මත්ද්‍රව්‍ය නිවාරණය හුදෙක් සටන් පාඨයක්ම නොවිය යුතුය


මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලීවීමට ප්‍රථමයෙන් අපේ පවුලේ පළමුවැනි මනාලයා බවට පත්ව, නව ජීවිතයක් ආරම්භ කිරීමට කටයුතු කළ චිචී මල්ලිටත්, ඇයගේ ආදරණීය බිරිඳටත් යුග දිවියකට සුබපැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම ඒ සඳහා එක්ව අප සමග සතුට බෙදාගත් සෑම දෙනාටම ස්තුතිය ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

මින් ඉදිරියට හැකි සෑම අයුරකින්ම මෙම තීරු ලිපිය හරහා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීම වෙනුවට එක් ප්‍රශ්නයක් පිළිබඳ අවධානය යොමු කරමින් ඒ පිළිබඳ දීර්ඝව කතා කිරීමට අදහස් කරමි.
ඒ අනුව මෙවර අප වැඩි වශයෙන්ම %‘මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ පිළිබඳ සාකච්ඡා කිරීමට අදහස් කරමු. මුලින්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය කාලෝචිත ක්‍රියාමාර්ගයක් බවයි.

කෙසේ වෙතත් %එම වැඩසටහන් හුදෙක්ම එක් සතියකට හෝ එක් කාලයකට සීමා නොවිය යුතුය^ යන්න මාගේ හැඟීමයි. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය තරම් නීති ඇති අතර, සිදුවිය යුත්තේ එය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය.

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමට යන බව සඳහන් කරමින් මේ වන විට සිදුවෙමින් පවතින්නේ පොදුවේ එකිනෙකා වෙත ඇඟිල්ල දිගුකර ගැනීමය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බලාත්මක කළ යුතුය.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී, ඔවුන්ට අවශ්‍ය ජාත්‍යන්තර පුහුණුව ලබාදී, ඔවුන්ට අවශ්‍ය නවීන උපකරණ ලබාදී මෙය සිදුකළ හැකිය. මේ පිළිබඳ හොඳ උදාහරණයක් ලබාදිය හැකිය. එනම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ඇති වාහන සම්බන්ධයෙනි. එම නිලධාරීහු යල්පැන ගිය වාහන භාවිත කරමින් මෙතරම් භාරදූර කාර්යයක් ඉටු කරති. එවැනි අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ නවීනතම වාහන උපයෝගී කරගෙන සිය ජාවාරම් සිදු කරති. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරක් ලැබී ඒ පිළිබඳ කටයුතු කිරීමට සිය වාහන භාවිත කිරීමට උත්සාහ කරන විටත් ජාවාරම්කරුවන් ගව් ගණනක් දුර ගොසිනි. 
අනෙක් අතින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නිදහසේ තම කටයුතු සිදුකර ගෙන යන ආකාරයේ වටපිටාවක් නිර්මාණය කිරීමත් රජයේ වගකීමකි.

ශ්‍රී  ලංකාවේ හුවමාරු වන මත්ද්‍රව්‍ය බොහෝමයක් විදේශ රටවල නිෂ්පාදනය කළ ඒවාය. ඒ අනුව එම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණීමට ඇත්තේ ක්‍රම දෙකකි. එකක් ගුවන් මගිනි. අනෙක් අවස්ථාව මුහුදෙනි. ඒ අනුව ගුවන්තොටුපළ හා ශ්‍රී ලංකාව දිවයිනක් මෙන් රටේ මුහුදු සීමාවම අයත් වන පරිදි මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළැක්වීම වෙනුවෙන් වැඩසටහනක් නිර්මාණය කළ යුතුය.

උදාහරණයක් ලෙස මුහුදු මගින් එන මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂාව නාවික හමුදාව මගින් ශක්තිමත් කළ යුතු වෙයි. එසේම මුහුද සිය ජීවිකාව බවට පත්කර ගෙන ඇති ධීවරයන්ද මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කරගත යුතු අතරම ඔවුන්ටද ඒ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කළ යුතුය. අනෙක් අතින් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන පිරිස්ද දැනුවත් කිරීමට කටයුතු කළ යුතුය.

මෙවැනි ප්‍රායෝගික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මගින් මත්ද්‍රව්‍ය පාලනය කිරීමට අවස්ථාවක් ඇති අතර, එය හුදෙක්ම වචනවලට පමණක් සීමා නොවී නියමාර්ථයෙන්ම ක්‍රියාත්මක විය යුතුය. 
ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීම සිදු වෙයි. ඒ පිළිබඳ කිසිදු විවේචනයක් නොමැත. කීමට ඇත්තේ එය යහපත් දෙයක් බවයි. නමුත් පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සමයේ විශාල ලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගතහොත් සඳහන් කළේ, ඒවා රාජපක්‍ෂවරුන්ට සම්බන්ධ බවයි. නමුත් එම චෝදනා සියල්ලම දැන් පුහු වචන බවට පමණක් සීමා වී තිබේ. ඔවුන්ම දැන් ඒ කාලයේ මත්ද්‍රව්‍ය ඇල්ලීම පිළිබඳ කතා කිරීම ගැන අපි සතුටු වෙන්නෙමු.

එසේම වැලිකඩ බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් විශාල කතිකාවක් මේ වන විට සමාජය තුළ පැතිරෙමින් තිබේ. එය නීතිය ඉදිරියේ පවතින කටයුත්තක් හෙයින් එහි නීතිමය කරුණු කාරණා පිළිබඳ මම මෙහිදී කතා නොකරමි. නමුත් එම සිදුවීමෙන් මියගියැයි පැවසෙන නම් පිළිබඳ යමක් සලකා බැලූවේ නම්, ඔවුන් එක්කෝ පාතාලයට සම්බන්ධ විය. එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය සඳහා සම්බන්ධ විය.
මෙම සිදුවීම බන්ධනාගාරය තුළ ඇතිවීමට ගිය කඩාකප්පල්කාරී සිදුවීමක් පාලනය කිරීමට ගත් උත්සාහයක් නිසා ඇතිවූ බව නම් අපි දැනුවත්ව සිටියෙමු. මේ සිදුවීම හේතුවෙන් නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්විය. ඒ අනුව ඉදිරියේදී එවැනි තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කිරීමට නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි යන්න පිළිබඳ සාධාරණ සැකයක් මතුවෙයි.

හෙරොයින් හා නිරන්තයෙන් කියැවෙන්නේ දේශපාලනඥයන් ඒ සඳහා සම්බන්ධ බවයි. එසේම මා මිත්‍ර කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාද පසුගිය දිනයක ප්‍රකාශ කළේ, මත්කුඩු ජාවාරමට ප්‍රාදේශීය දේශපාලනඥයන්ද සම්බන්ධ බවයි. ඒ අනුව මුලින්ම ඔහුට කිව යුතු කරුණක් වන්නේ එසේ සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන බවයි. නැතහොත් සිදුවන්නේ උඩබලා ගෙන කෙළගසා ගැනීමකි. පොදුවේ දේශපාලනඥයන් වන අප අපගේ ඇඟ මතට මෙම කුණු කන්ද දාගත යුතු නොවේ.

උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම්, එක් කාලවකවනානුවකදී සඳහන් කළ ප්‍රකාශයක් වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටින දේශපාලනඥයෙකු සිරගත කළා නම්, ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම නවතිනු ඇති බවයි. එසේම එම දේශපාලනඥයා මේ සඳහා සම්බන්ධ බවට විශාල කතාබහක්ද සමාජය තුළ පැතිර ගියේය. නමුත් එම දේශපාලනඥයා වෙනත් නඩු තීන්දුවක් හේතුවෙන් මේ වන විටත් බන්ධනාගාරගත කර තිබේ. නමුත් ඒ තීන්දුව නිසා ලංකාවට කුඩු ගෙන ඒම නැවතී නොමැත. මේ සියල්ලම දේශපාලනඥයන් මඩ ගසා ගැනීමට ගන්නා සටන් පාඨ බවට පත්ව තිබේ. 
ඒ අනුව හුදෙක්ම මත්ද්‍රව්‍ය නිවාරණය සටන් පාඨයක් නොකර අවංක චේතනාවෙන් කළ යුතු වෙයි.

ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!



Recommended Articles