යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමති ලෙස විශාල චෝදනා ප්‍රමාණයකට ලක්ව එම ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පසුගිය ජනපතිවරණයේදී එවක අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්විය. දේශපාලනය ප්‍රතික්ෂේප කළ විජයදාස රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට යළිත් වරක් ඉදිරිපත්ව තිබේ. මේ තම තීරණය වෙනස් කිරීම පිළිබඳව මෙන්ම පසුගිය මෙන්ම ඉදිරි දේශපාලනය ගැන ඔහු සමග කළ සංවාදයකි.
ඔබ කලාකරුවෙක්, ජනාධිපති නීතිඥවරයෙක් හා දේශපාලකයෙක් යන භූමිකාවලින් වඩාත්ම කැමති කුමන භූමිකාවටද?
මම මේ හැම භූමිකාවටම කැමතියි. ජනාධිපති නීතිඥවරයෙක් ලෙස යුක්තිය, අයුක්තිය බේරගෙන සාධාරණ ලෙස සේවයක් කරන්න පුළුවන්. කතුවරයෙක් වුණාම අපේ දැනුම බෙදා දෙන්න පුළුවන්. කලාව පෝෂණය කළ මනුස්සයගේ මානව ගුණාංග වර්ධනය වෙනවා. දේශපාලකයෙක් ලෙස ගත්තාම අද වගේ කාලයක අපේකම, අපේ සම්පත් විකුණන යුගයක ඒවා නතර කරන්න, රණවිරුවන්ව දංගෙඩියට ගෙන යන්න සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රට අසම්මත කිරීමට කටයුතු කරන නායකයන් ඒවායින් අයින් කරන්න පුළුවන්. මේ එකක්වත් එකිනෙකට දෙවෙනි වෙන්නේ නෑ.
අවුරුදු 5ක් ඇතුළත පැවැති ජනපතිවරණ දෙකකදී ඔබ කඳවුරු දෙකක් නියෝජනය කළා. ඇයි ඔබ එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තේ?
ඔය හැම වෙනස්කමක්ම ගත්තම මම වෙනස් වුණා කියලා පෙනුණට මම හිටියෙ මගේ ස්ථාවරයේ. අපි හදන ආණ්ඩු, අපි හදන නායකයෝ පීලි මාරු කරන එක තමයි මෙතන ප්‍රශ්නය වුණේ.
ජනතාව මේක දකින්නේ වෙන දෘෂ්ටිකෝණයකින්. අපේ රටේ ජනතාව හුරුවෙලා තියෙන්නේ පාට පාට කන්නාඩිවලින් බලන්න. මම මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙත් හිටියා. මම කිව්වා දූෂිතයෝ, වංචනිකයෝ ගන්න එපා කියලා. ඇතැම් අය මම අධිකරණයේ නඩු කියලා එළියට දාපු අය. ඇතැම් අය කෝප් වාර්තාවෙන් කෝටි 30,000ක දූෂණයන්ට වගකියන්න ඕන අය.
අපි හදපු ආණ්ඩුවේ දෙවැනි සතියේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ගැටුණා. මහ බැංකුවට හොරෙක් දානකොට මම විරුද්ධ වුණා. රට ජිනීවාවලට පාවා දෙනකොට මම විරුද්ධ වුණා. අපේ සම්පත් විකුණනකොට, ඉඩම් මංකොල්ල කනකොට මම විරුද්ධ වුණා. සමලිංගික නීති අණපනත් ගේන්න හදනකොට මම ඒවා නැවැත්තුවා.
මුළු කැබිනට් එකේ 46ක්ම ඕන කියනකොට මම තනියම ඒවා නතර කළා. ඇමති මණ්ඩලයේ ඉන්නකොට නැති කරන්න බැරි දේවල් මම උසාවියට ගිහින් නතර කර ගත්තා. ගෙනාපු ව්‍යවසනකාරී පනත් ටික නතර කර ගත්තේ නැත්නම් අපිට රටක් නෑ.
ලංකාවේ දේශපාලනය වරප්‍රසාද ඇති කුලකයට පමණක් සීමා වෙලා තියෙන්නේ ඇයි?
මම මේකට මෙහෙම අර්ථ නිරූපණයක් දෙන්නම්. අපේ රටේ දේශපාලකයන් වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි තමන් හැදෙන්න දේශපාලනයට එනවා. උසස් පෙළ, සාමාන්‍ය පෙළ නෙමෙයි මේ අය දෙක පාස් නැති වුණත් කමක් නෑ.
දෙවැනි අය රට හදන්න දේශපාලනයට එන අය. මේ අයට තමයි අමාරුම කාර්ය තියෙන්නෙ. බහුතරයක් දූෂිත වෙලා සුළුතරයක් ඒක සුද්ද කරන්න යනවා කියන්නෙ ඒක මහ විශාල යුද්ධයක්.
එදා මහා ධනපතියෝ දේශපාලයට ඇවිත් හිඟන්නෝ වගේ මැරුණා. අද හිඟන්නෝ දේශපාලනයට ඇවිත් මහා ධනපතියෝ වගේ මැරෙනවා.
සමහර අය කතිරය ගහනවා රට බේරගන්න. සමහර අය කතිරය ගහනවා තමන්ගේ මිනී වළ කපා ගන්න. ඡන්දදායකයන්ට මේ ගැන හරි අවබෝධයක් එනකම් රට හදන්න අමාරුයි.
ඉතින් පක්ෂවල නායකයොම නේද මේ අය තමන්ගේ ලැයිස්තුවට දාන්නේ?
පක්ෂ නායකයෝ තමයි මේවට වග කියන්න ඕන. ජනතාව ගැන ලොකු සතුටක් තියෙනවා. පසුගිය ජනපතිවරණයේදී දේශපාලකයන්ට වඩා ගොඩක් ඉස්සරහට ජනතාව ගියා. මෙහිදී දේශපාලන නායකයන්ට ජනතාව අවස්ථාව දුන්නෙ නෑ තමන්ගේ අපේක්ෂකයා තෝරන්න. මිනිස්සු පාරට බැහැලා කිව්වා අපිට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඕන කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයත් කිව්වෙ මම තේරුවෙ නෑ ඔයගොල්ලේ තේරුව නිසා මම දුන්නා කියලා. අන්න ඒ බුද්ධි මට්ටමට ජනතාව ළං වෙලා. එය අනිත් මැතිවරණවලදීත් අනුගමනය කළොත් එය රට බේරා ගැනීමට දෙන දායකත්වයක්.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පුරෝගාමියෙක් වන ඔබ අද නියෝජනය කරන්නේ 19 වැනි සංශෝධනයට විරුද්ධ කණ්ඩායමක්?
19 වැනි සංශෝධනයේ පුරෝගාමියා මම නෙමෙයි. 19 වැනි සංශෝධනයේ විශාල ප්‍රමාණයක් කපා හැරීමේ පුරෝගාමියා මම. රටේ වැරදි වැටහීමක් තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය මට තිබුණා කියලා. ඒක මගෙන් මංකොල්ල කෑවා. ඇමති මණ්ඩලය ගැසට් කරනකොට රටේ නීතිය බරපතළ ලෙස උල්ලංඝනය වුණා. එකක් තමයි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් කර ගත්තා. මහ බැංකු පනත අනුව එය මුදල් ඇමතිට අයිතියි.
අධිකරණ විෂයට ව්‍යවස්ථා සම්පාදනය විෂය අයිතියි. ඒකට නීතියක් නෑ. ඒක තමයි ලෝක සම්ප්‍රදාය. ඒකත් අගමැති ගත්තා. එතුමා හදපු 19 සම්මත කළා නම් අද අපිට රටක් නෑ. එයින් සියයට 80ක් විතර කප්පාදු කරලා ගත්ත නිසා 19ට වෙන්න ගිය හානිය අවම වුණා.
ස්වාධීන කොමිෂන් සභා හා ජනපතිගේ ධුර කාලය ගැන ඔබගේ අදහස කුමක්ද?
ජනපතිගේ ධුර කාලය දෙපාරකට සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යහපත් ලක්ෂණයක්. වරද්දගත්ත තැන් තිබෙනවා. සමහර කොමිෂන් සභාවලට කොමසාරිස්වරුන් පත්කරන්න තීරණය කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. කොමිෂන් ස්වාධීන නම් ස්වාධීන මිනිස්සු පත්කරන්න ඕන. ස්වාධීන මිනිස්සු තෝරන ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන වෙන්න ඕන. හැබැයි ඒක අන්ත දූෂිත දේශපාලනීකරණයට ලක්වුණ සභාවක්. ඒ අය පත්කරන්නේ තම තමන්ගේ න්‍යායපත්‍රය ගෙනි යන්න පුළුවන් සාමාජිකයෙක්.
මම ආණ්ඩුව නියෝජනය කරපු ව්‍යවස්ථාදයක සභාවේ සාමාජිකයා. මටත් ඇතැම් ඒවා නවත්වන්න බැරිවුණා. පොලිස්පතිවරයා පත්කිරීමේදී වැරදි තීරණයක් ගත්තා. මම තනියම සටනක් කරලා මට විශාල ප්‍රහාරයක් ඇතිවුණා. අපේ රටේ අවංක, ගෞරවයට පාත්‍ර වුණ විනිසුරුවරුන්/වරියන් රාශියකින් පලි ගත්තා.
උදාහරණයක් වශයෙන් මම කියන්නම්. ෆොන්සේකාට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නා කියලා දීපානි විජේසුන්දර මැතිණියගේ නම යවන යවන හැම වතාවෙම ව්‍යවස්ථාදායක සභාවෙන් කැපුවා. එතුමිය නඩු තීන්දු දෙන්න නෙමෙයිද විනිසුරු පුටුවේ ඉන්නේ.
අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ගැන අපිට ප්‍රශ්නයක් නෑ. 19 තිබුණත් නැතත් ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වුණා. මැතිවරණ කොමිසම බලන්න, මැතිවරණ කොමිසම හදපු දවසේ ඉදලා වෙලාවට ඡන්දෙ තිබ්බේ ජනපතිවරණය විතරයි. ඊට කලින් හැම ඡන්දයක්ම වෙලාවට තිබුණා.
ඒකටම අපි තඩි බාන්නත් හොඳ නෑ. මේක ඒ අයගේ වරදින්ම වෙච්ච දෙයක් නෙවෙයි. අපේ රටේ සම්පූර්ණ නීති විකෘති කළා. ආණ්ඩුවට මැතිවරණ පනතක් හදාගන්න තේරෙන්නෙ නෑ. පළාත් පාලන මැතිවරණ පනතක් හදලා පළාත් පාලන ආයතන ටික විනාශ කළා.
මම මේ ටික හරියට හැදුවා. අගමැති ඒක විනශා කළා. කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා උල්ලංඝනය කරමින් ජාතිවාදී පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ කියන ඒවා ඇතුළට රිංගවලා ඒක නීතියක් නෙමෙයි නීති අච්චාරුවක් කළා.
ඔබ අධිකරණ ඇමති කාලයේදී රාජපක්ෂවරුන් ආරක්ෂා කළා කියලා ඔබට චෝදනාවක් එල්ල වෙනවා?
මම අධිකරණ ඇමති ලෙස ඉන්න කාලේ මට රාජපක්ෂලාද, වික්‍රමසිංහලාද කියලා අදාළ වුණේ නෑ. වෙන්න යන්න ගිය දේශපාලන පළිගැනීම් ඔක්කොම නවත්වන්න බැරිවුණා. බහුතරයක් නවත්වා ගත්තා.
අධිකරණ ඇමති ලෙස මම නෙමෙයි පොලීසිය හැසිරෙව්වේ. මම නෙමෙයි තීන්දු කරන්නේ කවුද අත්අඩංගුවට ගන්නේ කියලා. මට අධිකරණ ඇමති තනතුර දරද්දී වැරදි නොකර මිනිස්සු හිර ගෙවල්වලට දාන්න බෑ.
විශේෂයෙන්ම රාජිතගේ, චම්පිකගේ, ෆොන්සේකාගේ, අනුර කුමාරගේ පෞද්ගලික වෛරය රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම. මේකට අපේ අධිකරණ ක්‍රමය අයුතු ලෙස යොදාගන්න දෙන්න බෑ. මේ ආණ්ඩුවේ මම හිටියත් දේශපාලන පළිගැනීම් කරනවා නම්, විරුද්ධවාදීන් මර්දනය කරනවා නම් ඒක මම ජනතාවට කියන්න ඕන. මගේ බැඳීම තියෙන්නේ ජනතාවත් එක්ක.
ලංකාවේ පළමු වතාවට මට තමයි බරපතළම චෝදනාව ආවේ තමන්ගේ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා අපි කියන ලෙස නීතිය නමන්නේ නැති නිසා අධිකරණ ඇමතිගෙන් වැඩක් නෑ කියලා. නීතිය යුක්තිය ඉෂ්ට කිරීම වරදක් කියලා චෝදනා ලබපු පළමු අධිකරණ ඇමති මම.
ඔබ කිව්වා ඇතැම් දේශපාලන පළිගැනීම් නැවැත්තුවා, ඇතැම් ඒවා නවත්වන්න බැරිවුණා කියලා. නවත්වන්න බැරිවුණ දේශපාලන පළිගැනීම් මොනවාද?
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නකොට පොලීසිය කිව්වා මේකට සාක්ෂි නෑ කියලා. පොලිසීයේ උසස් නිලධාරීන් හිටියා. එක පැත්තක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න. මෙගා පොලිස් ඇමති පාඨලී එයා හිතුවද දන්නෙ නෑ මෙගා පොලිස් නිසා පොලීසියත් එයාගේ කියලා. ඊට පස්සේ මහාචාර්ය සරත් විජේසූරිය, ජේ.සී. වැලිඅමුණ, සමන් රත්නප්‍රිය මේ අය පොලිස්පතිට කිව්වා නිදහස් දිනයට පෙර යෝෂිත අත්අඩංගුවට ගන්න කියලා.
මේක කිව්වේ 2016 ජනවාරි 29 වැනිදා. පහුවදා ගන්නවා. එතන ජනාධිපති, අගමැති හිටියා. මම කිව්වා යෝෂිත වරදක් කරල නම් නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒක දේශපාලනඥයන්ටයි, මහාචාර්යවරුන්ට, සංගම් නියෝජිතයන්ට නියෝග දෙන්න මටත්, ජනපතිටත්, අගමැතිටත් බලයක් නෑ කියලා. ඒක පොලිසීය සාධාරණ පරීක්ෂණයක් කරලා නීතිපතිගේ උපදෙස් අනුව කළයුතු දෙයක්. අඩු ගානේ ඒකවත් කළේ නෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්න යන අවස්ථාවේ මම ඒක නැවැත්තුවා. ඒ වෙලාවේ මම ජනපති අගමැති පැහැදිලි කරලා ඔවුන්ව එකඟ කර ගත්තා නීතිපතිටත්, සොලිසිටර් ජනරාල්ටත් හොරා පහළ නිලධාරියෙක්ගේ අත්සන ගහලා අත්අඩංගුවට යන්න හදනවා කියලා.
මම අධිකරණ ඇමති ලෙස පඹයෙක්ද? මම පඹයෙක් වෙලා නෑ කිසිම ආණ්ඩුවක. මම ඔතන ඩීල් එකක් තියෙනවා කිව්වා. දැන් තේරෙනවානේ ඩීල් එක මොකක්ද කියලා. 2020 මෙතුමා (ගෝඨාභය රාජපක්ෂ) බලයට එයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
ඔබට තිබෙන තවත් බරපතළ චෝදනාවක් තමයි ඇවන්ට්ගාඩ් සමාගම ආරක්ෂා කියන එක?
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගන්න ගියේ. ඒ ගැන මේ වන විට ජනපති කොමිෂන් සභාවේ හෙළිවෙලා තිබෙනවා. මමත් සාක්ෂි දුන්නා. මට ඉදිරිපත් කළ ලේඛනවලින් පෙන්නලා තිබුණා ඇවන්ට්ගාඩ් සමාගමෙන් රාජිත ලක්ෂ 200ක් කප්පම් අරගෙන තිබුණා. පගා නෙවෙයි.
ෆොන්සේකා ලක්ෂ 350ක් කප්පම් අරගෙන තිබෙනවා. පාඨලී ලක්ෂ 35ක් කප්පම් අරගෙන තිබෙනවා. ඒවට සාක්ෂි අල්ලස් කොමිසමේ තියෙනවා. ඒ සාක්ෂි මම දැක්කා. ඒ අයට දුන්න කප්පම් මදි නිසා තව කප්පම් ඉල්ලලා තමයි මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නේ.
දූෂණ විරෝධී කණ්ඩායම මට කරපු බලපෑම තමයි ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට මේ තියෙන රන්මය අවස්ථාව පැහැර හැරියොත් ජීවිතයට එයාව අත්අඩංගුවට ගන්න බැරිවෙනවා. ඒක නිසා ගන්න කිව්වා. මම ඒකට විරුද්ධ වුණා.
ඔබ නැවත වරක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ ඇයි?
මම ක්‍රියාකාරී දේශපාලනයට කැමැත්තක් දක්වපු කෙනෙක් නෙමෙයි. චන්ද්‍රිකා මැතිණිය විශාල වශයෙන් ඉල්ලීම් කරලා තමයි මාව පාර්ලිමේන්තුවට ගෙන ගියේ. මම හතර වතාවක් ඇමතිකම් ප්‍රතික්ෂේප කළා.
2010දී මට යම් යම් අභියෝග තිබුණා. මට ජනපදනමක් නෑ කිව්වා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලපු නිසා මම ඡන්දය ඉල්ලුවා. ජනතාව මට ඡන්දය දුන්නා. දෙවැනි වතාවටත් ඡන්දය දුන්නා.
මම ගොඩක් පීඩාවට ලක්වුණ කෙනෙක්. වෙහෙසකර වෙලා දේශපාලනයෙන් ඉවත් වුණ කෙනෙක්. ලෝකයෙන් අපේ රට ගිලගන්න බලාගෙන ඉන්න මොහොතක මම තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණේ නැත්නම් අපේ රටට මහ විපතක් වනවා කියලා. ඒ නිසා මම තීරණය කළා එතුමාට සහාය දෙන්න.
මම දැඩි ලෙස නීතිඥ වෘත්තියේ පූර්ණකාලීනව කටයුතු කරන්න හැදුවා. නමුත් මැතිවරණය කිට්ටු වුණාම ජනතාවගෙන් විශාල වශයෙන් බලපෑම් ආවා. අවසාන වශයෙන් ජනපතිතුමත්, අගමැතිතුමත් ආරාධනා කළා. ඒ නිසා මම නැවතත් හිත හදාගත්තා.
එතුමන්ලා දීපු ජාතික ලැයිස්තුව මම ප්‍රතික්ෂේප කළා. ඒකට තියෙන පින් මන්ත්‍රී, පින් ඇමති කියන නමත් එක්ක මම ඒක එපා කිව්වා. ජනතාව කැමති නම් මම දේශපාලනයේ ඉන්නවා. මාව ප්‍රතික්ෂේප කරනවා නම් මම වෙනදට වැඩිය සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
මෙවර මැතිවරණයට ඔබ ඉදිරිපත් වන්නේ කුමන ප්‍රතිපත්ති සමගද?
මට අලුත් ප්‍රතිපත්තියක් නෑ. මම දූෂණයට, හොරකමට, ජාතිවාදයට, ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරපු කෙනෙක්. රටේ යහපත් පාලනයක් ඇතිකරන්න සටන් කරපු කෙනෙක්. මගේ පක්ෂයේ නායකයා වුණත් හොරා නම් හොරා කියලා කතා කරපු කෙනෙක්.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගේ ප්‍රතිපත්ති සමග සමපාතයි. ඔහුත් සමග රට කරන්න තිබුණොත් මම කරනවා. නොදුන්නයි කියලා මම කා සමගවත් අමනාප වෙන්නේ නෑ.
පෝස්ටර් කටවුට් නැති මැතිවරණ ව්‍යාපාරයක් ගැන කතා කරනවා. මේ ගැන ඔබේ අදහස් කුමක්ද?
මම ඉතාමත්ම කැමතියි. මොකද ඉතාමත්ම හොඳ ප්‍රතිපත්තියක්. මැතිවරණ ව්‍යාපාරයට විශාල වශයෙන් වියදම් කරගෙන පෝස්ටර් ගහන එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. හැබැයි මේ තියෙන ඡන්ද ක්‍රමය හරි එකක් කියලා මම පිළිගන්නේ නෑ. මම 20 වැනි සංශෝධනය පසුගිය මැතිවරණයට කලින් හදාගන්න උත්සාහ කළා. ඒක වුණේ නෑ. දැන් තියෙන්නේ සමානුපාතික නියෝජනයක්.
මෙතන කණිෂ්ඨයොත් ජ්‍යෙෂ්ඨයොත් ඉන්නවා. මැතිවරණ පනතෙන් කියනවා මේ මේ ප්‍රමාණයට කාර්යාල දාගන්න කියලා. විජයදාස රාජපක්ෂ කවුද කියලා මුළු රටම දැනගත්තත් වැඩක් නෑ, මිනිස්සු මගේ මනාප අංක දන්නෙ නැත්නම්.
දැන් කොමිසම කියනවා කාර්යාල ඇරගන්න, පෝස්ටර් ගහගන්න හැබැයි අංක දාන්න එපා කියලා. මේක විශාල අසාධාරණයක්. මේකෙන් මැතිවරණ කොමිසම තවදුරටත් මැතිවරණ ක්‍රමය දූෂණය කරනවා. සල්ලි තියෙන අයට, පගා ගහන අයට, කොමිස් කාක්කන්ට මේක හොඳයි. ඒ අය විශාල මුදලක් වියදම් කරලා මනාපෙ කොහොම හරි ගහ ගනියි.
හැබැයි සාමාන්‍ය ලෙස වියදම් කරන කෙනෙකුට, අලුතෙන් ආපු කෙනෙකුට, මට වුණත් මේකට මුහුණ දෙන්න අමාරුයි. මැතිවරණ කොමිසම දූෂණය පෝෂණය කරනවා.
ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන්ද?
ඇත්තටම පුළුවන්.මම උදාහරණයක් එක්කම මේක කියන්නම්. මගේ මහරගම ආසනයේ ගිය වතාවේ එක්සත් ජාතික පක්ෂයට 29,000යි ඡන්දය තිබුණේ. මම ඉන්න කාලේ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 55,000ක් තියාගෙන හිටියේ. මම අනිත් පැත්තට ගියාට පස්සේ චම්පික ඇවිල්ලා ඒක 29,000ට බස්ස ගත්තා.
පසුගිය මාසය ඇතුළත එක්සත් ජාතික පක්ෂයෙන් සියයට 50ක් අවමයෙන් මගෙත් එක්ක ඇවිත් ඉන්නේ. ඉතුරු සියයට 50න් එජාප - සජිත් ගැටුම මත භාගයක් ඡන්දපොළට යන්නේ නෑ. ඊළඟට ඒ අයට තියෙන ඡන්දවලින් සියයට 25යි වැටෙන්නේ. ඒකත් දෙකට බෙදිලා වැටෙන්නේ. ඒ නිසා අපිට තුනෙන් දෙකක් හදා දීමේ මහා ජාතික කාර්යභාරය කරට අරගෙන ඉන්නේ රනිල් මහත්තයි, සජිත් මහත්තයි. ඒ දෙපොළට ස්තූතියි.
MCC ගිවිසුම ගැන ඔබේ අදහස කුමක්ද?
දැඩි ලෙස විරුද්ධයි. ඒක ආවේ අපි හම්බන්තොට දුන්න නිසා. මම හම්බන්තොට අත්සන් කරපු දවසේ කිව්වා ඇමෙරිකාව, ත්‍රිකුණාමලය ඉල්ලනවා නැත්නම් මේක ලේ විලක් කරනවා කියලා. ඒක නිසා ත්‍රිකුණාමලය ඉල්ලුවා. සෝෆා ආවා. එම්.සී.සී. ආවා. ජනතාව පාරට බැස්සා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය දාලා රට ගිනි තියලා රනිල් එක්ක ගිවිසුම අත්සන් කරන්න හිටියේ. හැබැයි කාදිනල් වහන්සේට පින්සිද්ධ වෙන්න ඒක වැළකුණා. කවුරු හරි කියලා තියෙනවද මම මේ කියන එක බොරුවක් කියලා.
පාස්කු ප්‍රහාරය වළක්වන්න බැරිවුණේ ඇයි?
මම මේක කිව්වේ මාස තිහකට කලින්. ත්‍රස්තවාදීන් ආරක්ෂා කළේ ඒ ආණ්ඩුව ඇතුළේ හිටපු දේශපාලනඥයන්. ත්‍රස්තවාදීන් ඇල්ලුවා නම් ජාතිවාදී පක්ෂ දෙක ආණ්ඩුවෙන් යනවා. එතකොට බහුතරය නැති වෙලා රනිල් මහත්තයට අගමැතිකම නැතිව යනවා. එතුමා කල්පනා කළා රටට වෙන හානියට වඩා එතුමට වෙන හානිය බරපතළයි කියලා.
අනිත් කරුණ තමයි පාස්කු ප්‍රහාරය වුණාට පස්සේ මිනිස්සු මරා ගත්තාම ඇඳිරි නීතිය දාලා එම්.සී.සී. අත්සන් කිරීම. මම කියන එක බොරුවක් කියමුකෝ. එතකොට ඉන්දියාව හරියටම කියනවා ගහන තැන දිනත් එක්ක. කෝ පොලිස්පති, කෝ නායකයෝ?
වීඩියෝ තිසර ගංඟාදර