ඇමෙරිකන් ඩොලර් එක උඩ යනවා කෙළවරක් නැතිව. රුපියල බාල්දු වෙනවා. කාලා හමාරයි* ඒ මේ දවස්වල ජනතාව කියන කතාය. අද හැමෝම බලන්නේ උදේ නැගිටින විට ඩොලරය කීයට නැගලාද කියන එකය. ඩොලරය මෙතරම් නගින්නේ ඇයි දැයි යන්න ජනතාවට ප්‍රශ්නයකි. මෙරට මෙතරම් ආර්ථික ඔස්තාර්ලා සිටිද්දී මෙසේ සිදුවන්නේ ඇයිදැයි යන්න ඔවුනට ගැටලුවකි.
ඇත්තටම ඩොලරයේ නැගීම ප්‍රශ්නයකි. මෙය ලෝක ප්‍රශ්නයක් බව හැබෑය. ඒ කියන්නේ ලෝකෙටම මෙය බලපා ඇති බව කියන කතාව ඇත්තය. ඩොනල්ඩ් ට්‍රම්ප් නිසා තමයි ඩොලර් එක නගින්නෙ* යන කතාවට බොහෝ දෙනා හාස්‍ය‘යෙන් යුතුව කතා කළත් එයත් ඇත්තකි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය පසුගිය මාස 22 තුළ හත්වතාවක් පොලී අනුපාත වෙනස් කර තිබේ. ට්‍රම්ප්ට ඕනේ ඇමෙරිකාව හදන්නටය. ට්‍රම්ප් එනවිට තිබූ 0.25%ක පොලී අනුපාතය අද වනවිට 02෴ දක්වා ඉහළ නංවා තිබේ. ඇමෙරිකාව ඇතුළේ පොලී අනුපාතය වැඩි කරන විට ඇමරිකානුවෝ කරන්නේ තම රටේ ආයෝජනවලට මුදල් යෙදවීම වගේම රට ඇතුළේ සල්ලි තැන්පත් කිරීමය. වෙනදා පොලී අනුපාතය අඩු නිසා ඇමරිකානුවෝ කළේ ලෝකයේ වෙනත් රටවල මුදල් ආයෝජනය කිරීමය. නමුත් පොලී අනුපාතය වැඩිකළ නිසා ඇමෙරිකාව තුළට ඩොලර් ඇදී යමින් පවතී.
වෙනස්වන පොලී අනුපාතවලින් ලාභ අපේක්ෂා කරන නොයෙක් ආයෝජකයන් සිය වත්කම් ආයෝජනය කරන ප්‍රතිපත්තීන් වෙනස් කර ඒවා ඇමෙරිකාව පැත්තට යොමු කරන විට ලෝකයේ අනෙක් පැතිවලට ඩොලර් හිඟයක් ඇති කරන විට ලෝකයේ ගොඩක් රටවල ආර්ථිකයට එය ප්‍රශ්නයකි. ලංකාව වගේම ලෝකයේ අනෙක් රටවල මුදල් ඒකකද ඇමෙරිකානු ඩොලර් එකට සාපේක්ෂව පිරිහිලාය. වෙනිසියුලාව, ආර්ජන්ටිනාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, තුර්කිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, රුසියාව වගේ රටවලත් මුදල් ඒකක පිරිහිලාය.
නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේක අද ඊයේ ක්ෂණිකව සිදුවූ සිදුවීමක් නොවීම නිසාය. මේ පෙන්නන්නට හදන්නේ ඩොලරය නගින්නේ එක පාරටම බවය. මෙහිදී ඇත්තටම මහ බැංකුව වගකීම් සහිතව කටයුතු කළාද යන්න සොයා බැලිය යුතුය. මහ බැංකුවක් තියෙන්නේ රටේ ආර්ථිකය හැසිරවීමටය. ඒ වගේම ලෝකයේ ආර්ථිකය ගැන හදාරා, ඒවා ලංකාවට බලපාන්නේ කෙසේදැයි සොයා බලා, ඒවාට ගතයුතු ක්‍රියාමාර්ග තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම හා පවත්වාගෙන යෑමටය. ඇත්තම පැවසුවහොත් ලංකාවේ ආර්ථිකය ගැන පුරෝකථන දීමට මහ බැංකුවට හැකි විය යුතුය. නමුත් ආර්ථික අවපාතයක් ඇති වන බව දැන දැනත් මහ බැංකුව ඒ සඳහා කටයුතු නොකිරීම දුර්වලතාවකි. දැන් ආනයනයත් සීමා කිරීමට කටයුතු කළත් වෙන්න ඕනෙ හරිය වෙලා හමාරය. කෙටියෙන්ම කිව්වොත් අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ වැඩක්ය. ඩොලරය ඉහළ යන එක වළක්වා ගැනීමට ආනයනයන් සීමා කළ යුතුය. නමුත් අපේ රටට වෙලා ඇත්තේ හැමදේම ආනයනය කරගෙන ජීවත්වන එදා වේල ටුවර්ස් එකක් වගේ වීමය.
&කන්ට අඳින්ට පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා* මේ &පිට දීප දේශ ජය ගත්තා* සිංදුවේ කෑල්ලක්ය. අප හැම දෙයක්ම සීමාවක් නැතිව ආනයනය කරන්නට පටන් ගෙනය. පසුගිය වසරේ ඩොලර් බිලියන 20කට වැඩි ද්‍රව්‍ය අප ආනයනය කර තිබේ. නමුත් අප අපනයනය කර ඇත්තේ ඩොලර් බිලියන 11.4ක භාණ්ඩවීම කනගාටුවට කරුණකි.
ඩොලරය ඉහළ යනවාට ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග තිබේ. නමුත් ඒවා තාවකාලිකය. මුලින්ම මහ බැංකුව මීට වඩා අවදියෙන් සිටිය යුතුය. ඒ වගේම ලංකාව සිය අපනයනයන් වැඩි කරගත යුතුය. නිෂ්පාදන වැඩි කරගත යුතුය. නමුත් වෙන්නේ අනෙකකි. ලේසියට හැමදේම බලාපොරොත්තු වන ජාතියක් බවට අප පත්වී හමාරය. බඩ ගැන හිතනවා මිසක් කවදාවත් අප බුද්ධියෙන් හිතන්නේ නැත.
එදා සිරිමාවෝ ආණ්ඩුව කාලේ නිෂ්පාදන ආර්ථිකයකට පිඹුරු පත් සැකසුවේය. නමුත් පටු දේශපාලනික අවශ්‍යතාවක් නිසා සිරිමාවෝ ආණ්ඩුව පරාජය කෙරුණි. එදා ලංකාවේ නිෂ්පාදන බොහොමයක් තිබිණි. හාල් පොල්ල, මිරිස් පොල්ල දැමීමෙන් මෙරට ජනතාව කුපිත විය. &සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම්* වගේ සටන් පාඨ කියමින් එදා සිරිමාවෝ ආණ්ඩුවේ නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය කඩා ඉහිරුවා දැමීය. එහි ප්‍රතිඵල එදා නොතේරුණාට අද හොඳටම තේරෙන්නේය. එදා අමාරුවෙන් හරි කට්ටක් කාගෙන දේශීය නිෂ්පාදන වැඩි කරගත්තා නම් අද ලංකාවට කාගෙන්වත් යැපෙන්නට ඕනෑ නැත. අපි හැමදාමත් කර ගත්තේ මහන්සි නොවී ලාබෙට කන්න ගිහින් ඇන ගැනීමය.
දේශපාලනඥයන් කරන්න ඕනේ ඡන්ද අරගන්නට මිනිසුන්ට ආතල් නොදී අමාරුවෙන් හෝ නිෂ්පාදන ආර්ථිකයක් කරා යෑමය. මිනිසුන්ට මෙහි වගකීමක් ඇත. හැම වෙලාවෙම ලාබෙට කන්න නොයා, හරිහමන් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය. නැතිනම් හැමදාම වෙන්නේ උදේට නැගිටලා ඩොලරය කීයද කිය කියා ඉන්නටය.