මැතිවරණ අයවැයක්


මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව ඇත්තේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවකදීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ධුර කාලයේ ඉදිරිපත් කරන අයවැය මෙය වන අතර, යහපාලන ආණ්ඩුව ලෙස ගත්විට  ඔවුන් නියමිත වසර පහ තුළම ආණ්ඩු කළහොත් ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිත අවසාන අයවැයට පෙර ඉදිරිපත් කරන ලියවිල්ලයි.

ඉදිරියේදී මැතිවරණ කිහිපයක්ම පවතින හෙයින් මෙම අයවැය බොහෝ දුරට මැතිවරණ අයවැයක් ලෙස ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. එවැනි මැතිවරණ අයවැයක් වන්නේ නම් ඒ හරහා ජනතාවට යම්කිසි සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. කෙසේ හෝ වේවා මෙවර අයවැයෙන් ජනතාවට යම්කිසි සහන ප්‍රමාණයක් ලැබෙන්නේ නම් එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. කෙසේ වෙතත් මෙවැනි අයවැයක් හරහා රටක සංවර්ධනයට ගැටලුවක් ඇතිවිය හැකිය. එසේ වෙතත් මුලින්ම ජනතාව ගැන අවධානය යොමුකළ යුතු හෙයින් දේශපාලකයෙකු ලෙස ජනතාවට සහන ලැබිය යුතු යන මතයේ අපි සිටිමු.  අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී රටේ වර්තමානය හා අනාගත දැක්ම කෙසේ විය යුතුදැයි යන්න පිළිබඳ ඔබට යම් චිත්‍රයක් ලබාදීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.
අද විරැකියාව 20% - 30% අතර වේ. එය තරුණයන්ගේ 16෴ක් වෙයි. සාක්ෂරතාව 92෴ක් යැයි අපි ලෝකයට කීවද, මතක තබාගත යුත්තේ සෑම වසරකම පහ වසරටවත් නොගිය අපේ රටේ ලක්ෂ 07ක් පමණ සිටින බවයි.
අපි මහා ජාතියක් ලෙස කතා කළද, මිලියන 21කින් මිලියනයක් ජීවත්වන්නේ ඉතාමත් දුෂ්කර ආර්ථික පසුබිමකය. අපේ ආණ්ඩුවෙන් ඇතැම් අයගේ සමෘද්ධිය අහිමි වන්නට ඇත. එය සතුටට කරුණකි. මන්ද සමෘද්ධිය දෙන්නේ දුප්පත් ජනතාවටයි. සමෘද්ධිය ඉවත් කරනවා යනු ඔවුන් දුප්පත්කමින් මිදී ඇති බවයි.

වත්මන් ආණ්ඩුව සඳහන් කරන්නේ තවත් පවුල් ලක්ෂයක් වෙනුවෙන් සමෘද්ධිය ලබාදීමට කටයුතු කරන බවයි. ඒ අනුව මෙම ආණ්ඩුවේ අදූර්දර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් දුප්පත්කම වැඩි වී ඇති බව ඔවුන් පිළිගෙන ඇති බවට පැහැදිලි වෙයි. ඒ අනුව සමෘද්ධි මුද්දර ප්‍රමාණය වැඩි කළ බවට ආඩම්බරයෙන් කියන දේශපාලකයන් සිටින රටක අප ජීවත් වීම කොතරම් අභාග්‍යසම්පන්නද?

අපි පවතින යාන්ත්‍රණයට දෝෂාරෝපණය කරමින් සිටීමෙන් ඵලක් නොවේ. මේ යාන්ත්‍රණය වෙනස් කළ හැකි තැනකට අප පැමිණිය යුතුය. 2009 යනු එවැනි කේන්ද්‍රස්ථානයකි. අපි එය වෙනස් කොට මහා වෙනසක් ඇති කළෙමු. ඒ වෙනස තරුණ පරම්පරාවට දරාගන්නට නොහැකිවන්නට ඇත. මන්ද ඒ තරම් වේගයෙන් රට වෙනස් වූ හෙයිනි.

අපේ ගමට ගිය විට සමහර මාමලා කියන්නේ, “පුතේ උදේ නැගිටිනකොට අපේ පොඩි පුතාගේ ගෙදර කිලෝමීටරයකින් දුරස් වෙලා යනුවෙනි. මන්ද මැදින් මංතීරු හතරක පාරක් නිර්මාණය වී ඇත.  සමාජය බෙදුණේය. ඒ වෙනස දරාගන්නට, පිළිගන්නට නොහැකි වන්නට ඇත. එය අපි පිළිගත යුතුය. අධිවේ

 මාර්ග, නගර සංවර්ධනය කළද සමාජයේ බෙදීමක් ඇති වෙයි. අධිවේගී මාර්ගයක් ඉදිවන විට ගමක් හා නගරය යා වන්නා සේම ගමක බෙදීමක් සිදුවෙයි. අපි සිදුකළ යුත්තේ ඒ බෙදුණු ගම සංවර්ධනය කිරීමයි. 
අපේ ආණ්ඩුවක බලාපොරොත්තුව අධිවේගී මාර්ග ඉදිකරනවා සේම ඒ අධිවේගී මාර්ගවල ගොඩනැගෙන නව ජන සමාජ සම්බන්ධ කිරීමයි. ආසියාවේ අපි කැමති වුවද, අකමැති වුවද අපේ පදනම වී ඇත්තේ කෘෂිකර්මාන්තයයි. ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යන මේ රටවල පදනම කෘෂිකර්මාන්තයයි.

ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව අපි නාවික කේන්ද්‍රස්ථානයක් විය හැකිය. නමුත් අපේ පදනම කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තයයි. අද පුතා හෝ දුව කවුරුන් වන්නේදැයි ඇසූ විට දොස්තර, ඉංජිනේරු, ගුවන් නියමුවෙක් ආදී උත්තරයක් ලැබිය හැකිය. නමුත් අපේ පදනම කෘෂිකර්මාන්තයයි. අප එය ශක්තිමත් කළ යුතුය.

කෙසේ වෙතත් වත්මන් රජය බලයට පැමිණ කෙටි කාලයක් තුළ අපේ පදනම වන කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ කටයුතු ආරම්භ කළේය. පොහොර සහනාධාරය අවලංගු කරමින් කෘෂි කර්මාන්තය අඩාළ කළේය. පිටරටින් ආහාර ගෙන්වා කන්නට දුන්නේය. වහින තෙක් බලාගෙන සිටින ජාතියක් බවට පත් විය. අපි අනාගතය ගැන සිතිය යුතුය. අප ස්වයංපෝෂිත විය යුතුය.

එසේ වූවා නම් අපේ රටට පරිප්පු ගෙනත් දාන විට යුද්ධය නවත්වීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇත. අපේ රටේ වරායක් හදන විට, වරාය හදනවා නම් හාල් දෙන්නේ නෑ කියන විට ඔළුව නැමිය යුතු නොවේ. අපට එවන් ඉතිහාසයක් තිබේ. අපි නැගීගෙන එන විට සමහර රටවල් කීවේ අපට හාල් නොදෙන බවයි. අපේ නායකයන් සංවර්ධන කටයුතු නැවැත්වූයේ එදා තිබූ අසරණ බව නිසාය. මන්ද ජනතාවට කන්නට දිය යුතු හෙයිනි.
නමුත් අපි අවුරුදු 10ක් හිස නොනමා ජීවත් වීමු. අපි බඩඉරිඟු පිටරට යැවීමු. රට සහලින් ස්වයංපෝෂිත කළෙමු. අපට යමෙකු යමක් නොදෙන්නේ යැයි කිවහොත් අපි අනිත් පැත්තට මේ දේ දෙන්නේ නැතැයි ඔවුන්ට කීවෙමු.

ජී.එස්.පී. ප්ලස් සහනය නැවැත්තුවද, අප ඔළුව නැමුවේ නැත. අපි වෙන වෙළෙඳ පොළක් සොයාගත්තෙමු. අපි ඇඟලුම් අරගෙන ඇමෙරිකාවට ගියෙමු. අද හයිටිවල අංක එකේ අයෝජකයන් ලංකාවේ අයයි. රටක් ලෙස ජාතියක් ලෙස අපි ගොඩනැගෙනවා නම් දේශපාලන දැක්මක් ආර්ථික හා සමාජ දැක්මක් සහිතව ගමන් කළ යුතුය.

මේ අතර කාන්තාවන්ට එරෙහිව පවතින ගෘහස්ථ හිංසනය ඇතුළු සියලු හිංසනයන්ට එරෙහිව කටයුතු කරන win මධ්‍යස්ථානය වෙනුවෙන් පැවැත්වූ පාපැදි සවාරිකයට එක්වීමට අවස්ථාව ලැබිණි. ඒ සඳහා ආධාර එකතු කිරීම වෙනුවෙන් ridersforcharity සංවිධානය මෙම පාපාදි සංවාරිය සංවිධානය කළේය. එහිදී කොළඹ සිට මඩකලපුව දක්වා පාපැදියෙන් ගමන් කිරීමට අවස්ථාව ලැබුණු අතර බොහෝ අත්දැකීම් ලබාගැනීමට මෙය අවස්ථාවක් විය. එසේම ඒ සඳහා එක්වූ සියලු පුද්ගලයන් සතුව අනාගත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පුළුල් දැක්මක් සහිත විය. ඒ අදහස් බෙදා හදාගැනීමට ලැබීමද භාග්‍යයකි.

 



Recommended Articles