මම දුන් සෑම පොරොන්දුවක්ම ඉදිරි වසර පහ තුළ ඉටුකරනවා - ගෝඨාභය


ඔබ ජනාධිපතිවරණයට තරග කිරීමට සිතුවේ ඇයි?

ඇත්තෙන්ම ඒක මම ගත්ත තීරණයක් නොවේ.  2005-2015 අපේ ආණ්ඩුව පැවැති යුගයේ මම නිරීක්ෂණය කරපු වැදගත්ම කාරණයක් තමයි අපේ රටේ වියතුන් සහ වෘත්තීයවේදීන් දේශපාලනයට සක්‍රියව දායක වන්නේ නෑ කියන එක. ඒ නිසා 2015 නාධිපතිවරණ පරාජයෙන් පස්සෙ අපි වියත් මග සංවිධානය ගොඩනගලා  රටේ ප්‍රශ්න පිළිබඳ විද්වතුන් අතර කතිකාවක් ගොඩනැගුවා. 

එළිය සංවිධානය හරහා දේශපාලකයන්ද මේ කතිකාවතට සම්බන්ධ කර ගත්තා.  ඒ වගේම භික්ෂූන් වහන්සේලා, අනෙකුත් ආගමික පූජකවරුන් සහ ජාතික සංවිධාන සමග මම කතිකාවතක හිටියා. ඔය අතරේ තමයි 19 වැනි සංශෝධනය හරහා මහින්ද ජනාධිපතිතුමාට යළිත් ජනපතිවරණයකට ඉදිරිපත් වීමට නුසුදුස්සෙක් කරන්නේ.  ඊට පස්සේ මේ රටේ මහා සංඝරත්නය, පූජකතුමන්ලා, විද්වතුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, දේශපාලකයන් වගේම සාමාන්‍ය ජනතාවත් මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස දැඩිව ඉල්ලීම් කළා.  මම කළේ ඒ ඉල්ලීමට එකඟ වීම පමණයි.  මේක මගේ තීන්දුවක් නොවේ.  මම කළේ ජනතාවගේ තීන්දුවට හිස නැමීම පමණයි.

ජනාධිපතිවරණ වේදිකාවේ ලිහපු අතිවිශාල පොරොන්දු මල්ල ඉටු කරන්න ඔබට ඇති සැලසුම් මොනවාද?

මම හමුදා නිලධාරියෙකු වශයෙන් වගේම අමාත්‍යාංශ ලේකම් කෙනෙකු ලෙසත් භාර ගත්තු සෑම වගකීමක්ම සාර්ථකව ඉටු කළ කෙනෙක්.  මට භාර දුන්නු පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්නටත් මට හැකි වුණා.  එහෙම කළේ මට සැලසුම් තිබුණු නිසා. මම දුන් සෑම පොරොන්දුවක්ම ඉදිරි වසර පහ තුළ ඉටු කරන බවටත් මම ජනතාවට පොරොන්දු වුණා.  මගේ පොරොන්දු මල්ල විශාලත් නෑ.  කරන්න බැරි කිසිවක් පොරොන්දු වී නෑ.

ජනාධිපති මහින්දගේ වසර නවයක කාලය තුළ අපේ ජාතික ආර්ථිකය තුන් ගුණයකින් වර්ධනය වුණා.  ඉදිරි වසර පහ තුළ ඊටත් වඩා ශීඝ්‍ර වර්ධනයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.  ජාතික ආර්ථිකය වර්ධනය වන විට ආණ්ඩුවේ ආදායම ඉබේම ඉහළ යනවා.  ඒ වගේම අපි වැට් බද්ද 8% දක්වා පහත දමනවා.  එවිට බදු ගෙවාගන්න බැරි නිසා බදු මගහරින අය බදු ජාලයට එකතු කරගන්න පුළුවන් වෙනවා. 

ලංකාවේ තිබෙන දැවැන්ත කළු ආර්ථිකය නිල ආර්ථිකය තුළට ගෙන ඒමෙන් පමණක් ආණ්ඩුවේ ආදායම තුන් ගුණයකින් වර්ධනය කරන්න පුළුවන්.  සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න වගේම බදු කළමනාකරණයට නවීන තාක්ෂණය භාවිත කරන්නත් අපි සැලසුම් කරලා තිබෙනවා.  මේ සියල්ලේ සමස්ත ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය ආදායම ඉහළ යෑමයි.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම ඔබේ ප්‍රබල පොරොන්දුවක්.  ඒ සඳහා ඔබට වැඩපිළිවෙළක් තිබෙනවා ද?

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙළ ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ.  නමුත් මම ප්‍රතිපත්තිමය කාරණා පැහැදිලි කරන්නම්.  2015 වනවිට ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව ඉහළින්ම සුරක්ෂිත කළ රටවල් අතරේ හිටියා.  මුළු ලෝකයම පරාජය කරන්න බෑ කියලා නම් කර තිබුණු කොටි සංවිධානය වසර තුනකටත් අඩු කාලයක් තුළ පරාජය කළේ අපට වැඩපිළිවෙළක් තිබුණු නිසා. ඒ විතරක් නොවේ.  කොටි සංවිධානයේ නායකයා මියගියාම ඒ අය කේ.පී. නැතිනම් කුමාරන් පද්මනාදන් නව නායකයා ලෙස පත් කළා.  ඊට මාස කිහිපයකට පසු ඔහු විදේශ රටක සිටියදී රහසේ ලංකාවට ගෙන ඒමට අපේ බුද්ධි අංශ සමත් වුණා. 

ඕනෑම රටක බුද්ධි අංශ කියන්නේ ඇස් සහ කන්.  යමක් සිදු වුණාට පස්සෙ ප්‍රතික්‍රියා දැක්වීමයි හමුදා සිදු කරන්නේ. නමුත් බුද්ධි අංශ ඒ අනතුර කලින් දැනගෙන ක්‍රියාමාර්ග ගන්නවා. අවාසනාවට වත්මන් ආණ්ඩුව සිතාමතා බුද්ධි අංශ දුර්වල කළා.  හමුදාවක ශක්තිය තීරණය වන්නේ ඔවුන් සතු ආයුධ මත නොවේ.  සෙබළුන්ගේ චිත්ත ධෛර්යය මතයි. පොදුවේ හමුදාවත්, විශේෂයෙන් බුද්ධි අංශයත් දේශපාලන උවමනා මත බොරු නඩුවල පටළවලා චිත්ත ධෛර්යය විනාශ කළා.  එහි ප්‍රතිඵලයක් ලෙස තමයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා අවුරුදු 10ක් යන්න කලින් අන්තවාදී ත්‍රස්තවාදයක් මතු වුණේ.

හමුදා සහ බුද්ධි අංශවලට දේශපාලන මැදිහත් වීම් සඳහා මම කිසිම ඉඩක් දුන්නේ නෑ. ඒක ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය කොන්දේසියක්. ඒ වගේම අනෙකුත් රටවල් සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම, නවීන තාක්ෂණය මුසු කරගැනීම සහ නිරන්තර පුහුණුවීම් ලබාදීමත් ජාතික ආරක්ෂාව සවිමත් කිරීමේදී අපේ අවධානය යොමු වෙනවා.

රටේ බහුතරය කාන්තාවන්.  ඔබ කාන්තා සුබසාධනය සඳහා ගැනීමට බලාපොරොත්තු වන පියවර මොනවාද?

මම කාන්තාවන් සමග වගේම විවිධ කාන්තා සමිති සමගත් කතා කළා.  රාජ්‍ය නොවන සංවිධාන කාන්තා ගැටලු ලෙස ඉදිරිපත් කරන දේවල් නොවේ ඔවුන් ඉදිරිපත් කළේ.  ඒ අයගේ මූලිකම අවශ්‍යතාව නීතියේ ආධිපත්‍යය. මත්ද්‍රව්‍ය, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ නිසා කාන්තාව සමාජයට බියෙන් ජීවත් වෙන්නේ.  නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා අපරාධකරුවන් නීතියට බය නෑ.  ඒ නිසා යුක්තිය කඩිනමින් සහ සාධාරණව ඉටු කරන යාන්ත්‍රණයක් අපට අවශ්‍යයි.  කාන්තාවට සුරක්ෂිත සමාජයක් ගොඩනැගෙන්නේ එතැනින්.

ආසියාවේ බොහෝ රටවලට වඩා අපේ කාන්තාව උගත්.  ඒ වගේම රැකියාවල නිරත වෙනවා.  නමුත් බොහෝවිට දරුවෙකු ලැබුණු පසු ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ මවක ගෘහණියක ලෙස කටයුතු කිරීම මිස රැකියාවක යෙදීම නොවේ.  ඒ අය ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීමට ස්වයංරැකියා පුහුණුව ලබා දී, නව තාක්ෂණය ලබා දී, ප්‍රාග්ධනය ලබා දී ගෙදර සිට ආදායමක් උපයාගන්නා තත්ත්වයට පත් කළ යුතුයි.  ඔවුන්ට අවශ්‍ය වෙළෙඳ පොළ සොයා දීමත් වැදගත්. 

කාන්තාවන්ට දරුවා කුඩා කල රැකියාවෙන් ඉවත් වී නැවත රැකියාවට පැමිණීමට අවස්ථාව සැලසීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආණ්ඩුවෙන් පවත්වාගෙන යෑම, කාන්තා ව්‍යවසායකයන් බිහි කිරීම වැනි නැවුම් යෝජනා රැසක් මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා.  සරලව පැවසුවොත් කාන්තාවට සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමත්, ඒ තුළ ඇය සවිබලගැන්වීමත් අපේ අරමුණයි.

සුළු ජාතීන් සහ මහ ජාතිය අතර එකිනෙකා පිළිබඳ සැකය දුරු කිරීමටත්, ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති නොවීමටත් ගන්නා පියවර මොනවාද ?

අපේ රටේ සෑම පළාතකම විවිධ ආගම් සහ ජනවර්ගවලට අයත් ජනතාව සාමයෙන් සහ සතුටින් ජීවත් වෙනවා.  දේශපාලකයන් හෝ එන්ජීඕ ගිහින් නැති ප්‍රශ්න ඇති කරනතුරු ජාතික සමගිය පිළිබඳ අමුතුවෙන් මුකුත් කිරීම අවශ්‍ය වෙන්නේ නෑ.

ආගමික ගැටුම් ඇතිවීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා.  ඒ සඳහා ජනාධිපතිගේ මූලිකත්වයෙන් රැස්වන සර්ව ආගමික සභාවක් යෝජනා කර තිබෙනවා.  ඒ වගේම අන්තර් ආගමික ගැටලු සාකච්ඡාවෙන් විසඳාගැනීම සඳහා ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් මට්ටමින් ආගමික සහජීවන කමිටු පිහිටුවීමටත් බලාපොරොත්තු වෙනවා.

ජනතා අධිකරණයෙන් දූෂණ චෝදනා එල්ල වුණු අයත් ඔබට සහාය දක්වනවා.  ඔබගේ ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ ඉරණම කුමක් වේවි ද?

ඔබ කෙනෙකු නම් කරන්නේ නැතුව ඇසුවාම ඔහුගේ ඉරණම කුමක්දැයි පැවසීම අපහසුයි.  කෙනෙකු නම් කරනවා නම් නිශ්චිත පිළිතුරක් ලබා දිය හැකියි.  මම දූෂණයට තදින්ම විරුද්ධයි.  මම එය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති පුද්ගලයෙක්.  මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියන බියෙන් වත්මන් ආණ්ඩුව මට එරෙහිව විර්මශන 17ක් ආරම්භ කළා.  බොරු චෝදනා නැගුවා.  අවස්ථා ගණනකදී අත්අඩංගුවට ගන්න උත්සාහ ගත්තා. නමුත් වසර පහක් පුරා මට එරෙහිව කිසිවක් කිරීමට නොහැකි වුණේ මම නිවැරදි නිසා.

මම ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන විට දූෂිතයන්ට එරෙහිව තදින් කටයුතු කළා.  ජනාධිපති ලෙස මම ඊටත් වඩා තදින් ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා.

විපක්ෂයේ දේශපාලනඥයන්ට එරෙහිව දූෂණ චෝදනා නැගුවේ වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන් මිස ජනතාව නොවේ.  දේශපාලන උවමනා මත බොරු නඩු හදපු හැටි හිටපු සොලිසිටර් ජනරාල්වරු දෙදෙනෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ප්‍රසිද්ධ කර තිබෙනවා.  නමුත් මා සමග සිටින කිසිම දේශපාලකයෙකුට දූෂණ චෝදනා තිබෙනවා නම් ආණ්ඩු පෙරළියෙන් පසුත් ඒ විමර්ශන සහ නඩු කටයුතු ඉදිරියට යාවි.  සැබැවින්ම කවුරුන් හෝ වරදක් කර ඇත්නම් ඔවුන්ට අධිකරණයෙන් දඬුවම් ලැබේවි.  ඊට දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවට මම ඔබට සහතික වෙනවා.

දූෂිතයන්ට නැවත වතාවක් දේශපාලනයට පැමිණීමට ඉඩ නොදෙන බවට අපට සහතිකයක් දිය හැකිද?  එය කරන්නේ කෙසේද?

යම් පුද්ගලයෙකු වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම වෙලා එයින් මාස හයක් ගත කර තිබුණොත් අවුරුදු 07ක් දක්වා මැතිවරණවලට තරග කරන්න බෑ.  දැනට තිබෙන නීතිය ඒකයි. නමුත් වරක් දූෂණයක් කළ අයෙකුට සදාකාලිකව දේශපාලනය කළ නොහැකි අයුරින් ඉදිරියේදී නීති ගෙන ඒම මගේ බලාපොරොත්තුවයි.

ඒ වගේම දූෂණ මර්දන ක්‍රියාවලිය සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. වත්මන් ආණ්ඩුව මහ බැංකු වංචාවේ සොරුන් රැක්ක අයුරින්, ටොප්ටෙන් දූෂිතයන් රැක්ක අයුරින් මම නම් දූෂිතයන් රකින්නේ නෑ කියන පොරොන්දුව ජනතාවට ලබා දෙනවා.

ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය කේන්ද්‍රීයව ජාත්‍යන්තර සබඳතා පවත්වාගැනීමේ ඔබේ ප්‍රතිපත්තිය කුමක් වේද?

ඇමෙරිකාව සහ චීනය ලෝකයේ විශාලතම වෙළෙඳ පොළවල් දෙකයි.  ඒ වගේම දේශපාලන සහ යුද බලවතුන් ලෙසත් කැපී පේනවා. ඉන්දියාව නැගී එන ලෝක බලවතෙක් විතරක් නොවේ අපේ එකම අසල්වැසියා.  අපේ ඓතිහාසික ඥාතියා.  අපේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ කිසිම රටකට ගැති නොවන, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට මුල් තැන දෙන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්.  මේ සියවස ආසියාවේ සියවස නිසා විදේශ ප්‍රතිපත්තියේදී ආසියාවට ප්‍රමුඛත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ එළඹුණු සමහර ද්විපාර්ශ්වීය වගේම බහුපාර්ශ්වීය ගිවිසුම් නිසා මව්බිමේ ස්වෛරීභාවයට හානි සිදු වුණු බවට චෝදනා නැගුණා.  ඒ නිසා මව්බිමේ ස්වෛරීභාවයට හානි සිදු වන කිසිම ගිවිසුමකට එළඹෙන්නේ නෑ කියන ප්‍රතිඥාව මම ලබා දෙනවා.  ඒ වගේම වත්මන් ආණ්ඩුව එළඹුණු ගිවිසුම් වඩාත් ලංකාවට වාසිදායක කර ගැනීමට අදාළ පාර්ශව සමග නොපමාව සාකච්ඡා ඇරඹීමටත් බලාපොරොත්තු වෙනවා.

දුගීකම අවම කරමින් සංවර්ධිත රටක් අතමිට සරු ජනතාවක් බිහි කරන්නේ කෙසේද?

2005 දී අපි රට භාරගන්නා විට දිළිඳුකම තිබුණේ 17% -  ඒක 6%දක්වා පහතට ගෙන ඒමට පුළුවන් වුණා.  ඒ වගේම ඒකපුද්ගල ආදායම ඩොලර් දහසේ සිට තුන්දහස දක්වා තුන් ගුණයකින් ඉහළ නංවා ජනතාවගේ අතමිට සරු කරන්නත් අපට පුළුවන් වුණා.  ඒ වේදිකාවේ සුන්දර කතා කියලා නොවේ.  ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා. 

ලංකාවේ දිළිඳු ජනතාව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නාගරික දිළින්දන් සහ ග්‍රාමීය දිළින්දන් ලෙස.  නාගරික දිළිඳුකම නැති කිරීම සඳහා කර්මාන්ත ප්‍රචලිත කර රැකියා ජනිත කරන්න ඕනෑ.  ඒ සඳහා ආයෝජකයන් දිරිගන්වන්න ඕනෑ. අපේ බදු ප්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ නීතිගරුක රටක් බිහි කිරිම තුළින් ආයෝජකයන් ලංකාවට ආර්කෂණය කරගන්න බලාපොරොත්තු වෙනවා.

ගම්වල ජනතාවට දිළිඳුකමින් මිදීමට අවශ්‍ය සම්පත් ඒ සමාජය තුළ තිබෙනවා.  විශේෂයෙන්ම කෘෂි ආර්ථිකය දියුණු කිරීමෙන් ඔවුන්ව දිළිඳුකමෙන් මුදවාගත හැකියි.  ආණ්ඩුව කළ යුත්තේ යටිතල පහසුකම් දියුණුකර දීමයි.  ඇළ මාර්ග, මහාමාර්ග, වැව් ප්‍රතිසංස්කරණය කර දීම, පොහොර නොමිලේ ලබාදීම, නැවුම් අපනයන වෙළෙඳ පොළවල් සොයාදීම වැනි විස්තරාත්මක වැඩපිළිවෙළක් ඒ සඳහා අපි ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඔබට ලබා දිය හැකි සහතිකය කුමක්ද?

අපි කිසිම දිනක දේශපාලන සතුරන්ගෙන් පලිගන්න නීති අංශ පටලවාගෙන බොරු නඩු හැදුවේ නෑ.  අධිකරණයට, පොලීසියට, නීතිපතිට බලපෑම් කළේ නෑ. වත්මන් ආණ්ඩුවට නම් ඒ පිළිබඳ බරපතළ චෝදනා තිබෙනවා. 

මාධ්‍ය නිදහසටත් අපි කිසිම බලපෑමක් කරලා නෑ.  මේ ආණ්ඩුව ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි අපරාධ පිළිබඳ වගකීම මගේ පිටට පටවන්න හැදුවා. ඒ අය වසර පහක් බලයේ සිටියා. ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනාවේ නැත්තේ ඇයි?  එදා ඒ අපරාධවලට වගකිවයුත්තන් විධියට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ චෝදනා ලබපු අය අද සිටින්නේ වත්මන් ආණ්ඩුව සමගයි. ඒ නිසා ආණ්ඩුව අපරාධකරුවන් රකින තැනකට තල්ලු වෙන්න ඇති.

පසුගිය වසර පහ තුළ මාධ්‍ය නිදහසටත් බරපතළ බාධා එල්ල වුණා.  මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට නම් කියලා ප්‍රසිද්ධියේ තර්ජනය කරන්න ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කළා.  මාධ්‍ය ආයතනයකට එරෙහිව මඩ පෝස්ටර් අලවන තරමට ආණ්ඩුව පිරිහුණා.  අපේ ආණ්ඩුවේ පළමු වාරය තුළ යුද්ධයක් පැවැති නිසා මාධ්‍ය නිදහසට යම් බාධා එල්ල වෙන්න ඇති.  නමුත් දෙවැනි වාරය තුළ ඒ කියන්නෙ 2010 – 2015 වකවානුව තුළ කිසිම මාධ්‍යවේදියෙකු පැහැරගෙන යෑමකට, අතුරුදන් වීමකට ලක් වී නැති බව ගයන්ත කරුණාතිලක ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා. ඒ බව 2016 මාර්තු 10 හැන්සාඩ් වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට හෝ ජනමාධ්‍ය නිදහසට බාධා කරන්න මගේ ආණ්ඩුවේ කිසිම දේශපාලකයෙකුට ඉඩ තබන්නේ නැති බවට මම සහතික වෙනවා.

 



Recommended Articles