මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ප්‍රතිනිර්මාණය කරනවා - දුමින්ද


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සූදානම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග සාකච්ඡාවක්.

අනුරාධපුරයෙන් කෝවිඩ් රෝගීන් හමුවීමත් සමග මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම කෙබඳු මට්ටමක තිබෙනවාද?

මැතිවරණ ව්‍යාපාරය බොහොම සාර්ථකව, සාමකාමීව සෞඛ්‍ය නිර්දේශවලට අනුව කරගෙන යනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළින් කෝවිඩ් රෝගීන් හමුවීම තුළින් මැතිවරණ කටයුතුවලට යම් බාධාවක් වුණා. ප්‍රදේශ කිහිපයක් වසා දැමූ නිසා එම ප්‍රදේශවල මැතිවරණ කටයුතුවලට යම් බාධාවක් ඇති වුණා. නමුත් මේ වන විට එම බාධාවන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ දේශපානලඥයන් කිහිපදෙනෙක් නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ වුණා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මාධ්‍ය විසින් කළ වැරදි ප්‍රකාශයක් විදිහටයි මම ඒක දකින්නේ. අනිකුත් දේශපාලනඥයන් ගැන කියන්න මම දන්නෙ නැහැ. නමුත් මම ඒ අවමංගල්‍යයට සහභාගි වෙලා නැහැ. එහෙම අපි සහභාගි වෙලා තිබෙනවා නම් සෞඛ්‍ය අංශ අපිව දැනුවත් කරනවා. එහෙම දැනුවත් කිරීමක් සිදුවුණේ නැහැ. ඒ අවමංගල්‍ය උත්සවයට මම සහභාගී වෙලා තිබුණෙ නැහැ.

පොදුජන පෙරමුණ යටතේ ඔබ සියලුදෙනා මැතිවරණයට ඉදිරිපත් වුණ නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට පොදුජන පෙරමුණෙන් දැඩි විචේචනයක් එල්ලවෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඒක බොහොම සාමාන්‍ය දෙයක්. පාර්ලිමේන්තු මැතිවරණවලදී පමණක් නෙවෙයි, අනිකුත් සෑම මැතිවරණයකදීම එකම පක්ෂය තුළ විවිධ විවේචන තිබෙනවා. මනාප ප්‍රමාණය වැඩිකර ගැනීමේ අරමුණෙන් තමයි මෙවැනි විවේචන සිදුකරන්නේ. සන්ධානයක් තුළ වුණත් ඒ ඒ පක්ෂ අතරේ යම් යම් පුද්ගලයන්ගේ හැසිරීම සහ ක්‍රමවේදය අනුව යම් යම් විවේචන ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ විවේචන අපි එතරම් ගණන්ගත යුතු නැහැ. පක්ෂ විදිහට අපේ එකඟතා සහ ගිවිස ගැනීම් තිබෙන්නේ පක්ෂ නායකත්ව මට්ටමින්. මැතිවරණයකදී ඊට පහළ මට්ටමේ අය තමන්ට මනාපයක් වැඩිකරගන්න කියන කාරණා ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ගණන් ගන්නෙවත් නැහැ.

ඒ වාගේම මෙවැනි සිද්ධි නිසා ජනතාව කිසිම ආකාරයක වැරදි මතයක් ඇතිකර ගන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැපවීම ගැන ජනතාව දන්නවා. ගෝඨාභය ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වගේම ඒ පක්ෂයේ නායකයෝ අවස්ථා කිහිපයකදීම එය හෙළිකරලා තියෙනවා. ඒ නිසා රටේ මතය මොකද්ද කියලා මැතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන්. ඒ මොකද පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය ජනාධිපතිතුමාට සහාය නොදුන්නා නම් මොකද්ද වෙන්නේ කියලා රටම දන්නවා. ඒ නිසා මේ ඇතිවෙන විවේචන රටේ ජනතාවට බාධාවක් නෙවෙයි. නමුත් අපේක්ෂක මහත්වරු ඔවුන්ගේ මනාප වෙනුවෙන් හරි දේ වගේම වැරදි දේත් බොහෝ අවස්ථාවල කියනවා අපිට ඇහෙනවා.

මැතිවරණ ප්‍රචාරණයේදී පොදුජන පෙරමුණ ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව එම පක්ෂයේ අපේක්ෂකයෝ පවසනවා. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍යද?

පැහැදිලිවම තුනෙන් දෙකක බලයක් අපි ඉල්ලනවා. එහෙම ඉල්ලන්නේ ඇයි කියලා මම පැහැදිලි කරන්නම්. කොරෝනා ව්‍යසනයත් එක්ක ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින්නේ. ඒ නිසා රට නැගිට්ටවන එක අපි හැමෝගෙම වගකීමක්. මේ රටේ තිබෙන තත්ත්වයන් යටතේ කරන්න බැරිදේවල් බොහොමයක් තිබෙනවා. මහ බැංකුවේ නිලධාරීන්ට ජනාධිපතිතුමා යම් උපදෙස් මාලාවක් දෙනවා අපි දැක්කා. රටේ ජනාධිපතිවරයාට එහෙම කියන්න වෙනවා කියන්නේ මේ රටේ බොහෝ දේවල් අපිට වෙනස් කරන්න තියෙනවා කියලා අපි පිළිගත යුතුයි. මේ තත්ත්වය තුළ ඇතැම් නීති අණපනත් යම්  මට්ටමකට වෙනස් කරගත යුතුවෙනවා. කොරෝනා තත්වයෙන් රට අවධිකරන්න සාම්ප්‍රදායික ක්‍රමයට බැරිවෙනවා. අපේ රටේ කවුරු ජනාධිපති වුණත් කොතරම් ප්‍රතිසංස්කරණ මේරටේ කරන්න හැදුවත් සමහර නීතිරීති අණපනත් එක්ක මේ කිසිදෙයක් අපට කරන්න බැහැ. සැබෑවටම රට සංවර්ධනය කරා යොමු කිරීමේ අවශ්‍යතාව තිබෙනවා නම් තුනෙන් දෙකේ බලයක් තිබුණොත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය එකතුකිරීම් සහ වෙනස් කිරීම් කරන්න අපට පහසු වෙනවා.

ඔබලා ඒ ආකාරයට වෙනස් කරන්න හිතාගෙන ඉන්නෙ මොනවාද?

එහෙම හිතාගෙන කියල නැහැ. නමුත් මහ බැංකු කාරණාවේදී පවා අපි දැක්කා සමහර දේවල් වෙනස් කරන්න ජනාධිපතිතුමාට පවා අවශ්‍ය වුණත් නීතිරීතී අණපනත් නිසා එය කරන්න බැරිවෙනවා. එවැනි දේවල් හඳුනාගෙන රටට ගැළපෙන ආකාරයකින් වෙනස් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු කොහොමද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු ඉතාම හොඳින් කරගෙන යනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ප්‍රතිනිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශක්තිමත් ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලංකාවේ අති දැවැන්ත පක්ෂයක්. පහුගිය කාලයේදී අපි යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා. ඒක හැමෝම දන්නවා නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් පක්ෂයක් හෝ යටකරන්න පුළුවන් පක්ෂයක් නොවන බව ඉතිහාසයේ ඉඳන් අපි ඔප්පු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවේ තිබෙන දැවැන්තම පක්ෂය වගේම වැඩිම කාලයක් මේ රට පාලනය කරපු පක්ෂය බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වුණා. ඒ නිසා ඉදිරියේදී නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යළිත් මහින්ද රාජපක්ෂ මහතාට ලබාගන්නා ලෙස යෝජනාවක් ඇවිත් තිබුණා. එහෙම කරන්න හේතුව කුමක්ද?

මේ ගැන මහින්ද අමරවීර ඇමතිතුමාත් මට කතා කරලා කිව්වා. එහෙම ප්‍රකාශයක් එතුමා කළේ නැහැ කියලා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට එක් අයෙකුට පක්ෂ දෙකක නායකයා විදිහට කටයුතු කරන්න බැහැ කියලා මහින්ද මහත්තයත් දන්නවා, අපිත් දන්නවා.

පසුගිය වසර 05 තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔබ කළ කටයුතු ගැන සෑහීමකට පත්වෙනවාද?

පසුගිය වසර 05 දෙස ආපසු හැරී බැලුවොත් සතුටු වෙන්න පුළුවන් මට්ටමක් තිබෙනවා. මෛත්‍රීපාල සේනානායක මහත්මයාගෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයට කෘෂිකර්ම අමාත්‍ය ධුරයක් ලැබුණේ මට. ඒ පසුගිය කාලයේදියි. කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට වැව් ප්‍රතිසංස්කරණ කටයුතු, එල්ලංගා පද්ධති සංරක්ෂණය ආරම්භ කරන්න, වගා ළිං ව්‍යාපෘති සිදුකරන්න, වගා හානි වන්දි මුදල් වැඩිකරන්න වගේ විශාල වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වුණා. කිසිම කෙනෙක් අවධානය යොමු නොකරපු පහළ මල්වතු ඔය ජලාශයේ වැඩ අපි ආරම්භ කළා. වාරි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සිදුකළා.  එල්ලංගා පද්ධතිය  යටතේ වැව් 800ක් පමණ වැඩකටයුතු අපි ආරම්භ කළා.  කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යවරයා විදිහට අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාල වැඩකොටසක් කරන්න මට අවස්ථාව ලැබුණා.

ඒ වගේම මොරගහකන්ද ව්‍යාපෘතියේදී හුරුළුවැවට ජලය ගෙනියන්න සූදානම් කර තිබුණේ උමං මාර්ගයක් හරහා.  නමුත් ඒ සඳහා යන වියදම වැඩි නිසා එය වෙනස් ආකාරයකට කරන්න කතාබහ කරලා තිබුණා.  මේ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාව දැනුවත් කළා. ඊට පසුව මෙම ව්‍යාපෘතිය ඉතාම කඩිනමින් සකස් කර හුරුළුවැවට ජලය ගෙනියන්න අවශ්‍ය කටයුතු කඩිනම් කරන්න අපිට පුළුවන් වුණා. ඒ සඳහා හුරුළුවැවට ජලය ලබාගන්නා පෝෂණ ඇළ ප්‍රතිසංස්කරණය කරන්න අපි දැන් ආරම්භ කරන්න තීරණය කර තිබෙනවා. එය හුරුළු ජනපදයේ ජීවත් වන සියලුම ජනතාව ලබාගත් ලොකු ජයග්‍රහණයක්. එහෙම නොවුණා නම් මේ කටයුතු කරගන්න තවත් කාලයක් බලන් ඉන්න වෙනවා. ජනාධිපතිතුමාගේ වගේම අපේ බලාපොරොත්තුවත් අනුරාධපුර දිස්ත්‍රික්කය කෘෂිකර්මාන්තයෙන් සංවර්ධනය කරන්න. ගොවීන්ව ශක්තිමත් කරන්න පුළුවන් කටයුතු අපි උපරිමයෙන් සිදුකරනවා

ඒ වගේම ඉදිරි වසර 05 තුළ තරුණයෝ මේ රටේ ආර්ථික ක්‍රියාවලියට යොදාගන්න වෙනවා. ඒ කියන්නේ ඔවුන්ට ආණ්ඩුවේ රැකියා ලබාදෙනවා කියලා නෙවෙයි. යම්කිසි ක්‍රමයකට රජයේ සහ ෙපෟද්ගලික අංශයෙන්  ඔවුන්ට රැකියා ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒවගේම රට මුහුණ දෙන අභියෝග හදුනාගනිමින් ඒ සඳහා නිසි ක්‍රමවේදයකට විසදුම් ලබාදෙන්නත් රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්නත් මීලග වසර 05 දී අපි බලාපොරොත්තු වෙනවා.

 



Recommended Articles