හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩගබ්බල ගම්මානයේ ජීවත් වෙන පවුල් සංඛ්‍යාව 150කට අධිකය. පදියපැලැල්ල - මන්දාරම් නුවර ප්‍රධාන පාරේ ගොස් එළමුල්ල හන්දියෙන් කබරගල වත්තට දිවෙන අබලන් මාර්ගයේ ඉදිරියට ගිය අප, අතරමගින් හැරී එතැන් සිට ත්‍රිරෝද රථ දෙකකට වත් මාරු විය නොහැකි පටු කොන්ක්‍රීට් පාර ඔස්සේ උඩගබ්බල ග්‍රාමයට පිවිසුනෙමු.
ගම්වාසීන්ගේ ප්‍රධානතම ඉල්ලීම වන්නේ ගම්මානයේ සිට මානකොළ දක්වා අඩු දුරකින් යුක්ත නව මාර්ගයක් ඉදිකර ගැනීමයි. එයට හේතුව ගම්වාසී ජී. ජී. තිලකරත්න මහතාගෙන් විමසීමු.
"ඔය ආව පාරේ දුර කිලෝමීටර් 6ක් විතර තියෙනවා. හැබැයි ඒ පාරේ පොදු ප්‍රවාහන පහසුකම් නම් නෑ. ගමේ පවුල් 20කට 30කට වත් ත්‍රීවිල් නෑ. එහෙම තියෙන ගොඩක් අය හමුදාවේ නැත්නම් පොලීසියේ අය. ඒ අය ආපු දවසකට තමයි ගමේ කෙනෙකුට වීල් එකක යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් වීල් එකකට රුපියල් 500ක් දීල තමයි එන්න ඕනේ. බඩු ටිකක් අරන් පොඩි ලොරියක ආවත් විශාල මුදලක් යනවා. ඒවට දෙන්න තරම් සල්ලි තියෙන අය අපේ ගමේ නැහැ.
ගම්මානයේ ඉඳලා ඊට පල්ලෙහායින් ප්‍රධාන පාරට මායිම් වෙලා තියෙන මානකොළ ගමට තියෙන්නේ කිලෝමීටර් එකහමාරකටත් වඩා අඩු දුරක්. මානකොළ තමයි පන්සල තියෙන්නේ, බෙහෙත් ශාලාව තියෙන්නේ. පාසලකුත් තියෙනවා. ඒකට වටේ පාරෙන් යනවා නම් කිලෝමීටර් 6ක් යන්න ඕනේ. නමුත් දැනට ගමේ ඉන්න දරුවෝ, වැඩිහිටියෝ හැමෝම මානකොළට යන්නෙ පඩි ගණනාවක් බැහැගෙන අඩිපාරකින්. වටේ පාරෙන් යනවට වඩා ඒක තමයි යන්න තියෙන කෙටිම මාර්ගය. හැබැයි ලේසි නෑ. ගමේ කෙනෙක් ලෙඩ වුණත් වීල් එකක් හොයාගෙන වටේ පාරෙන් අරන් යනකොට ලෙඩා මැරිලා. ඒක නිසා කෙටි පාරෙන් උස්සගෙන යනවා. අස්වැන්න කරබරින් පාරට අරන් යන්නෙත් ඒකෙම තමයි. ඒකයි උඩගබ්බල ඉඳලා මානකොළට පාරක් හදලා දෙන්න කියලා අපි ඉල්ලන්නේ."
මාර්ග දුෂ්කරතාවය ගැන උඩගබ්බල ගම්මානයේ සිට ඒ. ජී. සෝමදාස මෙසේ පැවසීය.
"ඇත්තටම මානකොළ දක්වා පාර අපිට හරිම වැදගත්. ගමේ ඉඳලා කිලෝමීටර් එකහමාරකින් ප්‍රධාන පාරට යන්න පුළුවන්කම තියෙද්දි කිලෝමීටර් හයක් විතර වට වන්දනාවේ යන එක තේරුමක් තියෙන වැඩක් කියලා අපි හිතන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය වෙන මහන්සිය වගේම මුදල් බැලුවොත් ඒක හරි අපරාධයක්. එහෙම වැය කරන්න මුදල් අපේ ගමේ අය ගාව නෑ. ඒකයි පඩිපේලි 400කට වැඩි ප්‍රමාණයක් බැහැගෙන මිනිස්සු අඩි පාර දිගේ මානකොළට යන්නේ. ආයේ ගමට එනකොට ඒ පඩි 400ම නගින්නත් ඕනේ. පාර හදාගන්න අපි සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ කරනවා. දාන්න ඕන හැමෝටම ලිපි දැම්මා. හැමදෙනාගෙන්ම ඉල්ලීම් කළා. ඒ වෙනුවෙන් නවීන් දිසානායක අමාත්‍යවරයා රුපියල් 50,000/=ක විතර සුළු මුදලක් දුන්නට පස්සේ මානකොළ, ගොඩිගමුව සුසාන භූමිය ගාවින් පාර කපන්න පටන් ගත්තා. ඒ පාරේ පොඩි දුරක් තමයි පස් කපලා තියෙන්නේ. ඉතුරු ටික කපලා කොන්ක්‍රීට් කරගන්න විදිහක් නැතුවයි ඉන්නේ. මේ පාර කැපෙන්නේ රජයේ ඉඩම් මැද්දෙන්. කාටවත් ඒකෙන් හානියක් වෙන්නෙ නෑ. ගස්කොළන් කැපෙන්නෙත් නෑ. අපි ඉල්ලීම් කළාට පස්සේ කාර්මික නිලධාරී මහත්තයෙකුත් ඇවිත් පාර බැලුවා. ඒ අයටත් අවබෝධ වෙන්න ඇති මේ පාරේ වැදගත්කම. ඉතින් කවුරු හරි මැදිහත් වෙලා ඒක හදලා දෙනවා නම් අපිට හරි පහසුවක්."
මෙම කතාබහට එක්වූ එම්. ඩබ්ලිව්. දයාරත්න මහතා මානකොළ දක්වා මාර්ගය ඉදිකිරීමේ වැදගත්කම අපට පෙන්වා දුන්නේ මේ අයුරිනි.
"පාර හදන්න තියෙන්නේ රක්ෂිතයක් හරහා නෙමෙයි. ඒ ඉඩම් කට්ටිය අල්ලගෙන වගාකරන ඒවායි. අපි ග්‍රාම සංවර්ධන සමිතිය හරහා වගාකරන අයගේ කැමැත්ත පළ කරලා ලියුම් අරගත්තා. පාර හදන්න කාගෙවත් විරුද්ධතාවයක් තිබුණෙ නෑ. ඒක නිසයි මානකොළින් පාර කපන්න පටන් ගත්තේ. මේ ගමේ ඉන්නෙ බොහෝම එකමුතු මිනිස්සු ටිකක්. රජයෙන් ලැබෙන මොනයම් හෝ ප්රතිපාදනයකින් අපි ඉහළම ප්‍රතිලාභයක් ගන්නවා. කොන්ක්‍රීට් කරන්න වුණොත් ලැබෙන මුදලින් බඩු ටික විතරක් අරගෙන මිනිස් ශ්‍රමයෙන් කරන්න ඕන හැමදෙයක්ම එකතුවෙලා කරනවා. ඒ විදිහට තමයි ගම මැද්දේ පාර පවා හදා ගත්තේ. මිනිස්සුන්ගේ ශ්‍රම දායකත්වය 150෴ක් විතර ලැබෙනවා. ඒක නිසා අපිට ප්‍රතිපාදන දෙනවා නම් පාර හදාගන්න පුලුවන්.
දේශපාලඥයන්ගේ මැදිහත්වීම නිසා විශේෂ ව්‍යාපෘති ගමට ලැබිලා නෑ. ලැබුණනම් ලැබුණේ හැම ගමකටම පොදුවේ රජයෙන් ලැබෙන ව්‍යාපෘති විතරයි. ඒවායින් පාර කපලා කොන්ක්‍රීට් කරගන්න හැකියාවක් ලැබිලා නෑ. ඒක නිසයි පාර හදාගන්න විශේෂ මැදිහත්වීමක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතිවුණොත් අපිට විතරක් නෙමෙයි අපේ අනාගත පරපුරටත් මේ දුකම විඳින්න වෙනවා. අපේ කුඹුරු තියෙන්නේ පහළ. ඒවායේ අස්වැන්න ගමට අරන් එන්නේ මේ පඩිපෙළ දිගේ කරබරින්. ගමේ අස්වැන්නත් පාරට අරන් යන්නෙත් ඒ විදිහටම තමයි. ගෙවල් හදන්න සිමෙන්ති මිටිය, තහඩු ටික, ලී දඬු ටික පවා කරෙන්ම තමයි මිනිස්සු අදින්නේ. එහෙම නැත්නම් විශාල මුදලක් ගෙවලා වටේ පාරෙන් අරන් එන්න ඕනේ. පහළ පාරේ වැලි කියුබ් එකක් රුපියල් 13000 නම් ගමට අරන් එනකොට රුපියල් 19,000ක් විතර යනවා. පොහොර මිටියක් ගේන්න රුපියල් 400ක් විතර වැඩිපුර ගෙවන්න ඕනේ. ඒ ඔක්කොම දරන්න වෙන්නේ අපි දුක් මහන්සි වෙලා හරි හම්බ කරන මුදලිනුයි. ඉතින් අපි තව තවත් අසරණ වෙන එක අහන්න දෙයක්ද?"
මෙම ගැටලුවට ලබාදෙන විසඳුම පිළිබඳව මෙම ප්‍රදේශයන්හී ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් කරුණු විමසීමට උත්සාහ කළ අතර, එහිදී අප හා සම්බන්ධ වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පළ කළේ මෙවන් අදහසකි.
අපි මේ දිනවල ග්‍රාමීය මාර්ග පිළිබඳ යෝජනා එක්රැස් කරමිනුයි ඉන්නේ. නමුත් මගේ මතකයේ හැටියට මේ උඩගබ්බල, මානකොළ මාර්ගය පිළිබඳ යෝජනාව අපිට ලැබිලා නෑ. නීත්‍යානුකූල ගැටලුවක් නැත්නම්, නාය යාමේ අවදානම් කලාපයකුත් නොවේ නම් මට මේ මාර්ගය ඉදිකිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න පුළුවන්. ඔවුන් කියන ආකාරයට නීත්‍යානුකූල ගැටලු විසඳගෙන තියෙනවා නම් පහසුවෙන් මාර්ගය ඉදිකිරීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොටත් අපි යෝජනා ලබාගැනීම ආරම්භ කරලා තියෙන නිසා ඔබ මාධ්‍ය මැදිහත් වෙලා කඩිනමින් උඩගබ්බල ගම්මානය හා සම්බන්ධීකරණයක් ඇතිකරලා දුන්නොත්, මෙම මාර්ගය පිළිබඳ යෝජනාව ලබාගෙන අවශ්‍ය කටයුතු සිදුකරන්න පුළුවන්. එහෙම වුණොත් ලබන වසරේදී මෙම මාර්ගය කපා කොන්ක්‍රීට් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න මම සූදානම්."
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එස්.බී. දිසානායක මහතා වෙත මෙම ගැටලුව ඉදිරිපත් කිරීමේදී ඔහු දැක්වූයේ මෙවන් ප්රතිචාරයකි.
"මම මෙම ගම්මානයේ සංවර්ධන කටයුතු රැසක් සිදුකර තිබෙනවා. මානකොළ හරහා උඩගබ්බල ගම්මානයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීම අනුව සංවර්ධන යෝජනාවලට එය ඇතුළත් කරලයි තියෙන්නේ. මේ වන විට එම යෝජනාව අනුමත වෙලා. ඒ අනුව 2021 වසරේ විමධ්‍යගත අරමුදල්වලින් මෙම මාර්ගය සංවර්ධනය කිරීමට මම පියවර ගන්නවා."
උඩගබ්බල ගම්මානයට පිවිසෙන දීර්ඝ ගමන් මාර්ගය වැටී ඇති එළමුල්ල ප්‍රදේශය, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වනජීවී හා වනසම්පත් කැබිනට් අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ උපන් ගම් ප්රදේශයයි. මෙම මාර්ග ගැටලුව පිළිබඳව ඔහුගෙන් විමසීමට අප දිගින් දිගටම උත්සාහ ගත් නමුත් අමාත්‍යවරයා කාර්යබහුල බව පවසමින් ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අප හා දුරකථනයෙන් සම්බන්ධ විය. අප පෙන්වා දුන් කරුණු මාධ්‍ය ලේකම්වරයා විසින් අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පසු තමන්ගේ ගම් ප්‍රදේශයේ පවතින මෙම මාර්ග ගැටලුවට සම්බන්ධ ව්‍යාපෘතිය අනිවාර්යෙන් ඉදිරියේදී ඉටුකර දීමට පියවර ගන්නා බවත්, එහිදී කාල වකවානුවක් සඳහන් කළ නොහැකි බවත් පවසා තිබුණි. කුමන මට්ටමින් හෝ මෙම ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාම මානකොළ සිට උඩගබ්බල ග්‍රාමයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පොරොන්දු වීම පැසසිය යුත්තකි. එහෙත් එය පොරොන්දුවකින් එහා ගිය යථාර්ථයක් වනු දැකීම අපගේ බලාපොරොත්තුව වන අතර, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව බලා සිටිමු.
සටහන හා ඡායාරූප- නුවරඑළිය සම්පත් ජයලාල්