මත්පැන් වලට යටවූ ගොවි ජනපද ශෝකාන්තය


මත්පැන් භාවිතය පිළිබඳව අපට ලෝක මට්ටමින් ඇත්තේ ඉහළ තැනකි. විජාතික පාලකයන් මෙරට ජන ජීවිතයත්, රටෙහි ගමනත් අවුරනු සඳහා මෙරටුන් මතට ඇබිබැහි කළේ ඉතා දූරදර්ශීවය. එහෙත් අප ඉතාමත් අදූර්දර්ශී ලෙස මෙම උගුලෙහි වැටුණේ එතෙක් රැකගත් ජන සම්ප්‍රදායන්, වටිනාකම් වළපල්ලට ඇද දමමිනි. අද අපි මත්පැන් මුල්තැන්හී තබා ප්‍රියසාද, සම්මන්ත්‍රණ, සාකච්ඡා සංවිධාන කරන්නවුන් බවට පත්ව සිටිමු. මත්පැන් නැති සාදයක් මෙරටුන්ට මහා අඩුවකි. මත් වතුර බොමින්, මස් කමින් කයිවාරු තළු මරන්නට අපි මහා සමර්ථයින් වී සිටිමු. මෙසිරිලකට අනුව මත් වතුර දුක නිවන, සතුට වඩවන මනා ඖෂධයකි. ඉන් හිතවත්කම් තර කරයි. බලවතුන් කිට්ටු කරයි. ලොක්කන් අල්ලේ නටවයි. කොටින්ම ඉන් කළ නොහැක්කක් නොමැති යන මතය ජනගත කරන්නවුන් බවට අපි පත්ව සිටිමු. 


එක් පසකින් නීති සම්මත මත්පැන් තැබෑරුම් මෙරට අඩුවක් නොවේ. හැම නගරයකම එකකි. දෙකකි. තුන හතරකි. සමහර ගම්මැදි හන්දිවලටද එය බෝවී තිබේ. නීතිවිරෝධී මත්පැන් මෙරට සාම්ප්‍රදායික ගැමි ජන ජීවිත අවුලෙන් අවුලට ඇද දමා තිබේ. සැඟවිය නොහැකි සත්‍යය නම් ගම්, නගර හැමකම පාහේ සාතිශය බහුතර පිරිමින් මත් වතුරට ඇබ්බැහි වූවන් වීමය. නාගරික කතුන්ද දැන් දැන් මත් වතුර බීමේ අයිතිය ඉල්ලා අරගල කරයි. මත්පැන් පානය පෞද්ගලික කාරණයක් ලෙස යමෙකුට හුවා දැක්විය හැක. එහෙත් ඉන් මෙරට සමාජයට සිදුකොට ඇති හානිය සුළුකොට තැකිය හැකි නොවේ. 

කරුණු මෙසේ වන විට ගොවි ජනපද ව්‍යාපාර ලෙස දිවංගත ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් මුල්වී 1960 දශකයේදී ආරම්භකොට ඇති රාජාංගණයේ සහ කටියාවේ ගොවි ගම්මානද වර්තමානයේ නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයේ ගොදුරු බවට පත්ව තිබේ. මෙහි සාමකාමී ජන ජීවිත වෙත මෙමගින් සිදුකොට ඇති හානිය ඉමහත් එකකි. මෙම ගොවි ජනපද දෙක පසුකොට ගලා බසිනා සුප්‍රකට කලාඔය නීතිවිරෝධී මත්වතුර නිෂ්පාදනයට කදිම තෝතැන්නක් වී ඇත. ඔය දෙපස වනරොදවලට වී මත්පැන් නිෂ්පාදනයේ යෙදෙන්නවුන් කලක් තිස්සේ මෙම ජාවාරමේ යෙදෙන්නවුන් බවටද සාධක තිබේ.
එවක ජනාවාස ඇති කිරීමට ගොඩින් සහ ජීවනෝපාය සඳහා මඩින් ජානපදිකයන්ට ඉඩම් ලැබී තිබේ. එතෙක් මෙතෙක් යළි කුමන හෝ අවස්ථාවක ඉඩම් බෙදාදීමක් සිදුවී නැත. ඒ සඳහා උත්සාහ ගත්තද වර්තමානයේ බෙදාදීමට ඉඩම් මෙම ගොවි ප්‍රදේශවල ශේෂ වී නැත.

අවශ්‍යතා පුළුල් වීමත්, භූමිය සීමාසහිත වීමත් වර්තමානය වන විට සංකීර්ණ ගැටලුවක් බවට පත්ව ඇති අතර, දැන් ක්‍රමයෙන් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයද අල්ප වෙමින් පවතී. එක ඉඩමේ නිවාස දෙකක්වත් ඉදිව තිබේ. එය කොතරම් උත්සන්න වූ ගැටලුවක්ද යන්න මනාව සනාථ කරමින් සුසාන භූමි, ක්‍රීඩා පිටි හා වෙනත් පොදු ස්ථානයන්හි පවා ජනාවාස ඇති කිරීමට ගැමියන්ට සිදුව තිබේ. රාජාංගණය, අංගමුව, තුඹුල්ලේ සහ කටියාව මෙම ජනපදවල පිහිටි ප්‍රධාන වාරි ජලාශ වෙති. මෙම ජලාශ මගින් ගොවිතැනින් සහ ධීවර කර්මාන්තයෙන් සිය ජීවනෝපාය සරිකරගත් ජානපදික ජීවිතවල අවශ්‍යතාවන් කාලානුරූපව සංකීර්ණ වී ඇත. මෙනිසාම ඔවුනගේ ඕනෑ එපාකම් සපුරන්නට මේ කර්මාන්ත දෙකට ඇති හැකියාව ක්‍රමයෙන් හීන වී ඇත. මෙහෙයින් වෙනත් විකල්ප ආදායම් මාර්ග පිළිබඳව අවධානය යොමු කිරීමට ගැමියන්ට සිදුව ඇත.

සුදුසුකම්වලට සරිලන රැකියා නොලැබීම, නිසි වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීමට ඇති අවස්ථා අල්ප වීම, ප්‍රදේශයෙන් බැහැර නොයා පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීමේ ඉඩ ප්‍රස්ථා හීනවීම, ස්වයංරැකියා අවස්ථා සාර්ථක කරගැනීමට අවශ්‍ය නිසි උපකාරය හා මඟපෙන්වීම නොලැබීම, වගා කළ හැකි ඉඩම් සීමාසහිත වීම, යටිතල පහසුකම් සංවර්ධනය සීමා වීම, ජීවන වියදම ඉහළ යෑමෙන් ජීවත්වීම උග්‍ර ගැටලුවක් බවට පත්වීම, සම්පත් බෙදීයෑමේ විෂමතාව, සමාජ අසාධාරණය ආදී කාරණා එකිනෙක මෙම ජානපදික ජීවිත මත පෙළගැසී ඇත. මෙහෙයින්ම ජානපදික තරුණ ජීවිත අවිනිශ්චිතතාවේ ගොදුරු බවට පත්ව තිබේ. මෙම වටපිටාව මත යහපත, අයහපත පසෙකලා කුමන හෝ ආකාරයක මාවතක් මුදල් ඉපැයීම සඳහා සොයන්නට ඔවුනට සිදුව තිබේ. හොර මත්පැන් නිෂ්පාදනය හා අලෙවිය ආදායම් ඉපැයීමේ පහසු ව්‍යාපාරයක් ලෙස කරළියට පිවිසෙනුයේ මේ පසුබිම ඔස්සේය.

මේ රාජාංගණයේ සහ කටියාවේ නීතිවිරෝධී මත්පැන් උවදුරේ ඇති එක් පැතිකඩකි. ඒ එහි පවතින සැබෑ යථාර්ථයයි. එහෙත් මෙහි අනෙක් පැතිකඩ ඉමහත් අඳුරුය. අතිශය ශෝචනීය වේ. මත්පැන් නිෂ්පාදනය හෝ අලෙවිය පාරම්පරික උරුමය කොටගත් සැලකිය යුතු පිරිසක් මෙහි වෙසෙති. ඔවුහු තම පවුලේ හෝ සහචර කල්ලිවල ධන උල්පතක් ලෙස මේ විපත්තිදායක ව්‍යාපාරය පවත්වාගෙන යති. එහි අතුරු ඵල මෙම ගොවි ජනපද පුරා ව්‍යාප්තව ඇත්තේ මෙහි ජීවිත සමාජ, ආර්ථික ගැටලු ගණනාවකට මැදි කරමිනි. ඉතාමත් සංවිධානාත්මකව කෙරෙන මේ ව්‍යාපාරය සඳහා මෙම ප්‍රදේශවල පාරිසරික පිහිටීමත් මහත් රුකුලක් වී ඇත. 

කලාඔය හා ලුණු ඔය නිම්න දෙපස වනරොදවලට වී කිසිදු බාධාවකින් තොරව නිදැල්ලේ හොර මත්පැන් නිෂ්පාදනයේ යෙදෙන්නවුන්ගේ දසුන රාජාංගණය සහ කටියාව ජානපදිකයන්ට නුහුරු නොවූවකි. මත්පැන් නිෂ්පාදනය තම අණසක යටතේ පවත්වාගෙන යන කල්ලි වශයෙන් සංවිධානය වූ පිරිස් නවකයෙකුට මේ නිල නොලත් ව්‍යාපාරයට එකතු වීමට ඇති ඉඩකඩ ඉතා සූක්ෂම ලෙස අහුරා තිබීම විශේෂ අවධානයට ලක්වන කරුණකි. 

නවකයන් ලෙස මේ ව්‍යාපාරයට එකතුවන්නවුන් කෙරෙහි නීතියේ බැල්මද වැඩි වැඩියෙන් යොමු වන බව අනාවරණ වෙයි. කරුණු එසේ වුවත් අඛණ්ඩව බාධාවකින් තොරව සංවිධානාත්මකව මෙම ජාවාරම ජයටම කරගෙන යන්නවුන් වෙත කුමන හෝ අයුරක උපද්‍රවයක් නොවීම දෙස ප්‍රදේශවාසීන් බලා හිදිනුයේ විමතිය හා අප්‍රසාදය මුසු දෑස් දල්වමිනි. 
මෙහි ඇති අනෙක් අවිචාරවත් තත්ත්වය නම් නීතියට කොකා පෙන්වමින් නිවී සැනසිල්ලේ තම කාර්යය කරගෙන යන්නට මොවුනට මෙසේ ඉඩ අවකාශය උදාවූයේ කෙසේද යන්නයි. මේ නීතිවිරෝධී, සමාජ විරෝධී, සදාචාර විරෝධී ව්‍යාපාරය පිටුපස නීතිය ක්‍රියාත්මක කරන්නවුන්ගේ මෙන්ම දේශපාලනයේ අදිසි රැකවරණය ඇති බවද හෙළිදරව් වන කරුණකි. සැබැවින්ම මේ චෝදනා ඉතා පහසුවෙන් බැහැර කළ නොහැක්කේ මේ ව්‍යසනයේ පසුබැසීම දිනෙන් දින ඈත්වීම හේතුවෙනි. 

සියල්ල මුදල මත තීන්දු වෙමින් තිබේ. යහපත පාවාදී හෝ මුදල් ඉපයිය යුතුය යන්න සමාජ සම්මතයක් වන තරමට ඔඩුදුවා තිබේ. කරුණු එසේ වන කල්හී නොනැවතී මුදල් ගලා එන උල්පතක් වැනි හොර මත්පැන් ව්‍යාපාරය මැඬලීම පහසු කාර්යයක් නොවන වග පැහැදිලි වී තිබේ. සමාජයේ මුරදේවතාවුන් සේ බුහුමනට ලක්වන බලවේග රැසක අදිසි අතහිත දීම ඇසුරේ පවතින හෙයින්ම එය තවත් අසීරුය. ඒ සඳහා අදීන මෙන්ම මේ ව්‍යාපාරයේ නියුතුවූවන් නිසි මග යවන විකල්ප ආදායම් මාර්ග සහිත ඵලදායී වැඩපිළිවෙළක් අවැසිව ඇත. එය හිටිහැටියේ කඩිනමින් කළ හැකි දෙයක්ද නොවේ. 

මෑතකාලීනව කරළියට පැමිණි එවැනි සෑම වැඩපිළිවෙළකම දක්නට ලැබුණේ හුදු පුරාජේරු සහ ජනතා මුදල් කාබාසිනියා කිරීම පමණකි. සියල්ල අවසානයේ සිදුවූයේ මෙම ව්‍යාපාරය නැවතුණු තැනින් තීව්‍ර ආකාරයෙන් නැවත ආරම්භ වීම පමණකි. “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව”. මේ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් මෙම සාම්ප්‍රදායික ගොවි ජනපද වසා පැන නැගී ඇති ගැටලු ගණනාවකි. 

දූදරු මවුපිය සබඳතා දුරස් වීම
ලිංගික අපයෝජන සිද්ධීන් බහුල වීම
බාල වයස් විවාහ
සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව 
අඹු සැමි සබඳතා බිඳවැටීම
පවුල් පරිසරය තුළ ලැබිය හැකි ආර්ථික සංවර්ධනය පිරිහීම
දූ දරුවන්ගේ අධ්‍යාපනය අතරමග කඩාකප්පල් වීම
විවිධ මාදිලියේ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස ඉහළ යෑම

ආදිය ඉන් කිහිපයකි. මෙතෙක් මතට එරෙහි විරෝධය සමාජගත වූයේ හුදු ලකුණු රැස්කිරීමේ සටන්පාඨයක් ලෙසිනි. නොඑසේ නම් ඒ හරහා ක්‍රියාත්මක වැඩසටහන්, ව්‍යාපෘති ඔස්සේ ජනතා මුදල් යටිමඩි ගැසීමේ අරමුණින්ය යන්නද බැහැර කළ නොහැකි වේ. පොලිස් දෙපාර්තමේන්තුව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ හා ආරක්ෂා කිරීමේ කාර්යභාරය උසුලයි. කරුණු එසේ වන විට පොලීසිය මෙරට දූෂිතම රාජ්‍ය ආයතන අතර පහසුවෙන්ම රැඳෙන වගද වාර්ෂිකව එළිදක්වන සමීක්ෂණ වාර්තා මඟින් තහවුරු වී තිබේ. මෙහෙයින්ම රටට බත සපයන මෙම ගොවි ජනපද මත් ජාවාරම්කරුවන්ගේ ගොදුරු වනු බලා සුසුම්ලනු හැරෙන්නට වෙනත් කළ හැකි යමක් නොවන තැනට කරුණු යෙදී තිබේ. 

මත්පැන් ප්‍රතික්ෂේප කරන්නවුන් කෙරෙහි කුමන අයුරක හෝ ප්‍රායෝගික සාධනීය පිළිගැනීමක් මෙරට තවමත් නැත. බොහෝ රාජ්‍ය නිලධාරීහු මත්ලෝලීහු වී සිටිති. මතින් බැහැර වීම මෙරට කිසිදු රැකියාවකට සුදුසුකමක්ද නොවේ. මත්පැනට එරෙහි විරෝධය කිහිප ගුණයකින් ඉක්මවන අතහිත දීම් වැඩි පරිසරයක රාජාංගණය, කටියාව වැනි ගම්මැදි වසා පැතිර ඇති මේ ව්‍යසනය මැඬලීම රෑ මැදියම දුටු සිහිනයක්ම වී තිබේ. දැන් කුමක් කරනුදැයි අප වගකිවයුත්තන් වෙතින් විමසමු. 

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles