පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා අවසන්ය. මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 7452 දෙනෙකු විවිධ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඔස්සේ තරග කළ අතර, එයින් මහජන නියෝජිතයන් ලෙස අපේක්ෂකයන් 196 දෙනෙකු තෙරී පත්ව තිබේ. නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
මහජන නියෝජිතයකු ලෙස ජනතාව නියෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින මෙම අපේක්ෂකයන් ජනතාවගේ මනාපය ලබාගැනීමට අධික ප්‍රචාරණයක් සිදුකළ බව නොරහසකි. අධික ප්‍රචාරණය සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බවද කවුරුත් දන්නා කාරණයකි. එසේ වුවද මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් සොයා නොබැලීම හේතුවෙන් මෙම ප්රචාරක වියදම් කොපමණද යන්න පිළිබඳව කිසිවෙකු තුළ කිසිදු වැටහීමක් නොතිබුණි.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදුන අතර, ඔවුන් පවසන ආකාරයට මහ මැතිවරණය වෙනුවෙන් අපෙක්ෂකයන් දැවැන්ත මුදලක් වියදම් කර තිබේ. එසේ වුවද මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ වියදම් සිදුකරන ආකාරය අනුව පෙනෙන වියදම් සහ සැඟවුණ වියදම් ඇති බව දේශපාලන ක්ෂේත්රය දෙස අවධානය යොමු කර සිටින සියල්ලන්ම දන්නා කාරණයකි.
ඒ අනුව මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විසින් සිදුකරනු ලැබූ වියදම්වලින් අනාවරණය කරගත් වියදම් ප්‍රමාණය 30෴ක් වන බවත්, වියදම්වලින් 70෴ක්ම අනාවරණය කර ගැනීමට නොහැකි බවත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය සඳහන් කරයි.
වියදම් කරන ආකාරය
විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පලකිරීම මෙන්ම බිම් මට්ටමේ සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරණයේදී මැතිවරණ රැලි පැවැත්වීම්, බඩු භාණ්ඩ බෙදීම, මුදල් බෙදීම ආදියද මේ සඳහා අයත් වේ. එසේම එක් මහජන නියෝජිතයකු වෙනුවෙන් වෙනත් පිරිස් විසින්ද විවිධ වියදම් සිදුකරන අතර, ඒවා අනාවරණය නොවීම තුළ අපේක්ෂකයන් විසින් සිදුකරනු ලබන වියදම්වල සැබෑ ප්‍රමාණය ගණනය කිරීමට නොහැකි වී තිබේ.
වැඩිම වියදම
මෙවර මහ මැතිවරණයේ ඇස්තමේන්තුගත ප්‍රචාරණ පිරිවැය අනුව මෙවර වැඩිම මුදලත් වියදම්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගිනි. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය , අපේ ජනබල පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි යන පක්ෂ පිළිවෙළින් වැඩිම මුදලක් වියදම් කර ඇති පක්ෂ වේ.
මේ ආකාරයට සිදුකෙරෙන වියදම් පිළිබඳ විශ්ලේෂණය කර බැලීමේදී එක් දිනක් තුළ එක් දේශපාලන රුස්වීමක් පැවැත්වීම සඳහා රුපියල් මිලියන 6.3ක මැතිවරණ ප්‍රචාරණ වියදමක් දරා ඇති බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම එක් අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරණයට අදාළව මාසයක කාලයක් සඳහා පක්ෂ කාර්යාල සහ ඒ ආශ්රිත මෙහෙයුම් කටයුතුවල ඇස්තමේන්තුගත පිරිවැය ලෙස රුපියල් මිලියන 46.8ක මුදලක් වැයවී ඇති බව ඔවුන් සඳහන් කරයි. එමෙන්ම මෙවර මහ මැතිවරණයේදී අපේක්ෂකයන් රුපියල් මිලියන 2248ට වැඩි මුදලක් සිය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් විදයම් කර තිබේ.
මැතිවරණ ප්‍රචාරණ පිරිවැය නියාමනය කිරීම
මේ ආකාරයට අසීමිත ලෙස මුදල් වියදම් කිරීම සහ නියාමනය නොකළ මැතිවරණ ප්‍රචාරණ පිරිවැය හේතුවෙන් විවිධ ගැටලු ඇතිවන බව මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන අතර, මේ සම්බන්ධයෙන් නීතිරීති සකස් විය යුතු බවද සිවිල් සමාජ නියෝජිතයෝ පෙන්වාදෙති.
මේ ආකාරයට දිගින් දිගටම අසීමිත ලෙස මුදල් වියදම් කිරීමට ඉඩ සැලසුවහොත්, මැතිවරණය තුළ අසමාන තරග බිමක් ඇතිවීම, අල්ලස හා දූෂණය සඳහා මග පෑදීම, රජයේ දේපළ අවභාවිතය ඉහළ යෑමේ හැකියාව, කළු මුදල් භාවිතයට ඇති හැකියාව වැඩි වීම, ඡන්ද දායකයාගේ දැන උගත් තීරණයක් වෙනුවට බලපෑම් එල්ල වූ තීරණ සඳහා හේතු වීම ආදී තත්ත්වයන් ඇති විය හැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
මැතිවරණ කොමිසමට යෝජනාවක්
දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් විසින් මේ ආකාරයට දිගින් දිගටම අසීමාන්තික මුදල් වියදම් කිරීම හේතුවෙන් ඇතිවන අහිතකර තත්ත්වය වළක්වා ගැනීම උදෙසා දේශපාලන පක්ෂ විසින් මැතිවරණ ප්‍රචාරණය සඳහා දරන ලද පිරිවැයට අදාළ මූල්‍ය සම්පත් ලැබුණු ආකාරයෙහි මූලාශ්‍ර ඉල්ලා සිටීම මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකළ හැකිය. එමෙන්ම ඒ සඳහා නීතිරීති සකස් කිරීමට අදාළ පාර්ශ්ව උනන්දු කිරීමද මැතිවරණ කොමිෂන් සභාව සතු කාර්යයකි.
පසුගිය කාලයේදී මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තුළද සාකච්ඡා සිදු වුවද ඒවා නීතියක් දක්වා වර්ධනය වීම තවමත් සිදුවී නොමැත. එමෙන්ම මැතිවරණ ප්‍රචාරණ වියදම් නියාමනය කිරීම උදෙසා නීතිමය විධිවිධානයන් සැලසීමට අවැසි කටයුතු කිරීමට සියලු දේශපාලන පක්ෂ එක්ව ක්‍රියා කිරීමද වැදගත් වේ. මන්දයත් නීතිය සකස් කරනා පාර්ලිමේන්තුව නියෝජනය කරනුයේ එම දේශපාලන පක්ෂ වන බැවිනි.
පුරවැසියන් සහ සිවිල් සමාජය
දේශපාලනඥයන්ගේ මෙම දූෂිත ක්‍රියා වැළැක්වීමට පුරවැසියන්ද ශක්තිමත් විය යුතු අතර, ඒ වෙනුවෙන් කැපවිය යුතුය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරණ වියදම් පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීම සඳහා පුරවැසියන්ට සිය දායකත්වය දැක්වීමට පුළුවන.
මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් ඉල්ලා බලපෑම් කිරීම සිවිල් සංවිධානවලට කළ හැකි කාර්යක් වන අතර, රට තුළ පොදු යාන්ත්‍රණයක් සකස් කර ගැනීමට නම් මේ සියල්ලගේම ක්‍රියාකාරීත්වය අනිවර්යයෙන්ම වැදගත් වේ.