මරණ දණ්ඩනය යනු රාජ්‍යයක් විසින් කිසියම් අපරාධකරුවෙකු මරා දැමීමයි. එනම්, අපරාධකරුවාට කළ අපරාධයට ප්‍රතිවිපාක වශයෙන් ලබාදෙන දඬුවමයි. සාමාන්‍යයෙන් ලෝකයේ වැඩි වශයෙන්ම මරණ දණ්ඩනය දෙනු ලබන්නේ මිනී මැරුම්, රාජ ද්‍රෝහීත්වය, යුද අපරාධ, රාජ්‍යයක ඔත්තු බැලීම, මානව වර්ගයට එරෙහි අපරාධ, සමූහ ඝාතන ආදියටයි.
ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම මරණ දණ්ඩනය පැවති බවට සාක්ෂි තිබේ. එසේම, ලියැවී ඇති ඉතිහාසයටත් පෙර සිට ගෝත්‍රික සමාජවල මරණ දණ්ඩනය පැවති බව මානව විද්‍යාඥයෝ පිළිගනිති. ලෙයට ලෙයින් පළිගැනීම ම්ලේච්ඡ සමාජවල දක්නට ලැබුණු ලක්ෂණයකි. ඇතැම් යුගවලදී ඉතා ක_ර ක්‍රම මරණ දණ්ඩනය ලබාදීම සඳහා භාවිත වී ඇති අතර, 19 වැනි සියවස පමණ වන විට මරණ දණ්ඩනය සම්බන්ධයෙන් විශේෂිත වූ කථිකාවක් ආරම්භ විය.
මධ්‍යතන යුරෝපය තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීමේදී සදාචාරාත්මක වශයෙන් ඇති වන භීතීන් (moral panic) හේතුකොට ගෙනද මරණ දණ්ඩනය ක්‍රියාත්මක වී තිබේ. මායාකාරී බලය ඇතැයි සිතෙන කාන්තාවන් ඝාතනය කිරීම ඉන් එකකි. යුරෝපයේ පමණක් නොව පසුව උතුරු ඇමරිකා මහද්වීපයටද එය ව්‍යාප්ත විය. 15 වැනි සහ 18 වැනි සියවස් අතර ලක්ෂ සංඛ්‍යාත ස්ත්‍රීහු පිරිසක් යුරෝපය තුළ මෙම අභූත චෝදනාව යටතේ මරා දමනු ලැබූහ.
නව පන්නයේ බන්ධනාගාර ක්‍රම ඇති වීමත් සමග මරණ දණ්ඩනය සම්බන්ධයෙන් නව කථිකාවක් යුරෝපය තුළ ඇති වූ අතර, රාජ්‍යයක් විසින් වරදකරුවෙකු මරා දැමීම යුක්ති සහගත නොවන බව දක්වමින් යුරෝපයේ බොහෝ රටවල මරණ දණ්ඩනය පසුගිය සියවස වන විට ඉවත් කරගෙන තිබිණ. චාර්ල්ස් ඩිකන්ස්, කාර්ල් මාක්ස් වැනි අය පෙන්වා දුන් කරුණක් වූයේ මරණ දණ්ඩනය පවතින යුගවලදී භීෂණකාරී ක්‍රියාවල අඩුවක් නොව වැඩිවීමක් සිදුවන බවයි.
මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ගේ අදහස වන්නේ මරණ දණ්ඩනය යනු මානව හිමිකම් බරපතළ ලෙසම උල්ලංඝනය වන අවස්ථාව (worst violation of human rights) බවයි. එනම් ජීවත් වීමට තිබෙන අයිතිය උල්ලංඝනය කිරීමයි. කිසියම් අපරාධකරුවෙකුට දැඩි දඬුවමක් ලබාදීමට අවශ්‍ය නම් එය මානසික හිංසනයක් ලෙස ලබා දිය යුතු බවටද ඇතැම් මානව හිමිකම ක්‍රියාකාරිකයෝ යෝජනා කරති.
අපරාධකරුවෝ තමන් කරන අපරාධය තුළින් මානසික තෘප්තියක් ලබති. ඇතැම් විට එම තෘප්තිය අනුන් පෙළීමෙන් ලබන පරපීඩක කාමයක් විය හැකි අතර, ඇතැම් විට එය තමන් පෙළීමෙන් ලබන ස්වපීඩක කාමයක් විය හැකිය. විශ්ලේෂකයන්ගේ අදහසක් නම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන සමාජවලදීද මිනිසුන් තමන්ගේ ජීවිතයට වඩා අපරාධයක් කිරීම තුළින් ලබන සතුටට මුල් තැන දෙන බව පෙනී ගොස් ඇති බවයි. එනයින්, මනෝවිද්‍යාත්මක ලෙස බැලූ විට මරණ දණ්ඩනය ලබාදීමම ඔවුන්ගේ සතුට තවත් වර්ධනය කිරීමට හේතු වනු ඇත. ඒ සමාජයේ තහංචි කැඩීම කෙරෙහි මිනිසුන් කෙරෙහි පවතින නිසඟ ආශාව නිසයි. මේ අනුව, මරණ දණ්ඩනය යනු කිසියම් සමාජයක අපරාධ අඩු කිරීමට මාදිලියක් යැයි සිතන්නේ නම් එය පැහැදිලි ලෙසම අසත්‍යයක් වනු ඇත.