බුල්නෑව - ප්‍රදීප් රණතුංග
හදිසියේ මතු වූ 'කෝවිඩ් -19' ව්‍යසනයෙන් මේ උදාවී ඇත්තේ කුඩා කර්මාන්තවල යෙදෙන මිනිසුන් කාටත් අමාරු කාලයකි. කුමක් හෝ එදිනෙදා වෙළෙඳාමක් කරමින් දිවි ගෙවූ හැම අයෙකුම පාහේ මේ හේතුවෙන් ගැටලු රැසකට මැදිවිය. එදිනෙදා ජීවත් වීමේ දුෂ්කරතා නොඅඩුව මතුව එද්දී ඔවුනගේ අනාගත සුබ සිහිනද අළු දූලි මෙන් උඩු සුළඟේ ගසා ගියේය.
අනුරාධපුර, අටමස්ථානය ආශ්‍රිතව වන්දනාකරුවන්ට ඕලු, නෙලුම් මල් විකුණා දවස සරිකළ මල් වෙළෙඳුන්ද මේ අභාග්‍යයේ පහසු ගොදුරු බවට පත්විය. පනස් දෙහැවිරිදි “කේ.ජී. පත්මිණි ප්‍රියංකා” මහත්මිය වසර ගණනාවක සිට රුවන්වැලි මහා සෑය පෙනෙන මානයේ මග පසෙක නෙලුම් මල් වෙළෙඳාමේ යෙදී සිටින්නීය. දේවානම්පියතිස්ස පුර ප්‍රදේශයේ පදිංචි ඇය නෙතග මතු වූ උණුසුම් කඳුළක් සමග සිය ජීවන දුෂ්කරතාවන් ගැන පැවසූවේ මෙවැන්නකි.
“මේ කාලේ අපි පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ. අපි කොහොමත් බොහෝම අමාරුවෙන් ජීවත් වෙච්ච මිනිස්සු. මේ කාලේ අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. ගිය මාර්තු මාසේ වෙනකොට මගේ ගෙදර ලයිට් කපලා තිබුණේ. මං හිතන් හිටියේ වෙසක් එකටයි, පොසොන් පෝයටයි දෙයියනේ කියලා මල් ටිකක් විකුණගෙන ආයෙත් ලයිට් ගන්න. ඒත් අපේම කරුමෙට පෝයවල් දෙකම අපිට නැති වුණා. මේ දවස්වල මල් දහයක් විකුණගන්නත් දහ දුකක් විඳින්න වෙලා තියෙන්නේ.”
ඉකුත් බොහෝ වසරවල මේ සමයේ මේ වෙළෙඳුන්ගේ අතමිට සරුවන අතර, වෙසක්, පොසොන් දෙපෝය ඔවුනගේ බොහෝ ජීවන දුෂ්කරතාවලට යම් සහනයක් ලැබෙන කාලයකි. ලක්ෂ ගණනක් ජනී ජනයා මේ අවදියේ මෙහි පැමිණෙතත් මෙවර මේ භූමිය පාලුවෙන් පාලුවට ගියේය. දැන් වැසූ රට විවෘතව ඇතත් තවමත් දිනකට අටමස්ථානයට පැමිණෙන පිරිස ස්වල්පයකි. සත්‍ය ලෙසම මේ අහේනි කාලයේ දිනකට මෙහි එන පිරිස අබිබවා මල් වෙළෙඳුන් සිටිතැයි පැවසීම අතිශයෝක්තියක් නොවන්නේය. වැව් දිය පීරා සියතින් කඩාගන්නා මල් මහමගට ගෙනවිත් විකිණීමට වෙහෙසෙන “ජී. පද්මා කුමාරි”ට කියන්නට දුක හිතෙන කතාවක් තිබිණි.
“ මල් කඩන්ඩත් ලේසි නෑ. සමහර වැව්වල කිඹුල්ලු ඉන්නවා. නෙලුම් දඬුවලට අතපය සීරෙනවා. එහෙම දුක් විඳලා කඩාගන්න මල් විකුණගන්ඩ බැරිව මේ දවස්වල ආපහු යන්න වෙලා තියෙන්නේ. මල් විකුණන එකත් දැන් ලොකු තරගයක් වෙලා තියෙන්නේ. අපි කාටවත් අතපාන්නේ නැතිව, හොරකම් කරන් නැතිව සාධාරණව මේ වෙළෙඳාම කරන්නේ. ඒත් සොබාදහමත් හරස් වෙන්නේ අපිට.”
හිමිදිරි උදයේම අපමණක් අපේක්ෂා පෙරදැරිව මෙපරිද්දෙන් විසල් මහමෙව්නාවට මල් වෙළෙඳාම උදෙසා පැමිණෙන පිරිස සිය ගණනකි. ඒ බොහෝ දෙනෙකුට මෙකල්හි දවස අහවරව මැලවුණු මුහුණින් ආපසු නිවෙස් වෙත යෑමට සිදුව තිබේ. ඇලපත්ගම, දුණුමඩලාව ගම්මැද්දේ සිට මෙහි පැමිණෙන හැටවියැති “කේ.බී. මැණික්හාමි” අප සමග පැවසූයේ මෙවැන්නකි.
“උදේ ඉඳන් මේ වෙනකන් හිටියා. රුපියල් සීයයි හොයාගත්තේ. ඒකෙන් දවල්ට තේ ටිකක් බිව්වා. දැන් නිකන්ම ගෙදර යන්ඩ වෙලා තියෙන්නේ. අපි මල් කඩ කට්ටියගෙන් මලක් ගන්නේ රුපියල් තුනකට. අපි විකුණන්නේ රුපියල් දහයකට. හවස් වෙනකොට මල් ටික අහක දැම්මහම අතින් පාඩුයි. නිකන්ම දවස තිස්සේ අව්වේ පිච්චි පිච්චි දූවිලි නෑවා විතරයි. කීයක්වත් නැතිව ගෙදර යන්නේ කොහොමද කියලා මං මේ කල්පනා කරන්නේ.”
මේ පුදබිමේ සිද්ධස්ථාන අබිමුව ස්ථිරව හෝ තාවකාලිකව ඇටවූ මඩු තුළට වී මල්, හඳුන්කූරු ආදිය විකුණා දිවි ගැටගහන්නවුන් මෙන්ම ඉන් බැහැරව තැන තැන මහමග රැඳෙමින් වෙළෙඳාමේ යෙදෙන පිරිසක්ද වෙති. සමහරෙකුගේ එකම ආදායම් මාර්ගයද මෙය වේ. මෙකල්හි වේදනාවෙන් ගතවී යන දවස් පිළිබඳව “ඒ.ජී. තරංග සංජීව” අප සමග පැවසූයේ මෙවැනි කතාවකි.
“ අපි කීයක් හරි හොයන් එනකන් දරුවෝ මග බලන් ඉන්නවා. හවස් වෙනකොට ඉතිරි වෙච්ච මල් දකින කොට පපුව පිච්චෙනවා වගේ. අපිට ගොවිතැන් කරන්න කියලා ඉඩකඩම් ඇත්තේ නෑ. මේ වෙළෙඳාමෙන් කීයක් හරි හොයා ගත්තේ නැත්නම් මුළු පවුලම බඩගින්නේ. ඇත්තටම අපේ කරදර ගැන කියලත් බෑ. නොකියත් බෑ. මොනදේ කරල හරි දරුවන්ට කන්න දෙන්ඩ ඕනනේ. ගිය අප්‍රේල් මාසේ ඉඳන්ම මේ දුක් කරදරවල ඉවරයක් නෑ. ඇසළ පෝයටත් ඉස්සර වගේ මෙහේ මිනිස්සු එයි කියලා හිතන්ඩ බෑ. පහුගිය ටිකේ වැව්වල කැඩිල්ලත් අඩුවුණ හින්දා මේ දවස්වල හොඳට මල් තියෙනවා. ඒ හින්දම මල් විකුණන කට්ටියත් මේ දවස්වල වැඩිවෙලා තියෙනවා. ඒත් කඩාගන්න මල් විකුණන්ඩ මිනිස්සු නෑ.”
කොතෙක් කරදර මැද වුවත් ජීවිතය අතහරින්ට මේ කිසිවෙකුට ඉඩක් නැත. එහෙයින්ම ගිනි ගහන අව්වට මැදිවී ඔවුහු ජීවිතය සොයති. ඇතැමෙක් වැව් දිය පීරා මල් කඩා විත් වන්දනාකරුවන්ට අලෙවි කොට දවසේ වියදම සරි කරති. තවත් ඇතැමෙකු කඩන ලද මල් පොකුරු පිටින් මිලට ගෙන වන්දනාකරුවන්ට විකුණා කීයක් හෝ උපයා ගැනීමට වෙහෙසෙයි.
“කේ.බී. යසවතී” මහත්මියද මල් අතැතිව ජීවිතය සොයන්නියකි. නිවන් සොයා යන පින්වතුන්ට මල් විකුණන ඇයගේ සිතට නිවනක් නැත. තැන තැන ගස් යටට වී කීයක් හෝ උපයා ගැනීමට වෑයම් කරන පනස් වියැති ඇය පැවසූයේ මෙවැන්නකි.
“අපි හාල්, තුනපහ ටික ගන්නේ මේ හොයාගන්න කීයෙන් හරි. ඇත්තම කිව්වොත් අවුරුදු ගානකින් මෙහෙම අහේනි කාලයක් ආවමයි. පහුගිය කාලේ මල් ටිකක් අරගෙන ආවොත් දෙයියනේ කියලා අඩුම තරමින් දවසේ වියදම හරි හොයා ගන්නවා. මං දැන් උදේ ඉඳන් ඔට්ටු වුණා. එක මලක් විකුණ ගන්ඩ බැරි වුණා. මිනිස්සු නෑ. මිනිස්සු දහදෙනෙක් ආවොත් පහළොස් දෙනෙක් ඉන්නවා ඒ ගොල්ලන්ට මල් විකුණන්ඩ. ඉතින් කාටද මල් විකුණන්නේ.”
කොහෙන් හෝ කඩා ගෙනෙන මල් ටිකකින් ජීවිත ගණනාවක දවස සරිකරන මේ මිනිසුන්ගේ අපේක්ෂා මෙසමයෙහි පෑවිල්ලට හසු වූ වැව් බිමක් මෙන් වියළී තිබේ. ඒ වග මහාසාර පින්බිමට එන ප්‍රභූන් කවරෙකු හෝ නොදැකීමේ අවාසනාවට මේ මිනිසුන්ද මැදිව ඇති බව අවසන පැවසිය හැකිය.