ශ්‍රී ලංකාවේ අවසාන රජු හෙවත් වඩිග රජා යැයි ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ රජෙකු ලෙස ප්‍රචලිත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ඇසෙන පුවත් සමග, මේ එකී රසබර අතීතයක මතක සටහන් අවදි කිරීමකි.
එදා රජ මාලිග සංකීර්ණය ගොඩනැගිලි 18කින් පමණ සමන්විත වන්නට ඇතැයි පැවසේ. එහෙත් ඉංග්‍රීසීන් විසින් ගිනි තබා විනාශ කළ නිසා එයින් යම් ප්‍රමාණයක් විනාශ වී ඇත. රජමැදුර, මැදවාසල, පල්ලෙවාසල, මඟුල් මඩුව, ජයතිලක මණ්ඩපය, උළුපැන්ගේ සහ දළදා මැදුර පැරණි සහ නව මාලිග සංකීර්ණය දළදා මැදුරු සංකීර්ණය තුළ දැකිය හැකි සුවිශේෂී ස්ථාන අතර වැදගත් තැනක් ගනියි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මැදුර දිග අඩි 140ක් පමණ වන අතර, පළල අඩි 50ක් පමණ වෙයි. මාලිගය අනෙක්පස දිග අතට දිවෙන ආලින්දයකි. මාලිගයේ විශාල කාමර තුනක් සහ කුඩා කාමර තුනක් තිබෙන්නට ඇතැයි පුරාවිද්වත්හු අනුමාන කරති. ඉදිරිපස දෙරටුව ප්‍රමණයෙන් අඩි 8ක් පමණ විශාලය. මාලිගයට ඉහළ මාලයක් තිබූ බවට අනුමාන කරන සාක්ෂියක් ලෙස විද්වත්හු පෙන්වා දෙන්නේ අදටත් එහි ඉතිරිව ඇති පියගැට දෙකයි.
වහල පෙති උළුවලින් සැකසී ඇත. රජවරුන්ට විදේශීය බලපෑම් එල්ලවන අවස්ථාවන්හිදී මාලිගයටද ප්‍රහාර එල්ලවූ බවට ඉතිහාසඥයෝ පවසති. වරින්වර නවීකරණයට ලක්වීම නිසා මුල් අවස්ථාවන් දැකගත නොහැක. ඒ අතර රජ මාලිගාවේ අද දක්නට ඇති වහල 1765 ඕලන්ද සම්ප්‍රදාය අනුව ප්‍රතිසංස්කරණය කරන්නට ඇතැයි මතයකි.
මාලිගයේ ආරක්ෂාව සඳහා මාලිගය වටා පවුර, දිය අගල සහ මඩ අගලක් විය. එය දළදා මාලිගය ඉදිරිපස සිට ශ්‍රී විෂ්ණු දේවාලය දක්වා පැතිර තිබී ඇත. අදටත් එම අගල දැකිය හැක.
මඟුල් මඩුව
රජ මාලිගය අසලම පසුපසින් මගුල් මඩුව පිහිටා ඇත. රජුට රාජකීය අමුත්තන් හමුවීම සඳහා මඟුල් මඩුව සුවිශේෂී ස්ථානයක් විය. එහි තිර හතක් පසුකර ගිය තැන රජුගේ ආසනය තිබී ඇති අතර, අදටත් එම ස්ථානයයේ බිම හතරැස් කොටුවක් ලෙස ඉතිරිව තිබේ.
1857 එංලගලන්තයේ හත්වන එඩ්වඩ් රජුගේ ලංකාගමනය නිසා මහනුවර නගරයේ වෙනස්කම් රැසක් සිදුකර ඇත. එහිදී මඟුල් මඩුවද වෙනස් කිරීමට පියවර ගෙන ඇත්තේ රාජකීය උත්සවයට සූදානමක් වශයෙනි. එහි පැවති දිග වැඩිකර කණු ප්‍රමාණයද 16න් වැඩිකර තිබේ. මඟුල් මඩුවේ පෙර පැවති කණු ගණන 48කි. සුදු පාලකයන් විසින් එයට එකතු කළ කණු හතර නිසා එය 64 දක්වා වැඩි විය. සුදු පාලකයන් ඉදිකළ කොටසේ බිම, පෙර පැවැති ගොඩනැගිල්ලේ බිමට වඩා පහළින් සිමෙන්තියෙන් සකස් කර තිබේ.
ඒ අතර පරිශ්‍රය තුළ තිබූ වෙනත් රාජකීය ගොඩනැගිලි කඩා විනාශ කරන්නට ඇතැයිද විශ්වාස කෙරේ. මඟුල් මඩුව දෙපස ශාන්ති මණ්ඩපය තිබී ඇත. එය රජුට ශාන්තිකර්ම කිරීමට යොදාගෙන ඇතැයි පැවසේ.
මහවාසල
රජවාසල තුළ මහමැදුර හෙවත් මහවාසල විය. එහි සැතපෙන කුටි, බිසෝ කුටි, සළු මණ්ඩපය මෙන්ම අමුත්තන්ගේ කුටි ආදියද විය. ඇතැමුන් පවසන්නේ රජතුමා මහවාසලේ නොසිට ආරක්ෂාව වෙනුවෙන් වෙනත් කිසිවෙකු නොදන්නා ස්ථානයන්හී රාත්‍රී කාලය ගත කළ බවකි.
රජ මාලිග ගොඩනැගිල්ල මහනුවර යුගයේ රාජ මාලිගයක ස්වභාවය හඳුනා ගැනීමට අදටත් ඉතිරිව පවතින හොඳම සාක්ෂියක් ලෙස විද්වත්හු දක්වති.
වායු උත්පාදන කම්පනය
රජුගේ මුළුතැන් ගෙය තුළ පිසින ආහාර අනුභවයේදී රජුට සිසිල් පවන් සැලීම සඳහා සකස් කරගත් වායු උත්පාදන ක්‍රමයක මතකයක් අදටත් මහනුවර රාජසිංහ මාලිගයේ දැකිය හැකිය. එය අඩි 21ක් පමණ දිග පරාලයකට සවි කළ, ඉතා ඝනකම් රෙද්දකින් අඟල් 10ක් පමණ වන සේ පහළින් රැළි පටියක් අල්ලන ලද අඩි 4ක් පමණ උස තිරයක් වැනි නිමාවකි.
එහි දෙපැත්තේ ඉහළ සිට බිම දක්වා ලණු දෙකක් සවිකර ඇත. එය දෙපසට සෙලවිය හැකි ආකාරයෙන් සකස් කර තිබේ. මෙහා පැත්තේ සිටින දෙදෙනා වේගයෙන් එය මේ පැත්තටත්, එහා පැත්තේ සිටින දෙදෙනා එහා පැත්තටත් සෙලවීමෙන් එයින් ඇතිවන සුළඟ රජුගේ දාහය නිවා දමමින් සිසිලස ලබා දී ඇත.
ශ්‍රී වික්‍රම සහ බිසෝවරු
ඉන්දියානු කුමාරියන් සරණපාවා ගැනීමේ ක්‍රමය මෙරට රජ පෙළපත් තුළ දෙවන රාජසිංහ රජුගෙන් ආරම්භ විය. එය බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට යටත් කරගන්නා තුරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා පැවති ක්‍රමයකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් අතර වෙන්කත රෙංගමාල් අගබිසව වූවාය.
එනිසා රජු රජ මාලිග පරිශ්‍රයේ නතර වී සිටියේය. බිසෝවරුන්ට වෙනම මාලිගා වෙන් විය. අගබිසව වෙනුවෙන් මැදවාසල වෙන්කර ඇත. එය වඩාත් උස් නොවූ සහ මැදමිදුලකින් යුතු මැදුරකි. එතුළ බිසවට කැසිකිළි කටයුතු සඳහා පැවැති පහසුකම් අදටත් දැකිය හැක.
රජුටත් නොඇරෙන බිසවගේ මාලිගය
මෙහි මැදවාසලේ දොරටුව පිටතින් අගුල් දැමිය නොහැකිය.එහි ඇතුළතින් පමණක් අගුල් දැමිය හැකි දොරකි. ඇතුළත සිටින ඇයගේ කැමැත්ත ඇතොත් පමණක් පිටත සිටින අයට එම දොර විවෘත වෙයි.
රජතුමාට වුවද දොර විවෘත නොකර සිටීමට බිසවට තිබූ අයිතිය එයින් තහවුරු වෙයි. රජුට අගබිසව හමුවීමට යායුතු නම් එයට පෙර ඔහු විසින් මාලිගාවේ සේවිකාවක අත පලතුරු පිරවූ දැකුම්කළු වට්ටියක් යැවිය යුතුය. බිසව එය භාරගත්තේ නම් රජුට එහි යා හැකිය. එදින බිසවට යම් කායික හෝ වෙනත් අපහසුතාවක් ඇතොත් එය ප්‍රතික්ෂේප කළේ නම් රජුට වුවද බිසව හමුවීමට යා නොහැකිය. තවද එම ප්‍රදේශයට වෙනත් කිසිවෙකු ඇතුල් වීමද දඬුවම් ලැබිය යුතු වරදකි.
රාජකීය අන්තංපුරය
දළදා මාලිගය පසුපස පිහිටි පල්ලේවාසල රජුගේ අන්තංපුර බිසෝවරුන්ට වෙන් විය. එය මැදවාසලට අනෙක් පසින් ආසන්නව පිහිටා ඇත. එහි දැනට ජාතික කෞතුකගාරය පවත්වාගෙන යයි. ඇතැමුන් පවසන්නේ එදා රජු හමුවීමට පැමිණෙන අමුත්තන්ට මෙම පල්ලේවාසල වෙන්වූ බවකි. එය මැදමිදුල් දෙකකින් යුතු විශාල මැදුරකි. එහි තිබූ දැව කණු වෙනුවට ගඩොල් කණු යොදා ඒවා මඟුල් මඩුවේ ප්‍රතිසංස්කරණයේදී භාවිතයට ගත් බවද පැවසේ.
මෙම ගොඩනැගිලිවල ජනෙල් දැවයෙන් සහ දැව බීරළු යොදා කුඩා ප්‍රමාණයට සකස් කළ ඒවා වීමද විශේෂය.
රජුට අවනත නොවන අන්තංපුර කාන්තාවන් නුවර වැව මැද ඇති දූපතේ සිරකර තැබී යැයිද පැවසේ. එහෙත් රජු තමන්ට විවේක සුවයෙන් පසුවීමට මෙම දුපත ඉදිකළ බව ඩොයිල් දක්වයි. එය ජයතිලක මණ්ඩපය නමින් හැඳින්වෙයි.
රන්දෝලි සහ රිදීදෝලි
අගබිසව රන්දෝලියේ ගමන් ගියාය. එනිසා ඇය රන්දෝලිය වූවාය. දෙවන බිසවට ගමන් සඳහා වෙන්කර තිබුණේ රිදී දෝලියයි. ඇය රීදෝලිය වුවාය. තෙවැනි බිසව යකඩ දෝලියේ ගමන් ගියාය. එනිසා ඇය යකඩදෝලිය ලෙස ප්‍රචලිත වූවාය.
රජ පවුලේ සාමාජිකයෝ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ බිසෝවරු සමග ඉන්දියාවෙන් පැමිණි මලබාර් කාන්තාවන්ට මලබාර් නිවස නවාතැන විය. ඔවුන් විසූ පෙදෙස රජ දවස කුරුප්පේ වීදිය නම් විය. එහෙත් ඉංග්‍රීසි පාලකයන් සමයේ එම වීදිය මලබාර් වීදිය සහ නිවස මලබාර් නිවස නම් විය. මෑතකාලීනව එය හිටපු මහ ඇමතිවරයාගේ නිල නිවස ලෙසද භාවිත විය.
රජ පවුලේ සාමාජිකයන්ට දිය නෑම වෙනුවෙන් උළුපැන්ගේ ඉදි විය. එයට විදේශීය පාලකයන්ගේ අවශ්‍යතාවන්ට යොදාගත් අතර, පසුකාලීනව එය සංවර්ධනය කර තිබේ. එය රාජකීය පවුලේ අයට දිය නෑම සඳහා පමණක් වෙන් විය.
රාජකීයයන්ගේ ජලස්නානය
රජවරුන්ගේ ජලස්නානයට අවශ්‍ය පහසුකම් මාලිගය තුළ සම්පාදනය වී තිබුණි. එහෙත් පිටතට ගොස් එළිමහන් ස්ථානයක ජලස්නානය කළයුතු යැයි රාජකීය වෛද්‍යවරයා උපදෙස් දුන් විට රජු රජපිහිල්ලට ගොස් ජලස්නානය කළේය. අදත් රජපිහිල්, නුවර, අම්පිටය මාර්ගයේ කෙටි දුරකදී දැකිය හැකිය.
රජුගේ වෙනත් මාලිගා
මහනුවර රජවරුන්ට ආරක්ෂාව සඳහා වෙනම මාලිගා පිටස්තර තැන්හී තිබුණි. එකක් කුණ්ඩසාලේය. අනෙක හඟුරන්කෙතය. ඒවා ගමන් මාලිගා ලෙසද ජනතාව දක්වති. ඒ අතර ආරක්ෂාව සඳහා වෙන් වුණු මාලිගාවන් විය. නිල්ලඹ එකකි. හඟුරන්කෙත මාලිගය සෙනරත් රජු විසින් ඉදිකළ එකකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පසුකලෙක තමන්ට සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කර තිබේ. කුණ්ඩසාලේ රජ මාලිගාව 1804දී ජොන්සන් නැමැති ඉංග්‍රීසි සෙන්පතියෙකු විසින් ගිනි තබා විනාශ කළේය. අද එතැනද හිස් භූමියකි. නිල්ලඹ මාලිගය තිබූ තැන නටබුන් ඉතිරිව තිබුණද නිල්ලඹ ජල විදුලිබලාගාරය සමග ජනතාවගෙන් දුරස් විය.
කෙසේ හෝ මෙසේ කිනම් මාලිගයකට ගියද රජතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් මාලිගා තැන තැන ඉදිව තිබුණි. ගමන් මාලිගා යනුවෙන්ද ඇතැම්හු මේවා හඳුන්වති. රජු ගත කරන්නේ කිනම් මාලිගාවේද යන්න කිසිවකු දැනසිටියේ නැත. අඩුම තරමින් දෝලාව ඔසවාගෙන යන අය පවා රජු සිටින්නේ කිනම් දෝලාවකදැයි නොදනී. එනිසාම රජු නතර වන්නේ කිනම් මාලිගයේදැයි ඔවුන්ට නොදැනෙන සේ ආරක්ෂක කටයුතු සංවිධානය විය.
මුලාදෑනි මණ්ඩපය
රජතුමා හමුවීමට අමුත්තෝ නිතර පැමිණෙති. පැමිණෙන නිලදරුවන් වෙනුවෙන් මුලාදෑනි මණ්ඩපය ඉදිකර තිබුණි. එහිදී ඔවුන්ට මුහුණ සෝදා පිරිසුදු වීමට දිය පොකුණක් එය ඉදිරිපිට සකස්කර තිබුණි. රජු හමුවීමට පැමිණෙන අමුත්තන්ට දින කිහිපයක් රජුගෙන් කැඳවීමක් ලැබෙනතුරු රැඳී සිටීමට සිදුව තිබේ. එවැනි අවස්ථා සඳහාද මෙම මණ්ඩපය භාවිත කර ඇත.
මෙම ගොඩනැගිල්ල සිමෙන්ති, හුණුවැලි බදාමයෙන් නිමවන ලද බොරදම් වේදිකාවක් මත ඉදිකර ඇත. එහි මඟුල් මඩුවේ මෙන් දැව කණු 24කි.
එදා එතැන තිබූ පොකුණ අද එහි නැත. දහඅට වන සියවසේ මහා බ්‍රිතාන්‍යයේ ආදිපාදවරයා ලංකාවට පැමිණීම සිහිපත් කරමින් ලංකාවේ කෝපි වගාවේ නිරත වැවිලිකරුවන් විසින් එහි වතුර මලක් සහිත ස්මාරකයක් සකස් කළ අතර, අදටත් එය පවතී.
රාජකීය ගබඩා
උඩ ගබඩාව, අරමුදල් ගබඩාවද ඒ පරිශ්‍රයේ විය. රජුගේ ආයුධ රන් ආයුධ මණ්ඩපයේ තැන්පත් කර තිබුණි. මුද්දර මණ්ඩපය රාජකීය මුද්‍රා ආදිය වෙනුවෙනි. වන්දිභට්ටයන් ගායනා සඳහා යොදාගත් කවිකාර මඩුව අදටත් ඉතිරිව ඇත.
දුක කියන ඝන්ඨාරය
තම ප්‍රාදේශීය ප්‍රධානීන්ගෙන් සාධාරණය ඉටු නොවූ තැන ජනතාවට රජු වෙත තම දුක්ගැනවිලි කීමට නාථ දේවාලය කෙළවර බිමේ ඝණ්ටාරයක් විය. එළාර රජුගෙන් පසු එවැන්නක් ගැන සඳහන් වන්නේ මහනුවරදී පමණක් යැයි ඉතිහාසඥයෝ පවසති. එය යුක්තිය පසිඳලීම වෙනුවෙන් ජනතාවට නාද කළ හැකි එකකි.
නිලමේ වලව්
නිලමේවරුන්ගේ වලව් මාලිග පරිශ්‍රයට සමීපව පිහිටා තිබුණි. ඒ අතර යටිනුවර වීදියේ දෙහිගම වලව්ව අද වෙළෙඳ ස්ථානයකි. ඇහැලේපොළ වලව්ව මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරයකි. පිළිමතලාවේ වලව්ව ජනාධිපති මන්දිරයයි. දුනුවිල වලව්වේ මහනුවර මහ නගර සභාව පැවැත්වෙයි.
රජු අත්අඩංගුවට පත්වීම
දුම්බර මැද මහනුවර බෝමුරේ මැදයාය උඩුපිටිය ආරච්චිලාගේ නිවසේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟව සිටියදී සුදු හමුදාව දැක බියට පත් ළමයෙකුගේ මඟපෙන්වීම නිසා රජ පවුල බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත්විය.
“රජු අත්අඩංගුවට ගත් පසු සිංහල ජනතාව ඔවුන්ට හිරිහැර කර තිබෙනවා. කණේ තිබණු අරුංගලය පවා කඩාගෙන එයින් ලේ ගලා තිබෙනවා. රජුගේ රසඥතාව මහනුවර වැව ඉදිකිරීමෙන් දැකිය හැකිය. විවේක සුවය සඳහා ජයතිලක මණ්ඩපය ඉදිවිය.,* බ්‍රිතාන්‍ය පාලකයන් වරින්වර එසේ සටහන් යොදා ඇත.
අරුංගලය කඩා ගැනීම නිසා තුවාල වූ කණෙන් ගැලූ ලේ සහිත හැට්ටය අදටත් කොළඹ ජාතික කෞතුකාගාරයේ දැකිය හැකිය.
එසේම 1811 ජනවාරි 25වැනි දින ඩොයිලිගේ දිනපොතේ සටහනකට අනුව මහනුවර රජ මාලිගයේ යම් භූත දෝෂයක් හේතුවෙන් තිහක් පමණ දෙනා මිය ගොස් ඇති බව දක්වයි. මෙම යක්ෂ දෝෂයෙන් බේරීම සඳහා රජු කුණ්ඩසාලේ මාලිගයට ගොස් ඇතැයිද පැවසේ. රජුට කුඩා දියණියක්ද සිටියාය. එම දියණියත්, කිරිඅම්මාත් එම දෝෂයෙන් මිය ගොස් ඇති බවද ඩොයිලි දක්වයි. ඩොයිලිට ඔහුගේ ඔත්තුකරුවන් පවසා ඇත්තේ රජ මාලිගයේ දොරටු නිතර ඇරෙන වැසෙන බවකි.
රජකම් කළත් කළකම් පල දීම
රජුගේ සිරුරට අත තැබිය හැකි පුද්ගලයන් තිදෙනෙකි. ඒ, අත්පා දෝවනයට ජලය සපයන දියවඩන නිලමේ, රජුට සළුපිළි ඇන්දවීම භාරව සිටි සළුවඩන නිලමේ සහ රාජකීය වෛද්‍යවරයාය. එහෙත් රජු ඉංග්‍රීසින්ට යටත්වූ පසු ඔහු අල්ලා ගැනීමට උදව් කළ මුලෑදෑනින්, “මේ ඌරා වැල්පටකින් ගැට ගසාපියව්* යනුවන් නියෝග දෙන තරමට රජු හෑල්ලුවී ඇතැයි පැවසේ. %රජකම් කළත් කළකම් පල දෙන්නේ^ එසේ යැයි උඩරට ජනතාව අතර කතාවක් ඇත.
ඉංග්‍රිසීන් රජු මත්පැනට පුරුදු කර ඇතැයිද සඳහන් වේ. රජු පවසා ඇත්තේ &පරිස්සම් වෙන්න. ඇහැලේපොළ සහ මොල්ලිගොඩගෙන් පරිස්සම් වෙන්න. ඔවුන් මා රැවටුවා.* යනුවෙන් යැයි දොස්තර හෙන්රි මාෂල් දක්වා ඇත.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අවසාන කාලය
අත්අඩංගුවට පත් රාජසිංහ රජු තම බිරින්දෑවරු හතරදෙනා සහ මවගේ අත් ගෙන ඩොයිලි වෙත දිගුකර ඔවුන්ට කිසිදු කරදරයකින් තොරව රැකගන්නා ලෙස ඉල්ලා සිටි බව 1815 පෙබරවාරි 22 දින ඩොයිලි තම දිනපොතේ සටහන් කර ඇත.
අත්අඩංගුවට පත් රජු කොන්වොලිස් නැවෙන් ඉන්දියාව හරහා ගෝවට ගෙන යාමට කටයුතු සම්පාදනය විය.
1816 ජනවාරි 26වන දින සවස 6.00 ආසන්න වෙත්ම රාජකීය කොන්වොල්ස් නෞකාව නැව කොළඹින් පිටත් විය. රජතුමා මෙන්ම බිසෝවරුද අලංකාර වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී සිටියෝය.
“රජ කරන්නට මට ඉඩක් නැති හන්දා මේ ලැබෙන සැලකිලිවලට ස්තූති කළ යුතුයි.* යනුවෙන් තමන් ගොඩනංවාගත් නැවේ විල්ලුද පලසක් සහිත ආසනය මත අසුන්ගත් රජු පවසා ඇත. මෙරට රාජවංශය එසේ අවසන් විය.
ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ අවසාන මොහොත
වෙල්ලෝර් කොටුවේ අවුරුදු 16ක් ජීවත්වූ රජු අවුරුදු 52ක් ආයු විඳ 1832 ජනවාරි 30වන දින උදරාබාධයකින් මිය ගියේය.
“ජනවාරි 30වන දින සවස් වන විට සිහිමුර්ජාව සිටි මහනුවර රජතුමා එදින සවස 3.00ට පමණ මිය ගියේය. පසුව පවුලේ ඥාතීන්ගේ කැමැත්ත මත පසු දින ඉර අවරට යාමට පෙර ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බව සැන්ට් ජෝර්ජ් බළකොටුවේ සෙන්පති විසින් ආණ්ඩුවේ මහලේකම් හෙන්රි චැසියර් වෙත ජනවාරි 31 දින යැවූ ලිපියකින් දක්වා ඇත.
රාජසිංහ රජු අත්අඩංගුවට පත් ස්ථානය සිහිවනු පිණිස, 1908දී රොබර්ට් චාර්මස් ආණ්ඩුකාරයා විසින් මහනුවර, මහියංගනය පාරේ පොල්වත්ත මාර්ගයේ ස්මාරකයක් පිහිටුවන ලදී.
සටහන සහ සේයාරූ-ලාල් ජයසුන්දර