මැතිවරණ නීති කැඩුවොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා


ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද උණුසුම මේ වනවිට රට තුළ ආරම්භ වී තිබේ. රට තුළ පැවැත්වෙන ඡන්ද විමසීම් අතරින් අතිශය වැදගත්ම ඡන්ද විමසීම වන්නේ ජනාධිපතිවරණයයි. මේ නිසා අපේක්ෂකයන්, දේශපාලනඥයන්, ආධාරකරුවන්, රාජ්‍ය නිලධාරීන් මෙම මැතිවරණයේදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ %අද^ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග කතාබහක නිරත විය. 


ඡන්දය භාවිත කිරීම

කතිරය යෙදීමෙන් ඡන්දය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අංක එක යෙදීමෙන් ඡන්දය භාවිත කරන්න පුළුවන්. කතිරය යෙදුවට පස්සෙ මනාප ලකුණු කරන්න බැහැ. ඒත් කැමති අපේක්ෂකයාට අංක එක යොදා සලකුණු කරලා අංක 02 හෝ 03 ලකුණු කරලා මනාප ලබාදෙන්න පුළුවන්. කතිරයයි එකයි හෝ දෙකයි තුනයි කියලා ලකුණු කරන්න බැහැ. 

රාජ්‍ය උත්සව පැවැත්වීම හා රාජ්‍ය කටයුතු

රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. රාජ්‍ය උත්සව පැවැත්වීමේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීම් කළ යුතු වෙනවා. රාජ්‍ය උත්සව දේශපාලන මුහුණුවරක් ගන්නවා නම් කිසිදු අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ බැනර්, පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න බෑ. රැස්වීම්වලදී අපේක්ෂක ප්‍රවර්ධනය ගැන කතා කරන්න එපා. රාජ්‍ය උත්සව සඳහා මේ කාලයේ දේශපාලනඥයන්ගේ සහභාගිත්වය හැකිතාක් අවම කරන්න. ඉතාමත් අත්‍යවශ්‍ය එකකදි ඒ කියන්නෙ මුල්ගල තැබීමක් වැනි ක්‍රියාවකදි එක් පක්ෂයක දේශපාලනඥයෙකු වෙනුවට අනෙක් පක්ෂවල දේශපාලනඥයන්ටත් ඇරයුම් කරන්න. මල් මාලයක් දානවා නම් පැමිණෙන හැම දේශපාලනඥයෙකුටම මල් මාලයක් දාන්න. ඒත් ජාතික උත්සවයක් පවත්වනවා නම් පක්ෂ බැනර් නැතිව ජාතික කොඩිය හෝ පළාත් කොඩිය දාලා ඒක කරන්න පුළුවන්.

නීතිය උල්ලංඝනය වුණොත්

මේ ආකාරයේ සියලුම උත්සව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාගේ මාධ්‍ය අංශය ඡායාරූපගත කරනවා, වීඩියෝගත කරනවා. මැතිවරණ කොමිසමේ මාධ්‍ය ඒකකයෙන් එම කටයුතු සිදු කරනවා. යම් විදිහකින් උත්සවයකදි දේශපාලන කටයුත්තක් සිදුවුවහොත් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අපේ විධාන කඩකළ රාජ්‍ය නිලධාරියාට. මේ නිසා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කිසිදු දේශපාලන ප්‍රවර්ධන කටයුත්තකට ඉඩ නොතබන්න කියලා.

ප්‍රචාරක පෝස්ටර් කටවුට් හා පෙළපාළි

මැතිවරණය අවසන් වී සතියක් ගතවනතුරු පෙළපාළි යාම තහනම්. මෙම නීතිය උල්ලංඝනය කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලීසියට කියලා තියෙන්නෙ. ඒ වගේම පෝස්ටර්, කටවුට්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම්. මෙවැනි කටයුතු කිරීම දඬුවම් ලැබෙන වරදක්. මෙවැනි වැරදි කරන පිරිස් පොලීසිය අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙම නීතිය උල්ලංඝනය කරන අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. 

පෝස්ටර් අලවන්න පුළුවන් වෙන්නෙ රැස්වීමක් තියෙනවා කියලා විතරයි. ඒත් අපේක්ෂක ප්‍රවර්ධනය වෙනුවෙන් රැස්වීම් පැවැත්වෙනවා නම් අපේක්ෂකයාගේ ඡායාරූපය පළ කරන්න බැහැ. ඒ වගේම අම්බලන්ගොඩ තියෙන රැස්වීමක් ගැන අඟුණුකොළපැලැස්සෙ හෝ තන්තිරිමලේ අලවන්න එපා. නීතියෙන් රිංගලා යන්න කටයුතු කළොත් අපටත් කටයුතු කරන්න වෙනවා. 

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි

0112 868 212,0112 868 560 හෝ 0112 868 217 දුරකථන අංකවලට, 0112 868 529 ෆැක්ස් අංකයට හෝ 0719 160 000 යන වයිබර්, වට්ස්ඇප් අංක හරහා පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. මීට අමතරව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකවලටද පැමිණිලි කළ හැකියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම ජනතාවගේ කැමැත්ත මත පාලකයන් තෝරාගැනීම. මේ නිසා මෙම මැතිවරණයේදී නිදහස්ව, සාධාරණව හා විනිවිදභාවයකින් කොමිසමේ වගකීම ඉටුකරනවා. ඒ වගේම සියලුම අපේක්ෂකයන්, දේශපාලන පක්ෂදේශපාලනඥයන්, ඔවුන්ගේ ආධාරකරුවන්, ජනමාධ්‍ය, නිරීක්ෂණ සංවිධාන, පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති, සමාජ ජාල ක්‍රියාකාරීන් හා පොදුවේ සියලුම ජනතාව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහාය විය යුතුයි. 

නිහඬ කාලසීමාව

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 16 වැනිදා. එම දිනයට පැය 48කට පෙර සිට නිහඬ කාලය ආරම්භ වෙනවා. එම නිහඬ කාලසීමාව තුළ සියලුම අපේක්ෂකයන්, දේශපාලනඥයන්, ආධාරකරුවන්, මාධ්‍ය ආයතන සියලුම ආකාරයේ පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතුවලින් ඉවත් වෙන්න ඕන. මෙම කාලය තුළ කෙටි පණිවුඩයකින්වත් අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු කරන්න බැහැ. 

අපේක්ෂකයන් හා දේශපාලනඥයන් සඳහා වූ ආචාරධර්ම

ප්‍රජාතන්ත්‍රවාදී හා ශිෂ්ඨ සම්පන්න රටවල ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයන්ට හා රටේ පාලනය සඳහා ක්‍රියාකරන දේශපාලනඥයන්ට ආචාරධර්ම පද්ධති හඳුන්වා දී තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවත් දේශපාලනඥයන්ට අපේක්ෂකයන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීලා තියෙන්නේ. සියලුම අපේක්ෂකයන් සේම දේශපාලනඥයන්ද ආචාරධර්මවලට අනුව කටයුතු කළ යුතුයි. අදාළ ආචාරධර්ම මැතිවරණ කොමිසම විසින් මේ වසරේ සැප්තැම්බර් මස 25 දිනැති අංක 2142/47 දරණ අතිවිශේෂ ගැසට් පත්‍ර‘යේ පළ කරලා තියෙන්නේ. 

රාජ්‍ය සේවක අයිතිවාසිකම්

දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ලබාදීම හැර වෙනත් කිසිදු කටයුත්තක් කරන්න බැහැ. දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්ට කාර්යාල වේලාව තුළ දේශපාලන කටයුතුවල නිරතවෙන්න බැහැ. ඒ වගේම රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් දේශපාලන කටයුතුවලට යොදාගන්න බැහැ. 

අපේක්ෂකයන් ගණන

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂකයන් හතළිස් එක් දෙනෙකු ඇප මුදල් තැන්පත් කළා. ඒත් නාමයෝජනාව භාරදීලා තියෙන්නේ අපේක්ෂකයන් තිස්පස් දෙනයි.
වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය තමයි මේක. ඒත් මේ මැතිවරණය සඳහා ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක්, හිටපු ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් හෝ විපක්ෂනායකවරයෙක්, හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අපේක්ෂකයන් වැඩි නිසා මේ මැතිවරණය වෙහෙසකර කටයුත්තක් වෙනවා. මෙවර මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ දහඅටක (18) අපේක්ෂකයන් හා ස්වාධීන අපේක්ෂකයන් 15 දෙනෙකුත්, සංවිධාන ලෙස දෙදෙනෙකුත් තරග කරනවා.

නාමයෝජනා පිළිගත් අපේක්ෂකයන් වන්නේ කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා මහතා (ස්වාධීන), සිරිපාල අමරසිංහ මහතා (ස්වාධීන), අජන්තා විජේසිංහ පෙරේරා මහත්මිය (ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය), අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි (ස්වාධීන), වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා මහතා (අපේ ජන බල පක්ෂය), නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ), ආරියවංශ දිසානායක මහතා (ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය මහතා (එක්සත් සමාජවාදී පක්ෂය),  වර්ණකුලසූරිය මිල්රෝයි සර්ජියස් ප්‍රනාන්දු මහතා (ස්වාධීන), බැද්දෙ ගමගේ නන්දිමිත්‍ර මහතා (නව සමසමාජ පක්ෂය), නම්බුනාම නානායක්කාර අක්මීමණ පල්ලියගුරුගේ වජිරපානි විජේසිරිවර්ධන මහතා (සමාජවාදී සමානතා පක්ෂය), සරත් මනමේන්ද්‍ර මහතා (නව සිහල උරුමය), පල්ලෙවත්ත ගමරාලලාගේ රොහාන් පල්ලෙවත්ත මහතා (ජාතික සංවර්ධන පෙරමුණ), අනුර කුමාර දිසානායක මහතා (ජාතික ජනබල ව්‍යාපාරය), චන්ද්‍රසේකර හේරත් හිටිහාමි කෝරලලාගේ සමන්සිරි හේරත් මහතා (ස්වාධීන), වැලේරා කීර්තිරත්න මුදියන්සේලාගේ සරත් විජිත කුමාර කීර්තිරත්න මහතා (ස්වාධින), පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ මහතා (ස්වාධීන), සමරවීර වීරවන්නි මහතා (ස්වාධීන), අශෝක වඩිගමංගාව මහතා (ස්වාධීන), 
ඒ.එස්.පී. ලියනගේ මහතා (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), සජිත් ප්‍රේමදාස මහතා (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), ඉල්ලියාස් අයිද්රූස් මොහමඩ් මහතා (ස්වාධීන), විජේනායක කංකානම්ගේ පියසිරි විජේනායක මහතා (ස්වාධීන), දුමින්ද නාගමුව මහතා (පෙරටුගාමී සමාජවාදී පක්ෂය), රජීව විජේසිංහ මහතා (ස්වාධීන), මහේෂ් සේනානායක මහතා (ජාතික ජනතා පක්ෂය), අරුණ ද සොයිසා මහතා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය), අජන්ත ද සොයිසා මහතා (රුහුණු ජනතා පෙරමුණ), ප්‍රියන්ත මුණිහත් එදිරිසිංහ මහතා (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්ෂ මහතා (ජාතික සමගි පෙරමුණ), එම්.කේ. සිවාජිලිංගම් මහතා (ස්වාධීන), මහමුද් ලෙබ්බේ ආලිම් මුහමද් හිස්බුල්ලාහ් මහතා (ස්වාධීන), අහමඩ් හසන් මොහොමඩ් අලවි මහතා (ස්වාධීන), සුබ්‍රමනියම් ගුණරත්නම් මහතා (අපේ ජාතික පෙරමුණ)යන මහත්වරුන් වන අතර, ඇප තැන්පත් කර නාමයෝජනා භාර නොදුන් අපේක්ෂකයන් වන්නේ, බෂීර් සේගුදාවුද් මහතා (ස්වාධීන), ජයන්ත ලියනගේ මහතා (සිංහලදීප ජාතික පෙරමුණ), ශාන්ත කුමාර ආනන්ද වෙල්ගම මහතා (ස්වාධීන), චමල් ජයන්ත රාජපක්ෂ මහතා (ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය), ගුණපාල තිස්සකුට්ටි ආරච්චි මහතා (ස්වාධීන), ගනේ ආරච්චිගේ මහීපාල හේරත් මහතා (ස්වාධීන)

අපේක්ෂකයන්ගේ වගකීම

තවත් අපේක්ෂකයෙකු අගතියට පත්කරන ආකාරයට මැතිවරණ ව්‍යාපාර කරන්න බැහැ. ඒ වගේම ඡන්දය ලබාගැනීම වෙනුවෙන් විවිධ අල්ලස් ලබාදීම, සංග්‍රහ, අයුතු බලපෑම් හා දූෂණ ක්‍රියා සිදුකරන්න බැහැ. ආගමික වැඩසටහන් හරහා හෝ පූජනීය ස්ථාන තුළ පවත්වන රැස්වීම් හරහා පක්ෂ හො අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු කිරීමත් අයුතු බලපෑම් යටතට ගැනෙනවා. 

විද්‍යුත් ප්‍රවර්ධන පුවරු

විද්‍යුත් ප්‍රවර්ධන පුවරු පොදු ස්ථානවල බැහැ. පාරට පේන්න ගෙදරක තිරයක් දාලා ප්‍රදර්ශනය කළොත් එයට එරෙහිවත් කටයුතු කරනවා. ෆිල්ම් හෝල්වලත් ප්‍රවර්ධන කටයුතු කරන්න එපා. සෑම අපේක්ෂකයෙකුටම පක්ෂ කාර්යාලවල පෝස්ටර්ය හා ලකුණු ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒ වගේම මැතිවරණ කොමිසමේ බෙදාහරින පත්‍රිකාවෙත් පක්ෂයයි, ලකුණුයි සඳහන් කරලා තියෙන්නේ.

මැතිවරණ වියදම

මුලින් අපි හිතන් හිටියේ ජනාධිපතිවරණයට රුපියල් මිලියන හාරදහසක් වියදම් වේවි කියලා. ඒත් මේ වන විට ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු (35) ඉදිරිපත් වෙනවා. ඒක නිසා මීට වඩා වියදම් වෙනවා. මොකද ඡන්ද පෙට්ටි අලුතින් හදන්න හෝ රටින් ගෙන්වන්න වෙනවා. යෙදිය යුතු නිලධාරීන් ප්‍රමාණය, සේවකයන් ප්‍රමාණය වැඩියි. ඔවුන්ට ලබාදෙන යටිතල පහසුකම් වැඩි වෙනවා. ඡන්දය ගණන් කරන්න යොදාගත යුතු ප්‍රමාණය වැඩියි. ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් විසිහයක් (26) වෙනවා.

සමාජ ජාල මාධ්‍ය පාලනය

ඒවා පාලනය කරන්නේ නැහැ. ඒත් යූටියුබ් ආයතනය ෆේස්බුක් ආයතනය සමග කතා කරලා තියෙන්නේ. වෛරී හෝ වෙනත් ආකාරයේ කටයුතු පිළිබඳව ඒ ආයතන සොයා බලනවා. අපිට පැමිණිල්ලක් ආවොත් ඒ පැමිණිලි අපි ඒ ආයතනවලට යොමු කරනවා. සමාජ ජාල මාධ්‍ය කියන්නේ නව මාධ්‍ය.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකක 
 
දුරකථන අංක හා ෆැක්ස් අංක
 
දිස්ත්‍රික්කය   දුරකථන                        ෆැක්ස් 
කොළඹ           0112 868 212 0112 868 529
ගම්පහ 0333 144 301 0332 234 240 
කළුතර        0342 227 550 0342 227 544 
මහනුවර 0812 225 394 0812 225 394 
මාතලේ 0662 226 673 0662 226 673 
ගාල්ල 0913 133 033
මාතර              0413 136 901 0413 136 901 
හම්බන්තොට    0473 129 250 0472 256 013 
යාපනය 0213 207 296 0212 222 628
කිලිනොච්චිය    0213 900 151 0210 084 05
වවුනියාව          0242 222 138 0242 222 138 
මන්නාරම 0232 223 710 0232 222 789 
මුලතිව් 0213 204 351 0212 290 030
මඩකලපුව        0653 132 987        0652 224 375
අම්පාර 0632 224 982 0632 222 236 
ත්‍රිකුණාමල 0262 222 883         0263 133 603 
කුරුණෑගල        0373 143 405          0372 222 509 
පුත්තලම 0323 299 200 0322 265 543 
අනුරාධපුර         0253 134 758 0252 224 103
පොළොන්නරුව 0273 128 321 0272 057 321 
බදුල්ල              0552 229 526 0552 225 222 
මොනරාගල 0553 593 884 0552 276 245 
රත්නපුර 0452 222 023
කෑගල්ල 0352 272 561 0352 050 244 
නුවරඑළිය 0522 222 097 0522 222 097


Recommended Articles