යම් දෙයක් ගැන කතා කරන්න, අදහස් දක්වන්න, විරුද්ධ වෙන්න වගේම විරුද්ධව අදහස් දක්වා උද්ඝෝෂණය කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒ නිසාම මේ අයිතිය මානව හිමිකමක් කියලත් කියනවා. ඒ අයිතිය තවත් ශක්තිමත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකමක් විදිහට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ දේවල් පොතපතට විතරක් සීමා වෙලාද කියලා අපිට හිතෙන්නේ මේ දවස්වල සිදුවෙන සිදුවීම් දකිද්දියි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය වැළැක්වීම සඳහා පොලීසිය මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන්ද සමාජයේ දැඩි කතාබහක් ඇතිවූයේ ඒ නිසයි. එම උද්ඝෝෂණයේ නිරතවූවන් අතරින් පිරිසක් අත්අඩංගුවට පත්වූ අතර, ඒ අතර ස්ත්‍රී පාර්ශ්වයේ කිහිපදෙනෙක්ද සිටියා.
එම කාන්තාවන් අතරින් එක් අයෙකු පොලීසිය විසින් උස්සා ජීප් රථයකට විසිකරන අවස්ථාවක් ප්‍රවෘත්ති විකාශයන් තුළින් ඔබ දකින්නට ඇති. එලෙස හිංසාවට පත්වූ තැනැන්තිය සමග අපි කතාබහක නිරත වූවා. වයස අවුරුදු 21ක් වන ඇය ගාල්ලේ පදිංචි රශ්මි දිව්‍යාංජලීය. මේ ඇගේ කතාවයි.
මනුෂ්‍යත්වය වෙනුවෙන් උද්ඝෝෂණයක්
පසුගිය 09 වෙනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ඇමරිකාවේ පොලීසිය විසින්, ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මරා දැමූ සිදුවීමට විරෝධය පළකිරීමක් ලෙසයි මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ. මේ සිද්ධියට අදාළව සැලකිය යුතු රටවල් ප්‍රමාණයක සැලකිය යුතු මට්ටමේ උද්ඝෝෂණ සංවිධානය වෙලා තිබුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ජාතිවාදයට, වර්ගවාදයට විරුද්ධ මතයක් දරන පක්ෂයක්. ඒ නිසා මේ උද්ඝෝෂණය සංවිධානය කළා.
උද්ඝෝෂණය ආරම්භ වෙන්නත් කලින්ම අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් 22ක් පොලීසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඊට පසුව උද්ඝෝෂණය ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කළා.
සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පිළිපැද්දා
රටේ පවතින විශේෂ තත්ත්වයට යටත්ව මුඛ ආවරණ පැලඳගෙන, විෂබීජනාශක භාවිත කරමින්, සමාජ දුරස්ථභාවය සඳහා මීටරයක දුර තියාගනිමින් අපි සමාකාමී නිහඬ උද්ඝෝෂණයක් කළේ. එය ආරම්භ කරලා සුළු මොහොතකදී පොලීසියෙන් එතැනට ඇවිත් මාධ්‍යයට අදහස් දක්වමින් සිටි කුමාර ගුණරත්නම් සහෝදරයාව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාව දක්වා අපි සියලු දේ කළේ නිරෝධායන නීතිරීති වලට යටත්වයි. පොලීසිය එතැනට ඇවිත් හැසිරුණේ ඒ සෞඛ්‍ය උපදෙස්වලට පටහැණිවයි.
පොලීසියේ ප්‍රතිචාරය
කුමාර ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගත්විට අපේ අනිත් සහෝදරවරුත් එයට විරෝධය පාමින් මැදිහත්වීමක් කළා. ඒ මැදිහත්වීම අතරතුර පොලීසිය අපේ සහෝදර සහෝදරියන්ට පහරදීලා පොලිස් වාහනවලට දාගත්තා. එතැන හිටපු මම ඇතුළු අපේ සහෝදරියන්ට පොලීසිය දක්වපු ප්‍රතිචාරය විශේෂයි. සාමාන්‍යයෙන් කාන්තාවන් අත්අඩංගුවට ගන්නේ කාන්තා පොලිස් නිලධාරිනියන් විසින්. නමුත් අපිට පහර දෙද්දි, අපිව උස්සලා විසි කරද්දි පොලිස් නිලධාරිනියන් කවුරුවත් හිටියෙ නැහැ. එහෙම පහර දෙද්දි සමහර සහෝදරියන්ගේ ඇඳුම් ඉරිලා තිබුණා. ඇඳුම් ගැලවිලා පවා තිබුණා. අපේ සහෝදරියන් 10 දෙනෙක් විතර අත්අඩංගුවට ගත්තා.
මේකිවත් දාගනින් කිව්වා
මට වුණ සිද්ධිය ගැන කියද්දි , කුමාර ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මමත් එයට විරෝධය පාන්න ඉදිරියට ගියා. ඒ අවස්ථාවේදී ඔවුන් මාව ඇදලා ගත්තා. ඒ අවස්ථාවේදී මගේ ඇස් කන්නාඩියටත් හානි සිදුවුණා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් &මේකිවත් දාගනින් * කියලා , මාව උස්සලා අරගෙන පොලිස් වාහනයට විසි කළා. ඒ විසිකරපු විදිහට මට ලොකු හානියක් වෙන්න තිබුණා. නමුත් එහෙම උනේ නැත්තේ ඒ අවස්ථාවේදී ඒ පොලිස් වාහනය තුළ හිටපු අපේ සහෝදරවරු මැදිහත්වීමක් කළ නිසයි. එහෙම නොවුණා නම් මට තුවාල වෙන්නත් තිබුණා.
අපි පොලීසියට බාධා කළේ නැහැ
අපි පොලීසියට බාධා කළේ නැහැ. අපි නිහඬ විරෝධතාවයක නිරත වෙලා හිටියේ. අපේ අනිත් සහෝදරයන්ට පහර දෙමින් තමයි පොලීසිය ඔවුන්ව වාහනවලට දාගත්තේ. ඔවුන්ට පහරදෙන්න එපා කියලා කියන්න යද්දි තමයි ඔවුන් අපිවත් දා ගත්තේ. පොලීසියේ අයට මම පා පහර දුන්නා කියලා තැනක කියලා තිබුණා. ඒ සිදුවීමට අදාළ වීඩියෝ බැලුවොත් එහි ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්.
එහෙම වාහනවල දාගෙන අපිව වරාය පොලීසියට එක්කගෙන ගියා. හවස හත අට විතර වෙනකම් අපි පොලීසියේ හිටියේ. එතැනදී අපේ කටඋත්තර ගත්තා. ඒ කටඋත්තර ගනිද්දි උනත් අපිට එකට එක කියමින් තමයි ඔවුන් කටඋත්තර ගන්න උත්සාහ කළේ. අපි කියන දේවල් වෙනුවට ඔවුන්ට අවශ්‍ය දේ කටඋත්තරය විදිහට ලියාගන්න ඔවුන් උත්සාහ කළා. ඒ වගේම පොලීසියේ ඉන්නකොට අපේ සහෝදරියන්ට සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය වෙලා තිබුණා. නමුත් පොලීසිය ඒ සඳහා සැලකිල්ලක් දැක්වූයේ නැහැ. පසුව අපිව අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කළා. අපිට ඇප ලැබුණා. ඒ ඔක්කොම වෙද්දි රෑ දහයත් පහුවෙලා තිබුණා.
දවසක් රෝහලේ හිටියා
පොලීසියේ ඉද්දි ඇඟට පොඩි අපහසුවක් තිබුණා. ඊට පහුවෙනිදා මට කලන්ත ගතියක් ඇතිවුණා. වමනෙ ගියා. ටිකක් අමාරු වුණා. පස්සේ කොන්දෙ කැක්කුමක්, ඔළුවෙ කැක්කුමක් ඇතිවුණා. ඒ නිසා රෝහල්ගත වුණා. දවසක් රෝහලේ හිටියා. ප්‍රතිකාර ලබාගත්තා. දැන් නම් මට ටිකක් හොඳයි.
මේ සිද්ධිය දෙස බලද්දී මට හිතෙන්නේ මහ ලොකුවට හැමෝම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස රට තුළ තියෙනවද කියන කාරණයයි. මේවා වචනවලට සීමා වෙලා තියෙන්නේ. අපි අරගල කරන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන්. ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න අපිට අයිතියත් තියෙනවා. අපි උද්ඝෝෂණය කළේ ඒ වෙනුවෙන්. නමුත් එයටවත් ඉඩදුන්නේ නැහැ. අධිකරණ නියෝග අරගෙන ඇවිත් ඒවා අපිට පෙන්නන්නෙවත් නැතිව අපිව බලහත්කාරයෙන් අරගෙන ගියා.
පොලීසිය මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා නම් පසුගිය දවස්වල තොන්ඩමන් මහත්තයාගේ අවමඟුල ගැනත් මෙහෙම කටයුතු කරන්න තිබුණා. එතැනදී නිරෝධායන නීති සම්බන්ධව පොලීසිය කටයුතු කළ ආකාරය සහ අපේ විරෝධතාවයේදී පොලීසිය කටයුතු කරපු ආකාරය දෙවිදිහක්. පොලීසියේ අවංක උත්සාහය වුණේ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම නම් මැතිවරණ කොමිසම ඉදිරියේ තිබුණු උද්ඝෝෂණය, කළුතර තිබුණු උද්ඝෝෂණවලට ක්‍රියාත්මක නොවුණේ ඇයි කියන ප්‍රශ්නයත් අපිට තිබෙනවා. ඒවට කිසිම බලපෑමක් තිබුණේ නැහැ. එහෙම කරද්දි අපිට පෙනෙන්නේ මේක දේශපාලන උවමනාවක් මත සිදුවුණා කියන කාරණයම තමයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන් වනවිට, කාන්තා අයිතීන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාකරන අවස්ථාවක එම අයිතීන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවාද නැතිද යන්න සම්බන්ධයෙන් පිළිතුරක් සැපයීමට රශ්මිගේ කතාවම ප්‍රමාණවත්. මෙම තත්ත්වය වෙනස් කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය තවදුරටත් ඉතිරිව තිබේ.