මත්ද්‍රව්‍ය නිවාරණය හා නීතිය


 

රජයකින් ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මූලිකවම ඉලක්ක කරගත යුත්තේ එම මත්ද්‍රව්‍ය ජාලය සතු සෑම ස්ථරයක්ම අඩපණ කිරීම සඳහායි. මෙම ජාලය පාරිභෝගිකයාගේ සිට අන්තර්ජාතික බෙදාහරින්නා දක්වා විශාල වපසරියකට විහිදී ගියත්, ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ යාන්ත්‍රය තුළ ඉලක්කගත වෙන්නේ හුදෙක්ම පහළම ස්ථරයේ බෙදා හරින්නා සහ භාවිත කරන්නා පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලයේ මධ්‍යස්ථානයක් බවට විදෙස් ආරක්‍ෂක අංශ පවා දැනුවත් කර තිබුණත්, විශාල වශයෙන් මත්ද්‍රව්‍ය තොග හසුවෙන්නේ අහඹු සිදුවීම් ලෙස පමණයි.


අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110(6) වගන්තිය ප්‍රකාරව පොලීසියට බලය පවතිනවා මත්ද්‍රව්‍ය සම්බන්ධ යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තොත් ඔහුට මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය, ලැබුණේ කාගෙන්ද, මීට සම්බන්ධ අනෙක් පිරිස් කවුද යන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන්න. ඒ ඔස්සේ එම ජාලයේ මහමොළකරුවා අත්අඩංගුවට ගැනීම දක්වා යන්න හැකියාව පවතිනවා. නමුත් යථාර්ථය තමයි ශ්‍රී ලංකාවේ පොලීසිය තවමත් එවැනි තත්ත්වයක නැහැ. ඔවුන් හසු වූ පුද්ගලයාව පමණක් හසු වූ මත්ද්‍රව්‍ය සමග අධිකරණයට ඉදිරිපත් කර ක්‍රියාවලිය එතැනින් අවසන් කරනවා. 

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්වල සාර්ථකත්වය

අපේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් අද හුදෙක්ම සීමා වෙලා තිබෙන්නෙ චිත්‍ර තරග, රචනා තරග, කොඩි හෝ ස්ටිකර් නිකුත් කිරීම්, පත්‍රිකා බෙදා හැරීම්, පාගමන් හෝ දේශපාලන වේදිකාවල ප්‍රකාශවලට පමණක් බව හොඳින්ම දැකගන්න පුළුවන්. එවැනි ප්‍රාථමික ගණයේ ක්‍රියාමාර්ගවලින් මත්ද්‍රව්‍ය අධෛර්යට පත්කරන්න හැකියාවක් නැහැ. ඒවා රජයේ මුදල් නාස්ති කිරීමක් පමණක් වෙනවා. එළඹෙන පරපුරට සහ පවතින පරපුරට දැකගත හැකි විය යුතුයි මත්ද්‍රව්‍ය වැරදි සඳහා රටේ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව. ඒ වගේම අද වෙද්දි ඉතාමත්ම පැහැදිලියි මේ ප්‍රාථමික ගණයේ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපාර අසාර්ථක බව.
ඒ වගේම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් නව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න පවා යොමුවන අවස්ථා වාර්තා වෙලා තිබෙනවා. ගාල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කළ අධ්‍යයනයකදී නිරීක්‍ෂණය කරන්න ලැබුණා රාත්‍රී සාද පවත්වන ඇතැම් හෝටල් විසින්ම රාත්‍රී කාලයට පවත්වන සාද සඳහා මත්පෙති බෙදාහැරීමේ කටයුත්තක නියැළෙන බව. එමගින් නිරන්තරයෙන් පාරිභෝගිකයන් සහ විදේශිකයන් සිය ව්‍යාපාර වෙත ගෙන්වා ගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. නමුත් වගකිව යුතු අංශයන්ගේ අවධානය තවමත් මීට යොමුවී නැහැ.
විශේෂිතම කාරණයක් තමයි මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ගොදුරු බවට පත්කර ගන්නා ඉලක්කගත කණ්ඩායම් කිහිපයක් දැකගන්න පුළුවන්. මේ ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්කයන් වෙන්නේ පාසල් සිසුන්, ධීවරයන්, වීදි දරුවන්, තරුණ කල්ලි, සංචාරකයන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වැනි කණ්ඩායම්. මේ ඉලක්කගත කණ්ඩායම් හඳුනා ගැනීම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යයේදී ඉතා වැදගත් වෙනවා. 

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලංකාවේ නීතිමය තත්ත්වය

බැලූබැල්මට පෙනෙන කාරණයක් තමයි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සඳහා වන නීතිරීති ඉතා දැඩි බව. නමුත් ඇත්තටම නීතිරීති ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයේ විශාල දුර්වලතා පවතිනවා. වර්තමානයේදී හෙරොයින් ග්‍රෑම් එකක පමණ ප්‍රමාණයක් ළඟ තබා ගැනීම වැනි වරදක් කියන්නේ මහධිකරණයේ විභාග වන නඩුවක්. නමුත් හෙරොයින් කන්ටේනරයක් වැනි විශාල ප්‍රමාණයක් හසුවන අවස්ථාවලදී ඊට අදාළ විමර්ශන සහ නඩු කටයුතු දියාරු වන ස්වභාවයකුයි පවතින්නෙ.

එමනිසා පවත්නා නීති සහ කාර්යපටිපාටි සමස්ත අපරාධ මර්දනයට වැඩි බලයක් ලැබෙන ලෙස නැවත සංශෝධනය කිරීම ජාතික අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. එම කාර්යයේදී මෙවැනි නිර්ණායක ගැන ව්‍යවස්ථාදායකය විසින් සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

01) අපරාධ වාර්තා කිරීමේ ක්‍රමය වඩාත් සාධාරණ සහ කාර්යක්‍ෂම කිරීම.
02) අපරාධ චූදිතයන්ගෙන් සාක්‍ෂිකරුවන්ට එල්ල වන බලපෑම් අවම කිරීම.
03) අපරාධ විමර්ශන කාර්යපටිපාටිය නිසියාකාරව සිදුවෙන්නේද යන්න පිළිබඳ සොයා බැලීමේ අධිකාර බලයක් ඇති ආයතනයක් පිහිටු වීම.
04) අසාධාරණ හේතුවක් මත හැර අපරාධ ක්‍රියාවන් සමථ කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා නොදීම.
05) ශිෂ්ට සමාජය නොඉවසනසුලු එමෙන්ම සමාජයේ යහපැවැත්මට බාධාකාරී වන අපරාධවලට අත්හිටවූ සිරදඬුවම් ලබා නොදෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනයන් ගෙන ඒම.
06) දේශපාලන බලය මත කෙරෙන අපරාධවලට වැඩි දඬුවම් දීම.
07) අපරාධකරුවන්ට රැකවරණ ලබාදෙන අයට විරුද්ධව දැඩි නීති සැකසීම.
08) අපරාධකරුවන් සම්බන්ධ පිරිස් දේශපාලනයට එක්වීම වැළැක්වීමේ යාන්ත්‍රණයක් සැකසීම.
09) අපරාධ වැළැක්වීම සම්බන්ධ වැදගත් උපදෙස් පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම.
10) අපරාධකරුවන්ගේ නම්, ගම් සහ ඔවුන් සම්බන්ධ අපරාධ ජනතාව අතර නීත්‍යානුකූලව ප්‍රසිද්ධ කිරීමේ යාන්ත්‍රණයක් සැකසීම.
11) මත්ද්‍රව්‍ය නඩු කටයුතු හැකිතාක් ඉක්මනින් කිරීමේ යාන්ත්‍රණයක් සැකසීම.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම

මරණ දඬුවම නියම වී සිටින ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිටත් මේවා මෙහෙයවීම සිදුකරනවා නම් ප්‍රධාන වශයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට විරුද්ධවයි ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක විය යුත්තේ. අනෙක් කාරණය තමයි පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත්ව තිබෙනවා. ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඔහුට ඉහළින් සිටින නිලධාරීන් යම් බියක් දක්වන බවට නිරීක්ෂණයේදී හෙළිවුණා. ඊට හේතු වෙලා තිබෙන්නේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ප්‍රදේශයේ ප්‍රභල දේශපාලනඥයන්ගේ, ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ අතකොළුවක් ලෙස ක්‍රියාකිරීම. මේ සියලු නොමනාකම් මත්ද්‍රව්‍ය ජාවාරම වෙත වක්‍රව හෝ උපකාරයක් වෙනවා.
ප්‍රධාන වශයෙන් ඊට අදාළ විමර්ශන හා අධිකරණ කටයුතු නිම වීමෙන් පසු අධිකරණයේ නියෝග පරිදි එම මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ විශේෂ ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එය බාහිර සමාජයට එතරම් විවෘත නොවන්නක් නිසා බාහිර සමාජයට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සිදු වෙන්නේ කුමක්ද කියලා කුතුහලයක් පවතිනවා.

මත්ද්‍රව්‍ය නිවාරණය මන්දගාමීව සිදුවීම

ජනාධිපතිවරයාට මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සැබෑ උනන්දුවක් පවතින බව බැලූබැල්මට පෙනෙනවා. නමුත් අද ඔහු ගිරයට හසු වූ පුවක් ගෙඩියක ඉරණමට බඳුන් වී තිබෙන බව පැහැදිලියි. එක් පැත්තකින් ඔහු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා එක්සත් ජාතික පක්‍ෂයේ අගමැතිවරයාගේ බලපෑමට හසුවී තිබෙනවා. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රැක ගැනීමේ දැඩි සටනක නියැළී සිටිනවා. මෙවැනි පරිසරයක් තුළ සිටයි ඔහු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමයක නියැළෙමින් සිටින්නෙ. එය කළ හැකිද?
නීතිය ක්‍රියාත්මක කිරීමේදී සෑම පාර්ශ්වයක්ම සතුටු කරන ආකාරයෙන් නීති ක්‍රියාත්මක කිරීම සිදු කළ නොහැක්කක්. ඒ නිසා මේ අවස්ථාවේ ජනාධිපතිවරයා කල්පනා කළ යුත්තේ, ඔහුව ජනාධිපති ධුරයට පත්කළේ ජනතාව. ඔහු දේශපාලන පක්‍ෂ සැනසීම පසෙකලා නීතිය නිර්භයව ක්‍රියාත්මක කරමින් නීතිය නිසි ලෙස ස්ථාපනය කරනවා නම්, අනිවාර්යයෙන්ම ඔහුව ජනතාව විසින්ම ආරක්‍ෂා කරයි. එසේ නැතිව ජනාධිපතිවරයා ජනප්‍රිය ප්‍රකාශ පමණක් නිකුත් කරමින් හෝ තමන්ගේ කකුලෙන් අදිනවා කියමින් නහයෙන් ඇඬීම ජනතාවගේ හාස්‍යයට ලක්වන කාරණයක්. නමුත් ඔහුගේ උත්සාහය ප්‍රශංසනීයයි.

මත්ද්‍රව්‍ය නිවාරණයට මෙරට සම්පත් භාවිතය

ශ්‍රී ලංකාවේ ඕනෑම අංශයක් සම්බන්ධයෙන් සම්පත් භාවිත කිරීම නියම අනුපාතයන්ට අනුව සිදුවෙන්නේ නැති බව දේශපාලන වේදිකාවල ප්‍රධාන මාතෘකාවක්. රටේත්, ජනතාවගේත් සුබසිද්ධියට වඩා තම සුඛවිහරණය සඳහා දේශපාලනඥයන් සම්පත් වෙන්කරන ප්‍රමාණය වැඩියි. ඒ නිසා ජනතාවාදී දේශපාලන කඳවුරක් නිර්මාණය වෙලා රටේ පාලනය ඔවුන්ට හිමි වෙනවා නම්, ඔවුන් මත්ද්‍රව්‍ය පිටුදැකීමට නිසි ලෙස සම්පත් හා ප්‍රතිපාදන යෙදවීමක් සිදු කරනවා නම් පැහැදිලිවම මාස කිහිපයක් තුළ මෙම මත්උවදුර ශ්‍රී ලංකාවෙන් තුරන් කරන්න හැකියාව ලැබේවි.
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග ඉතා සීමිතයි. නාවික ආරක්‍ෂාව ප්‍රමාණවත් පරිදි ශක්තිමත් කිරීමෙන් මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වන්න හැකියාව තිබෙනවා. ගුවන් මගින් පැමිණෙන මත්ද්‍රව්‍ය වැටලීමට අදාළ අංශ ශක්තිමත් කිරීමට ක්‍රමානුකූල වගේම උපක්‍රමශීලී වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි. එවැනි සීමා සහිත මාර්ගවලින් පැමිණෙන මත්ද්‍රව්‍ය වැළැක්වීමට අපට නොහැකි නම් අප ඒ පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතුයි.

මත්ද්‍රව්‍ය මැඬලීමට බුද්ධි අංශ සහ ඔත්තු සේවා යොදා ගැනීම

ශ්‍රී ලංකාවේ පවතින බුද්ධි සේවාවන් සහ රාජ්‍ය ඔත්තු සේවාව ක්‍රියාත්මක වෙන්නේ එක් කාරණාවක් පමණක් මූලික කරගෙනයි. ඒ තමයි %ප්‍රභූ ආරක්‍ෂාව^. ඔවුන් වැඩි වශයෙන් මෙහෙයවන්නේ ප්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පමණක් වන නිසා ඔවුන්ව වෙනත් අපරාධ නිවාරණය සඳහා යෙදවීම ඉතා අවම වෙලා තිබෙනවා. අදටත් ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්‍ෂාව සාර්ථකව ක්‍රියාත්මක වන්නක්. 
ශ්‍රී ලංකා දේශපාලනය තුළ සිටින ප්‍රභූන් ප්‍රමාණයත් වැඩියි. දේශපාලනඥයන්ගේ නෑදෑ හිතවතුන් පවා ප්‍රභූන් ලෙස සලකා ඔවුන්ගේ වියදම් දැරීම රටේ ආර්ථිකයටත්, ආරක්‍ෂාව සැපයීම බුද්ධි අංශ වෙතත් පැවරිලා තිබෙනවා. විදේශයන්ගේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සම්බන්ධයෙනුත් ප්‍රමුඛ කාර්යභාරයක් මෙම අංශ සතුව පවතින්නක්. සැබැවින්ම බුද්ධි අංශ සහ රාජ්‍ය ඔත්තු සේවය මේ කාරණය පිළිබඳ ශක්තිමත් ලෙස ක්‍රියා කරනාවා නම් මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ශ්‍රී ලංකාව මෙතරම් දුරට උඩුදුවන්නේ නැහැ.

ජනපති පොදු සමාව 

පොදු සමාවක් ලබාදීම ප්‍රධාන වශයෙන් 1972 සහ 1978 දී ගෙනන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මගින් ජනාධිපතිවරයා වෙත පමණක් ලබාදෙන ලද වරප්‍රසාදයක්. ඒ වගේම එම වරප්‍රසාදය සඳහා සීමා නැහැ. නමුත් සම්මතය අනුව පොදු සමාවක් ලබාදීමට පෙර ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් වාර්තාවක් ලබාගත යුතු වෙනවා. කෙසේ නමුත් ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ඉතා පිළිකුල්සහගත අවස්ථාවක් තමයි ගෝනවල සුනිල් නම් සාහසිකයා පිළිබඳ සිද්ධිය. 

නමගිය අපරාධකරුවෙකු වූ ඔහු මිනීමැරුමේ චෝදනාවලට වරදකරු ලෙස තීරණය කරනු ලැබ පෝරකයට නියම වුණා. එවැනි අපරාධකරුවෙකුටත් ජනාධිපති සමාව හිමිවුණා පමණක් නෙවෙයි ඔහුට සාමවිනිසුරු පදවියක්ද හිමිවුණා. එම නිසා ජනාධිපතිවරයා තමන් සතු එම බලතල ඉතා දූර්දර්ශීව භාවිත කළ යුත්තක්.

නීතිඥ නිලන්ත හෙට්ටිගේ 



Recommended Articles