කෝවිඩි -19 වසංගතයෙන් ආරක්ෂා වීමට පොදු මහජනතාවට නිවසින් පිටතට පැමිණීමේදී මුහුණු ආවරණ ( මාස්ක් #mask) පලඳින ලෙසට මේ වනවිට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ. ඒ නිසාම බහුතරයක් දෙනා ගමන්බිමන් යනවිට මහජනතාව ගැවසෙන ස්ථානවලදී මුහුණු ආවරණ පැලඳීමට යොමුව සිටිති.
ඔබ අසල සිටින පුද්ගලයන්ගේ කෙළ බිඳිතිවලින් ඔබට සිදුවන හානියත් එමෙන්ම ඔබේ කෙළ බිඳිතිවලින් අනෙකුත් පුද්ගලයන්ට සිදුවන හානියත් වැළැක්වීම මුහුණු ආවරණයකින් සිදුකෙරේ.
මේ සඳහා විවිධ ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණ තිබෙන අතර, සෞඛ්‍ය සේවකයන් සඳහා නිර්දේශිත %ශල්‍ය මුහුණු ආවරණ^, %N95 මුහුණු ආවරණ^ යන මුහුණු ආවරණ විශේෂ ප්‍රමිතියකට සකස් කර තිබේ.
එමගින් විෂබීජ ඇතුළුවීම වැළැක්වීම සඳහා ස්තර කිහිපයකින් එය සකස් කර ඇති නමුත් එදිනෙදා භාවිත කරන %රෙදි මුහුණු ආවරණ^ මගින් විෂබීජ ඇතුළු වීම වැළැක්වීමට මහා බාධකයක් ලෙස ක්‍රියා නොකරයි.
රෙදි මුහුණු ආවරණ මගින් යම් තරමක ආරක්ෂාවක් ලැබෙන අතර, විශේෂයෙන්ම ඔබෙන් බාහිර පුද්ගලයන්ට සිදුවන හානිය මෙමගින් වළක්වයි. ඔබේ කෙළ බිඳිති සහ ප්රාශ්වාස වාතය සමග පිටවන ශ්‍රාවයන් කසින විට කිවිසුම් යවන විට පිටවන ශ්‍රාවයන්, එමගින් නවත්වනවා මෙන්ම ඒවා වැඩිදුර සම්ප්‍රේණය වීම වළක්වයි.
මෙම කුමන ප්‍රමිතියේ මුහුණු ආවරණ පැලඳුවද එම මුහුණු ආවරණ පැලඳිය යුතු ආකාරයක් තිබේ. මුහුණු ආවරණ පැලඳීමේ අරමුණ ඉටුවීමට නම් එය ඉතාමත් ක්‍රමවත් ආකාරයට අපගේ නහය සහ මුව ආවරණය වන ආකාරයට පැලඳිය යුතුය.
නහයට පහළින් මුහුණු ආවරණ පැලඳීම, මුහුණු ආවරණය බෙල්ලේ දමාගෙන සිටීම ඇතුළු ක්‍රියා මේ දිනවල ඕනෑ තරම් දක්නට ලැබෙන අතර, එම පුරුදු සෞඛ්යාරක්ෂිත නොවන බව කිව යුතුය. මුහුණු ආවරණය නිවැරදිව නොපලඳිනවා නම් මුහුණු ආවරණය දැමීමට වඩා එය පැලඳ නොසිටීම වැදගත්ය. ඒ මන්ද ඒ ආකාරයෙන් මුහුණු ආවරණ පලඳිනවානම් එමගින් විෂබීජ ඔබේ ශරීරගත වීමේ අවදානම වැඩි බැවිනි.
මේ සම්බන්ධයෙන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මනූජා පෙරේරා පැවසුයේ මෙවැන්නකි.
“මුහුණු ආවරණය පැලඳ ඔබ හුස්ම ගන්නා විට පැමිණෙන විෂබීජ සහ ඔබෙන් පිටවන විෂබීජ ඝනත්වය වැඩි සාන්ද්‍රණයකින් ඔබගේ මුඛය සහ නාසය අවට රඳවා තබා ගන්නවා. ඒ නිසා ඇත්තටම මුහුණු ආවරණය නිසියාකාරව පැලඳුවේ නැතිනම් , මුහුණු ආවරණය නිතර ස්පර්ශ කරනවානම්, එහෙම ස්පර්ශ කරලා ඔබ ඔබගේ නාසය මුඛය අල්ලනවා නම් ඒ කරන්නේ ඔබ ඔබට තිබෙන අවදානම වැඩි කර ගැනීමක්.
ඔබ කුමන ප්‍රමිතියකින් යුතු මුහුණු ආවරණ පැලඳුවත් එය නිරතුරුව මාරු කළ යුතුයි. එය පැය ගණනාවක් පැලඳගෙන සීටීම හොඳ නැහැ. අඩුම තරමේ පැය 06න් වත් එය මාරු කළ යුතුයි. සාමාන්‍ය නිරේදේශය තිබෙන්නේ පැය 04යි.
ඒ මොකද විෂබීජ සාන්ද්‍රණය වැඩිවෙන නිසා. මුහුණ ආශ්‍රිතව තෙතමනය වැඩි වෙලා විෂබීජ වර්ධනයට හොඳ මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
ඔබ කපු රෙද්දකින් මසා ගත් පොටවල් කිහිපයක් තිබෙන මුහුණු ආවරණයක් පැලඳුවත් එය පැය 04 කින් පසුව මාරු කළ යුතුයි.
එක්වරක් මුහුණු ආවරණය ගැලවුවාට පසුව නැවත එයම පළඳින්න එපා. එක් මුහුණු ආවරණයක් පැලඳ සිටින විට තවත් අමතර මුහුණු ආවරණ දෙක තුනක් ඔබ ළඟ තබා ගැනීම එයට ප්රායෝගක විසඳුමක් විදිහට යෝජනා කරන්න පුළුවන්.
වැඩට යන ඔබ
ඔබ කාර්යාලයට යනවානම් වැඩිපුර මුව ආවරණ දෙක තුනකුත් අරගෙන යන්න. ඒ වගේම ඉවත් කරන මුව ආවරණ දාගන්න පොලිතින් කවරයක් අරගෙන ගියානම් හොඳයි. ඒ වගේම සෝදා පාචිච්චි කරන්න පුළුවන් හොඳ කපු රෙද්දෙන් මහපු පිරිසුදු මුව ආවරණ භාවිත කිරීම ඔබගේ වගේම අන් අයගේත් ආරක්ෂාව වැඩි කරනවා.
පිරිසුදුභාවය තමයි මෙතන වැදගත්ම සාධකය වෙන්නේ. ඔබ භාවිත කරන්නේ රෙදිවලින් සකසා ගත් මුහුණු ආවරණයක් නම් භාවිත කර ඉවත් කරන සෑම අවස්ථාවකින් පසුවම එය සෝදන්න. කාර්යාලයට යනවිට එක මුව ආවරණයක් දාගෙන ගිහින් ඒ විදිහටම වැඩ කරලා තේ වෙලාවට ඒ මුව ආවරණය ගලවනවානම් ඊට පසුව නැවතත් එයම පලඳින්න එපා. අලුත් මුව ආවරණයක් පලඳින්න. මොකද මුහුණු ආවරණය ගලවලා වෙනත් මතුපිටක තිබ්බොත් හෝ බෙල්ලේ දාගෙන හිටියොත් වීෂබීජ තැවරෙන්න පුළුවන්. එම මුව ආවරණය ගලවලා පොලිතින් බෑගයක දමලා අලුත් මුව ආවරණයක් පැලඳගත යුතුයි. මුව ආවණය ගලවන සෑම විටම එයම නැවත පැලඳීම නොකළ යුතු දෙයක්. ඒ වගේම එය එක්වරක් පමණක් භාවිත කරන මුව ආවරණයක් නම් එය නිසි ලෙස බැහැර කළ යුතුයි.
පියන වසන කසළ බඳුනක දමා හෝ හොඳින් පොලිතින් බෑගයක දමා ගැට ගසා කසළ බඳුනක දමන්න. පාර අයිනේ හෝ තැන තැන විසිකර යාම හොඳ නැහැ. එය පරිසරයට කරන විශාල හානියක්. ඒ අතින් බලනවිට නිතර සෝදා භාවිත කළ හැකි වැඩි වාර ගණනක් භාවිත කළ හැකි මුඛ ආවරණ භාවිත කිරීම පරිසර හිතකාමී වෙනවා.
මුහුණු අවරණ පැලඳීම පමණක් ප්‍රමාණවත්ද?
කොපමණ හොඳ ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණ පැලඳුවත් එකිනෙකා අතර මීටරයකවත් පරතරය තබාගැනීම අත්‍යවශ්‍යයි. මුව ආවරණයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකට පමණයි. මුව ආවරණය පැලඳගෙන හිටියා කියලා 100% ක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.
මුව ආවරණයක් පැලඳගෙන ඉන්නවා කියලා මිනිස්සුන්ට ළංවෙන එක සුදුසු නැහැ. අඩුම තරමේ මීටරයක පරතරය සෑම විටම පවත්වාගත යුතුයි.
අනිත් විශේෂිතම කාර්යය තමයි අත් සේදීම. පෘෂ්ටවල තිබෙන විෂබීජ අපේ නහයට ඇස්වලට මුඛයට යන්නේ අත් මගින්. මේ නිසා අත් සේදීම වැදගත්. මුව අාවරණ පැලඳීමට කලින් මුව ආවරණ ගලවා ඉවත් කළ පසුවත් හොඳින් සබන්දා තප්පර 20ක් අත් සේදිය යුතුයි.
ඒ වගේම මුව ආවරණ පැලඳගෙන කතා කරද්දී ඒක පහත් කරනවානම්, කහින විට කිවිසුම් හරිනවිට එය පහත් තරනවානම් තේරුමක් නැහැ. එලෙස නොකළ යුතුයි. පොදු ස්ථානවලදී කිසිම විටෙක මුහුණ අල්ලන්න එපා.*
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට ව්‍යායාම කරන විට මුහුණු ආවරණ පැලඳීම අවශ්‍ය නොවේ. ව්‍යායාම කරන අවස්ථාවේදී මුහුණු ආවරණ පැලඳීමෙන් සිදුවන්නේ මුහුණු ආවරණය දහඩියෙන් පෙඟී හුස්ම ගැනීම අපහසු වීමයි.
එමෙන්ම නොයෙක් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනයට එය හේතුවන්ට පුළුවන. එබැවින් සමාජ දුරස්ථභාවය තබා ගනිමින් ව්‍යායාම කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇත. තවද ස්තර තුනකින් යුතු මුහුණු ආවරණ පැලදිය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ.
සෑම තැනකදීම මුහුණු ආවරණ පලඳින්න අවශ්‍ය නැහැ.
මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසූයේ මෙවැනි අදහසකි,
“බොහෝ අය පලඳිනවා පෙනෙන්නේ ශල්‍ය මුහුණු ආවරණ. ඒවා භාවිතයට ගත හැක්කේ එක් වරක් පමණයි. නමුත් දැන් රෙදි මුහුණු ආවරණ භාවිත කරනවා. ඒවා කිහිපවරක් භාවිත කරන්න පුළුවන්. මුහුණු ආවරණ සෑම තැනකදීම පලඳින්න අවශ්‍ය නැහැ. සෙනඟ ගැවසෙන තැනකට යනවානම් මුහුණු ආවරණ පැලඳීම වැදගත්.
නමුත් ඊට වඩා වැදගත් වන්නේ සමාජ දුරස්ථභාවය වගේම නිතරම අත් හොඳින් සබන් දමා සේදීමයි. මුහුණු ආවරණය පැලඳූ පමණින් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සෙනඟ ගැවසෙන තැනකට යනවානම් එය හොඳයි.
අත්වැසුම් පැලඳීම ආත්මාර්ථකාමී වැඩක්
තවත් සමහරු අත්වැසුම්(ග්ලවුස්) කුට්ටම් දාගෙන යනවා මම දැකලා තියෙනවා. එය ආත්මාර්ථකාමී වැඩක් විදිහටයි මම දකින්නේ. මොකද එතැනදී තමන් බේරෙන්න කියා ග්ලවුස් පැලඳුවත් එවැනි අය අනිත් අයට රෝගය පතුරවනවා. මොකද ග්ලවුස් භාවිතය ගැන වෛද්‍ය ක්ෂේත්රයෙන් කිව්වොත් ශල්‍යකර්මයක් කරන විට ග්ලවුස් පලඳින්න කියලා අපි උපදෙස් දෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීම්වලදී රෝගීන් පරීක්ෂා කිරීම්වලදී ඔවුන් ග්ලවුස් භාවිත කරනවා. ඒ වගේම ආහාර ද්‍රව්‍ය සකස් කිරීම් වැනි කටයුතුවලදීත් ග්ලවුස් පලඳිනවා. නමුත් ඔවුන් එම අදාළ කාර්ය කිරීමෙන් පසුව එම ග්ලවුස් කුට්ටම ඉවත් කරනවා. එහෙම නැතිව උදේ ඉඳලා හවස් වෙනකම් එක ග්ලවුස් කුට්ටමක් ඇඳගෙන ඉන්නේ නැහැනේ. වෛද්‍යවරු රෝගියාගෙන් රෝගියාට ග්ලවුස් කුට්ටම් මාරු කරනවා. නමුත් සාමාන්‍ය ජනතාව අතරින් ග්ලවුස් පලඳින අය එකම ග්ලවුස් කුට්ටම දාගෙන මුළු දවසම ගතකරනවා. එතැනදී වෙන්නේ වැඩි වශයෙන් විෂබීජ පැතිරෙන එක. මොකද ග්ලවුස් දාගෙන ඉන්න නිසා බය නැතිව ඒ අය විවිධ තැන් අල්ලනවා. ඒනිසා අත්වල විෂබීජ තැවරෙනවා. ඒ නිසා දවස පුරාම ග්ලවුස් දාගෙන සිටීම ආත්මාර්ථකාමී වැඩක් කියලයි මම කියන්නේ.
මුහුණු ආවරණ පැලඳීම හේතුවෙන් කෝවිඩ් -19 වසංගතය පැතිර යාම පාලනය කර ගැනීමට හැකි වූ බව ලෝකයේ විවිධ රටවල සිදුකළ පර්යේෂණ ප්‍රතිථල දක්වමින් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ශ්වසන රෝග පැතිර යාම වළක්වා ගැනීමටද මුහුණු ආවරණ පැලඳීම ඉවහල් වී ඇති බව ශ්වසන රෝග පිළිබඳ වෛද්‍යවරු පවසති. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළද සෞඛ්‍යාරක්ෂිතව නිවැරදිව මුහුණු ආවරණ පැලඳීමට ජනතාව උනන්දු කළ යුතුව තිබේ.