මගී ප්‍රවාහනයේ ඇත්තම ගැටලු මොනවාද?


රටේ ජන ජීවිතය තුළ එක් ප්‍රබල හා කේන්ද්‍රීය සාධකයක් වන්නේ මගී ප්‍රවාහනයයි. ජන ජීවිතයේ සෑම වැදගත් අහුමුල්ලක් නෑර පැතිර තිබෙන ප්‍රවාහනය රටේ ආර්ථික, සමාජ කටයුතුවලදී විශාල වශයෙන් බලපෑම් එල්ල කරන අතිශයින්ම වැදගත් හා තීරණාත්මක සාධකයකි. මිනිසෙකු එක් තැනක සිට තවත් තැනකට යන්නේ මානව සබඳතා ද ගොඩනගා ගනිමිනි. ඒ යන අතරතුර ඔහු හෝ ඇය තවත් මානව සමූහයක් සමග ගනුදෙනු කරයි. ඒ නව මිනිස් සබඳතා සමාජය තුළ විවිධ මට්ටමින් ක්‍රියාත්මක වෙයි. මුළු මහත් සමාජයේම පදනම මේ ගමනාගමනය සමග දැඩි ලෙස බැඳෙන්නේ මේ ආකාරයෙනි.

භාණ්ඩ ප්‍රවාහනයේ දී ප්‍රදේශ දෙකක් එකට හමු වේ. විවිධ ජීවන රටා විවිධ භාෂා ව්‍යවහාර එකම තලයක මුණගැසේ. අලුත් අලුත් දෑ තැනෙයි. නිමවෙයි. නව ගනුදෙනු රටා නිර්මාණය වෙයි. අතීතයේ දේශාටකයෝ ඉමහත්  බාධක මැද මහ සයුරු, කාන්තාර ඔස්සේ රටින් රටට මහද්වීපයෙන් මහද්වීපයට ගමන් ගත්හ. ඔවුහු තමන් ලද විචිත්‍ර අත්දැකීම් අනාගත පරපුරට ද දැන ගැනීමට සටහන් ලෙස තැබූහ. ඒවා අද ද ලෝ වැසියාට ඉමහත් ලෙස ප්‍ර‘යෝජනවත්ව පවතී.

දැන් අපි අපේ රටේ අභ්‍යන්තර ප්‍රවාහන ක්‍රියාවලිය දෙසට හැරෙමු. අපේ පොදු ප්‍රවාහනයේ මූලික මාධ්‍ය දෙක වන්නේ දුම්රිය හා බස් රියයි. මෙයිනුත් රට පුරා විහිදී තිබෙන්නේ බස් රිය භාවිතයයි. බොහෝ ප්‍ර‘දේශවලට දුම්රිය මාර්ග තනා නැත. සුද්දන්ගේ කාලයේ තැනූ දුම්රිය මාර්ග පවා අපේ පාලකයන්ගේ කාලයේ දී ගලවා දමා ඒවායේ මැණික් ගැරීම වැනි කටයුතු සිදු කළ බව පැවසීමට සිදුව ඇත්තේ කනගාටුවෙනි. මෙයට කදිම උදාහරණය වන්නේ කොළඹ - ඕපනායක දුම්රිය මාර්ගයයි. දැන් එය ඇත්තේ  කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පමණි. එහි විශාල ප්‍රමාණයක් 70 දශකයේදීම ඉවත් කරන ලද අතර සුප්‍රකට පුංචි කෝච්චිය රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන්  අයින් කරනු ලැබීය. දැන් එහි ප්‍රතිඵලයක් ලෙස රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගය අතිශයින්ම  කලබලකාරී අනතුරු බහුල මාර්ගයක් බවට පත් වී තිබෙන අතර එහි පරිවාර නගර හා කොළඹ අතර සම්බන්ධය බොඳ වී තිබේ. දුම්රිය ප්‍රවාහනය සංවර්ධිත රටවල පවතින එක් කේන්ද්‍රීය සාධකයකි. විද්‍යුත් දුම්රිය හා උමං මාර්ගවල ගමනාගමනය ජපානය හා බටහිර රටවල ජන ජීවිතයේ හා සමාජ ආර්ථිකයේ එක් බල නගරයක් ලෙස ක්‍රියාත්මක වෙයි. 

70 ගණන්වලදී අපේ රට අපිට සුද්දා තනාදුන් අතිශයින්ම වටිනා දුම්රිය මගක වැදගත්ම කොටසක් නිරපරාදේ කප්පාදු කළේය. ඇතැම් විට ලාභ පාඩු බැලීම මෙයට හේතු වූවා විය හැකිය. එහෙත් එයට සැබෑ හේතුව ලෙස අපේ අවධානයට යොමු විය යුත්තේ ඊනියා මගී ප්‍රවාහනයෙන් අප ලබන ලාභ පාඩු ගණනය නොව ආර්ථික ක්‍රියාවලිය නවීකරණාත්මක කරමින් දුම්රිය ප්‍රවාහනය එහි ඓන්ද්‍රීය අංගයක් බවට පත් කිරීමට අපේ ආණ්ඩු දැක්වූ අසමත්භාවයයි. ඒ යුගයේ අපේ අවධානය යොමුවී තිබුණේ සාමාජවාදය නමැති මිරිගුව දෙසටය. ඒ මිරිගුව අපේ රටේ ආර්ථිකයට ඇති කළේ විනාශයකි. ජේ.ආර්. විශාල හා අනවශ්‍ය බලයකින් මෙරටට එක්වරම ඔරොත්තු නොදෙන විවෘත ආර්ථිකය මුදා හරින්නේ සමාජවාදී මිරිඟුවෙන් ඔද්දල් වී තිබූ ජන ජීවිතය එවැන්නක් පැතු බැවිනි. එයිනුත් වූයේ මහ වින්නැහියකි.

ඒ වනවිට සිංගප්පූරුව වැනි රටවල් වඩාත් වෙනස් ගමනක නිරත වෙමින් සිටියේය. අනෙක් කරුණ නම් දුම්රිය ප්‍රවාහනය වැන්නක් සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම විය යුත්තේ අතින් මුදල් දමා දුම්රිය දිවවීම නොවේ. බස් ප්‍රවාහනය තුළ සිටින මගීන් දුම්රිය තුළට ගැනීමට යම් වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුය. එය නිශ්චිතවම ආර්ථිකය හා බැඳුණු ක්‍රියාවලියක සෘජු හා වක්‍ර කොටසක් විය යුතුය. අපේ රටේ අද වන තෙක් එවැන්නක් පිළිබඳ නොසිතීම අතිශයින්ම කනගාටුදායක තත්ත්වයකි.

රටේ ප්‍රවාහනය සම්බන්ධයෙන් ආණ්ඩුව කළ යුත්තේ බස් අලුතින් ගෙන්වීම හා තම  පාක්ෂිකයන් ඩිපෝවල ඉහළ තනතුරුවලට පත්කිරීම නොවේ. එහෙත් එදා මෙදා තුර ආණ්ඩුවලට එයින් තොර කිසිදු නව චින්තනයක් ප්‍රවාහනය පිළිබඳ ඇති බව පෙනෙන්නට නැත. ප්‍රවාහනයේ සැබෑ ප්‍රශ්න සොයා බැලිය යුතුය. එයින් කීපයක් හා එයට ප්‍රා‘යෝගිකව දියහැකි විසඳුම් මෙසේ ඉදිරිපත් කරමු. 

රටේ අධ්‍යාපනය හා ආර්ථිකය ප්‍රසාරණය වීම නිසා ස්ත්‍රීන් සැලකිය යුතු ප්‍රමාණයක් රාත්‍රී කාලයේ ගමනාගමනයට යොමුවී තිබේ. එහෙත් ඒ අයට නිශ්චිත ආරක්ෂාවක් හෝ බස් සේවයක් නොමැතිකම මෙරට පවතින බලවත්ම ප්‍රශ්නයකි. මෙය පිරිමින්ට ද එකසේ අදාළ වන නමුත් මෙහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල ස්ත්‍රීන් පිළිබඳ සාධකය මුලට ඒම වැළැක්විය හැකි නොවේ.

මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී රාත්‍රී බස් සේවයක් ආරම්භ කළ යුතුය. එය ප්‍රථම අදියරේ දී තෝරාගත් මාර්ග කීපයක පමණක් ඇතිවිය හැකි අතර තෝරාගන්නා මාර්ග බොහෝ විට අගනුවර ආසන්නයේ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් සිදු කළ හැකිය. එහි ගාස්තුව යම් තරමකින් දිවා ගාස්තුවට වඩා වැඩිවීම යෝග්‍යය. එහෙත් පොලිස් කොස්තාපල්වරියන්ගෙන් එයට ආරක්ෂාව සැපයිය යුතුය. නයිට් බසයේ සේවය කරන්නෝ දිවා කාලයේ නිවාඩු සහිත අය ඒ වෙනුවෙන්ම කැපවිය යුත්තන් විය යුතුය. 

මේ බස් සේවය එකවරම ඵලදරන ලාභ උපයන එකක් නොවිය හැකිමුත් ක්‍රමානුකූලව රටේ අවශ්‍යතා පරිදි වර්ධනය කළ යුතුය. බසයේම වැසිකිළි පහසුකම් සැපයීමට හැකිනම් එය ඉතා අගනා පියවරක් වනු ඇත. මේවා ක්‍රියාත්මක කරවීමෙන් පමණක් ලංකාවට ඉදිරියට ගමන් කළ හැකිවනු ඇත.

මෑත භාගයේ සැලකිය යුතු ප්‍රමාණාත්මක වර්ධනයක් ලබා ඇති දුර ගමන් සේවා බස් සඳහා ගුණාත්මකභාවයක් ලබාදීම තවත් හදිසි අවශ්‍යතාවකි. මෙහිලා ඉතාමත්ම වැදගත් පියවරක් වන්නේ බස් රථ තුළ ඉඩකඩ වැඩි දෙපා මැනවින් දිගහැර යාමට හැකි ආසන සහිත බස් දුරගමන් සේවා සඳහා හඳුන්වා දීමයි. ආසන අතර පරතරය වැඩි කිරීම ඝෝෂාකාරී ගීත නවතා දමා ඒ ඒ මගියාගේ රුචිකත්වය පරිදි ශ්‍රවණය කළ හැකි තාක්ෂණික පහසුකම් සෑම ආසනයකටම ලබාදීම කළ යුතුය. දුර ගමන් සඳහා  වැසිකිළි අත්‍යවශ්‍ය නිසා දුර ගමන් බස් රථ සඳහා  එම පහසුකම් ඉතා ඉක්මනින් ලබාදිය යුතුය. එසේම දැනට තේ පානය හා ආහාර සඳහා මෙම බස් නවත්වන ආපනශාලා ඉතා අපිරිසුදු තත්ත්වයේ පවතින නිසා එම තත්ත්වය අධීක්ෂණය කිරීමට රජය රහසිගත සංවේදී බුද්ධිමය කණ්ඩායම් සංවිධානය කළ යුතුය.

ප්‍රවාහනයේ මෙම සැබෑ ගැටලු විසඳා ලීමට පියවර ගත හැක්කේ නිර්භීත පාලකයෙකුට පමණි.         



Recommended Articles