මහ මැතිවරණ ප්‍රතිඵල ගැන ආසන්නයට අනාවැකි ප්‍රදීප් චානක


2019 නොවැම්බර් මාසයේ පැවැති ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ආසන්නයටම කියමින් එම මැතිවරණය පිළිබඳව විශ්ලේෂණයක් කළ ප්‍රදීප් චානක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයටද එවැනිම ආකාරයේ විශ්ලේෂණයක් කර තිබුණි. එහිදී ද ඔහු කළ ඇතැම් විශ්ලේෂණ නිවැරදි වී තිබුණි. මේ එම විශ්ලේෂණය පිළිබඳව  ඔහුගේ අදහසයි.

නියැදිය හා සමීකරණය ගොඩනැගීම

මුළු ලංකාවේම ඡන්ද බල කොට්ඨාස 160ට අදාළව නියැදියක් ලබාගෙන එය විශ්ලේෂණය කිරීමට අමතරව මගේම සමීකරණයක් ගොඩනැගුවා. මෙහිදී මම ඡන්ද බල කොට්ඨාසයක් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. සිංහල ඡන්ද හා සුළු ජාතික ඡන්ද ලෙස.

මේ සිංහල ඡන්ද හා සුළු ජාතික ඡන්ද නැවත බෙදුවා. ඒ තමයි පක්ෂ මත තිබෙන පාරම්පරික ඡන්ද. පාවෙන ඡන්ද තෙවැනි කොටස අලුත් ඡන්ද.

මෙතන පාවෙන ඡන්ද පිළිබඳව පුරෝකථනය කිරීම අපහසුයි. ලංකාව වගේ ගත්තාම සියයට 60ක් විතර තිබෙනවා පක්ෂ මත තිබෙන ඡන්ද. ඒ නිසා තමයි අපට පුරෝකථන කරන්න තරමක පහසුවක් තිබෙන්නේ.

ලංකාවේ මම කළ ගණනය කිරීම් අනුව පාවෙන ඡන්ද ලක්ෂ 37ක් පමණ තිබෙනවා. පාවෙන ඡන්ද ප්‍රමාණයෙන් වැඩි කොටසක් ඡන්දය භාවිත කරන්නේ නෑ. අවසාන මොහොතේදීත් වෙනස් වෙන පාවෙන ඡන්ද තිබෙනවා. ඒක 1෴ක් වගේ තත්ත්වයක්.

උදාහරණයක් ලෙස ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ එම අගය 15,000ක් විතර වෙනවා. මේ හරහා මම මගේම සමීකරණයක් ගොඩනගාගෙන විශ්ලේෂණය කෙරුවා.

මගේ නියැදියට 7280ක් තෝරා ගත්තා. ඒ ලියාපදිංචි ඡන්ද අතරින්. ඒ ප්‍රමාණය හා මගේම අතීත දත්ත පදනම් කරගෙන නිර්මාණය කරපු සමීකරණවලින් ගොඩනැගූ උපකල්පන මත තමයි මම විශ්ලේෂණය කරන්නේ.

මෙම වාර්තාව පිටු 242කින් සමන්විතව මම ජූලි 31 වැනිදා එළිදැක්වූවා.

පුරෝකථන

මෙහි තිබුණා ඡන්ද කොට්ඨාස මට්ටමින්ම ඒ ඒ පක්ෂ ගන්නා ඡන්ද සංඛ්‍යාව, තේරීපත්වන මන්ත්‍රීවරු සංඛ්‍යාව හා ඔවුන් ලබාගන්නා මනාප සංඛ්‍යාව.

ඒ වගේම දිස්ත්‍රික් පළමුවැනියා ගන්නා මනාප ඡන්ද සංඛ්‍යාව ඡන්ද කොට්ඨාස මට්ටමින්ම.

ඒ ඒ දිස්ත්‍රික්වලින් ඒ ඒ පක්ෂයෙන් තේරීපත් වන මන්ත්‍රීවරු සංඛ්‍යාව කොපමණද හා අවසාන මෙහොතේ වෙනස් විය හැකි පාවෙන ඡන්ද අනුව උපරිම හා අවම මන්ත්‍රීවරු සංඛ්‍යාව කොපමණද කියලා මම පුරෝකථනය කර තිබෙනවා.

පශ්චාත් දත්ත විශ්ලේෂණය

මගේ වාර්තාවේ කොපමණක් දුරට සත්‍යතාවක් තිබෙනවාද කියා බැලීමට මම පශ්චාත් දත්ත විශ්ලේෂණයක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය ගත්තොත් ජනපතිවරණයට වඩා පුළුල් මැතිවරණයක්.

ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයන් ගන්නා මනාප ගත්තට පස්සේ මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 517,322ක් ලබාගන්නා බවට පුරෝකථනය කළා. ඔහු සත්‍ය ලෙසම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 527,364යි. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 307,724ක් ලබාගන්නා බවට පුරෝකථනය කළා. ඔහු සත්‍ය ලෙස ලබාගත් ඡන්ද සංඛ්‍යාව 305,744යි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 48,208ක් ලබාගන්නා බවට පුරෝකථනය කළා. ඔහු සත්‍ය ලෙස ලබාගත් ඡන්ද සංඛ්‍යාව 49,816යි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද සංඛ්‍යාව 10,000ක පමණ වෙනසක් තිබුණත්, අනුර කුමාර දිසානායක මහතාගේ හා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද අතර වෙනස ඡන්ද 2,000කට ආසන්නයි.

ඒ ඒ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරන අයුරු

ඒ ඒ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරන කණ්ඩායම් මම පුරෝකථනය කළා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය යාපනය, වන්නි හා මඩකලපුව දිනන බව මම සඳහන් කළා. එය ඒ ආකාරයෙන්ම හරි. සමගි ජන බලවේගය දිනන්නේ ත්‍රිකුණාමලය පමණක් බව කිව්වා. ඒකත් නිවැරදියි. අනෙකුත් දිස්ත්‍රික්ක 18ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනන බවට මම පුරෝකථනය කළා. ඒකත් හරි.

අවම හා උපරිම ආසන සංඛ්‍යාව

ඒ ඒ දිස්ත්‍රික්කවල පාවෙන ඡන්ද අනුව ඒ ඒ පක්ෂ ලබාගන්නා අවම හා උපරිම මන්ත්‍රී ආසන ගණන මම පුරෝකථනය කළා. මම පුරෝකථනය කළේ 74.85%ක පමණ පිරිසක් ඡන්දය භාවිත කරනු ඇති කියලයි. නමුත් 75.89ක ජනතාවක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකි උපරිම මන්ත්‍රී ධුර ගණන 139ක් කිව්වා. නමුත් ඒ අයට 145ක් ලැබී තිබෙනවා. මගේ උපරිම සංඛ්‍යාවටත් වඩා ඒ අයට වැඩි වුණා.

සමගි ජන බලවේගයට අවම මන්ත්‍රී ධුර සංඛ්‍යාව 55ක් ලැබෙයි කියලයි මම කිව්වේ. නමුත් ඒ අයට එක්ක අඩු වෙලා 54ක් වුණා.

එක්සත් ජාතික පක්ෂයට අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසනයක් හා ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ලැබෙයි කියලා හිතුවා. නමුත් ඒ අයට ඊටත් වඩා අඩු වෙලා ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

ජාතික ජනබලවේගයට 4ක් අවම වශයෙන් ලැබෙයි කියලා සිතුවත්, ඒ අයට ලැබුණේ තුනයි. ඒ විදිහට තමයි මන්ත්‍රී ධුර බෙදී ගියේ.

දිස්ත්‍රික් ප්‍රථමයන් හා මනාප සංඛ්‍යාව

දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ගාල්ල දිස්ත්‍රික්කයේ රොමේෂ් පතිරණ, මාතර දිස්ත්‍රික්කයේ නිපුණ රණවක, හම්බන්තොට නාමල් රාජපක්ෂ, රත්නපුර පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ල කනක හේරත්, අනුරාධපුර එස්.එම්. චන්ද්‍රසේන, පොළොන්නරුව මෛත්‍රීපාල සිරිසේන, බදුල්ල නිමල් සිරිපාල ද සිල්වා, ත්‍රිකුණාමලය කපිල අතුකෝරාළ කියලා දිස්ත්‍රික්ක 16ක මුල් ස්ථාන ලබාගන්නා අය ඉතාමත් ආසන්නයට පුරෝකථනය කළා.

කනක හේරත් මහතාගේ මගේ ගණනය කිරීම හා ඇත්ත ප්‍රතිඵලය අතර වෙනස ඡන්ද 400ක් පමණ. නාමල් රාජපක්ෂ මහතාගේ ඡන්ද වෙනස 3000ක් පමණ. හැබැයි ඇතැම් දිස්ත්‍රික්ක තිබුණා මම පළමුවැනියා එන බවට පුරෝකථනය කළ අය දෙවැනි ස්ථානයට ආවා. උදාහරණයක් ලෙස කළුතරින් මම කිව්වේ රෝහිත අබේගුණවර්ධන එකට එයි කියලයි. නමුත් එකට ආවේ විදුර වික්‍රමනායකයි. කොළඹ එකට විමල් වීරවංශ කිව්වත් ඔහු දෙවැනි වුණා. ගම්පහ එකට ප්‍රසන්න රණතුංග එයි කිව්වත් ඔහුත් දෙවැනි වුණා.  මම පාර්ලිමේන්තුවට යන 196 දෙනාගෙන් හරියටම 159ක් පුරෝකථනය කළා.

වෙනත් ක්ෂේත්‍රවලටද යොමු වීමේ හැකියාව

මේ වගේ විශ්ලේෂණ හැම ක්ෂේත්‍රයකටම දාන්න පුළුවන්. මේ වන විට මම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් මෙවැනි විශ්ලේෂණයක් කරගෙන යනවා. එතැනදී විදේශ විනිමය අනුපාත පිරිවැය තමයි වැඩි. ඒ නිසා තමයි ලාභය අඩුවෙලා තිබෙන්නේ. මේ වගේ හැම ක්ෂේත්‍රයකම මෙවැනි දේ කරන්න පුළුවන්. මේවා පර්යේෂණ කිරීම මගින් මම හිතනවා අපගේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිකර ගැනීමට හැකිවෙනු ඇති කියලා.



Recommended Articles