මධ්‍යම පළාතේ සුවිශේෂී වූ දේශගුණික කලාපවලින් සමන්විත මාතලේ ප්‍රදේශයට වාර්ෂික වර්ෂාපතනය මි.මී 2,500ට ඉහළ අගයක් ගත්තද, දැනට වසර ගණනාව සිට මාතලේ දිස්ත්‍රික්කය විවිධ දේශගුණික විපර්යාසවලට ලක්වෙමින් පවතින බව පරිසරවේදීහු පවසයි.
අසූව දශකයේ අගභාගය වන විට මාතලේ දිස්ත්‍රික්කයේ තෙත් කලාප වන රත්තොට, උකුවෙල, යටවත්ත හා පල්ලේපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සැලකිය යුතු භූමි ප්‍රමාණයක් මෙම කලාපයට අයත්ව තිබුණද, වියළි කලාපයේ දේශගුණික රටාවන් තුළ හැදෙනවැඩෙන හල්මිල්ල හා තේක්ක වැනි ශාක ප්‍රජාවන් වේගයෙන් ව්‍යාප්ත වන බව ඔවුහු පෙන්වා දෙති.
මිනිසා හැර අනෙක් සත්ත්ව ප්‍රජාව පරිසරය හා සංවේදීව තම ජීවන තත්ත්වය පවත්වාගෙන යෑමේ පාරිසරික සාධක මැනවින් හඳුනාගෙන ඇති බව අප දන්නා කරුණක් වුවද, දේශගුණික වෙනස්කම් තුළින් සිය ජීවන පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා නිකේතනවලට සුදුසු කලාපයන් සඳහා සතුන්ගේ ව්‍යාප්තියක් ඇතැයි %ගැෆෙක් ශ්‍රී ලංකා^හි අධ්‍යක්‍ෂ පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.
මාතලේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවලට මේ වන විට වඩු කුරුල්ලන්, මොනරුන් හා තලගොයන් බහුලව පැමිණෙමින් සිටින බවත්, රත්තොට, වේරගම, හපුගස්තලාව, උකුවෙල, වාරියපොළවත්ත හා කළල්පිටිය වැනි ප්‍රදේශවල මෙම සතුත් දැකිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
වියළි කලාපය සිය නිකේතනය කර ගත් අළු කෑඳැත්තා මෙම තෙත් කලාපයට ඇතුළු වීමෙන් අද වන විට කෘෂිකාර්මික ජන ජීවිතයටද බලවත් තර්ජනයක් වී ඇත. මෙම තත්ත්වය මත දේශගුණික විපර්යාස සඳහා සත්ත්ව සන්නතිය විශේෂ නොවන්නේද?^ යන්න විශේෂ වූ පරීක්‍ෂණ තුළින් සොයාබැලිය යුතු කරුණක් වන්නේය.
මෙම වසරේදී නිරිත දිග මෝසම් වැසි ලැබීමද ගැටලුකාරී ලෙස දැකගත හැකි අතර, වෙනදා ලැබෙන වැසි රටාවන් හා වැසිඵල අතර විශාල වෙනසක් මේ වන විට නිරීක්‍ෂණය කරගත හැකි බවත්, එම වැසි කොරහෙන් හැළෙනවා හා සමාන බවත් ජයතිස්ස මහතා පැවසීය.
සියලු ප්‍රතිපත්ති මුල්කර ගෙන සිදුවන කෘෂිකාර්මික කටයුතු එදා මෙන්ම අදත් සිදුවන අතර, යලමහ දෙකන්නය බෙදා හදාගෙන ගොඩමඩ ගොවිතැන් කළ යල්පත හා මාස්පතා වගා රටාව හඳුන්වා දුන් මාතලේ පඩිවිට වෙල්යායද එතරම් සරුසාර බවක් පෙනෙන්නට නැත. දෙකන්න බෙදාගෙන ගොවිතැන් කිරීමට තිබූ ජලය අද බෙදා ගැනීමට හෝ ප්‍රමාණවත් නොවන බව ගොවීහු පවසති. මේ හේතුවෙන් පුරන් වූ කුඹුරු විශාල ප්‍රමාණයක් මාතලේ දිස්ත්‍රික්කයේ පවතී. විශේෂයෙන් නකල්ස් රක්‍ෂිත වනාන්තර භූමිය සමීපයෙහි ගම්මාන ආශ්‍රිතව කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් පවතින අතර, ඒවා අස්වැදීමද අභියෝගයක් වී ඇත.
වැස්සත් සමග මතුවන මෙරුන්ගේ ශරීර ප්‍රමාණය වෙනදාට මතුවන මෙරුන්ට සාපේක්‍ෂව 1/3ක් තරම් කුඩා බවට මේ වසරේ අවස්ථා කිහිපයකදීම නිරික්‍ෂණය කළ බව ගාමිණී ජයතිස්ස මහතා පවසා සිටියේය.
මෙම සාධක තුළින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අනුවර්තනීය වැඩසටහන් කඩිනමින් පිළියෙල කළ යුතු අතර, පාරිසරික සමතුලිතය ක්‍ෂණිකව කඩාවැටීමේ අවදානම වළක්වා ගැනීම සඳහා තෙත් කලාපය හා අන්තර් කලාපය නියෝජනය වන ප්‍රදේශවල, මාතලේ පාවුල් කඳු වළල්ලේ පන්සලා තැන්න, මාඋස්සාව, ඇටිපොළ, විල්ෂයාර්, මකුළුස්ස, අම්බොක්ක වැනි ප්‍රදේශවල වාර්ෂිකව ගිනි තැබීමට ලක්වන අක්කර දහස් ගණනක් වන පතන් සහිත ඉහළ කඳු මුදුන් සහ එහි ක්‍ෂුද්‍ර පද්ධති සංරක්‍ෂණය කර ක්‍රියාකාරී උස සහ පළල ශාක වැස්මකින් ආවරණය කළ යුතු බවත්, නැවත වලාකුළු වනාන්තර පද්ධති ස්ථාපනය කිරීමට ඉහත සාධක මානව සමාජයට කරන බලවත්ම ආයාචනයක් බවත් පරිසරවේදීහු පවසති.
මාතලේ ද්‍රෝණිය හා අවට ප්‍රදේශය මනරම් කරමින් ගලාබසින ප්‍රධාන ගංගාව වනුයේ සුදුගඟයි. කුඩා ගංගාවක් වන එය පන්සලාතැන්න, ඕවිලිකන්ද හා විල්ෂියාර් කඳු හරහා %කුඹියන්ගොඩ ඔය^ නමින් මාතලේ නගරය හරහා ගලාබසින අතර, හුන්නස්ගිරිය, ඇල්කඩුව ඔස්සේ හපුවිද ඔය ලෙස ගලාබැස අනතුරුව මහ ඔයට එක්වෙයි.
නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වී දැලිවල ඔය හා දන්කන්ද ඔය රත්තොටදී එක්ව උතුරු දෙසට ගලායන අතර, සුදුගඟට එක්ව අනතුරුව කළුගඟට සම්බන්ධ වේ. මෙම ශාඛා දෙක එක්ව අඹන්ගඟ නමින් බෝවතැන්න ප්‍රදේශය හරහා ගලාගොස් මහවැලි ගඟට එකතු වෙයි.
විශාල ජල ප්‍රමාණයක් මීට දශක කිහිපයකට පෙර මෙම කුඩා ගංගාවලින් ගලාගියද, වර්තමානය වන විට මාතලේ කඳු ආශ්‍රිතව සිදුව ඇති පරිසර හානිය හේතුවෙන් ජලය අඩු වී ඇති බවත්, ජල පෝෂක ප්‍රදේශ ක්‍රමයෙන් අඩුව ඇති බවත් පරිසරවේදීන්ගේ මතයයි. මාතලේ නගරයේ පිහිටා තිබූ වනගොමුවද අද වන විට විනාශ වෙමින් පවතින අතර, එය තුළද යම් පාරිසරික වෙනස් වීම් සිදු වෙමින් පවතින බව පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.
1980 දශකයේ සිට මාතලේ ප්‍රදේශයේ සිදුවන මෙම පාරිසරික වෙනස්වීම් සියුම් ලෙස නිරීක්‍ෂණය කරමින් ඒ පිළිබඳ දිස්ත්‍රික්කයේ පරිසරය පිළිබඳ තීන්දු ගන්නා රාජ්‍ය ව්‍යූහයන් වන දිස්ත්‍රික් පරිසර කමිටුවේ මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවලට කරුණු කාරණා පෙන්වා දුන් බවද ඔහු පවසා සිටියේය.
දිවයිනේ සුවිශේෂී වැසි වනාන්තර පද්ධතියක් හා මුල්ම දේශගුණික රක්‍ෂිතය වන දුම්බර වනපෙත නකල්ස් සංරක්‍ෂණ වනාන්තරයේ හුන්නස්ගිරිය, කඹරගල, රත්තොට, නාගල, ලග්ගල ආදී ප්‍රදේශ නියෝජනය කරන සංවේදී කලාපයේ ඇති, තේ වගාවලින් අනූන, ජලාදහර ප්‍රදේශයන් වශයෙන් නැවත වනාන්තර පද්ධතිය තහවුරු කිරීමේ කටයුතු දිනෙන් දින අතපසු වීමද මාතලේ ප්‍රදේශයේ මෙන්ම මෙරට දේශගුණික විපර්යාසයන් පිටුදැකීම සඳහා කඩිනමින් කළ යුතු කරුණක් වේ.
ජල පෝෂක ප්‍රදේශවල පිහිටි විවිධ වැවිලි සමාගම්වලට අයත් වතු ආශ්‍රිතව පවතින විශාල ප්‍රමණයේ ගස් කපා දැමීම හා ඇතැම් පිරිස් විසින් අනවසරයෙන් සිදුකරනු ලබන ඛනිජ කැණීම් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පරිසර සමතුලිතතාව බිඳවැටීමට ලක්ව තිබේ.
ලෝක උරුමයක් බවට නම් කළ නකල්ස් හෙවත් දුම්බර අඩවියට පවරාගත යුතු ඉඩම් මෙතෙක් පවරා නොගැනීම හේතුවෙන් රක්‍ෂිතයට දැඩි බලපෑමක් සිදු වෙමින් පවතී. මෙහි පවරා ගැනීමේ කටයුතු 1982 වසරේ සිට ක්‍රියාත්මක වුවද, එකී කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අතර දෝලනය වෙමින් පැවතීම කනගාටුදායක තත්ත්වයකි.
පරිසර සංවිධාන විසින් මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළද, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව පරිසරවේදීහු පවසති.
වර්තමාන තත්ත්වයට බලපාන අහිතකර සාධක ගණනාවක් නකල්ස් රක්‍ෂිතයේ පවතින බවත්, ඒ අතරින් සාම්ප්‍රදායික ගැමි ජනතාව සතුව තිබූ කුඹුරු මෙන්ම හේන්ද මෙම රක්‍ෂිතයට ඇතුළත් කර තිබුණද, ඇතැම් පුද්ගලයන්ගේ ඉඩම් පවරා ගැනීම සිදු නොකරන බව ඔවුහු පවසා සිටිති.
කැලෑ ගිනි තැබීම්, වනාන්තර ආශ්‍රිත අවශේෂ කැලෑබිම් හඳුනාගෙන නොතිබීම හා ඒ සඳහා නිසි කළමනාකරණයක් නොතිබීම, ඉහළ කඳුකර ප්‍රදේශවල එනසාල් වගාව, අක්‍රමවත් සංචාරක ව්‍යාපාරය, රිවස්ටන් පිටවල පතන ආශ්‍රිතව ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය, වන සතුන් දඩයම් කිරීම වැනි අනවසර ඉදිකිරීම්, හෝටල් හා ලැගුම්හල් මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බවද පරිසරවේදීන් පෙන්වා දෙති.
මොරගහකන්ද - කළුගග ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන්නේද මෙම නකල්ස් රක්‍ෂිතයයි. මෙම කරුණු අලළා මීට වසර දෙකකට පෙර මාතලේදී පැවැති පරිසර දින උත්සවයේදී මාතලේ පරිසර සංවිධාන එකමුතුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට %මාතලේ ප්‍රකාශනය^ නමින් ලිපියක් භාර දුන්නද, මේ වනතෙක් ඒ සඳහා කිසිදු අවධානයක් යොමුකර නොමැති බව එම එකමුතුවේ සාමාජිකයෝ පවසති.
රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී එයට දිස්ත්‍රික් මට්ටමේ නායකත්වය දෙන මාතලේ දිස්ත්‍රික්කයේ සිටින ඇතැම් දේශපාලනඥයන්ට පරිසරය ගැන කිසිදු අවබෝධයක් නොමැති වීමද කනගාටුවට කරුණකි.
එමෙන්ම දේශපාලන අධිකාරියේ හා රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම පරිසරය පිළිබඳ ඇල්මක් දක්වන ලොකු කුඩා කාගෙත් අවධානය මේ සඳහා යොමු කළ යුතු කාලය හෙට නොව අද බවට පරිසරය මගින් අපට කරනු ලබන ප්‍රකාශ මැනවින් හඳුනා ගැනීම වටී.
රත්තොට - රුවන් ධනංජය