මැටි වැඩ


මැටි කර්මාන්තය යනු මානව ශිෂ්ටාචාරයේ ඉතා පැරණිතම යුගයට අයත් වන, මිනිසුන් ශිෂ්ටාචාරය ආරම්භ කරන යුගයේදීම අත්හදා බැලූ ක්ෂේත්‍රයකි. දැනට පුරා විද්‍යාඥයන් සොයා ගෙන ඇති කරුණු අනුව මිනිසුන් මැටි වැඩ පිළිබඳ අත්හදා බලා ඇත්තේ නියොලිතික යුගයටද පෙරය. 

මිනිසුන් මැටි භාවිත කරමින් උළු, බඳුන්, වැසිකිළි, ගඩොල්, සංගීත උපකරණ ඇතුළු පුළුල් පරාසයක් තුළ නිෂ්පාදන සිදු කරයි. ලෝකයේ සංහතික නිෂ්පාදනය නම් සංකල්පය (Mass production) මුල් බැස ගැනීමත් සමග මහා පරිමාණයෙන් නිෂ්පාදන පිටපත් නිර්මාණය කිරීම සිදු කෙරිණි. මහා පරිමාණ නිෂ්පාදනය ප්‍රාග්ධන තීව්‍රතාවෙන් හා බලශක්තියෙන් යුක්ත වන අතර, එහිදී සංකීර්ණ යන්ත්‍රෝපකරණ භාවිතයක් සහ ස්වයංක්‍රීයකරණයක් සිදු කෙරේ. මේ ඔස්සේ නිෂ්පාදන ඒකකයක මුළු වියදම අඩු කර ගැනීම සංහතික නිෂ්පාදනයක අරමුණයි.  

මෙම සංහතික නිෂ්පාදනයට සරිලන පරිදි මැටි ආශ්‍රිත කර්මාන්ත සිදු කිරීමට හැකි වෙතැයි සිතීම නූතන ලෝකය සමගින් නොගැළපෙන්නකි. 20 වැනි සියවසේ මුල් භාගයේදී ලෝක ජනගහනය වැඩි වූයේ වර්තමාන චීනයේ ජනගහනයට වඩා සුළු ප්‍රමාණයකි. 1900 වසර වනවිට ලෝක ජනගහනය බිලියන 1.6ක් පමණ වූ අතර, එය සියවසක් තුළ බිලියන 7ක්ද ඉක්මවා ගියේය. බිලියන 8කට  ආසන්න වෙමින් තිබෙන ලෝක ජනගහනය සමගින් සංහතික ආකාරයෙන් මැටි ආශ්‍රිත නිර්මාණය සිදු කිරීමට නොහැකිය. එසේ සිදු කරනුයේ නම් සිදුවිය හැකි පරිසර හානිය වෙනත් ආදේශක භාණ්ඩවලින් සිදුවන හානියට වඩා වැඩි විය හැකිය. 
මහා පරිමාණ මැටි කැණීම් හේතුවෙන් අප්‍රිකානු මහද්වීපයේ ඇතැම් රටවල දිය උල්පත් සිඳී යෑම, ජෛව විවිධත්වය වැනසීම ඇතුළු විශාල ගැටලු රැසක් උද්ගත වී තිබේ. මැටි සඳහා සිදුකෙරෙන කැණීම්වලින් ජලජ ජීවීන්ගේ පැවැත්මටද විශාල අභියෝගයක් එල්ල වන ආකාරය දැක ගැනීමට ලැබී ඇත. විවිධ නිෂ්පාදන සඳහා පස් ලබා ගැනීමෙන් චීනයේ ජියැංෂී ප්‍රාන්තයේ බරපතළ පාරිසරික ගැටලු ඇති වී ඇති අතර, පරිසර පද්ධතියට විෂ රසායන මුසු වීමද සිදු වී තිබේ.

චීනයේ කර්මාන්ත සහ තොරතුරු  අමාත්‍යාංශය ගණන් බලා ඇති පරිදි ජියැංෂී ප්‍රාන්තයේ කැණීම් සිදු කළ බිම්වල පිරිසුදු කිරීම් සහ නැවත පරිසරය සකස් කිරීම සඳහා යුවාන් බිලියන 38කට වඩා වැඩි අතිවිශාල ධනයක් වැය කිරීමට සිදු වේ.  එහෙත් මෙම පරිසර පද්ධතිය යළි සකස් කිරීම සඳහා වසර 50ත් 100ත් අතර කාලයක් ගත වනු ඇති බව චීන පරිසර විශේෂඥයන්ගේ අදහස වී තිබේ. 
කෙසේ වෙතත්, මැටි වැඩ යනු දුර්මුඛ කළ යුතු ක්ෂේත්‍රයක් නොවන අතර, එහි ඇති ආර්ථික වටිනාකමද සුළු පටු නොවේ. විශේෂයෙන් පෝසිලේන් නිෂ්පාදන ඇතුළු සෞන්දර්යාත්මක වටිනාකමින් යුතු නිෂ්පාදන ඔස්සේ සුඛෝපභෝගී වෙළෙඳ පොළක් වෙත විනා සංහතික වෙළෙඳ පොළක් වෙත මැටි වැඩ රැගෙන යෑමට නොහැකිය.



Recommended Articles