මහින්ද රාජපක්ෂ මහතාට ගැටලුවකින් තොරව විපක්ෂනායක ධුරයේ කටයුතු කළ හැකිය


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරීම හෝ අමාත්‍යාංශ තමන් යටතේ පවත්වාගෙන යෑම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් වීමට බාධාවක් නොවන බව පැහැදිලි කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවා තිබේ. එකම පක්ෂයෙන් ජනාධිපති හා විපක්ෂ නායක පත්වන පූර්වාදර්ශ හතරක්ද, එකී ජනාධිපතිවරයා අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමේ පූර්වාදර්ශ දෙකක්ද  ඇති බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ගැටලුවකින් තොරව විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ හැකි බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දෙයි. උදය ගම්මන්පිල මහතා එම ලිපිය මගින් වැඩිදුරටත් කරුණු දක්වා ඇත්තේ මෙසේය.


2018 දෙසැම්බර් 18 දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව ඔබතුමා විසින් සභාවට දැනුම් දෙන ලදී.  ඉන් පසු නැගී සිටි  සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) වගන්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බවයි.  එබැවින් එතුමාට විපක්ෂ නායක ලෙස පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කරන ලදී.
ඉන්පසු නැගී සිටි එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීතුමා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අතිරේකව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන් විශාල ගණනක් සිටින බවද, ඒ සියලු දෙනාගේම මන්ත්‍රී ධුර අහෝසි වී ඇති බැවින් ඔවුන් සභා ගැබ තුළ රැඳී සිටින පිටස්තරයන් ලෙස සැලකිය යුතු බවද පැවසීය.

වැඩිදුරටත් කතා කළ ගරු සුමන්තිරන් මන්ත්‍රිතුමා මන්ත්‍රි ධූරය අහෝසි නොවුණත් ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බැවින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට විපක්ෂනායක ධුරය දැරිය නොහැකි බව ප්‍රකාශ කළේය.  එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මෙම ස්ථාවරය අනුමත කරමින් කතා කළහ.  
දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත සහ මා ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් මෙම ස්ථාවරයට විරුද්ධව කරුණු දැක්වූහ.  අවසානයේදී අපගේ ස්ථාවරයන් පිළිබඳ ලිඛිතව කරුණු දක්වන ලෙස අපට දැන්වූ ඔබතුමා ඒ පිළිබඳ තීන්දුවක් 2018 දෙසැම්බර් 21 වන දින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

(1) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක මන්ත්‍රී ධුර අහෝසි වී ඇති බවට ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් විසින් ඒ සඳහා පදනම් කර ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13)(අ) වගන්තියයි.  එකී වගන්තිය පහතින් උපුටා දක්වා ඇත.

යම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේ දී ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක (මෙහි මින් මතු “අදාළ නාමයෝජනා පත්‍රය“ යනුවෙන් සඳහන් කරනු ලබන) නාමයෝජනා පත්‍රයේද ඒ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ  හෝ සාමාජිකයෙකු වී සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා නතර වූ අවස්ථාවක, ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාල සීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය. හෝ

එසේ වුවද, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පක්ෂයෙන් පහ කරනු ලැබූ අවස්ථාවක, ඉහතකී මාසයක කාල සීමාව ඉකුත් වීමට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලියවිල්ලකින් වූ පෙත්සමක් මගින් ඉල්ලීමක් කළහොත් සහ ඒ පහ කිරීම වලංගු නොවන බව ඒ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් ඔහුගේ අසුන හිස් නොවන්නේය.  ඒ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් තිදෙනෙකු විසින් විභාග කළ යුතු අතර, පෙත්සම ඉදිරිපත් කළ තැන් පටන් මාස දෙකක කාල සීමාවක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙනු ලැබිය යුත්තේය. ඒ පහ කිරීම වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ අවස්ථාවක, ඒ තීරණයේ දිනයේ සිට ඒ අසුන හිස් වන්නේය.

ඉහත වගන්තිය අනුව මන්ත්‍රීවරයෙකු තමන්ට නාම යෝජනා ලබාදුන් දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය දැරීම නතර වූ දින සිට එක් මාසයක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වේ.  එසේ මන්ත්‍රීවරයෙකු සාමාජිකත්වය දැරීම නතර විය හැකි ආකාර තුනක් එකී වගන්තියේ දැක්වේ.   

i. ඉල්ලා අස්වීම 
ii. පහ කිරීම
iii. අන් හේතුවක්

ඉහත වගන්තියේ “අන් හේතුවක් නිසා නතර වූ අවස්ථාවක්“ ලෙස සැලකිය හැක්කේ එසේ නතර වූ බව අධිකරණය විසින් මැතිවරණ පෙත්සමක් විභාග කර හෝ %ක්වොරොන්ටො^ වැනි වෙනත් නඩු කටයුත්තක් විභාග කර හෝ අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රී ධුරය දැරීම නතර වී ඇති බව අධිකරණය තීරණය කර ඇති අවස්ථාවක පමණි.  පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ මන්ත්‍රී ධුරය නතර වී ඇති බව පාර්ලිමේන්තුවට හෝ ඔබතුමාට හෝ තීරණය කිරීමට කිසිදු බලයක් හෝ අයිතියක් නීතියෙන් ලබාදී නොමැත.

මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) වගන්තිය කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරමි.  ඒ අනුව පාර්ලිමේන්තුවට අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර සහ බලතල සම්බන්ධයෙන් පමණි.  ඒ අනුව මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය නතර වීම පිළිබඳ විභාග කර තීන්දු ප්‍රකාශ කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැත. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රී ධුරය පවතීද, නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවට හෝ එහි කාරක සභාවකට හෝ ඔබතුමාට හෝ කිසිදු බලයක් නොමැති බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය.

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ නම ඇතුළත් කිරීමෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් විසින් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයෙන් ඉවත් කළ බව හෝ ඉවත් වුණු බව හෝ අන් හේතුවක් මත පක්ෂ සාමාජිකත්වය අහිමි වුණු බව ඔබතුමාට හෝ පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට හෝ මෙතෙක් දැනුම්දී නැත. ඒ බව මා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔබතුමා විසින් තහවුරු කරන ලදී.  එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නම විපක්ෂ නායක ධුරය සඳහා යෝජනා කරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් විසින් බැව් මෙහිලා සිහිපත් කළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අවසන් වී ඇත්නම් එතුමාගේ නම විපක්ෂනායක ධුරය සඳහා ප්‍රධාන ලේකම්තුමා විසින් එසේ යෝජනා නොකරනු ඇත.

එසේම මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලා අස්වුණු බව හෝ අන් හේතුවක් මත පක්ෂ සාමාජිකත්වය අහෝසි වුණු බව ඔබතුමාට හෝ පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට හෝ මෙතෙක් දැනුම් දී නැත.  සාමාජිකයෙකු පක්ෂයෙන් නෙරපීම එම පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් මිස පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් නොවේ.  මෙම ප්‍රකාශ කළ මන්ත්‍රීවරුද තම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා කිසිම සාක්ෂියක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අසමත් විය.  එබැවින් මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දැරීම අවසන් වී ඇති බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඔබතුමා හමුවේ නැත.  

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බව සනාථ කිරීමට එකී මන්ත්‍රීවරුන් විවිධ ජනමාධ්‍ය උපුටා දක්වන ලදී. එකී ප්‍රවෘත්තිය සත්‍ය වුවත් එයින් මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය අහෝසි නොවේ.  වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත් වහාම එනයින්ම (ipso facto) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය අහෝසිවන බව එකී පක්ෂවල ව්‍යවස්ථාවන්හි සඳහන් නොවේ. එබැවින් එකී චෝදනාව සත්‍යයක් වුවත් එයින් මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වයට කිසිම බලපෑමක් එල්ල නොවේ.  
එමෙන්ම සෑම මාසයකම ශ්‍රී ලනිපයේ සාමාජික මුදල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බවද, පසුගිය මාසික වැටුපෙන්ද එසේ කපා ගෙන ඇති බවද මෙහිලා සිහිපත් කළ යුතුය.
ඉහත පසුබිම යටතේ මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දැරීම අවසන් වී ඇතිදැයි පරීක්ෂා කිරීමට තේරීම් කාරක සභාවක් පත්කිරීම අතිශයින්ම භයානක පූර්වාදර්ශයකි.  ඔබතුමා එවැනි පූර්වාදර්ශයක් බිහි කළොත් යම් මන්ත්‍රීවරයෙකු ඔහුගේ පක්ෂයේ සාමාජිකත්වය දැරීම අවසන් වී ඇති බවට පදනම් විරහිත චෝදනාවක් තවත් මන්ත්‍රීවරයෙකු නැගූ පමණින් මහජන මුදල් සහ කාලය වැය කරමින් ඒ පිළිබඳ විමසීම සඳහා තේරීම් කාරක සභා පත් කිරීමට කථානායකවරුන්ට සිදුවනු ඇත.  කෙසේ වෙතත් කලින් සඳහන් කළ හේතු මත එවැනි ක්‍රියාදාමයක් නීත්‍යානුකූල නොවන බව සඳහන් කළ යුතුව තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමා සහ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීතුමා විසින් නම් වශයෙන් සඳහන් නොකළද මන්ත්‍රීවරුන් විශාල ගණනක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.  එසේ නම් සඳහන් නොකළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද ඉහත දක්වන කරුණු එසේම අදාළ වනු ඇත.
ඉහත තත්වය මත මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතිදැයි සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත්කිරීමට ඔබතුමාට හෝ පාර්ලිමේන්තුවට බලයක් නොමැති බව ප්‍රකාශ කරන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

(2) විපක්ෂනායක ධුරය

විපක්ෂනායක ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු පත් කිරීම පිළිබඳ කිසිදු විධිවිධානයක් ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝගවල හෝ වෙනත් යම් ලිඛිත නීතියක කිසිදු සඳහනක් නැත.  එබැවින් විපක්ෂනායකවරයෙකු පත්කිරීම පිළිබඳ අදහසක් ප්‍රකාශ කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම නීතිමය බලයක් හෝ ශක්‍යානුතාවක් නොමැත.  විපක්ෂනායක ධුරය පිරිනැමීමද ආණ්ඩුවේ කටයුත්තක් වුවහොත් හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ඔබ එම ක්‍රියාදාමයට දායක වුවහොත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුත්තක් වනු ඇත.

විපක්ෂනායක ධුරයට මන්ත්‍රීවරයෙකු පත්වීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කවරේ දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝගයන්හි හෝ වෙනත් ලිඛිත නීතියක සඳහන් නොවන බැවින් ඒ සඳහා අවධානය යොමු කළ යුත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායටය.

මේ පිළිබඳ ශ්‍රීමත් තෝමස් අර්ස්කින් මේ පවසන්නේ 

it is the largest minority party which is prepared in the event of the resignation of the Government to assume office.  The Leader of the Opposition and his principle colleagues form a group, popularly known as the “shadow cabinet” each member of which contributes expert knowledge gained, for the most part, by official experience to the task of directing criticism of government policy from the point of view of a party which is bidding for the support of the nation since the strength of modern party discipline makes a ministry largely invulnerable to direct attack in the house of Commons, the criticism of the Opposition is primarily directed towards the electorate with a view to the next election, or with the aim of influencing government policy through the pressure of public opinion”.

(Sir Thomas Eirskine May’s Treatise on The Law Privileges Proceedings and Usage of Parliament 15th Edition Page 245).
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉහළ ධුරවලට කරන පත්වීම් සහ කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේදී විපක්ෂ නායකවරයාට හිමි වන්නේ වැදගත් කාර්යභාරයකි.  විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවට ඇතුළු කිරීමෙන් නොනැවතී එහි සෙසු සාමාජිකයන් පත් කිරීමේ වගකීමද ඔහු වෙත පවරා ඇත්තේ ආණ්ඩුවේ මතයට විරුද්ධ අදහස් ලබාගැනීම සඳහා මිස ආණ්ඩුවට සහයෝගය දෙන ව්‍යාජ විපක්ෂ කණ්ඩායම්වල මතය රජ කරවීමට නොවන බව සිහි තබා ගත යුතුව තිබේ.

වැඩිම මන්ත්‍රී ධුර ගණනක් හිමි විපක්ෂයේ දේශපාලන පක්ෂයේ කණ්ඩායම් නායකයාට විපක්ෂ නායක ධුරය පිරිනැමීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒ බව ඔබතුමා විසින් 2018 දෙසැම්බර් 18 දින පාර්ලිමේන්තුවට සිහිපත් කරමින් ඒ අනුව ගරු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස පිළිගන්නා බැව් ප්‍රකාශ කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායක ධුරය ලබා දීමට විරෝධය පළකළ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ එතුමා ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිගේ පක්ෂය වන %එක්සත් ජනතා නිදහස් සන්ධානය^ නියෝජන කරන බැවින් එතුමා එකී ධූරයට නුසුදුස්සෙකු වන බවයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය වී තිබෙන්නේ ජනාධිපතිගේ පක්ෂය වීම නොසලකා විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ කණ්ඩායම් නායකට විපක්ෂනායක ධුරය පිරිනැමීමයි. ඒ පිළිබඳ පූර්වාදර්ශ හතරක් මෑත ඉතිහාසයේ දැකීමට හැක.
2018 දෙසැම්බර් 18 වැනි දින ඉහත දක්වා ඇති සම්ප්‍රදාය අප විසින් පාර්ලිමේන්තුවේ මතු කරන ලද අවස්ථාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ පිළිතුර වූයේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක, පරිසර සහ මහවැලි සංවර්ධන යන විෂයන් තමන්ගේ යටතේ තබාගෙන ඇති නමුත් මීට පෙර අවස්ථාවලදී ජනාධිපති එසේ අමාත්‍යාංශ විෂයන් තමන් යටතේ තබා ගෙන නැති බවයි.  නමුත් මෙය පදනම් විරහිත මෙන්ම අසත්‍ය කරුණු මත පදනම් වුණු තර්කයකි.

2003 නොවැම්බර් 3 දින පොදුජන පෙරමුණේ නායිකාව ද වූ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් ආරක්ෂක, ජනමාධ්‍ය සහ නීතිය හා සාමය යන අමාත්‍යාංශ තමන් යටතට පවරා ගන්නා විට විපක්ෂනායක ධුරය දැරුවේ පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මහතාය.  පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්ම එතුමා විසින් විපක්ෂනායක ධුරය දැරීමට ජනපතිනිය අමාත්‍යාංශ තමන් යටතේ පවත්වා ගෙන යෑම බාධාවක් නොවිණි.
2015 ජනවාරි 16 දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීතුමා විපක්ෂ නායක ධුරයට පත්කරන විට එකී සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජනාධිපති ධුරයට අමතරව ආරක්ෂක, මහවැලි සංවර්ධන සහ පරිසර යන විෂයන්හි අමාත්‍ය ධුරද දැරීය. 

එකම පක්ෂයෙන් ජනාධිපති සහ විපක්ෂනායක පත්වන පූර්වාදර්ශ හතරක් ඇති බැවින්ද එකී ජනාධිපති අමාත්‍යාංශ සිය යටතේ තබා ගැනීමේ පූර්වාදර්ශ දෙකක් ඇති බැවින්ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරීම හෝ අමාත්‍යාංශ තමන් යටතේ පවත්වා ගෙන යෑම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත් වීමට බාධාවක් නොවන බව ගෞරවයෙන් සැල කර සිටිමි.*



Recommended Articles