2015 මහ මැතිවරණයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව මැති සබයේ මා කළ පළමු කතාවේ මාතෘකාව වූයේ මරණ දඬුවමය. මා කතා කළේ එයට එරෙහිවය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණේ ස්ත්‍රී දූෂණ ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවය. මා සමග එක්වූ ජයම්පති වික්‍රමරත්න, අජිත් පෙරේරා සහ විජයදාස රාජපක්‍ෂ යන නීතිඥ මන්ත්‍රීවරුද එයට එරෙහිව කතා කළහ. 2015 පිහිටුවනු ලැබූ %මෛත්‍රී පාලනයක්^ යැයි නාම ගන්වන ලද රජයෙන් එවැන්නක් කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකි බව එකල අපගේ විශ්වාසය විය. එහෙත් ‘මෛත්‍රී පාලනය’ යන නාම ධජය යටතේම එම නාමයට නොගැළපෙන බොහෝ අදහාගත නොහැකි සිදුවීම් 2015 සිට මේ දක්වා වසර හතර ඇතුළත සිදුව ඇති බැවින් එදා යටපත් වූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව යළි කරළියට පැමිණීම ගැන අපි පුදුම නොවන්නෙමු.
මරණ දඬුවම ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති නීතියකි. එය තවමත් මකා දමා නැත. එහෙත් ලෝකයේ බොහෝ රටවල මෙන් ලංකාවේද වසර හතළිහකට ආසන්න කාලයක් පුරා භාවිතාව වූයේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකර එයට ලක්වූ සිරකරුවන් ජීවිතාන්තය දක්වා සිරගත කර තැබීමය. ලෝකයේ බොහෝ ශිෂ්ටසම්පන්න රාජ්‍ය අනුගමනය කරන ක්‍රමයද එයයි. මෙයින් තවත් ඉදිරියට ගිය රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම ජාත්‍යන්තර නීති ප්‍රතිපාදනයක් ලෙස ගනිමින් සිටියි. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ දෙවැනි වෛකල්පික ප්‍රොටෝකෝලයට අත්සන් තබා ඇති රටවල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නීතිමය වශයෙන්ම නවතා දමා ඇත. ලංකාව මෙම වෛකල්පික ප්‍රොටෝකෝලයට අත්සන් තබා නොතිබුණද රටක් ලෙස අප ගමන් කරමින් සිටියේ එයට එකඟ වන මාවතකය. පසුගිය එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසියකදී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආ යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නේ එබැවිනි.
අප රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ නීතිමය බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. එහෙත් අවුරුදු හතළිහක කාලයක් පුරා මෙරට විසූ කිසිදු ජනාධිපතිවරයෙකු එය ක්‍රියාත්මක නොකළේ ලෝකයේ අනෙකුත් ශිෂ්ටසම්පන්න රටවල් අනුගමනය කරමිනි. මේ හේතුව නිසා කෙතරම් දරුණු සිවිල් යුද්ධ, කෝලාහල තිබුණද සාමාන්‍ය වාතාවරණයකදී ලංකාවට ගෞරවාන්විත තත්ත්වයක් මේ නිසා ලැබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ තත්ත්වය නොසලකා මේ වනවිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. වාර්තා වන අන්දමට අප නම් නොදන්නා සිරකරුවන් හතර දෙනෙකු නුදුරු දිනකදී මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එල්ලා මරනු ඇත.
මේ ක_ර තීන්දුව ගැනීම සඳහා ජනාධිපතිවරයා යොමුවී ඇත්තේ රට පුරා ඔඩුදුවා ඇති මත්ද්‍රව්‍ය උවදුර බව කියනු ලැබේ. මත් උවදුර මැඩලීම සඳහා ජනාධිපතිවරයා ගත් ඉදිරිගාමී පියවර රැසක් සම්බන්ධයෙන් එතුමාට අපගේ ගෞරවයක් ඇතත්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එතුමා ගෙන තිබෙන තීරණය රටේ ගෞරවය කෙළෙසන තීරණයකි. මත්කුඩු අපරාධකරුවන් බන්ධනාගාරගත වීමෙන් පසුවද මත්කුඩු ජාවාරම සිදුකිරීම සිරකරුවන් මරාදැමීම යුක්තිසහගත කිරීම සඳහා ගෙන එනු ලබන තර්කයයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආසන්න හේතුව මෙය නම්, කළ යුත්තේ බන්ධනාගාර පරිපාලනය විධිමත් කිරීමය.
මරණ දඬුවමට පක්‍ෂව සහ විපක්‍ෂව ඉතා බරපතළ විවාදයක් ලෝකයේ පවතී. එහි බොහෝ කරුණු මෙහි ලිවීමට ඉඩ නැත. අපරාධකරුවන්ට දඬුවම් දීමේ පරමාර්ථ කිහිපයකි. පළමුවැන්න පළිගැනීමය. %කෙනෙකුගේ ජීවිතය නැති කරන්නෙකුට ජීවත්වීමේ අයිතියක් නැත^ යන පදනමින් මෙය සකසා ගෙන ඇත. %ඇසට ඇසක්, දතට දතක්^ සිද්ධාන්තයේ ඇත්තේ මේ පළිගැනීමේ අරමුණය. දෙවැන්න අපරාධකරුවන්ට දඬුවම් දීම මගින් සමාජයේ අන් අයට අපරාධ නොකිරීම සඳහා පණිවුඩයක් ලබාදීමය. තෙවැනුව අපරාධකරුවන් පොදු සමාජයෙන් ඈත්කර තැබීමය. සිවුවැනුව අපරාධකරුවන් බිහිවන්නේද සමාජයේ අඩුපාඩුකම් නිසා බැවින් ඔවුන් පුනරුත්ථාපනය කිරීමය. නූතන ශිෂ්ටසම්පන්න ලෝකය දැන් යොමුවෙමින් තිබෙනුයේ අවසානයට කී අරමුණු දෙක කෙරෙහිය. එසේම අනෙකුත් දඬුවම්වලට වඩා මරණ දඬුවමෙහි විශේෂත්වය වන්නේ එහි ඇති අවසානාත්මක ස්වරූපයයි. අධිකරණය සර්වසම්පූර්ණ නැත. නිවැරදි පුද්ගලයෙකු වරදකරුවෙකු වීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයකදී ඇතැම් විටෙක නිවැරදි පුද්ගලයෙකුගේ ජීවිතයද අහිමි වනු ඇත.
රාජ්‍ය පාලකයාට පැවරී ඇති ඓතිහාසික කාර්යයක් වන්නේ රටක ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමය. සතුරු ආක්‍රමණයක් සිදුවන විට සතුරන් වැනසීම සඳහා අණ දීමය. යුද්ධයකදී සතුරන් විනාශ කරනුයේ නඩු අසා නොවේ. එහෙත් යුද්ධයකදී කටයුතු කරනවාට වඩා සහමුලින්ම වෙනස් ආකාරයට සමාන්‍ය තත්ත්වයකදී පාලකයාට මිනිස් ජීවිත සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදුවේ. අප ජීවත් වන්නේ පූර්ව ප්‍රජාතන්ත්‍රවාදී අවධියක නොවන බව අප විසින් තේරුම්ගත යුතුව තිබේ. දණ්ඩනය ක්‍රියාත්මක කිරීම උපරිම කාර්යක්‍ෂමභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙකුගේ වගකීම වුවද, යුක්තිය පසිඳලන ක්‍රියාමාර්ගයකදී වුවද පුද්ගලයෙකුගේ ජීවිතයට ඇති අයිතිය නැතිකර දැමීම සඳහා පාලකයෙකුට අයිතියක් නොමැති බව ශිෂ්ටසම්පන්න ලෝකයේ පිළිගැනීමය. එසේම මරණ දඬුවම ක්‍රියාත්මක වන සමාජවල අපරාධ අඩුවී තිබෙන බවට මේ වනතුරු කිසිවෙකු ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් කර නොමැත.
කරුණු මෙසේ තිබියදී වසර හතළිහකට පමණ පසු නවතා දමා තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය බරපතළ ශිෂ්ටාචාර හානියක් සිදුකරන්නක් බව මෙහිලා සඳහන් කරමි. එසේම එය ක්‍රියාත්මක කරවන්නාගේ ජීවිතයද අවමානුෂිකකරණය කරන්නා වූ ක්‍රියාවකි. මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නැවත සිතා බලනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.