මස් මාංශයෙන් තොර දේශීය ආහාර සංස්කෘතියකට හුරුවෙමුද?


සත්ව ආහාර නැති නම් මස් මාංශ සහ බිත්තර කරවල යනාදිය නැතිව අපේ ආහාර වේල සකසා ගත නොහැකිද? බොහෝ විට එවන් ආහාර ,අත්‍යාවශ්‍ය ආහාර නැතිනම් නොගෙනම බැරි ආහාර නොවේ. ඒවායින් ගන්නා පෝෂණය  සතුන්ගෙන් නොව අනෙකුත් ආහාර වලින් ලබා ගත හැකි අතරම ඒ ආහාර හිතාමතා නොසලකා හැර අපි අතරින් බොහෝ දෙනෙකු සත්ව ආහාරවලට යොමු වී ඇත. කොළ කැඳ වීදුරුවක් බොන්නට ඔබ උදෑසන හුරු වුවහොත් ඔබට කිරි පිටි හෝ කිරි අවශ්‍ය නොවනු ඇත.


එළකිරි ආදී සත්ත්ව කිරි වර්ග වල ඇත්තේ එම සත්ත්ව වර්ගයාගේ වැඩීමට අවශ්‍ය කරන පෝෂණ සංඝටක වන අතර ඒවා මනුෂ්‍ය වර්ගයාගේ කායික මානසික නිරෝගීතාව වෙනුවෙන් බිහිවූවක් නොවේ. කොළ කැඳ යනු වෙනත් කිසිම රටකදී ඔබට ලබා ගත හැකි ආහාරයක් නොවේ. කොළ කැඳ වීදුරුවක් බොන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පමණය. එය ආහාරමය පානයක් නමුදු කොළ කැඳ යනු ආහාර මෙන්ම ඖෂධීය පානයක් බවද පළමුව ඔබ දැන සිටිය යුතු වැදගත්ම කරුණකි.

රතු කැකුළු හෝ කිසියම් දේශීය සහල් වර්ගයක් මුල් කොට ගෙන කැඳ වර්ග සෑදීම සඳහා ආහාරයට ගන්නා කිසියම් කොළ වර්ගයක් කොටා එයින් මිරිකා ගත් ඉස්ම  පොල් කිරි හා මිශ්‍ර කොට උණු කර නටවා ගන්නා කැඳ වලට  ශ්‍රී ලංකික අප කොළ කැඳ යැයි පවසනවා මෙන්ම මෙයට ඇතැම් ධාන්‍ය වර්ගද සහල් හා මිශ්‍රව  ධාන්‍ය කැඳ වර්ගද සාදා ගත හැකිය. උදාහරණයකි මුං ඇට කැඳ සහ කඩල කැඳ. එයින් උදෑසන ආහාරවේලට දිරවීමේ පහසුකම සහිත මුළුමණින්ම පෝෂණීය වූ පානයක් සකසා ගැනීමේ වාසිය උදාවන අතර එහි අඩං‘ගු පෝෂණය එක එල්ලේම ස්වභාවික ලෙස සිරුරට එක් කර ගත හැකි පෝෂණයක් බව සිහි තබා ගන්න.

මස් මාංශ යනු සිරුරට ශක්තිය සපයන එකම මාධ්‍ය නොවේ. කොටින්ම මස් මාංශ යනු මානසික වශයෙන් ඇති කරන ලද අවශ්‍යතාවයක් නොවේ දැයි හොඳින් සිතා බලන්න. හෙළ උත්සව යනාදියේදී සිංහල හා දමිල රස කැවිලි වලට මාංශමය සත්ත්ව කොටසක් කිසිවිට එක් නොවෙයි. කැවුම් , කිරිබත්  කොකිස් , මුං කැවුම් මෙන්ම අතිරස යනාදිය සිංහල උත්සව ආහාර වේලෙහි මුල් තැනක් ගන්නා අතර බත් මාළු පිණී යනාදිය උත්සවයට සම්බන්ධ වෙනුයේ හත් මාළුව නම් එළවළු වර්ග සහ කජු යනාදිය හත් වර්ගයක් එක් කර පිස ගන්නා  විශේෂ වෑංජනයකි.

එමෙන්ම සමහර ආගමික උත්සව වලදීත් නිර්මාංශ ආහාරයට මුල් තැනක් හිමිවෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. වෙසක් සහ පෝය දිනවල  බෞද්ධාගමික මෙන්ම හිංදු ආගමික උත්සව වලදී මස් මාංශයෙන් තොරව ආහාර පිස  ගන්නට බොහෝ දෙනා ඇප කැප වෙන අතර පෝය දිනවල නම් මස් මාංශ අලෙවියෙන්ද වැළකී සිටින දිනයක් වීම නිසා අපේ ආහාර සංස්කෘතිය තුළට ආගමික මුහුණුවරක්ද එක් වී නිර්මාංශවීම වැදගත් යැයි පෙන්වා දී තිබෙයි. 

ආහාරවේලකට මස් මාංශ ඇතුළත් විය යුතුමද ? මස් හා මාළු වැනි දෙයින් සිරුරට අවශ්‍ය වන, නැති නම් ලබා ගන්නා පෝෂණාංගය කුමක්ද ? ඒ ප්‍රෝටීන බව ඔබ හොඳින්ම දන්නවා ඇති.  සාමාන්‍යයෙන් ශාක ප්‍රෝටීන අංග සම්පූර්ණ නොවන ප්‍රෝටීන ලෙස සැලකෙන බැවින් සමහරු මස් මාංශ කරවල යනාදියට වඩාත් නැඹුරුවක් දක්වන්නට පුළුවන්.

නමුත්  ප්‍රෝටීන අඩංගු ආහාර වර්ග කීපයක් මිශ්‍රව ආහාරයට ගැනීමෙන්  ශරීරයට උරා ගන්නා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කර ගන්නට කෙනෙකුට හැකියාව පවතී. පරිප්පු, කව්පි, කඩල  වැනි පියළි ඇට වර්ග  බත් වැනි ධාන්‍ය වර්ග සමග  මිශ්‍රව ගැනීම එයට පැහැදිලි උදාහරණයක්. යකඩ හා කැල්සියම් යන පෝෂක අඩංගු බැවින්  සෝයා  , කඩල, කව්පි  මුංඇට වැනි ඇට වර්ගද  තද කොළ පැහැති පළා වර්ගද  දිනපතාම නිර්මාංශ ආහාර වේලක අඩංගු විය යුතුය.

එවන් ඇට වර්ග වල මෙන්ම බෝංචි , මෑ දඹල  සෝයා වැනි රනිල කුලයේ  බෝගවලද ප්‍රෝටීන් බහුලව ඇත. මේවා මස් මංශ තරම් මිල අධික නැත. එහෙයින් මේවා මස් මාංශවලට ආදේශක ලෙස අඩු මිදලට යොදා ගැනීමට අපට හැකියාව තිබේ.  ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ධාන්‍ය වර්ග වල ඇත්තේ සුළු වශයෙන් නමුත් බත් ආහාරයට ගැනීමෙන් ඇමයිනෝ අම්ල ඒ සමග අපට ලැබේ.  බත් සහ රනිල භෝග මෙන්ම ඇට වර්ග එක්ව ආහාරයට ගැනීමෙන්  ප්‍රෝටීනවල තත්ත්වය උසස් කරවා ගත හැකිය.

මේ ප්‍රෝටීනවල අමතරව ආහාර දිරවීම පහසු කරන  තන්තු වර්ගද විටමින් වර්ගද, කැල්සියම් සහ යකඩ ද රනිල බෝග වල බහුලව අඩංගුව ඇත. ආහරවල සුරක්ෂිත බව සොයන අප කිසිවිටක මස් මාංශ බාවිතයේද නොසිතන පැත්තක් වෙත ඔබේ අවධානය යොමු කරන්නට අප අදහස් කරනුයේ ආහාර වල විද්‍යාත්මක පැත්ත මෙන්ම  සතුන් වෙනුවෙන් දහම් හඩ සංවිධානය නැති නම් dharma voice for animals සංවිධානය විසින් සතුන් යනු මිනිස් ආහාර නොව්ය යන්නට නව අර්ථකථනයක් දෙමින් දේශීය නිර්මාංශ ආහාර සංස්කෘතිය යළි පණගැන්වීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙන අවස්ථාවකය.

ඔබ  යම් අයුරකින් ලිස්සා වැටෙන්නට යන මොහොතක් සිහියට නගා ගන්න. එය ඇද වැටීමක් මිස ඔබේ මිය යාම නොවන බව ඔබ දැන සිටියත් එවන් අවස්ථාවකදී ඔබේ බිය ඔබේ ශරීරය තුළ ඇති කරන  වෙනස්කම් සිහියට නගා ගන්න. හෘද ස්පන්දනය වේගවත් වීම, දහඩිය දැමීම, ගතට යම් අප්‍රාණික බවක් දැනීම, දෑස විසල් වීම, කටේ කෙළ සිඳීයාම,වේගයෙන් නාඩි වැටීඹ නැතිනම් රුධිර ගමනා ගමනය සිදුවීම,  ඉබේම කෑගැස්සීම වැනි ලක්ෂණ ඔබ අත්විඳ ඇතිවාට සැක නැත.

එය සිදුවනුයේ තමන්ට කිසියම් විපතක් ඇතිවේය යන සංවේදනය දැනීමත් සමගය. මේ ලක්ෂණ අ.රින් රුධිර ගමනා ගමනයේ  වෙනස්කම්  විනාඩි පහක් දහයක්ම පැවතීමට ඉඩ ඇත. සතුන්ටද ඒ දැනීම ඔබට මෙන්ම දැනේ. කිසියම් අනතුරක් සිදුවෙන්නට යන බව නැතිනම් මරණ බිය අබියස ඔවුන්ටද ඔබට මෙන් සිරුරේ හෝර්මෝනවල වෙනස්කම් ඇති වී අර ඔබට දැනෙන ආකාරයේම විවිධ වෙනස්කම් දැනෙන්නට ඉඩ තිබේ.ඇතමුන්ට මළ මුත්‍ර පවා පිටවීමට ඉඩ ඇත.

නමුත් වැටෙන්නට යන එහෙත් නොමැරෙන බව දැන ඔබ මුහුණ දෙන අවස්ථාව ,තමන් මැරෙන්නට යන බව දැනගන්නා සත්වයාට වඩාත් තීව්‍ර ලෙස දැනිය හැකිය. ඒ සමගම වෙනස් වන ශරීරය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වන්නට පෙර මිය යන සත්ත්වයාගේ  ඇඟ මස වඩාත් පිරිසුදු ආහාරය සඳහා සුදුසු එකක් වන්නේ කෙසේදැයි මදකට සිතා බලන්න. මරණ භයෙන් විකෘතියට පත් ශරීර ක්‍රියාකාරිත්වයක් ඇති සතෙකුගේ මාංශ ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට එක්වන දෑ සිරුරේ පෝෂණය කෙසේ වෙතත් අනවශ්‍ය රසායණික විපර්යාසයන් ඇති නොකරාවි යැයි තිබෙන සහතිකය කුමක්ද ?  මස් මාංශ සහිත ආහාර ගත යුතුය යන්න ආකල්පය අප විසින් ඇතිකරගන්නා ලද්දකි.

එසේ නොමැතිව එවන් ආහාර නොගතහොත් අප මිය යනවා යැයි  කිසිවෙකු සනාථ කර නොමැත. අප පරපෝෂිතයන් නොවේ. අනෙකා මත යැපී අනෙකෙකු ආහාරයට ගත යුතුමය යැයි නියමයක් නැත. හෙළ ආහාර සංස්කෘතිය තුළ ඇති සරල සහ පෝෂණීය රටාව අපේ මුතුන් මිත්තන් පිළිකා රෝගවලින් ආරක්ෂා කළා මිස දිනකට හැත්තෑ හය දෙනෙකු පිළිකා රෝගීන් බවට පත් කලේ නැත.එහෙයින් අප නිරෝගී බව උතුම්ම ධනය යැයි විශ්වාස කරන්නෝ වේ නම් නිර්මාංශ ආහාර රටාවක් තුළින් නිරෝගි බව සොයා යන්නට පෙළෙඹෙන්නට මේ කාලයයි.

 නිර්මාංශ ආහාර වට්ටෝරු සහිත ග්‍රන්ථය එළිදැක්වීමේ දී, වෛද්‍ය විද්වත් මණ්ඩලය දැක්වූ අදහස් අනුව සැකසුණකි.

නාලිකා රාජපක්ෂ



Recommended Articles