මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය වෙනුවෙන් ඉතාම සුලභව බාවිතයට ගැනෙන මාළු සහ බිත්තර තෝරා ගන්නා විට ඒවා ආහාරයට සුදුසුද නැතිද යන්න හඳනාගන්නට ඔබ දැනුවත්වී සිටීද ?
කෙසේ නමුත් මාළු යනු ඉක්මණින් නරක්වීමට ඉඩ ඇති ආහාර වර්ගයකි.මාළු මිලට ගැනීමේදී අලුත් බව සැක හැර දැන මිලට ගත යුත්තේ එබැවිණි. මාළු වෙළඳ සැලකදී මාළු තෝරා ගන්නා විට බැලූ බැලමට මාළු අලුත්ද නැතිද යන්න පාරිභෝගික ඔබට බැලූ බැල්මටම තීරණය කරන්නට යොදාගත හැකි සරල කාරණා තිබේ.මාළුවාගේ ඇස් බොඳවීමෙන් තොරව දීප්තිමත්ව පැහැදිලිව තිබිය යුතු අතර කොරපොතු සහ සම,ද දීප්තිමත්ව පවතී නම් එය අළුත් මාළු බවට සහතිකයක් ලෙස පිළිගත්තාට වරදක් නැත.
මාළුවාගේ සිරුරට ඇඟිල්ලක් තබා තද කළ විට තද ගතියෙන් යුක්ත වන අතර පහසුවෙන් එබෙන සුළු නොව්ය යුතුය. මාළුවාගේ කරමලය දීප්තිමත් රතු පැහැයෙන් යුක්තවීම, සහ මාළු කැපීමෙන් පසු මස රතු පැහැයට පෙනෙන්නට ඇත්නම් එම මාළු, අළුත් මාළු ලෙස හඳුනා ගත හැකිය. මස් තෝරා ගැනීමේදීද ඔබේ සුපරික්ෂාකාරී බව ඉතා වැදගත්. දීප්තිමත් රතු පැහැයෙන් හෝ අතින් ඇල්ලූ විට ලිස්සන හෝ සෙවල ස්වභාවයක් නොමැති මස් විතරක් ආහාරයට සුදුසුය.
ශීතකරණ තුළ මස් දිගු කළක් තැබූ විට මස් වියළී ශීත පිළිස්සුම් ඇතිවීම දැකිය හැක. එවැනි මස් මිනිස් ආහාරයට සුදුසු නොවේ. බිත්තර යනු සරල ආහාරයක් ලෙස ඔබගේ අවධානයට යොමු වුවත් බිත්තර යනු ඔබට නිසි සැලකිල්ලක් නොදක්වා නොසැලකිලිමත් ලෙස භාවිත කළ හොත් සැල්මොනෙල්ලා වැනි රෝග කාරක ගෙන එන මාධ්‍යයකි.
එමෙන්ම බිත්තර මිලට ගන්නා විට එය පිරිසුදු පෙනුමකින් යුත් ඒවාද යන්න පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. කුකුළු අසූචි සමග ඇති බිත්තර හෝ බිඳී ඇති බිත්තර ගැනීමෙන් වළකින්න .බිත්තර ශීතකරණය තුළ ගබඩා කරන්නට පළමු ඒවා සබන් යොදා සෝදා පවිත්‍ර කර ශීතකරණයට එක් කරන්න. එසේ නොමැතිව කිසිම අවස්ථාවක වෙළඳ පොළෙන් රැඟෙන ආ ගමන් ශීතකරණය තුළ බිත්තර ගබඩා කරන්න එපා.බිත්තර අමුවෙන් භාවිතය හෝ බාගෙට තම්බා ආහාරයට ගැනීමෙන් සැල්මොනෙල්ලා ශරීරයට එක්වීමට ඉඩ ඇත.
සමහරු අමු බිත්තර ආහාරයට ගැනීම සහ කෝපි සහ දොඩම් වැනි දෙයට එක් කර පානයට ගැනීමට හුරු වී සිටිති. එය කිසිවිටෙකත් සුදුසු නොවන්නේ ඒ හරහා සැල්මොනෙල්ලා විෂ බීජය ශරීර ගතවීමට ඉඩ සැලසෙන බැවිණි . වෙළඳපොලෙන් බිත්තර රැඟෙන ආ පසු බිත්තර පිරිසුදු කරන විට ඒවා මදක් ගැඹුරු වතුර භාජනයකට දමන්න.එසේ ජලයට බිත්තර දැමූ විට ඒවා උඩ මතුවෙන්නේ නම් ඒ බිත්තර භාවිතයට නොගන්න. බිත්තරය බින්ඳ විට කිසියම් දුර්ගන්ධයක් ඇතිනම් එයද භාවිතයට සුදුසු නොවේ.
නාලිකා රාජපක්ෂ