මගේ ඇත්ත තත්ත්වය දන්න රසික පිරිස දන්නවා මම හරිද වැරදිද කියලා


හර්ෂණ බෙත්මගේ කියන්නේ තරුණ පරම්පරාව තුළ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු යළිත් විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ පිළිබඳව සහ ඔහුගේ රංගන කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘අද’ තරු කතාබහට මෙලෙස එක් කර ගනු ලැබුවා.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල නම් ලංකාවේ තියෙන කෝවිඩ් තත්ත්වයක් එක්ක රූගත කිරීම් නැවතිලා තියෙන්නේ. ලොකුම කාර්යබහුලත්වයක් නැහැ. මගේ ව්‍යාපාර කටයුතුත් කරගෙන විවේක සුවයෙන් ඉන්නවා. මේ කාලෙ නම් ලංකාවට එච්චර හොඳ කාලයක් නෙමෙයි. කෝවිඩ් තුරන් වෙන්න තමයි ලොකු ප්‍රාර්ථනය.

කොහොමද අලුත් ජීවිතය?

අලුත් ජීවිතය ඉතාමත් සරලව, හොඳින් ගෙවීගෙන යනවා. ඉතින් විවාහය කියන්නේ ජීවිතයේ වැදගත් කඩඉමක්. ඒ හැමදේටම මුහුණ දීලා අපේ ඉදිරි වැඩකටයුතු හොඳින් කෙරෙන මට්ටමේ තියෙනවා. අපේ ව්‍යාපාර කටයුතු සහ අපි අලුත් වැඩක් පටන් ගන්න ඉන්නේ.

කොහොමද ඔබේ ආදරය පටන් ගන්නේ?

ඇයගේ නම අරුණි. ඇය මගේ බිස්නස් පාට්නර්. මුලින්ම අපි හඳුනා ගන්නේ මගේ ව්‍යාපාරය නිසා. ඊට පස්සෙ කාලෙක තමයි ඇය මගේ මිතුරියක් වෙන්නේ. එයා විදෙස‍්ගත වෙලා තමයි හිටියේ. ලංකාවට ආවයින් පස්සේ මගේ දේවල් සාර්ථක කරගන්න ඇය මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ ගොඩනගා ගත්ත විශ්වාසය සහ තේරුම් ගැනීම එක්ක තමයි මේ දේවල් ආරම්භ වෙන්නේ.

ඔබ දෙදෙනාගේ ගැළපීම කොහොමද?

ඇත්තටම අරුණි මාව හොඳින් වටහා ගන්නවා. ඒක තමයි කලාකරුවෙක්ට තිබිය යුතු එකම දේ. ඒ නිදහස මට ලැබෙනවා. ඇයගෙන් ලොකු සහයෝගයක් මගේ කටයුතුවලට ලැබෙනවා. ඒ සහයෝගයෙන් මගේ වැඩකටයුතු ලස්සන කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 

ආදරය සහ විවාහය කියන දේ ගැන හිතෙන්නේ මොකක්ද?

මම හිතන්නේ විවාහය, ආදරය කියන දෙකම බැරෑරුම් කටයුත්තක්. ඒ තුළ සුන්දර තැන් වගේම අසුන්දර තැන් තියෙනවා. ඒ අසුන්දර තැන් සුන්දර කරගෙන ජීවිත් වීම තමයි හොඳ. ජීවිතයේ ආදරවන්තියක් වෙනවට වඩා සහකාරියක් වෙන එක තමයි උවමනා වෙන්නේ. ජීවිතය තියෙන්නේ  විඳවන්න නෙමෙයි කියන දේ තේරුම් ගන්න ඕනා. ඒකෙදි හැමෝම හොඳ තීරණයක් ගන්න ඕනේ. නැත්නම් පසුතැවීමක් වෙනවා. නමුත් ඒ දේවල් අත්දැකීමක් විදිහට තමයි මම භාර ගන්නේ.

කලාකරුවෙක් ලෙස ඇය ඔබව තේරුම් ගැනීම කොයි වගේද?

මගේ කලා ජීවිතයට සහ මගේ නිර්මාණවලට ලොකුම දේ හිතේ නිදහස කියන දේ ඇය හොඳටම තේරුම් අරන් ඉන්නේ. නිරවුල් මනසක් ලැබෙන එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ සහකාරිය අතෙයි. ඇයගේ තේරුම් ගැනීම සහ සහයෝගයෙන් තමයි මට වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වටහාගැනීම තමයි මේ අපේ සම්බන්ධයට ලොකුම හේතුව වන්නේ.

කලාවත්  එක්ක කාර්ය බහුලත්වය විවාහයට බලපාන්නේ කොහොමද?

ඇත්තටම ඉතින් ෂූටිං නැති දවස්වල ගොඩක් වෙලාවට පවුලත් එක්ක ගතකරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. අපිට නිදහස කියන දේ අඩුයි. හැමතිස්සෙම වැඩ. උදේ ගියාම ෂූටිං ඉවර වෙන්නේ පහුවදා පාන්දර. පහුවදා ආයෙ යන්න වෙනවා. මේ කාර්යබහුලත්වයත් එක්ක නිදහස ලැබෙන ඕනෑම වෙලාවක තමන්ගේ පවුලත් එක්ක ඉන්න කාලය වෙන් කරවා ගන්නවා.

හර්ෂණගේ ව්‍යාපාරය ගැනත් කිව්වොත්?

බියුටි කොස්මැටික්ස් තමයි මම කරන්නේ. ඔන්ලයින් ව්‍යාපාරයක්. නැවත එය ලබන අවුරුද්දේ අලුත් විදිහකට ආරම්භ කරන්න ඉන්නේ. පිටරටක ඇප් එකකින් ඕඩර් කරනවාට වඩා සේවාවක් දවසින් ලබාදෙන්න වගේම ගුණාත්මක නිෂ්පාදන පෙළක් අපේ පාරිභෝගිකයන්ට ලබාදෙන එක තමයි අපේ එකම බලාපොරොත්තුව.

ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව?

අපි දෙන්නෙක් විදිහට වැඩ කරපු කාලේ ඉවරයි. දැන් තනි කෙනෙක් විදිහටත් හිතන්න ඕනේ. ඒ දේවල්වලින් ගොඩක් දේවල් අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව හිතේ තියෙනවා.

විවාහය වෙනුවෙන් රසියකයන් බොහෝ දෙනෙකු සුබ පතා තිබුණා?

ඔව්. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ රසියකන් පිරිසක් සුබපැතුවා. ඔවුන් හැමදාම මාව තේරුම් ගත්තා. මගේ ඇත්ත තත්ත්වය දන්න රසික පිරිසක් තමයි මට හැමදාමත් එකතු වුණේ. ඔවුන් දන්නවා මම හරිද වැරදිද කියන කාරණාව. ඒ නිසා තමයි ඔවුන් අදටත් මාත් එක්ක ඉන්නේ සහ මගේ නිර්මාණයන්වලට ආදරය කරන්නේ. ඒ නිසාම ඔවුන්ට හදවතින්ම ස්තූතියි කියනවා. ඔවුන්ගෙන්, මගේ පවුලෙන් මගේ භාර්යාවගෙන් සහ යාළුවන්ගෙන් ලැබන ශක්තියෙන් මගේ වැඩ ටික කරගෙන යන්නේ. ඒ වගේම හැමදාම මේ විදිහට මට සහ මගේ නිර්මාණවලට ආදරය කරන්න කියලා ඉල්ලනවා. මම හැමදාම ස්වභාවධර්මය විශ්වාස කරගෙන ජීවත් වෙන කෙනෙක්. ඒකට බොරු කරන්න බැහැ.

ඩිලාන් ක්‍රිෂාන්ත



Recommended Articles