වර්තමාන ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහෝ පාරිසරික අර්බුද හා සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලෙස සිදුකළ යුත්තේ ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම වන බව බොහෝ විද්වතුන් පෙන්වා දෙන කරුණකි. මෙහිදී අප අවධානය යොමු කරනුයේ ඊට පසුබිම සැකසීමට අත්‍යවශ්‍ය සාධකයක් වන සංරක්ෂණ අධ්‍යාපනය (Conservation Education) හා එහි ඇති කාලීන වැදගත්කම් පිළිබඳවය. ඒ සඳහා තරුණ පරපුර නියෝජනය කරමින් මෙවර සාකච්ඡා සටහන, සාමාජීය විද්‍යාවන්හි වැදගත්කම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මේ වනවිට පර්යේෂණයන්හී නිරත රුහුණ විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ, පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මංජුල කරුණාරත්න මහතා සමගිනි.
සංරක්ෂණය (Conservation) යන විෂය පාසල් විෂය පද්ධතියට ඇතුළත් විය යුත්තේ ඇයි?
එයට කරුණු කීපයක් මූලිකවම හේතු වී තිබෙනවා. මෙයින් පළමු වන කරුණ තමයි සංරක්ෂණය පිළිබඳ මූලික අදහසක් වත් ලබාදීමට දැනට පවතින විෂය නිර්දේශ අසමත් වීම. සංරක්ෂණය පිළිබඳ අදහස් දරුවන් තුළ රෝපණය කළ යුත්තේ මුල් අවධිය තුළයි. එවිට ඔවුන් ක්‍රමයෙන් වර්ධනය වන විට සංරක්ෂණ අධ්‍යාපනයේ බීජ ඔවුන් සමගම සංවර්ධනය වෙතැයි අපේක්ෂා කළ හැකියි.
දෙවැනි කාරණය තමයි, ඇතැම් පෙළපොත්වල සංරක්ෂණයට සම්පූර්ණ පටහැනි සහ හානිකර ඉගැන්වීම් තිබෙනවා. මූලික වශයෙන් ඇතැම් පෙළපොත්වල තිබෙන්නේ මානව කේන්ද්‍රවාදී උපයෝගීතා දෘෂ්ටියක් පමණයි. එවැනි ඉගැන්වීමක් තුළින් නිර්මාණය කරන්නේ සොබාදහම, පරිසරය, සතා - සිවුපාවා, ගස් - කොළන්වල අගය මිලෙන්, බරෙන් තක්සේරු කරන වියළි හදවත් සහිත මිනිසුන්. එය අධ්‍යාපනයේ මූලික පුරුෂාර්ථවලින් දුරස් වීමක්.
අප විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වූ දෙයක් තමයි බොහොමයක් සිසුන්ට තමා ජීවත් වන පරිසරය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක්, අවබෝධයක් නැති බව. සමහර කරුණු සංරක්ෂණ සම්බන්ධව නොව සාමාන්‍ය දැනුම පිළිබඳ ඉතාම සරල කරුණු සහ සංසිද්ධි. ඔවුන් තුළ ඒ පිළිබඳව ඇත්තේ උදාසීන ආකල්පයක් සහ අඩු දැනුමක්. එහි වැරැද්ද දරුවන් වෙත යොමු කළයුතු නැහැ. එහි වගකීම අධ්‍යාපනඥයන්, ගුරුවරුන් හා වැඩිහිටි පරම්පරාව විසින් භාරගත යුතුයි. ඇතැම් මූලධර්ම පාසල් විෂය නිර්දේශයේ ඇතුළත්ව තිබුණත් ඒවා විභාග අවශ්‍යතා ලෙස පමණයි භාවිත වන්නේ. ඒවා ජීවිතයට බද්ධ කරගන්නේ නැහැ. ඒ පිළිබඳව මඟපෙන්වීමක් හෝ දිරිගැන්වීමක් ලැබෙන්නෙත් නැහැ. පරිසර නියමු වැඩසටහන් වගේ ඒවා ඇතැම් පාසල්වල තිබුණත්, මගේ පෞද්ගලික අත්දැකීම නම් ඒවා යොදා ගැනෙන්නේ සහතික හෝ පදක්කම් පසුපස හඹා යාමේ තවත් තරග ඉසව් ලෙස පමණයි. එම වැඩසටහන්වලින් නිර්මාණශීලී, පරිසර දැනුමෙන් සන්නද්ධ සහ සැබැවින්ම ඊට බැඳීමක් ඇති පුරවැසියෙකු බිහිවන්නේ නැහැ. වඩා වැදගත් වන්නේ දැනුම සමග ආකල්පමය වෙනසකට දරුවන් පෙලඹවීමයි. ඊට නිර්මාණශීලී දක්ෂ කැපවීමක් ඇති ගුරුවරුන් සහ අධ්‍යාපනඥයන් අවශ්‍යයි.
අවසාන වශයෙන් සංරක්ෂණය ලොව ජනප්‍රිය සහ අතිශය වැදගත් විෂයක්. එය විද්‍යාවක් වගේම මිනිස් ජීවිතය සමග බද්ධ වූ විලාසිතාවක්. මානව ජීවිතය රසවත් කරන කලාවක්. මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන සයවන මහා නෂ්ට වීම (The 6thmass extinction) අබියස සිටින අපට මේ අවශ්‍යතාව කිසි ලෙසකින් මගහැර යා නොහැකියි.
අප මුහුණ දෙන පරිසර අර්බුදවලට මෙම විසඳුම ප්‍රමාණවත්ද?
ඔව්. නිසැක වශයෙන්ම මේ සියලු පරිසර අර්බුද පිටුපස සිටින්නේ මිනිසා සහ ඔහුගේ ක්‍රියාකාරකම්. මිනිසා පෘථිවියේ ප්‍රමුඛ සත්ත්ව විශේෂය බවට පත්ව තිබෙන බව අප පිළිගත යුතුයි. ඔහු කාලයක් තිස්සේ පෘථිවිය වෙනස් කරමිනුයි තිබෙන්නේ. මෙම වෙනස් කිරීම් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර නොගැනීමේ ගැටලු නිර්මාණය වී තිබෙනවා. උදාහරණ විදිහට ඕසෝන් ස්ථරයේ හීනවීම, දේශගුණික විපර්යාස, විශේෂ නෂ්ට වීම දක්වන්න පුළුවන්. මිහිමත මිනිසාට හුදකලා පැවැත්මක් ඇත්තේ නැහැ. ඒ නිසා පෘථිවියේ ප්‍රමුඛ ජීවී විශේෂය ලෙස වැජඹෙන මිනිසාට එය ආරක්ෂා කර ගැනීමට යුතුකමක් හා වගකීමක් තිබෙනවා. දැන් මේ අභියෝගවලට මුහුණදිය යුතු වන්නේ රටවල්, ජාතීන්, ආගම් වර්ග අනුව බෙදී නොවෙයි. එය ඵල රහිත බව දේශගුණික විපර්යාස, අම්ල වැසි සහ වෙනත් මානවකාරක උපද්‍රවවල බලපෑම් මගින් මිනිසාට ඔප්පුකොට තිබෙනවා. ඒ නිසා මිනිසා තමා කළ කී දෑ පිළිබඳව නැවත සිතා බැලිය යුතු වෙනවා. ඒ සඳහා අවකාශය ලබාගත හැක්කේ අධ්‍යාපනය තුළිනුයි. ඉන් ලැබෙන විවේක බුද්ධිය විසින් අප වඩා සුරක්ෂිත ලෝකයක් වෙත ප්‍රවිශ්ට කරතැයි අපේක්ෂා කළ හැකියි.
ගෝලීය වශයෙන් සංරක්ෂණ අධ්‍යාපනය සම්බන්ධව ඇති කථිකාව කෙසේද?
දැනට ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස පිළිගැනෙන්නේ පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය. ඒ තුළ කුඩා දරුවන්ට උපරිම නිදහස දී තිබෙනවා. සොබාදහම සමග මිශ්‍ර වෙන්න, කුරුල්ලන් බලන්න, ඔවුන්ගේ ගී අහන්න, ගස්වල මල් පිපෙනවා බලන්න, දුවන්න, පනින්න, ඒ අනුව හිතන්න සහ ක්‍රියා කරන්න ඔවුන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. තවත් බොහෝ රටවල් සොබාදහම සමග සම්බන්ධ වීමට, (Connection to the nature) ආදී නම්වලින් හැඳින්වෙන වැඩසටහන් හරහා දරුවන් ඉහත අරමුණුවලට යොමු කරන්න උනන්දු වෙනවා. ඊට සාපේක්ෂව අප කර තිබෙන්නේ කුමක්ද?
අප දරුවන් ඔවුන්ට කිසිදු ලෙසකින් දරාගත නොහැකි ඉතා බිහිසුණු හා නරුම තරගයකට ඇද දමා තිබෙනවා. එය හරියට කර්මාන්ත ශාලාවක කොන් දෙක පමණක් විවෘත දිගු අඳුරු සිලින්ඩරයක් වගේ. දරුවන් ඉපදෙන්නටත් පෙර ඔවුන් එහි එක් පැත්තකින් ඇතුළු කරලා අනිත් පැත්තෙන් නිමි භාණ්ඩයක් වගේ එළියට එනකම් බලා ඉන්නව වගේ. සුළඟේ පහස, හිරු එළියේ දීප්තිය, වනාන්තරයේ සිසිල, ජල පහරක තාලය අහලා, දැකලා, විඳලා නැති මේ දරුවන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද?
අද දරුවන් අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩත්වයට යොමුවෙලා. මත්පැන්, මත්ද්‍රව්‍ය ඔවුන්ගේ ජීවිතවලට සමීප වෙලා. කායික හා මානසික වශයෙන් දැඩි අසහනකාරී තත්ත්වයන්ට මුහුණ දීලා. මේවාට හේතුසාධක අතර සොබාදහම් වියමනෙන් ඔවුන් ඈත් කර තැබීමද අනිවාර්යයෙන්ම තිබෙනවා. අපට තල වපුරා මුං අස්වැන්න ලෙස බලාපොරොත්තු විය නොහැකියි. අද අප භුක්ති විඳින්නේ මේ ක්‍රමයේ අනිවාර්ය ප්‍රතිඵලයයි. එය අප විසින් වගා කරන ලද්දක්.
මේ කියන සංරක්ෂණ අධ්‍යාපනය අලුත් දෙයක්ද?
ඇත්තටම සංරක්ෂණය පිළිබඳ සංකල්පය හා එහි යෙදීම් මානව විකාශනය පුරාවටම ලොව පුරා විවිධ භූගෝලීය ප්‍රදේශවල සුවිශේෂී අනන්‍යතාවක් සහිතව වර්ධනය වූවක්. ඒ ඒ භූගෝලීය ප්‍රදේශවල භෞතික පරිසරය අනුව හැඩගැසුණු මානව සංස්කෘතිය, එහි පිළිගැනීම්, සාරධර්ම, හර පද්ධතීන්, ආගම්, දර්ශනපසුකර පසුකාලීනව මේ සංරක්ෂණය පිළිබඳ අදහස් ඇතුළත් වී තිබෙනවා. මේ වනවිට සංරක්ෂණය යන්න ඒ ඒ විෂයන්වල යෙදීම් සමග ඊට සුවිශේෂී වූ අරුත් ගැන්වෙනවා. මෙහිදී අපගේ අවධානය යොමු කරන්නේ සොබා සම්පත් සංරක්ෂණය පිළිබඳවයි. එය වර්තමානය වන විට ඉතා හොඳින් සංවිධානය වූ දැනුම් සම්භාරයක් සහිත සහ දාර්ශනික පදනමක් සහිත අධ්‍යාපන සම්ප්‍රදාය ලෙසත්, ව්‍යවහාරික ක්ෂේත්‍රයක් ලෙසත් සංවර්ධනය වී තිබෙනවා. සරලව කිව්වොත් ස්වාභාවික සම්පත් නාස්තියකින් තොරව සහ විනාශ කිරීමකින් තොරව තිරසර ලෙස පවත්වා ගන්නේ කෙසේද යන්න මින් අදහස් කෙරෙනවා.
තවත් පැහැදිලි කළොත් සොබාදහම නැමති වියමන විනාශ නොකර එහි පැවැත්ම ආරක්ෂා කර ගනිමින් තමාද පවතින්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් තමයි සංරක්ෂණය. ඕකට තමයි අපේ ජනප්‍රවාදයේ එන්නේ මල නොතලා පැණි ගන්න මී මැස්සන් වගේ කියලා. මේක එකිනෙකා මත යැපීමේ ක්‍රියාවලියක්.
මේ පිළිබඳව ශ්‍රී ලාංකික අපගේ උරුමය කෙබඳුද?
මේ නිවර්තන කලාපීය දූපත් වැසියා සොබාදහම සමග කොතරම් හොඳින් බැඳී එය තේරුම් ගෙන සිටියාද යන්නට හොඳම නිදසුන් තමයි වියළි කලාපයේ වැව් පාදක කර ගත් ගම්මාන රටාව සහ එල්ලංගා පද්ධතිය. වැව මිනිස් නිර්මාණයක් වුවත් එය වියළි කලාපයේ පරිසරයේ අවියෝජනීය අංගයක් බවට පත්කරන්නට අතීත මිනිසා සමත් වී තිබෙනවා. මීට දාර්ශනික පිටුබලය බුදුදහම විසින් ලබාදෙන්නට ඇතැයි අනුමාන කළ හැකියි.
ක්‍රිස්තු පූර්ව තුනේදී මිහිඳු හිමියන් මෙරට පාලකයා වූ තිස්ස රජුට දේශනා කළේ ඔබ මේ භූමියේ භාරකරු මිස එහි හිමි හිමිකරු නොවන බවයි. එනම් පාලකයා ලෙස ඔහු එය අතීතයෙන් භාරගෙන සුරක්ෂිත කොට අනාගතයට භාර දිය යුතු බවයි. මේවායේ දාර්ශනික සහ ප්‍රායෝගිකව වටිනාකමේ අගය වැටහෙන්නේ වර්තමාන කාලයේ මෙරට පාලකයන් සහ වගකිවයුත්තන් සොබා සම්පත් තම බූදලයක් ලෙස නාස්ති කරමින් හා විනාශ කරමින් තිබෙන බව එදිනෙදා ජීවිතයේදී අපට අත්දකින්නට ලැබෙන විටයි.
කෙසේ වුවද අතීතයේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් ලෝක සත්ත්වයාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුයි වගේ ප්‍රකාශ හෙළිකරන්නේ තිරසර විශ්ව කේන්ද්‍රීය සංකල්පයන්. එහිදී ලෝක සත්වයා කිව්වේ මිනිසාට පමණක් නොවේ. අපා,දෙපා, සිවුපා, බහුපා ආදී සියලු සත්වයන්ට. ඒ වගේම ලොව පළමු මිනිස් අභයභූමිය ප්‍රකාශයට පත්කරන්නෙත් අනුරාධපුර යුගයේ මේ දිවයිනේ. ඉන් පැහැදිලි වන දේ තමයි මේ සොබාදහම් වියමනේ අපි සිටිය යුතු ස්ථානය පිළිබඳව ඔවුන්ට පැහැදිලි අදහසක් පැවති බව.