බරපතළ වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා දිනපතා නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණයක් ආරම්භ කිරීමට මේ දිනවල සූදානම් වේ. එබැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝ‘රාළ මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු. මේ අප ඇය සමග සිදුකළ සාකච්ඡාවයි.
නව අධිකරණ අමාත්‍යවරිය ලෙස පත්වීමෙන් පසුව ඔබ සිදුකළ දේවල් ගැන මුලින්ම කතා කරමු?
ගොඩක් දේවල් කරන්න තියෙනවා. මට ඇමතිකම ලැබිලා තවම මාස 10යි. නමුත් මේ මාස 10 තුළ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් මම කරලා තිබෙනවා. අලුතින් අධිකරණ පිහිටුවීම වගේම දිනපතා නඩු ඇසීමේ කාර්ය වගේම අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ අයගේ වැටුප් සංශෝධනය කිරීම ආදී බොහෝ දේවල් කරලා තියෙනවා. ඒ වගේම මීට වඩා බොහෝ දේවල් කරන්නට තිබෙනවා. අපිට බරපතළ විදිහට ප්‍රශ්න තියෙන දේවලුත් තිබෙනවා. මේ වන විට තිබෙන නඩු ප්‍රමාණය එක්ක බලද්දී උසාවි ප්‍රමාණය සහ විනිශ්චයකාරතුමන්ලාගේ අඩුවකුත් පෙනෙනවා. රජයේ නීතිඥ හැටියට වැඩකටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුව තුළ ඉඩකඩ අපහසුව දැඩි ලෙස තිබෙනවා. උදාහණයකට අලුත්කඩේ උසාවි සංකීර්ණය ගත්තොත් 1989දී පමණ අපිට ලැබුණු උපරිමාධිකරණ ගොඩනැගිල්ල හැරුණුවිට වෙන කිසිම දෙයක් ලැබිලා නැහැ. උපරිමාධිකරණ ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන්නවත් ශ්‍රේඨාධිකරණය ගෙනියන්න තැනක් නැහැ. මේ වෙනකොට අලුත්කඩේ උසාවි කඩා වැටෙනවා. එවැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ වගේම මෑත ඉතිහාසයේ ජනවාරි 08දාට පෙර හදපු බොහෝ උසාවි බාල ඉදිකිරීම් වීම නිසා දැන් කඩා වැටෙමින් තිබෙනවා. මෙවැනි දේවල් ටිකෙන් ටික හදාගන්න තිබෙනවා. අධිකරණය කියන්නේ නවතින දෙයක් නෙවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෙඩ්ඩු ඉන්නවා වගේම අධිකරණ ක්ෂේත්‍රය හැමදාම පවතින දෙයක්.
ඔබතුමිය සඳහන් කළ ආකාරයටම අලුත්කඩේ පමණක් නොව රටපුරා දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ තුළත් නඩු ගොඩගැසී තිබෙනවා. මේ සම්බන්ධෙයන් අවධානය යොමු කර නැද්ද?
අපි අධිකරණ අමාත්‍යාංශය ලෙස කරන්නේ අධිකරණ පද්ධතියේ පහසුකම්, යටිතල පහසුකම් සපයන එක විතරයි. ඒ වැඩකටයුත්ත සම්පූර්ණයෙන්ම අධීක්ෂණය වෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා. ඒ වගේම විනිශ්චයකාරතුමන්ලාගේ පැත්තෙන් අපි මේ කාරණය බලන්න අවශ්‍යයි. මොකද ඔවුනුත් මනුෂ්‍යයෝ. ඔවුන්ටත් ඔනෑ එපාකම් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙළක් පසුගිය අවුරුදු දහයක දොළහක කාලයක තිබුණේ නැහැ. ඒවා අපිට කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ට පහසුවෙන් එම කටයුතුවලට ළඟා වෙන්න හැකිවී තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාව යම්යම් විනිශ්චයකාරතුමන්ලාට ඉඩක් ලබාදී තිබෙනවා. දැන් ඔවුන් වැඩකරන ප්‍රමාණය වැඩියි. හවස හතර විතර වෙනකම් උසාවිවල වැඩකරනවා.
ඒ වගේම නඩු අහන කටයුතු සිදුකළත් බොහෝ නඩුවල විනිශ්චය ලබානොදී, තීන්දුව ප්‍රකාශයට පත්නොකර බොහෝ කල් ගන්නා අවස්ථාද අපිට වාර්තා වෙනවා?
එය මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒ ප්‍රමාණය සියයට පහකටත් වඩා අඩුයි. කැපවීම, මහන්සිය, සහයෝගය අඩු සමහර විනිශ්චයකාරතුමන්ලා ඉන්නවා. ඒක අපි දන්නවා. ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව අවධානය යොමුකර තිබෙනවා. උසස්වීම් ලබාදීමේදී මෙම කාරණා අවධානයට ගන්නවා. අධිකරණයේ පැවැත්ම තිබෙන්නේ විනිශ්චයකාරතුමන්ලා සමගයි. ඒ අනුව තමයි ඒ කටයුතු කෙරෙන්නේ. බොහෝ චෝදනා තිබුණු විනිශ්චයකාරවරු පහුගිය කලයේ හිටියා. ඒ අයව හඳුනා ගැනීම ආදිය සිදුකරනවා. ඒවා කරන්නේ මම නෙවෙයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැටියට අග්‍රවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් දෙදෙනෙකු තමයි ඒ කටයුතු සිදුකරන්නේ.
විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කළත් එය එකක් දක්වා අඩු වුණේ ඇයි?
නැහැ. එහෙම කොහෙවත් අඩුවෙලා නැහැ. විශේෂ මහාධිකරණ තුනක් නෙවෙයි සමහර වෙලාවට අපට ඊටත් වඩා පවත්වාගෙන යන්න පුළුවන් වෙයි.
විශේෂ මහාධිකරණ අතරින් පළමු අධිකරණය පිහිටුවීමටත් අවශ්‍ය ඉඩ පහසුකම් සොයාගත්තේ ඉතාම අමාරුවෙන්. කොළඹ මෝටර් ප්‍රවාහන වැරදි සම්බන්ධව නඩු අහන අධිකරණය අපි මේ සඳහා ලබාගත්තේ ඒ අධිකරණය වෙනත් තැනක පිහිටුවන්නට අවස්ථාව ලබාදීලා. ඒ වගේ කැපකිරීමක් කරලා අපි මෙය සිදුකළේ විශේෂ අධිකරණයක් පිහිටුවන කොට අනිත් අධිකරණවලට බාධාවක් නැතිව එය සිදුවිය යුතු නිසායි. ඒ වගේම එක අධිකරණයක් පටන් අරගෙන නඩුවක් විභාගය ආරම්භ වෙන්නට ඕන. මොකද පරීක්ෂණ කරලා අනිත් අධිකරණවල විභාගවන නඩු මේ අධිකරණයට ගන්න බැහැනේ.
විශේෂ මහාධිකරණය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?
විශේෂ අධිකරණය පිහිටුවීමට අදාළ පනත සම්මත වුණේ මාර්තු මාසේ. ඒ වෙනකොට අපි එය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන හිටියා. ඒ ස්ථානය අලුත්වැඩියා කරන්නේ නාවික හමුදාව. ඔවුන් කිව්වා ඒ අධිකරණ භුමියේ වහලයක් අලුත්වැඩියා කරන්න අවශ්‍යයි කියලා. මොකද ඒ තරම් ඒක පැරණියි. ඒ නිසා වැඩිපුර සති දෙකක කාලයක් ඉල්ලුවා. කොහොම වුණත් අපි විශේෂ මහාධිකරණය අනිවාර්යයෙන්ම ජූලි 30වැනිදාට පෙර ආරම්භ කරනවා. එහි අහන නඩු මොනවද කියලා තීරණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි.
ඔබතුමිය ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගි වෙන්නේ අඩුවෙන්. ඒ ඇයි?
අවස්ථා හයකදී විතර මට එකදිගට සහභාගි වෙන්න බැරි වුණා. පුද්ගලික කාරණා නිසා ඒ ආකාරයට යන්න බැරි වුණා. නමුත් අවශ්‍ය වෙලාවට මම අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරලා යන්නේ නැතිව ඉන්නවා.
ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය ධුරයක් දරන ඔබතුමිය එලෙස කණ්ඩායම් රුස්වීමට සහභාගි නොවීම තුළ අනෙකුත් සාමාජිකයන්ට අසාධාරණයක් වෙනවා නේද?
මම විතරක් නොවේ බොහෝ අය ඉන්නවා මේ විදිහට. මොකද අපි ගොඩක් ඈත දිස්ත්‍රික්ක නියෝජනය කරන්නේ. ඒ දිස්ත්‍රික්වල වැඩකටයුතු යෙදුනහම ඒවට සහභාගි නොවී ඉන්න බැහැ. ඒ වගේම මම අසනීපවෙලා හිටියා. විදේශගතවෙලා හිටියා. මේ වගේ කාරණා නිසා මට යන්න බැරි වුණා. එහෙම වුණත් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කණ්ඩායම් රුස්වීමට ගිහින් කතා කරලා මට එක එක මාතෘකා හදන්න අවශ්‍ය නැහැ. මොකද මම පටු මාධ්‍ය උණක් තියෙන කෙනෙක් නෙවෙයි. මාධ්‍ය‘යේ පෙනී හිටින්න උණක් මට නැහැ. මම මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා. අවශ්‍ය තැනදී මම කතා කරනවා. මොකද සමහර දුර්වල පුද්ගලයෝ හිතාගෙන ඉන්නවා මාධ්‍ය හරහා ඔවුන්ට ගොඩනැගෙන්න පුළුවන් කියලා. මම එහෙම හිතන්නේ නැහැ. මම මාධ්‍යයට කතා කරලා මාධ්‍ය‘යෙන් ගොඩනැගෙන්න හදන කෙනෙක් නෙවෙයි. නමුත් කතා කරන වෙලාවන් තියෙනවා. කතා කරන දේවල් තිබෙනවා. ඒවා තෝරා බේරාගෙන කටයුතු කරනවා.
නමුත් අද කැබිනට් හමුව ඉවරවෙලා තියෙන තත්ත්වය පේනවද? කැබිනට් එක කියන්නේ අමාත්‍ය මණ්ඩලය රැස්වෙන තැන. ඒ තැන කතා කරන දේවල් රහසිගතයි. අපි ඒ රහස් රකින්න අවශ්‍යයි. ඒ රහස් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. නමුත් කැබිනට් හමුව ඉවරවෙලා එළියට එද්දී ජනාධිපති කාර්යාලය ගාව ඉඳන් මයික් අල්ලනවා. ඒක හොඳ වැඩක්ද? . එදා අමාත්‍ය මණ්ඩල රැස්වීමක් යන්න මොනතරම් ගරුත්වයක් තිබුණ තැනක්ද? එතැන ගන්න තීරණ අපි එළියට ඇවිත් කියන්න ඕනද? එහෙම කරනවා නම් කැබිනට් ප්‍රකාශක කෙනෙක් ඉන්නේ මොකටද. අපි හැමෝම එළියට ඇවිත් කැබිනට් මණ්ඩලේ දේවල් කියනවා නම් කැබිනට් ප්‍රකාශකගෙන් වැඩක් නැහැනේ. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි කැබිනට් තීරණ වෙනම තැනකදී පත්කළ කෙනෙක් දැනුම්දෙන එක. කොහොම වුණත් මම වැඩක් කරද්දී මගේ නායකයා හැටියට අගමැතිතුමාවත්, රටේ නායකයා හැටියට අපි වගකියන ජනාධිපතිතුමාවත් හැමවිටම මම දැනුවත් කරනවා. ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ අයගෙන් අහන්නත් පුළුවන්. පුද්ගලිකව මගෙන් ඇහුවත් මම ඕනෑම උත්තරයක් දෙනවා. හැබැයි කැබිනට් එකේ හරි, කණ්ඩායම් රැස්වීමේදී හරි කතා පවත්වලා අනවශ්‍ය ප්‍රවෘත්ති සපයන්නෙක් වෙන්න මට අවශ්‍ය නැහැ.
තවත් දෙයක් කියන්න තියෙනවා මට මගේ දිස්ත්‍රික්කයේ වැඩ කරන්න තියෙන්නේ දවස් තුනයි ඒ සෙනසුරාදා, ඉරිදා, සඳුදා, කොළඹ බරපතළ අමත්‍යාංශ දෙකක වැඩකරන්න තියෙන්නේ දවස් හතරයි අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස්වල ඒ ටික කරනවා. ඒ දවස් ටික මම උපරිමයෙන්ම සැලසුම් කරගෙන තියෙන්නේ. පෞද්ගලික කටයුතුවලටත් කාලය වෙන්කරපුවහම කාලය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කොහොම වුණත් උපරිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අවසනාවට පසුගිය සතියේ අපි කැබිනට් මණ්ඩලය රැස්වෙන දවසේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවත් රැස්වුණා. එහෙම වුණාම මට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යන්න බැරි වුණා. එහෙම දේවල් වෙනවා. කොහොම වුණත් තීන්දු තීරණ ගන්න අවස්ථාවලදී අපි අනිවාර්යයෙන්ම ඒවාට යනවා.
2012 නොවැම්බර් 11දා වැලිකඩ බන්ධනාගරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම තමත් ප්‍රමාදයි. ඒ ඇයි?
ඒ සම්බන්ධයෙන් හිටපු ඇමතිතුමා විජයදාස රාජපක්ෂ මහත්මයා කමිටුවක් පත්කරලා ඒ කමිටුව පදනම් කරගෙන රහස් පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනවා. මේ වන විට බන්ධනාගාරයේ හිටපු පුද්ගලයෙක් සහ පොලිස් සමාජිකයෙක් අත්අඩංගුවට පත්වෙලා තිබෙනවා. හිටපු ප්‍රධානියෙක් රට හැර ගිහින් තියෙනවා කියලා ආරංචියක් තිබෙනවා. කොහොම වුණත් ඒ සම්බන්ධ කටයුතු රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කරගෙන යනවා. ඒ කටයුතු ලේසි නැහැ. ටික කාලයක් යනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබදීම සම්බන්ධ කමිටුවක් ඔබ විදේශ රැකියා අමාත්‍යවරිය ලෙස කටයුතු කරන සමයේ ආරම්භ කළා. එහි තත්ත්වය කුමක්ද?
මම එහි සභාපති ලෙස පත්වුණ් නිල බලයෙන්. ඇමතිකම මාරු වීමෙන් පසුව එය අහිමිවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්මයා ජනතා විමුක්ති පෙරමුණෙන් ගෙනාපු යෝජනාවක් අනුව එය නම් කළේ. ඒ සම්බන්ධයෙන් රැස්වීම් හතරක් විතර පැවැත්වුවා. ඒ කාරක සභාව පත්කළේ කථානායක තුමා. මැතිවරණ කොමිසමේ අදහස්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදහස්, විදේශ කටයතු අමාත්‍යාංශයේ අදහස් ලබාගෙන මේ හැම දෙයක්ම අපි එකට සම්බන්ධ කරගත්තා. ලංකාවේ මැතිවරණයක් පවත්වත්දී විදෙස්ගත ශ්‍රී ලංකියන්ගෙන් ඡන්ද අයිතිය දෙන්නේ කාටද කියන ප්‍රශ්නය මතුවුණා. මේ සාකච්ඡාව පවතින අවස්ථාවේදී තමයි මගේ ඇමතිම වෙනස් වුණේ.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු දැන් අවසන්ද?
මම පක්ෂයේ නායකයා නෙවෙයි. ඒක අහන්න ඕන පක්ෂ නායකත්වයෙන්.
නමුත් ඔබතුමිය දේශපාලන මණ්ඩලයේ ඉන්නවා?
නැහැ. දේශපාලන මණ්ඩලයේ මම නැහැ.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නවනේ?
කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කතා කරන්නේ එදිනෙදා දේවල් මිස පක්ෂ ප්‍රතිසංවිධානය ගැන නෙවෙයි.