මධ්‍යම අධිවේගීය විවෘත කිරීමේ වියදම් මහාමාර්ග අමාත්‍යාංශය සඟවන්නේ ඇයි ?


විවිධ විවෘත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ  ප්‍රධාන  ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සඳහා මෙරට  පක්ෂ දේශපාලනය තුළ එතරම් විරෝධතාවයක් නොදක්වයි.

රටේ මහජනතාවගේ බදු මුදලින් හා එම බදු මුදලින් ගෙවීමේ පදනම  මත විදෙස් රටවලින් ගන්නා ලද  ණය පහසුකම් යටතේ පවා ඉදිකරනු ලබන රජයේ ව්‍යාපෘති සඳහා, මුල්ගල් තැබීම මෙන්ම ඒවා විවෘත කිරීමේ කටයුතු වෙනුවෙන් දේශපාලඥයන්ගේ මනදොළ සතුටු කිරීමේ අරමුණින් සිදුකරනු ලබන මෙම උත්සව කටයුතු සඳහා සහයෝගය දක්වන්නේ ඉහළ සිට පහළට වූ රාජ්‍ය සේවකයන් බවද කිව යුතුය.

 විශේෂයෙන්ම මේ ආකාරයෙන් පවත්වනු ලබන උත්සව කටයුතුවල ප්‍රධානතම අරමුණ වනුයේ ඒ ඒ දේශපාලන පක්ෂ මෙන්ම අදාළ දේශපාලනඥයාගේ ප්‍රතිරූපය ගොඩනගා ගනිමින් ජනතාව රැවටීමයි. එමෙන්ම එම ව්‍යාපෘති මෙන්ම උත්සව කටයුතු තුළින් තමන් ඇතුළු තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සඳහා දායකවන්නන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සොරකම, නාස්ති කිරීම සිදුවන බව මේ රටේ මහජනතාවට අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නොවේ.

 මේ ආකාරයෙන් 2022 වර්ෂයේ ජනවාරි මස 15වනදා ජනතා අයිතියට පත්කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය සඳහා සිදුකළ වියදම් සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය මගින් කටයුතු නොකරමින්, ඒ සඳහා සිදුකළ වියදම් සැඟවීමේ  ප්‍රයත්නයක මේ වන විට යෙදී සිටී. විශේෂයෙන්ම මේ ආකාරයෙන් තොරතුරු සැඟවීමට උත්සාහ ගන්නේ අදාළ අමාත්‍යාංශයේ විෂයපථයට අයිති කටයුත්තක් වෙනුවෙන් සිදුකරන ලද උත්සවයක් සම්බන්ධයෙන් වීම විමතියට කරුණකි. මීට පෙරද  මේ සම්බන්ධයෙන් ‘%අද’ පුවත්පත තුළින් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදුන්  තොරතුරුවලට අනුව  අනාවරණයක් සිදුකරන ලදී.

අදාළ උත්සවය තම අධිකාරිය මගින් සංවිධානය නොකළ බව දැන්වීමෙන් අනතුරුව මේ සඳහා සිදුකළ  වියදම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ 2022.03.31 දිනැතිව මහාමාර්ග අමාත්‍යාංශයටද තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. එහිදී එම  තොරතුරු විමසීමට පිළිතුරු ලබාදෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරිනිය වන ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)  තමිලා ප්‍රසාදිනී දයානන්ද විසින්  දන්වා ඇත්තේ අමාත්‍යාංශය මගින් උත්සව සංවිධානය සඳහා පමණක් සහභාගී වූ නිලධාරීන් සඳහා රුපියල් 3090.00ක මුදලක් දරා ඇති බවයි.

කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ මහාමාර්ග අමාත්‍යාංශය මගින්  ප්‍රශ්න අංක 14කින් යුක්තව තොරතුරු ඉල්ලා සිට ඇති අතර, එහිදී ප්‍රශ්න අංක 01 මගින් ඉල්ලා සිටි ‘මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත්ත කිරීමේ සමස්ත උත්සවය  සංවිධානය හා ඒ සඳහා වියදම් දරනු  ලැබුවේ කුමන ආයතනයක් මගින්ද?’ යන්න සඳහාවත් නිශ්චිත පිළිතුරක් ලබාදීමට අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරිනිය කටයුතු කර නොමැත. ඒ සඳහා පිළිතුර ලෙස අමාත්‍යාංශය මගින් උත්සවය සංවිධානය කළ බව පමණක් දන්වා තිබේ.

එමෙන්ම මහා මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසන ලද තොරතුරු ඉල්ලීමකට අනුව 2022.02.18 දිනැතිව ලබාදුන් තොරතුරුවල දැක්වෙන්නේ  එවැනි උත්සවයක් ව්‍යාපෘතිය මගින් සංවිධානය කර නොමැති බවයි. මේ අනුව එක් සිද්ධියක් උදෙසා එකම විෂය යටතේ පවතින රාජ්‍ය ආයතන දෙකක තොරතුරු නිලධාරීන් ලෙස පත්කර සිටින  රාජ්‍ය නිලධාරීන් මේ ආකාරයෙන් පිළිගැනීමට නොහැකි ආකාරයෙන් පරස්පර විරෝධී පිළිතුරු ලබදීමම මෙහි ඇති මුදල් නාස්තියක්, වංචාවක් සැඟවීමට උත්සාහයක නිරත වන බව පිළිබිඹු වන කාරණාවකි.

ලොකු හොරු රකින පොඩි හොරු

මේ ආකාරයෙන් බලන විට මහාමාර්ග අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද උත්සවය කවුරුන් විසින් සිදුකළ එකක්ද යන්න මෙන්ම ඒ සඳහා මුදල් වියදම් කළ පුද්ගලයා හෝ ආයතනය සම්බන්ධයෙන් තොරතුරු නොදන්නා බව දැන්වීම තුළින් පෙනී යන්නේ, රාජ්‍ය නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් සත්‍ය සැඟවීමේ ප්‍රයත්නයක යෙදෙන බවයි. මේ නිසාම දුරකථනය මගින්ද අදාළ තොරතුරු නිලධාරිනියගෙන් සිදුකළ වීමසීමකදී ඇය කියා සිටියේ, අපට තොරතුරු ලබාදීමට හැකි සීමාව තුළ තොරතුරු ලබා දී ඇති බවත්, යම් තොරතුරක් සම්බන්ධයෙන් දැනගැනීමට  ඇත්නම් තොරතුරු පනතට අනුවම කටයුතු කරන ලෙසයි. 

 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ජනතාවට මුක්ත කිරීමට නොහැකි තොරතුරු පස්වන වගන්තිය මගින් පෙන්වා දී තිබේ. නමුත් එම පනතේම 5(4) යටතේ එසේ  මුක්ත කරන ලද  තොරතුරු පවා මහජන සුබසිද්ධිය  මත පුරවැසියන්හට ලබාගැනීමේ හැකියාවක් පවතී. නමුත්  මහාමාර්ග අමාත්‍යාංශය මගින් ඉල්ලා සිටි කිසිදු තොරතුරක් තොරතුරු පනතේ නොදිය හැකි තොරතුරක්ද නොවන බව මහාමාර්ග අමාත්‍යාංශයේ  තොරතුරු නිලධාරිනියද දැනගත යුතුය.

එවන් පසුබිමක රටේ රාජ්‍ය නායකයන් වන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ  රාජ්‍ය උත්සවයක් වෙනුවෙන් කටයුතු සම්බන්ධීකරණය කරන ලද මහාමාර්ග අමාත්‍යාංශය, එම උත්සවය සංවිධානය කළ පුද්ගලයා හෝ ආයතනය මෙන්ම ඒ සඳහා සිදුකරන ලද වියදම් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සැඟවීමට වෙර දරන්නේ කාගේ උවමනාවට? යන්න පිළිබඳව ඇත්තේ බරපතළ ගැටලුවකි.

එමෙන්ම මේ  ආකාරයෙන් තමන් විසින් නොදන්නා ආයතනයක්, පුද්ගලයෙක්  විසින් සංවිධානය කරන ලද උත්සවයක් වෙනුවෙන් අදාළ පොදු අධිකාරිය විසින් ලබා දී තිබෙන තොරතුරුවලට අනුව  වාහන දෙකක් යෙදවීම මෙන්ම, එය සම්බන්ධීකරණය කිරීම හා එම සම්බන්ධීකරණය කරන ලද නිලධාරීන්ගේ තේ පානය  සහ අනෙකුත් වියදම් වෙනුවෙන් රුපියල් 3090ක මුදලක් යෙදවීමට මහාමාර්ග අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ. ඉහත තොරතුරුවලට අනුව  එය  බරපතළ වරදක් මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාද ලබාදී ඇති වැරදි පූර්වාදර්ශයක්ද වන්නේ, සංවිධායකයෙක් ගැන නොදන්නා උත්සවයක් වෙනුවෙන් රාජ්‍ය ආයතනයක මානව හා භෞතික සම්පත් යෙදවීමයි. එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක්ද වේ.

 

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත්  තොරතුරු විමසීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්  රංජිත් ප්‍රේමසිරි මහතාගෙන් අදාළ උත්සවය කවුරුන් විසින් සංවිධානය ක‌ෙළ්ද යනුවෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ ‘&තොරතුරු පනතින් දීපු උත්තර බලලා ඕන කතා කරන්න* යනුවෙනි. නමුත් මීට පෙර අවස්ථාවකදීද මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ එම පිළිතුරම වන අතර, මසකට ආසන්න කාලයක් එම ලබාදුන් පිළිතුර ගැන සොයා බැලීමට අදාළ ලේකම්වරයා අසමත් වීමම මෙරට රාජ්‍ය සේවයේ ඇති සැබෑ තත්ත්වය මැනවින් පෙන්වා දෙයි.

පරස්පර විරෝධී පිළිතුරු

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් 2022.05.16 දින  සිදුකළ කරුණු විමසීමේදී එයට පිළිතුරු දෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා කියා සිටියේ අදාළ උත්සවය අමාත්‍යාංශය මගින් ව්‍යාපෘතිය හරහා සිදුකළ බවයි. එමෙන්ම මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පසුදින තමන්ට කතාකරන ලෙසයි. නමුත් ඊට පසු දින වන 17වන දින සහ 18,23 යන දින කීපය තුළදී අවස්ථා කීපයකදී ලේකම්වරයාගේ ජංගම දුරකථනය සඳහා ඇමතුම් කීපයක්ම ලබා ගනු ලැබුවත්, ඒ සඳහා පිළිතුරු දීමට කටයුතු නොකරන ලදී.

  විශාල වියදමක් දරමින් මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය සිදුකළ ආකාරය මෙරට මහජනතාව සියැසින්ම දුටු කාරණයකි. එය මුදල් නාස්ති කරමින් මෙරට සිදුකළ තවත් එක් රාජ්‍ය උත්සවයක් පමණක්  වේ.

    විශේෂයෙන්ම මෙරට තුළ දක්නට ලැබෙන බරපතළ ගැටලුවක් වන්නේ රටේ බදු  ගෙවන මහජනතාවගේ  මුදල්  මේ ආකාරයෙන්  රාජ්‍ය උත්සව සඳහා යෙදවමින් නාස්ති කිරීමයි. නමුත් ඒ ආකාරයෙන් රාජ්‍ය උත්සව සඳහා සෘජුව හෝ වක්‍රව වියදම් කරනු ලබන්නේ රටේ ජනතාවගේ බදු මුදල් බව බොහෝ දේශපාලඥයන්ට පමණක් නොව රජයේ නිලධාරින්හටද අමතක වී තිබීම මෙන්ම ඒ සම්බන්ධයෙන් සිදුකළ වියදම්, එම වියදම් දැරූ ආයතන මේ ආකාරයෙන්  හෙළි නොකිරීම, සැඟවීමට කටයුතු කිරීමද  බරපතළ ගැටලුවක් වේ. මෙහිදී ජනතාවට පැවසීමට ඇත්තේ  ‘%වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව‘’ යනුවෙනි.

 කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සත්‍ය මහජනතාවට  හෙළිකිරීම සඳහා තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද මේ සඳහා සහයෝගය ලබාදෙනු ලබන දේශපාලඥයන් මෙන්ම රජයේ නිලධාරීන් ගැන තොරතුරු හෙළි කිරීමට පසුබට නොවන බවද කිව යුතුය.

 

 



Recommended Articles