිබෙනවා. එක රෝහලක නැති වුණොත් අපි වෙනත් රෝහලකින් ගෙන්වා ගන්නවා. මේක අපි ඉලක්කම් ලෙස කිව්වොත්, අත්‍යාවශ්‍ය ඖෂධ 646න් 178ක් මධ්‍යම සැපයුම් ඒකකය සතුව නැහැ. හැබැයි 48යි රෝහල් පද්ධතියේ නැත්තේ. අත්‍යාවශ්‍ය නොවන ඖෂධ ගත්තොත්, 121ක් මධ්‍යම සැපයුම් ඒකකයේ නැහැ. නමුත් 49යි රෝහල් පද්ධතිය තුළ නැත්තේ.
මේකත් අපි පැහැදිලිව සන්නිවේදනය කරන්න ඕන. මොකද ප්‍රතිශත හදලා කියනවා, දකිනවා අච්චර නෑ, මෙච්චර නෑ කියලා. හැබැයි මම හිතනවා උද්ගත වූ තත්ත්වය හා පවතින ආර්ථිකය හමුවේ නැති දේවල් ගැන කියනවට වඩා, මෙතරම් ප්‍රමාණයක් අපිට සෞඛ්‍ය පද්ධතිය තුළ රඳවා ගැනීමට හැකි වීම පිළිබඳ සෞඛ්‍ය සේවයේ සියලුදෙනාට ස්තූතිවන්ත වීමයි සිදුකළ යුත්තේ. විශේෂයෙන් ඇතැම් ඖෂධ හා ශල්‍ය උපකරණ අපි සතුව නැහැ කියන එක පැහැදිලියි. ඒවා ලබාගන්න අපි කටයුතු මේ වන විට යොදලා තිබෙනවා. විවෘත කළ ණයවර ලිපි හා ලැබෙන ආධාර අනුව අගෝස්තු පළවෙනිදා වෙනකොට අපිට සියලු උපකරණ හා ඖෂධ ලැබේවි කියලා කියන්න පුළුවන්. එහෙම බැලුවාම ඉදිරි මාස තුනක කාලය තමයි අපිට ප්‍රධාන අභියෝගය වෙලා තිබෙන්නේ. එය අපිට කළමනාකරණය කර ගැනීම සඳහා වැඩකටයුතු යොදවා තිබෙනවා. ඒ සඳහා හදිසි ප්‍රතිචාර කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවලා තිබෙනවා. ඒ අනුව ප්‍රශ්නවලට නිතිපතා සාකච්ඡා කරලා විසඳුම් ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. මීට අමතරව ශල්‍යකර්ම නතරවෙලා තිබෙනවා කියලා මාධ්‍යවලින් කියනවා. ශල්‍යකර්ම සිදුකරන සියලුම රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් හා අනෙකුත් වෘත්තීන්වල සිටින අයවලුන් හා වෘත්තීය සමිති සාමාජිකයන් පවා කැඳවලා කමිටු හදලා තිබෙනවා මේ තත්ත්වයට මුහුණ දෙන්න. මේ කමිටු තමයි තීරණය කරන්නේ තමන්ගේ රෝහල සතුව තිබෙන ඖෂධ හා ශල්‍ය උපකරණ මත පදනම්ව කුමන ශල්‍යකර්ම වලටද ප්‍රමුඛත්වය ලබාදෙන්නේ කියන එක. ඒ අනුව අපි දන්නවා අවුරුදු පහක් පමණ ලැයිස්තුවේ සිටින තයිරොයිඩ් ග්‍රන්ථියේ සැත්කම් කරන්න තිබෙන රෝගියෙක්ට විශේෂඥ වෛද්‍යවරයා තීරණය කරනවා නම් එම සැත්කම මාසයකින් හෝ සති කීපයකින් ප්‍රමාද කළාට ඒ රෝගියාට හානියක් නොවන බවට, කමිටුව විසින් තීරණය කරනවා අදාල ශල්‍යකර්ම පසු කරනවාද නැද්ද යන්න. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර නැහැ ශල්‍යකර්ම නවත්වන්න කියලා. අදාළ රෝහල්වල ඇති සම්පත් මත තමයි ඔවුන් තීරණය කරන්නේ කුමන සැත්කම්ද සිදුකරන්නේ යන්න. ඒ අනුව ඇතැම් රෝහල් වල දින ලබා දී ඇති ශල්‍යකර්ම ප්‍රමාද කර තිබෙනවා. අපි වෛද්‍ය විද්‍යාවට අදාළ සංගම් සමග මේ සම්බන්ධයෙන් කතා කළා. ඒ වගේම සියලුම වෘත්තීය සමිති සමග අපි කතා කළා. ඔවුන්ගේ සහය අපි ඉල්ලුවා. දැනට අපිට මේ තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව හිතන්නේ නැහැ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුළුමනින්ම කඩා වැටෙන තත්ත්වයට ඉක්මනින් අපි යයි කියලා. මොකද අපිට අගෝස්තුවල ශල්‍ය උපකරණ හා ඖෂධ ලැබෙන්න නියමිත නිසා, අවුරුද්දකට සෑහෙන ඖෂධ තොගයක් අපිට ලැබෙනවා. ඒ අනුව 2023 අගෝස්තු මාසය දක්වා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කළමනාකරණය කරගන්න අවශ්‍ය කටයුතු අපි උපරිම ලෙස දායකත්වය ලබා දී තිබෙනවා.
සිව්වන කෝවිඩ් එන්නතකුත් අද සිට
වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබෙනවා සිව්වන කෝවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමට. එනම් දෙවන බූස්ටර් මාත්‍රාවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් මගින් තමයි මේ තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව අවුරුදු 60ට වැඩි සියලුදෙනාට සිව්වෙනි මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. එය අද (09දා) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සමගම අවුරුදු 20ත් 60ත් අතර ඌණ ප්‍රතිශක්තිය සහිත අයට හා නිධන්ගත රෝගාබාධ ඇති අයටත් මෙය අනිවාර්යෙන් ලබාගන්නා ලෙස නිර්දේශ කර තිබෙනවා. අවුරුදු 20ත් 60ත් අතර කාණ්ඩයට බලකිරීමක් නැහැ. ඔහුට හෝ ඇයට ස්ව කැමැත්තෙන් ලබාගත හැකියි. නමුත් තුන්වන මාත්‍රාව ගෙන අවම මාස තුනක කාලයක් ගත වී තිබිය යුතුයි. ඒ වගේම අවුරුදු 12ත් 16ත් අතර පාසල් වයසේ දරුවන්ට පළමු මාත්‍රාවක් මේ වෙද්දී ලබා දී තිබෙනවා. විශේෂඥ කමිටුවෙන් ඔවුන්ට දෙවන මාත්‍රාවක් ලබාදෙන්න නිර්දේශ ලැබී තිබෙනවා. ඒ අනුව අවුරුදු 12-16 අයටත් දෙවන මාත්‍රාවක් ලබාදෙන්න අපි කටයුතු යොදනවා. අපේ විශේෂඥ කමිටුව සඳහන් කර තිබෙනවා ඉතාම කලාතුරකින් මේ ෆයිසර් එන්නත ලබාගත් තරුණ අයට හෘදයේ යම් ආසාදන තත්ත්වයක් ඇති වී තිබෙන බව. ඒ නිසා ඒ අවදානම යම් අවධානයකට යොමු කර තිබෙන නිසා අවුරුදු 12-16 කාණ්ඩයේ ළමුන්ට දෙවන එන්නත ලබාගෙන සති දෙකක් යනතුරු තදබල ශාරීරික වෙහෙසවීම් නොකළ යුතුයි කියන නිර්දේශයට යටත්වයි මේ එන්නත ලබාගන්න නිර්දේශය ලබා දී තිබෙන්නේ.
මෙම මාධ්‍ය හමුවේදී වර්තමානයේ පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කිහිපයක් පිළිබඳව මාධ්‍යවේදීහු මෙලෙස අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියහ.
පසුගිය දවසක පාර්ලිමේන්තුවේ කියැවුණා සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය මුදල් නැහැ කියලා. එහි සත්‍යයක් පවතීද?
ඇත්තටම සුවසැරිය ගිලන් රථ සේවාව පවත්වා ගැනීමට අද වන තෙක් ගැටලුවක් ඇති වී නැහැ. මමත් පාර්ලිමේන්තුවේ ඒ මොහොතේ හිටපු නිසා මම සභාපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසුවා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය විමසන විටත් ගැටලුවක් තිබ්බා. සුවසැරිය ක්‍රියාත්මක කරන්න මහා භාණ්ඩාගාරයෙන් සෘජුව අරමුදල් සපයනවා. මාසයකට මිලියන 84ක් ඒ සඳහා ලබා දිය යුතුයි. නමුත් පසුගිය මාසයේ ඒ සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දී තිබෙන්නේ මිලියන 30ක පමණ මුදලක්. හැබැයි සේවාව බිඳවැටී යන මට්ටමට පත්වී නැහැ. මම මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. ඒ අනුව අපිට මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් ලබා දෙන්න කැමැත්ත පළ කළා. මීළඟට සුවසැරිය සේවාවටම මිලියන 600ක පමණ අරමුදලක් තියෙනවා. එය යොදා නොගෙන අපි උත්සාහ කරන්නේ මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් ලබාගෙන මේ කටයුතු පවත්වාගෙන යන්න. ප්‍රශ්නයක් තිබෙනවා තමයි. නමුත් අද වෙනකල් එම සේවාව පවත්වාගෙන යන්න ගැටලුවක් ඉන් ඇති වී නැහැ.
දැනට විවෘත කර ඇති ණයවර ලිපි වලට අදාළ ඖෂධ අපේ රටට ලැබෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද සහ දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වලට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලුවක් පවතින බව සඳහන් වෙනවා. ඒවාට විසඳුම් තිබෙනවාද?
ණයවර ලිපි විවර කළ ඖෂධ මේ වන විටත් අපිට ලැබෙන්න පටන්ගෙන තිබෙනවා. මේ වෙද්දී අප්‍රේල් මාසයේ සිට අපිට ඖෂධ 106ක් ලැබී තිබෙනවා. ඒ වගේම අප්‍රේල් ශල්‍ය ද්‍රව්‍ය 38ක් හා විද්‍යාගාර අයිතම 102ක් අපිට ලැබී තිබෙනවා. නිෂ්පාදකයා සතුව තොග තිබෙනවා නම් අපිට ප්‍රමාදයකින් තොරව ලැබෙනවා. මම පෙර දින 90-100ක් ලෙස සඳහන් කළේ ණයවර ලිපියක් විවෘත කර ඒ නිෂ්පාදන අපි වෙනුවෙන්ම සිදුකරනවා නම් ඒ වෙනුවෙන් යන කාලයයි. පසුගිය කාලයේ හෘදරෝගීන්ට ලබාදෙන ඖෂධයක හිඟයක් ගැන කතා වුණා. එය පේටන්ට් එකත් එක්ක යන ඖෂධයක්. ඒ වෙනුවට වෙනත් ඖෂධයක් පාවිච්චි කරන්න බැහැ. නමුත් එයත් අපිට සති දෙකක කාලයක් ඇතුළත ලැබුණා. මීළඟට ජලභීතිකා රෝගයට ලබාදෙන ඖෂධය අපේ රටේ ඉතාම අඩු ප්‍රමාණයක් තිබෙන්නේ. ණයවර ලිපි විවෘත කර තිබෙන නිසා ඉතාම නුදුරු කාලයකදී දින 20ක් ඇතුළත එම ඖෂධත් අපිට ලැබෙන්න නියමිතයි.
මීළඟට දේශීය නිෂ්පාදකයන්ට අමුද්‍රව්‍ය සපයාගන්න ගැටලු ඇති වී ඇති බව සත්‍යයක්. නමුත් ඉන්දීය ණය ආධාර යටතේ ඔවුන් ඖෂධ සම්බන්ධයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් වෙන් කර තිබෙනවා. ඉන් ඩොලර් මිලියන 125ක් තමයි රාජ්‍ය අංශයට සෘජුව නිමි ඖෂධ ලබාගන්න ලැබෙන්නේ. ඉතිරි 75න් අපි අවස්ථාව ලබා දී තිබෙනවා රජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට හා අනෙකුත් ඖෂධ නිෂ්පාදන සමාගම් වලට අමුද්‍රව්‍ය ලබාගැනීම වෙනුවෙන්. ඊට අමතරව චීනයෙන් ගෙන්වන ඖෂධ අමුද්‍රව්‍ය වෙනුවෙනුත් යම් සහන ලබාගන්නට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කරගෙන යනවා. මීළඟට රුපියල් වලින් ආනයනය කරන්න ලංසු තැබූ අයට භාණ්ඩය ලංකාවට ගෙනාවට පසුව රේගු නිෂ්කාශනය කරන අවස්ථාවේ ඩොලර් අනුපාතයට අදාළව රුපියල් අගය ගෙවන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා මම කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. එයට අනුමැතිය ලැබුණ නිසා ඒ ප්‍රශ්නයටත් දැන් විසඳුම් ලැබී තිබෙනවා.
චීනයේ අවුරුදු පහක වෛද්‍ය අධ්‍යාපනය ලබලා ප්‍රතිඵල ලැබූ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාගන්න යළි චීනයට යෑමට නොහැකිව සිටිනවා. මීට රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් ලබාදිය හැකිද?
අපි චීන තානාපතිතුමා සමගත්, බීජිංවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා චීන රජයත් සමගත් මේ ගැන සාකච්ඡා කළා. චීනය කෝවිඩ් 19 වෛරසය නිසා ගත් තීරණ නිසයි මේ තත්ත්වය ඇති වුණේ. පසුව මේ ළමුන් සායනික පුහුණු සදහා නැවත චීනයට යවන්නට අපි එකඟතාවයකට ආවා. නමුත් අවාසනාවකට චීනය යළි කෝවිඩ් රැල්ලක් ඒ රටේ ඇති වීම නිසා සංචරණ සීමා පැනෙව්වා. මේ ගැන අපි සංවේදියි. අපි නිරන්තරයෙන් මේ අවධානය යොමු කරනවා.
ලංකාව ලද ණය ආධාර යටතේ ලද මුදල් වලින් යකඩ ආනයන කළ බවට අසන්නට ලැබෙනවා. සෞඛ්‍යයට අවශ්‍ය මුදල්වලින් මේ කරපු දේ හරිද?
මුදල් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න නියමිතයි. මගේ පැහැදිලි කිරීම නම් මොන ආධාර ක්‍රමයක් යටතේ ලැබෙන ආධාරයක් වුණත්, මේ වෙලාවේ අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන සෞඛ්‍ය ක්ෂේත්‍රයට යන්නයි.
ඖෂධ හිඟයක් තිබෙනවා නම් දැනුම්වත් කරන්න අංකයක් නිකුත් කළා. ඒ ඇයි?
සමාජ මාධ්‍යවලින් ඖෂධ වර්ග නැති බව ප්‍රකාශ කරනවා අපි දැක්කා. ඒවා අපි බැලුවාම මීට මාස කීපයකට පෙර කරපු ඉල්ලීම් තමයි මේ යළි යළි මතුවෙන බව අපි දැක්කේ. මේ ප්‍රචාර වලින් 80෴ක්ම තිබුණේ සාධනීය දේවල් නෙවෙයි. ඒ නිසයි අපි වෛද්‍ය සැපයුම් අංශය සෘජුව දැනුම්වත් කරන්න අංක ප්‍රසිද්ධ කළේ. ඒ අනුව 1999 අංකය ඔස්සේ ඔබේ සමීපතමයෙක්ට ඖෂධයක් නැත්නම් සෘජුව මේ ගැන වෛද්‍ය සැපයුම් අංශය දැනුම්වත් කරන්න ඔබට පුළුවන්. ඒ අනුව අපි රෝහල කුමක්ද කියලා හොයල බලලා අසල තිබෙන වෙනත් රෝහලකින් මේ ඖෂධය ලබාදෙන්නට ක්‍රියාමාර්ගයක් ගන්නවා. මීළඟට පෞද්ගලික අංශයේ ලබාදෙන ඖෂධයක් වුණත් පෞද්ගලික ඔසුසැලක නැතිනම්, ඒ පිළිබඳ දැනුම් දුන්නොත් ඒ සඳහාත් අපි උපකාර කරන්න සූදානම්. අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා වෛද්‍යවරුන්ගෙන් ඖෂධයේ ඖෂධීය නාමයෙන් ලියන්න. ඇතැම් සිරප් වර්ග ප්‍රසිද්ධ වෙළෙඳ නාමයෙන් නැතිවෙන්න පුළුවන්. නමුත් ඖෂධයේ නාමයෙන් ලියුවොත් මේ ඖෂධය හොයාගන්න පුළුවන්. මේ වෙලාවේ එහෙම කිරීමෙන් ජනතාවට ලොකු සේවයක් සිදුවේවි.
ඇස්ට්‍රොසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව නැති වෙලෙත් මම කිව්වා අපිව විශ්වාස කරන්න, දෙවන මාත්‍රාව කෙසේ හෝ ලබාදෙනවා කියලා. ඒ අනුව මේ අවස්ථාවෙත් අපිව විශ්වාස කරන්න. අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙන්න නොදී පවත්වා ගන්නට අවශ්‍ය කටයුතු යොදන බවට ජනතාවට පොරොන්දු වෙනවා.