මැතිවරණවලට එරෙහිව අධිකරණයට යන පක්‍ෂ


පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපියෙන් ඔබ හමුවීමට අවස්ථාවක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ  ඇති වූ නොව, ඇතිකළ අර්බුදය හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාත් එය නිමා කිරීම කිරිම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

අපද දිගින් දිගටම සඳහන් කළේ, මෙරට ගමන් කරන්නා වූ දිශාව වෙනස් කිරීම සඳහා ඇති එකම විකල්පය ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්වීම බවයි. ඒ අනුව දැන් අපට පාර්ලිමේන්තු මැතිවරණයක් ලැබී තිබේ. මෙහිදී පසුගිය ආණ්ඩුව සිදුකළ වැඩකටයුතු ජනතාව අනුමත කළාද, නැද්ද යන්න පිළිබඳ ජනවාරි 05 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ ප්‍රතිඵල ලැබුණු විට ඔබට තක්සේරුවක් ලබා ගැනීමට හැකිවනු ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් සියලු තීරණ ව්‍යවස්ථානුකූලව ලබාගත් අතර, ඒ සියල්ල සඳහා අප සහාය දීමට තීරණය කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම තීරණය ගැනීම සඳහා පදනම් වූ කරුණු ඔහු පෙරේදා සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් පැහැදිලි කළේය. එම කරුණු සියල්ලම සත්‍යය කරුණු විය. එසේම කථානායක කරු ජයසූරිය මහතා පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීම මාද, බොහෝ සෙයින් විමතියට පත්කළ කරුණක් විය. ඔහු එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් කථානායක පුටුවේ තිබූ ස්වාධීනත්වය නැති කිරීමට කටයුතු කළේය. 

කෙසේ වෙතත් මැතිවරණයක් කැඳවූ විට එය එපා යැයි පවසන පක්‍ෂ සිටින රටක් බවට දැන් ශ්‍රී ලංකාව පත්ව තිබේ. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පක්‍ෂ කිහිපයක්ම මහමැතිවරණයට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ කිසිදු පක්‍ෂයක් පළාත් සභා මැතිවරණය අවුරුදු දෙකකට ආසන්න කාලයක්, පළාත් සභා මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීමට එරෙහිව අධිකරණයට නොයෑම ගැටලුවක් විය. එසේම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය මේ වන විට කටයුතු කරනුයේ එක්සත් ජාතික පක්‍ෂයේ උවමනාවට අනුව බව තවදුරටත් සනාථ කිරීමේ සිදුවීමක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. එම පෙත්සම් විභාග කිරීම අද දිනය දක්වා කල් තැබීමට කටයුතු කෙරිණ.

එසේම ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දමන විට, පළාත් සභා මැතිවරණය කල් දමන විට නිහඬව සිටි ජාත්‍යන්තර රටවල් දැන් මැතිවරණයක් කැඳවූ විට එයට විරෝධය දක්වන තත්ත්වයට  පත්ව තිබේ. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදීව තම නියෝජිතයන් පත්කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනුයේ මැතිවරණ පැවැත්වීම මගිනි. දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුවට තම නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිකර ගන්නා පුද්ගලයා අගමැති තනතුරට පත්වෙනු ඇත. ඒ අනුව ජාත්‍යන්තරයට රටේ ජනතාවගේ මතය පිළිබඳ අදහසක් ලබාගැනීමට අවස්ථාව තිබේ. එයින් ලැබෙන ජය හෝ පරාජය භාරගෙන අප ආණ්ඩුව කරගෙන යෑමට හෝ විපක්‍ෂයට යෑමට සූදානම්ය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන සිටි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳ බොහෝ දෙනෙක් අදහස් පළ කරමින් සිටිති.
අප හට පක්‍ෂ වැදගත් නොවේ. වැදගත් වන්නේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවූයේ බණ්ඩාරනායක දර්ශනය යටතේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද ඇත්තේ බණ්ඩාරනායක දර්ශනයයි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වේවා කුමන පක්‍ෂයක අප සිටියද ඉදිරියට ගෙනයනුයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තියයි.

එසේම ඉදිරි මැතිවරණ සඳහා මෙම පක්‍ෂ දෙක එක්ව පුළුල් සන්ධානයක් යටතේ තරග කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටියි. ඒ සඳහා පැවැති සාකච්ඡා සාර්ථක විය. ඉදිරි දින කිහිපයේදී එම පුළුල් සන්ධානයේ නම හා ලාංඡනය පාඨක ඔබට දැන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එහි සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය ලබාදෙනු ඇත. ඔවුන් දෙදෙනාගේ නායකත්වය යටතේ අප ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට තීරණය කර තිබේ.

අවසාන වශයෙන් කීමට ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා තවත් මාස කිහිපයක් හෝ අග්‍රාමාත්‍ය පුටුවේ රැඳී සිටියා නම් ශ්‍රී ලංකාවේ සියලුම සම්පත් ඔහු විදේශ රටවලට එකින් එක අලෙවි කරනු ඇත. එහිදී රටේ මතු උපදින දුවාදරුවන්ට ශ්‍රී ලංකාවේ සම්පත් යැයි කීමට කිසිවක් ඉතිරි නොවනු ඇත. මේ අවස්ථාවේදී රට බේරා ගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය පුටුවට පැමිණි අතර, එය තවත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් දැන් ඔහු ජනතාව අතරට ගොස් තිබේ. 

මෙහිදී ආපසස්සට ගිය රට නැවතත් ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අපගේ වැඩපිළිවෙළ ඉදිරියේදී ඔබට හඳුන්වා දීමට කටයුතු කරමු. දේශීයත්වයට මුල්තැන දෙමින්, දේශීය ව්‍යාපාරිකයා නගාසිටුවන, රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරන, සෑම දෙනෙකුම සතුටින් සාමයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට අදාළ වැඩපිළිවෙළක් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles