මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමාන ප්‍රමාණවත්ද? ප්‍රායෝගිකද?


ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න මොහොතක පූර්ණ මැතිවරණ සමයක් ගත කරමින් පවතින අවස්ථාවක රටේ මාධ්‍යවල හැසිරීම දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් මේ වන විට සිදුකළ පර්යේෂණ වාර්තා පවා එළිදක්වා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය උපමාන අනුගමනය නොකරන බව ඒවා මගින්ද තහවුරු වී ඇත.

මැතිවරණ සමයක මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මෙම මාධ්‍ය උපමාන ප්‍රමාණවත්ද? ප්‍රායෝගිකද? යන කාරණය පිළිබඳ පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප්‍රසිද්ධ දේශනයක් පැවැත්විණ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්ම මහත්මීන් දැක්වූ අදහස් මෙහි අන්තර්ගත වේ.

ජනතාවගේ අයීතින් වෙනුවෙන් ජනතාව මීට වඩා පෙරට පැමිණිය යුතුයි - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

අපේ රටේ හැම ඡන්දයකදීම සම භුමියේ සටන කියන කරුණ හරහා තමයි 1931 සිට ඡන්ද නීතිය සකස් වී තිබෙන්නේ. ජනතාවගේ අදහස ජන මතය හැඩගැස්වීමට ක්‍රියාමාර්ග ගන්නේ කොහෙන්ද? මුල් කාලයේ මේ දේ සිදුවුණේ රැස්වීම් පවත්වලා, ගෙයින් ගෙට ගිහින් ලිපි පත්‍රිකා තියලා. මේ නිසාම ගෙන් ගෙට ගිහින් ඡන්දය ආයාචනය කරන්න බැහැ කියන එක සෑම ඡන්ද පනතකම තිබෙන කාරණයක්. ටික කාලයක් යන විට පුවත්පත්වලින් ප්‍රචාරණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ රේඩියෝ එකෙන් ප්‍රචාරණය කරන්න ගත්තා. මේ විදිහට ප්‍රචාරණය වන විට තමයි මාධ්‍ය වාරණය කියන වචනය ආවේ.

මාධ්‍ය පාලනය කරනවා කියන්නේ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමක්. අනිත් අතට ඡන්දය කියන්නේ මොකද්ද? එයත් අදහස් ප්‍රකාශ කිරීමක්. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හරහා ඊටත් එහා තිබෙන ජනතාවගේ පාලකයන් තෝරාගැනීමේ අයිතියට බාධාවෙනවා නම් අපි පාලනය කළ යුත්තේ කුමක්ද?.

ජනතාවගේ කැමැත්තෙන් ජනතාවගේ පාලකයන් තෝරාගන්න ජනමනස වෙනස් කිරීමට වඩා මාධ්‍ය හිමිකරුවන්ගේ මාධ්‍යයේ කටයුතු කරන අයගෙන් මනස වෙනස් කිරීම වෙනවා නම් ඒකද මාධ්‍ය උපමාන වෙන්නේ. මාධ්‍යයෙන් ඇති කරන මතය කොච්චරද කියලා කියනවා නම් සිංහල බෞද්ධ නොවන අයගේ නාමයෝජනා මැතිවරණ කොමිෂන් සභාව භාරගත්තේ කොහොමද කියලා සමාජ ජාලාවල කතාබහ වෙනවා. මොකද වැරැදි අදහස් ජනතාවගේ ඔළුවට කාවද්දලා තියෙනවා. කොහෙන්ද දීලා තියෙන්නේ. මාධ්‍ය හරහා තමයි ඒ දේවල් වෙන්නේ. මාධ්‍ය පාලනය කරනවා කියන එක මිථ්‍යාවක්. ලෝකයේ කිසිම රටක ජනමාධ්‍ය පාලනය කරලා නැහැ. මාධ්‍ය පාලනය කරන්න පුළුවන් යකඩ සපත්තුවෙන් තුවක්කුව තියෙන කෙනෙකුට පමණයි. 

නමුත් මාධ්‍යවල එකඟතාව අරගෙන සදාචාරවත් මාධ්‍යයක් හදන්න පුළුවන්. මේ මාධ්‍ය උපමාන කියන්නේ කාගේවත් බෙල්ලට එල්ලපු කඩුවක් නෙවෙයි.  නමුත් මීට රාජ්‍ය මාධ්‍ය අහුවෙලා තිබෙන්නේ. අපේ රටේ ජනතාව මූලික වශයෙන් තමන් ඇසූ දේ, තමන් දකින දේ තමන් කියවන දේ විශ්වාස කරනවා. මොකද අපි ඉගෙන ගන්නේ අත්දැකීම්වලින් නෙවෙයි. කියවන දකින දෙයින්. ඒකයි හේතුව. ඒ නිසාම තමයි අපි මාධ්‍යයෙන් හැමවිටම ඉල්ලන්නේ මාධ්‍ය උපමාන නිවැරදිව අනුගමනය කරන්න කියලා.  මාධ්‍ය පාලනය කළ යුතුයි  කියලා අපි කිසිවිටෙක කියන්නේ නැහැ.

සියලුම අපේක්ෂකයන්ට සමාව සලකනවා කියලා අපිට කියන්න වෙන්නේ එක්තරා ප්‍රමාණයකට විතරයි. ඒ මොකද නාමමාත්‍රික අපේක්ෂකයොත් මේ සඳහා ඉදිරිපත් වෙනවා. සමහර අපේක්ෂකයෝ පැහැදිලිවම පෙනී සිටින්නේ වෙනත් දේශපාලන පක්ෂකයක අපේක්ෂයෙක් වෙනුවෙන්.

ජනාධිපතිවරණයේදී සැබැවින්ම තරග කරන අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අයට සාධාරණයක් කරන්න කියලයි අපි කියන්නේ. එක් ඡන්දයක් පැවැත්වෙන කාලයකදී එක්තරා සිසිල් බීම කොම්පැනියක දැන්වීම් දාන එක තහනම් කළා. මෙවර ඒ පක්ෂය ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැති නිසා නම කියන්න පුළුවන් අපිට. අලියා බීම කොම්පැනියේ දැන්වීම් තහනම් කළා. නමුත් අපි අද කොතැනද ඉන්නේ?  

අද ප්‍රවෘත්ති විකාශය මැදදි කියනවා පක්ෂයේ විස්තර. ප්‍රවෘත්ති සඳහා කාලය විනාඩි 30 යි. එයින් විනාඩි 21ක් එක පක්ෂයකට. පෞද්ගලික මාධ්‍යයේ විතරක් නෙමෙයි රාජ්‍ය මාධ්‍යත් එහෙමමයි. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී විනාඩි 45ට වැඩි කාලයක් මාධ්‍යයේ හැසිරීම ගැන කතා කළා.
පෞද්ගලික මාධ්‍ය හරියට පෞද්ගලික බස් වගේ. එයාලගේ සල්ලි නමුත් පාර අපේ. අපි හදපු පාරේ තමයි එයාලා යන්නේ. සංඛ්‍යාත මහජනතාවගේ. ඒවා පෞද්ගලික අයට දීලයි තියෙන්නේ. ඔවුන් බදු ගෙවනවා වෙන්න පුළුවන්. 

නමුත් ඒක නිකම්ම දීලා තියෙන එකක්. ඒ නිසයි අපි කියන්නේ පෞද්ගලික මාධ්‍ය මේ මාධ්‍ය උපමානවලට අනුගත විය යුතුයි කියලා. එහෙම අනුගත නොවුණොත් අපිට තව දෙයක් කළ හැකියි. තමන් වැඩ කරන්නෙ කුමන අපේක්ෂකයාටද කියල පෞද්ගලික නාලිකා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. මොකද මේ ඡන්දයක් වගේ දෙයකදී ජනතාවගේ මතය හදලා තියෙන්නේ මේ මාධ්‍යය නේද කියන එක අපි කල්පනා කරන්නේ නැහැ. 

පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ මිනිස්සු හවසට පහර දෙන්න අවශ්‍ය කුමන ගමටද කියලා තීරණය කරන්නේ උදේට නාලිකාවල පත්තර කියවන අය කියලා මට එක්කෙනෙක් කිව්වා . එහෙම තත්වයක් තිබෙනවා. හෘදය වස්තුවට තට්ටු කරලා බැලුවොත් ඒක නැහැ කියන්න බැහැ. අපි ඒ තත්වයට ගිහින් තියෙන්නේ. අපි මොකද කරන්නේ. මගේ අදහසට අනුව නම් අපි ලේවලට, හෘදය වස්තුවට පමණක් නෙමෙයි මොළයටත් කතා කළ යුතුයි. මාධ්‍ය උපමාන තිබිය යුත්තේ මේ සඳහායි.

ඒ වගේම ජනතාව තමන්ගේ අයිතිය ලබා ගැනීමට ක්‍රියාත්මක විය යුතුයි. එය අද හෙට ගන්න බැරි වුණත් එය ලබාගන්න පුළුවන් වෙයි. ඒ නිසා ජනතාව පෙරට පැමිණිය යුතුයි. 

මානව හිමිකම් සහ මාධ්‍ය, මානව හිමිකම් සහ පෞද්ගලික අංශය ආදිය ගැනත් අපි කතා කළ යුතුයි - මානව හිමිකම් කොමිෂන් සභාවේ ආචාර්ය දීපිකා උඩගම

අපි මැතිවණ දිහා බලන්නේ මානව හිමිකම් කෝණයෙන්. එහිදී %වරුණ කරුණාතිලක එදිරිව ඡන්ද කොමසාරිස්^ කියන නඩුව අපිට අතිශයෙන්ම වැදගත් වෙනවා. එතැනදී  ඡන්ද බලය කියලා අර්ථ නිරූපණය වුණේ ඡන්ද දැමීම, ඡන්ද අයිතිය හැටියට.  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එහිදී ඇතිවන සීමාවන් ගැන තමයි මූලික වශයෙන් අවධානය යොමුකරන්නේ. මැතිවරණ සමයකදී ජනතාවට නොයෙකුත් අදහස් සහ මතිමතාන්තර ලබා ගැනීමට පුළුල්  අයිතියක් තියෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක ක්‍රියාත්මක කිරීමට නම් මැතිවරණ සමයකදී ජනතාව නිදහස්ව තීරණ ගැනීමට නම් නිදහස් අදහස් වෙළඳපොළක් තිබිය යුතුමයි.  

මාධ්‍ය වාරණය, මාධ්‍ය නියාමනය කියනකොට එහි සීමාව අඳින්නේ කොතැනද? කියන දේ තමයි මුලින්ම බලන්න ඕන. නීතිය වෙන්නෙ අදහස් ප්‍රකාශ කිරීම. එතැනදී සීමාව ඉතාම පටු විය යුතුයි. මානව හිමිකම් කොමිෂන් සභාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන කවුරුහරි ඇහුවොත් අදහස් ප්‍රකාශ කිරීම සෑහෙන මට්ටමකට ප්‍රසාරණය වෙලා තියෙනවා. මිනිස්සු කිසිම බයක් සැකයක් නැතිව අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් එක් කොටසක් තමයි මාධ්‍ය නිදහස සාක්ෂාත් කරගැනීම. මේවා ජනතාවගේ ජයග්‍රහණයක්.

නමුත් අපි ඇසිය යුතු ඊළග ප්‍රශ්නය තමයි  මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළේ ඇයි, ඒ අරමුණ ඉටුවෙලාද කියන එක. මාධ්‍ය සදාචාරය ගැන ප්‍රසාදයක් සහ ජනතාවට අවශ්‍ය ආකාරයට මාධ්‍ය කටයුතු කරනවද කියන කාරණය ගැන ජනතාව අතර ප්‍රසාදයක් තිබෙනවාද? ඒ ගැන ඔබම හිතලා බලන්න. මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි කවුරුත් සටන් කරන්නෙ ඒක එක අන්තයක් නිසා නෙමෙයි. මාධ්‍ය නිදහස මත්තෙන් වෙනත් අයිතිවාසිකම් අපේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා දිනා ගන්නයි සටන් කරන්නෙ. මෙතනදී මාධ්‍ය නිදහස අවභාවිත වෙනවා නම්, මාධ්‍ය නිදහස ජනතාවට අහිතකර ආකාරයට භාවිත වෙනවා නම් මොකක්ද මේකට තියෙන විසඳුම?. මේ මාධ්‍ය උපමාන දිහා බැලුවම මාධ්‍ය උපමානවල දුර්වලතාවක් දකින්නේ නැහැ. නමුත් මාධ්‍ය උපමාන ප්‍රා‘යෝගිකද කියලා තමයි බලන්න ඕන. එහිදී දඬුවම් කිරීමට හැකිවෙන්නේ නීතිමය වශයෙන් වගකීම් පැවරෙන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පමණයි. පෞද්ගලික මාධ්‍ය ආයතනවලට එවැනි දඬුවමක් පැවරීමට බලයක් නැහැ.

නමුත් මාධ්‍ය ක්ෂේත්‍රය හෝ වේවා වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක පෞද්ගලික අංශයේ විශාල බලපෑමක් තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ කතිකාවක් දෙස බැලුවම පෞද්ගලික අංශය වෙත කොහොමද මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ වගකීමක් පවරන්නෙ කියන එක. ව්‍යාපාර සහ මානව හිමිකම් , පෞද්ගලික අංශය සහ මානවහිමිකම් ආදිය ක්‍රියාත්මක විය යුතුයි. පෞද්ගලික මාධ්‍ය ආයතනයක් පිළිබද තිබිය යුත්තේ ස්වයං නියාමනයක් (Self-regulation).  යම්කිසි ආයතනයක් මගින් ඒකමතිකව සිදුවන කතාබස්වලින් තමයි ස්වයං වාරණයක් ඇතිවිය යුත්තේ. නමුත් ප්‍රා‘යෝගිකව කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නෙ කියන කාරණයෙදි තමයි මේ සංවාදය වැදගත් වෙන්නේ. පෞද්ගලික මාධ්‍ය ආයතන නියාමනයකට ලක් කළ යුතුද? කළ යුත්තේ කෙසේද? එයයි වැදගත් ප්‍රශ්නය. මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු බොහොමයක් ලබා දී තිබෙනවා. ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ තියෙන විශාලතම මැතිවරණ කොමිෂන් සභාවක්. එය විසින් මැතිවරණයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මුද්‍රිත මාධ්‍යයට සහ විද්‍යුත් මාධ්‍යයට වගේම විශේෂයෙන්ම සමාජ මාධ්‍යයටත් මාර්ගෝපදේශන නිකුත් කරලා තියෙනවා. එතැනදී සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරනකොට නීත්‍යානුකූල බැඳීමකට ලක්කිරීමක් කරලා තියෙනවා. යම් කමිටුවක් මාර්ගයෙන් නියාමනය කරලා අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු කිරීමේදී දේශපාලන ප්‍රචාරණ දැන්වීම් යම් කිසි කමිටු මාර්ගයෙන් ඒ කමිටුවේ යම් සහතිකයක් ලබාගෙන කමිටුවට අනුකූලව ප්‍රචාරණ කළ යුතු වෙනවා. ඒ වගේම හැම පක්ෂයක්ම තමන්ගේ ප්‍රචාරණ වියදම් ප්‍රසිද්ධ කළ යුතුව තිබෙනවා. මේ තත්ත්වය අපි ඇති කර ගත යුතුයි.

පෞද්ගලික මාධ්‍ය නියාමනය කිරීම අපහසුයි. පෞද්ගලික මාධ්‍ය පැවැත්ම සාධාරණීකරණය කරන්නෙ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට නම්, ජනතාවගේ අවශ්‍යතා සපුරා ගැනීමට නම් යම් කිසි ආකාරයේ නියාමනයක් සිදුවිය යුතුයි. ඇයි ස්වයං වාරණයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවෙන්නේ? කොමිෂන් සභාවක නිර්දේශ පමණයි ඉදිරිපත් කරන්න පුළුවන්. නීතිය මගින් බැඳ තබන විධාන දෙන්න බැහැ. මේ හැමදේම නීතිය මගින් ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවක් තිබෙනවා නම් ඇයි ස්වාධීන කොමිෂන් සභාවක් ඉදිරිපත් කරන නිර්දේශ කරන්නෙ නැත්තේ රාජ්‍ය නිලධාරීන්. දේශපාලන සංස්කෘතියේ හෝ දේශපාලන සභ්‍යත්වය එසේත් නැතිනම් ජන ජීවිතය තුළ පවතින දුර්වලතාවක්ද මීට හේතුව කියලා හොයලා බලන්න ඕන. හැම විටම දඬුවම් කරමින් තමයි සමාජයේ යහපැවැත්ම අපි සාක්ෂාත් කරගන්නෙ. ඒක ලොකු දුර්වලතාවක්. දැනට පවතින තත්ත්වය අනුව මැතිවරණ කොමිෂන් සභාවකට කරන්න පුළුවන් හොඳම දේ මේ උපමාන මොන ආකාරයෙන්ද මේ එක් එක් ආයතනවලින් උල්ලංඝණය වෙන්නෙ කියලා දැනුම් දෙන එක. යම්කිසි නාලිකාවක් විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් යම් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් එයින් ජනතාවට විශාල අසාධාරණයක් සිදුවෙනවා සහ රටේ අනාගතයට විශාල බලපෑමක් වනවා. මැතිවරණ කොමිසම් සභාවට, මානව හිමිකම් කිසිම ආයතනයකට වගකීම් පවරනවා වෙනුවට ප්‍රබලව ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩනැගිය යුතුයි.  



Recommended Articles