මම මේ ලෝකෙට අක්කර 2000ක ඔක්සිජන් ගබඩාවක් ආරක්ෂා කරල දීල තියනවා


වසර 1991දී ආරම්භ කරන ලද ජාතික නාමල් උයනට මේ වන විට වසර 30ක් සම්පූර්ණ වී තිබේ. මේ කාලය තුළ සුවිශාල භූමි ප්‍රදේශයක පැතිරුණු වනාන්තර භූමියක් සංරක්ෂණය කිරීමට කැප වූයේ ජාතික නාමල් උයනේ වනවාසී රාහුල හිමියන්ය. නාමල් උයනේ 30වැනි සංවත්සරය සම්බන්ධයෙන් උන්වහස්සේ දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

අහස උසට චෛත්‍ය හදලා නැහැ

1991දී ජාතික නාමල් උයන ආරම්භ කළා. මේ වනවිට ඊට වසර 30ක්. මේ වසර 30 තුළ මම අහස උසට චෛත්‍ය, පිළිම හදල නෑ. මම පෞද්ගලිකවම ඒකට එකඟ නෑ. නමුත් මම මේ ලෝකෙට, මේ රටට උතුම් වූ ශුද්ධ වූ පරිසරයක්, අක්කර 2000ක් පමණ වූ ඔක්සිජන් ගබඩාවක් ආරක්ෂා කරල දීල තියෙනවා.

ඒ වගේම අනාගත දරු පරපුරට මේ අගනා භූමිය දැකල, බලල, විඳල යන්න පුළුවන් විදිහට අවශ්‍ය පරිසරයක් මම හදල, ඉතිරිකරල දීල තියනවා. අනිත් එක ලෝකයේ භෞතික අභෞතික සම්පත් ඇතිවෙලා යනවා, නැතිවෙලා යනවා. ඒක තමයි යථාර්ථය, ලෝක ස්වභාවය. මේ සියලු දේවල් එහෙම තමයි. ඉතිං අපි ඒක තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. ස්වභාවධර්මය නමැති අම්මා තමයි අපි වදාපු අම්මටත් වැඩිය අපේ ජීවිතයේ වටිනාම වස්තුව කියන එකයි මම පෞද්ගලිකව දරන මතය. මොකද අපි හුස්ම ගන්න පුංචි හුස්ම පොද නැති උනොත් අපේ ජීවිත ඔක්කොම ඉවරයි. කියුම්කෙරුම් අවසානයි. හුස්ම පොද ඉහළට පහළට ගන්න වාරයක් පාසා සොබාදහම නම් අම්මා, එහෙමත් නැතිනම් මේ පරිසරය තමයි ඒකට පිහිට වෙන්නේ. ඉතිං ඒක නිසා මම වදාපු අම්මටත් වඩා සොබාදහම නමැති අම්මා ගැන තමයි විශ්වාසයක් හා ගෞරවයක් තියෙන්නේ. අපි ස්වභාවධර්මයේ නිර්මාණ. මේ යථාර්ථය තේරුම් අරගෙන අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා තමයි මේ වසර 30 මම ගත කළේ. ආපහු හැරිල බලනකොට  මම මේ වගකීම හරි හැටි කළානේ කියල නිහතමානී සතුටක් මට දැනෙනවා.

දෙවැනි ජාතික උරුම වනාන්තරය

ජාතික නාමල් උයන, එහෙමත් නැතිනම් මේ සුවිසල් නා වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් හැටියට ගැසට් කරලයි තියෙන්නේ. වර්තමානයේ රට පුරා සිදුවන කැලෑ කැපීමත් එක්ක මෙවන් රක්ෂිත වනාන්තරත් හානි වෙමින් තියෙනවා. ඒ නිසා 30වැනි සංවත්සරයේදී මම බලාපොරොත්තු වන්නේ ජාතික උරුම වනභූමි පනත ප්‍රකාරව ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික උරුම වනාන්තරය බවට නාමල් උයන ප්‍රකාශයට පත්කරවා ගැනීමටයි. මානව අයිතීන් ගැන අද ලෝකයේ මිනිස්සු අපට උගන්වන්න ආවට, ඉස්සර අපේ මිනිස්සු තමයි ලෝකෙට මානව අයිතිවාසිකම් ගැන උගන්වලා තියෙන්නේ. ලෝකයේ පළමු අභයභූමිය හමුවන්නෙත් ඉතිං අපේ රටෙන්නේ.

ඒ වගේම රෝස තිරිවානා නිධියක් එක තැනක කන්දක් හැටියට ලංකාවටම තියෙන්නෙත් මෙතන විතරයි. ඒකෙ පෞරාණික වටිනාකමත් එක්ක ඒකත් ජාතික සම්පතක් හැටියට ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. ඒ වගේම නාමල් උයනේ ජෛව විවිධත්වය මිල කළ නොහැකි මට්ටමක තියෙන්නේ. ඒ නිසා නාමල් උයන ජාතික උරුමයක් කරන්න පුළුවන් සියලු සුදුසුකම් සපුරා තියනවා. 30වැනි සංවත්සරයට සමගාමීව ඒ කටයුතු සිදුකෙරෙනවා. ඒ වගේම 28 වැනිදාට යෙදෙන ජාතික නාමල් උයන දිනය වෙනුවෙන් සෑම රාජ්‍ය ආයතනයකම පැළයක් රෝපණය කරන්න පරිපාලන අමාත්‍යාංශය හරහා කටයුතු කරල තියනවා.

නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර කිරීම

මිනිස්සුන්ගේ කාය ශක්තිය, ඥාන ශක්තිය හැමදාම තියෙන්නේ නෑනෙ. මේවා වයසට යනවා. ඒ නිසා මම කල්පනා කළා මගෙන් පස්සෙ මෙතන හරිහැටියට දෙයක් නොකර තිබුණොත්, මේ රටේ ජනතාවට සහ සොබාදහමට මම කරන ද්‍රෝහීකමක් කියලා. ඒ නිසා මම තීරණය කළා අරමුදලට භාරදීලා ස්ථාවරත්වයක් හදන්න. ජාතික උරුමයක් කරලා දුන්නොත් මගේ සියලු බලාපොරොත්තු ඉටු වෙනවා, මට ඒ ඇති. මේ වන විට සංස්කෘතික අරමුදලෙන් නාමල් උයනේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදුකරනවා. ගිවිසුමක් මගින් මගේ භාරයේ තිබුණු සියලු චංචල, නිශ්චල දේපළ නීත්‍යානුකූලව අරමුදලට පවරා දුන්නා. මම වස්තු තණ්හාකාරයෙක් නෙමේ. මම හිතන්නෙ නෑ මේ වගේ සල්ලි උල්පතක් කිසිවකු විසින්, කිසිම භික්ෂුවක විසින් රජයට පවරා දෙයි කියල. නමුත්, බුදුදහමේ තියෙන තණ්හාව මම දුරු කළා. අත්හැරීම මම ප්‍රගුණ කළා. ඒකයි එහෙම සිදු උනේ.

මේ වනාන්තරේ අයිතිකරු මම නෙමේ. මම මේකෙ මුරකරුවෙක් විතරයි. මේක මට අයිති දෙයක් නෙමෙයි. මම මෙතන ඉන්නෙ මැරෙනකන් විතරයි. ඒ නිසා ශිෂ්‍ය පරපුරක්, භික්ෂු පරපුරක් නාමල් උයනේ ස්ථාපිත කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙම වෙන්නෙත් නෑ. මගෙන් පස්සෙ මේකෙ භික්ෂු භාරකාරත්වය ඉවරයි. කොයි ආණ්ඩුවත්  හොරකම් කරන එක ඇත්ත. ඒත් ඉතින් රජයනේ. මම භාරදුන්නෙ රජයට. 

සොබාදහම කියන්නෙත් බෞද්ධ දර්ශනයම තමයි

මේවා සිදුවන්නේ දේශපාලන හෙංචයියන් නිසා. සමහරවිට මේ විනාශයන්ට මැදිහත් වෙන්නේ බලය ගත්ත අවස්ථාවාදීන්. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ළඟ ත්‍රස්තවාදයත් තියෙනවා. මේ විනාශවලට රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය, රැකවරණය ලැබෙනවා. ඕකයි ඇත්ත. නිලධාරීන් කෙලින් වැඩ කරනවා නම් මේ විනාශය අඩුයි. රටක් සංවර්ධනය වෙන්න ඕනෙ තමයි. පරිසරය හානි කරමින් දිගින් දිගටම කරන සංවර්ධනයට දිගටම යන්න බෑ. පරිසරය නැතිදාට ඔක්කොම ඉවරයි. ඒ ගැන හැමෝම දැනගත යුතුයි. අනික ඉපදිලා ඉන්න මිනිස්සුයි, උපදින්න ඉන්න මිනිස්සුයි ණයකාරයෝ කරලා තමයි රට සංවර්ධනය කරනවා කියල කියන්නේ. ඒක එහෙම වෙන්න බෑ. රටකට ඔරොත්තු දෙන සංවර්ධන ව්‍යාපෘති ඕනෙ කරන්න. ඒක රාජ්‍ය පාලකයන්ගේ සහ නිලධාරීන්ගේ වගකීම. අනික කවුරු බලයට ආවත්, කාටවත් අයිතියක් නෑ රට බදු දෙන්න. රට විකුණන්න. එයාල මුරකාරයො විතරයි. හරියට මම නාමල් උයන රකිනවා වගේ. කිසිම දේශපාලඥයෙකුට හරි කළමනාකරණයක් සහ දැක්මක් නැහැ. තමන්ගේ බඩ වඩාගන්නයි හැමෝම කටයුතු කරන්නේ. මෙහෙම ගියොත්  රට කාන්තාරයක් බවට පත්වෙනවා අනිවාර්යයි. පරිසරය නොරැක්කොත් පැවැත්මක් නෑ. ඒක කවුරු කවුරුත් දැනගන්න ඕනෙ.

රටේ භූමි පරිහරණ සැලැස්මක් හදන්න ඕනෙ. ගමටත් තට්ටු නිවාස ක්‍රමය ගෙනෙන්න ඕනෙ. පරිසරයට, ගහට කොළට වැඩිපුර ඉඩක් දෙන්න අනාගත සැලසුම් සකස් වෙන්න ඕනෙ.

මා නියෝජනය කරන්නේ බුදුන් වහන්සේ සහ සත්‍ය වූ බෞද්ධ දර්ශනය. පරිසරය කියන්නෙත්, සොබාදහම කියන්නෙත් බෞද්ධ දර්ශනයම තමයි. දැන් රටේ කතා කරන්නේ, ක්‍රියාකරන්නේ සත්‍ය වූ බෞද්ධ දර්ශනය නෙමෙයිනේ. බුදුන් වහන්සේ දුෂ්කරතා විඳ සොයාගත් ඒ බෞද්ධ ගමන් මග අනුව කල්පනා කරල බලනකොට අද මේ ධර්මය වෙළෙඳාමක් නැතිනම් මාර්කටිං වෙලා තියෙන්නේ. ආගම දහම වෙනුවෙන් මට ලොකු දෙයක් කරන්න බැරි උනාට, බුදුදහම අනුව අල්පේච්ච ජීවිතයක් ගතකරන හැටි, අත්හැරීම කියන එක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද, පරිසරයට, සතා සිවුපාවට ආදරය කරමින් ගහ කොළ රැකගන්නේ කොහොමද කියන එක ගැන මම ලෝකෙට කියල දුන්නා. ඒක තමයි මගේ ජනප්‍රියතාවයට මුල. ඒ වගේම අවංකකම, ඍජු බව, නායකත්වය, දේශපාලකයන්ගෙන් වැඩගන්න හැටි මම ලෝකයට කියල දුන්නා. අනික හිතවත්කම, මිත්‍රශීලී බව, ප්‍රසන්න බව, පරිත්‍යාගශීලී බව මේවා බෞද්ධ භික්ෂුවක් ළඟ තියෙන්න ඕන ලක්ෂණ. මට මේ සියල්ල ඇති. ඒ නිසයි මට හැමදෙනාම ආදරය කරන්නේ. මට බැන්නත් මගේ වැඩේ මම කරගෙන යනවා.

 



Recommended Articles